රට ගොඩනැඟීමට සමාජ මාධ්‍ය යොදාගත හැකි බව නදී ඇතුළු ක්‍රියාකාරීන් විසින් ඔප්පු කළ කථිකාව

සමාජ මාධ්‍ය යනු තවදුරටත් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා පමණක් භාවිතා කරන දෙයක් හෝ හුදෙක් කාලය ගෙවා දැමීම සඳහා භාවිතා කරන මාධ්‍යයක් නොවන බව ජාත්‍යන්තර මෙන්ම දේශීය උදාහරණ ගණනාවක් තුළින් දැන් ඕනෑවටත් වඩා ඔප්පු වී තිබේ. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ දෙනා සමාජ මාධ්‍ය වල බලය ගැන කතා කළ අරාබි වසන්තයේ සිට ලංකාවේ දේදුනු වසන්තය දක්වාත් සුනාමි ව්‍යසනයේ සිට මීට මාසයකට දෙකකට පෙර මෙරටට බලපෑ ගංවතුර ආපදාව දක්වාත් මෙම සමාජ මාධ්‍ය වල බලය ලෝකය පුරාම මෙන්ම ලංකාව තුළ ද මහ පොළොව මත යථාර්ථයක් බවට පත් වූ අවස්ථා රැසකි. දැන් මේ සමාජ මාධ්‍ය වල බලය ගැන තරුණයාගේ සිට දේශපාලකයා දක්වා සමාජයට යම් බලපෑමක් කළ හැකි පිරිස තුළ යම්කිසි අවබෝධයක් මෙන්ම සමාජයට බලපෑම් සහගත වන අන්දමින් සමාජ මාධ්‍ය හැසිරවීම සම්බන්ධයෙන් ද යම් ප්‍රායෝගික අත්දැකීම් ප්‍රමාණයක් ඇත. එබැවින් දැන් කළ යුතු වන්නේ එම ප්‍රායෝගික අත්දැකීම් රටේ සංවර්ධනයට ඉවහල් කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන් කථිකාවන් ගොඩනැඟීම ඔස්සේ සමාජ මාධ්‍ය රටේ සංවර්ධනයට දායක කර ගැනීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා වූ උත්සාහයකට සම්බන්ධ වීමට බ්ලොග්කරුවෙකු වශයෙන් ඊයේ මට ද අවස්ථාව උදාවිය. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

එනම් “වඩා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා අපට සමාජ මාධ්‍ය යොදා ගත හැක්කේ කෙසේද?” යන මැයෙන් වූ කථිකාවක් ඊයේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැවැත්වුණි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත තැනැත්තන් මෙන්ම මෙම කථිකාවේ පදනම බවට පත්වූ රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ සිටි තරුණ තරුණියන් ද රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසඳයේ හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහයෝගිත්වයෙන් මෙම කතිකාව සංවිධානය කර තිබුණේ ඩිජිටල් ජනමාධ්‍ය අන්තර්ගත වේදිකාවක් හා තරුණයන් සඳහා විකල්ප මාධ්‍ය අවකාශයක් වන www.iVoice.lk වෙබ් අඩවිය විසිනි. මෙම අවස්ථාව සඳහා විශේෂ අමුත්තෙකු වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සහභාගි වී සිටියේ ය.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරි වී සිටින හා ඒ ඔස්සේ සමාජයට බලපෑම් සහගත වන කාර්යයන් සංවිධානය කරමින් ඒවා තුළ නියැලෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් මෙම කථිකාව සඳහා සිය සම්පත් දායකත්වය ලබා දුන්නේය. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් නදී වාසලමුදලිආරච්චි, දෙමළ බසින් පී. ගෝපීහරන් හා ඉංග්‍රීසි බසින් හිමාල් කොතලාවල මෙම කථිකාව තුළ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගන්නට කටයුතු කළේය.

ලේඛිකාවක් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වශයෙන් මෙම අවස්ථාවේ දී අදහස් හා සිය අත්දැකීම් පැහැදිලි කළ නදීගේ අදහස් දැක්වීම තුළ සමාජ මාධ්‍ය වල බලය කෙතරම් දැයි මෑත කාලීන උදාහරණ රැසකින් ඡායාරූපමය සාක්ෂි සහිතවම ඔප්පු විය. 2016 වසරේ දී මෙරටට බලපෑ ගංවතුර තත්ත්වය හමුවේ ඒ සඳහා මැදිහත් වී විපතට පත්වූවන්ට ආධාර රැස්කර රැගෙන යාමට නදී විසින් සමාජ මාධ්‍ය තුළ පළකල ඉල්ලීම් වලට බොහෝ පිරිසකගේ ප්‍රතිචාර ලැබී තිබුණි. ඒ ඔස්සේ මුලින්ම ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හඳුනාගත් මිතුරන් පිරිසක් සමඟ සංවිධානය වී විපතට පත්ව සිටි පිරිස් වෙත බත් පාර්සල් රැගෙන යාමට ඇය ඇතුළු ඇගේ මිතුරු කැල කටයුතු කර තිබුණි.

(නදී විසින් උදව් ඉල්ලා ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්)

ඇගේ මෙම උත්සාහය වැනි උත්සාහයන් ගණනාවක් දැනට මාසයකට දෙකකට පමණ පෙර මෙරටේ ඇතිවූ ගංවතුර තත්ත්වය අවස්ථාවේ දී ද දැකගන්නට ලැබුණි. එසේ සමාජ මාධ්‍ය ඔස්සේ ගංවතුර ආධාර රැස්කිරීමටත් ඒවා කඩිනමින් විපතට පත් වූ සහෝදර ජනතාව කරා රැගෙන යාමටත් කටයුතු කළ ලේක්හවුසියේ මා මිත්‍ර නලීන් අයියා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වේ. උදෑසන රැකියාවලට යාමට කොටුව දුම්රියපළට පැමිණෙන පිරිස් වෙතින් බත් පාර්සල් එකතු කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ සංවිධානය කිරීම් සමාජ මාධ්‍ය වල බලය කෙතරම්දැයි කියා පෑවේය. මාගේ අදහස අනුව නම් ඊයේ පැවති මෙම කථිකාව සඳහා එම නලින් දිල්රුක්ෂ සොයුරා ද කැඳවා ගැනීමට හැකිවූවා නම් ඔහුගේ ප්‍රායෝගික අත්දැකීම් සමූහය ද මෙම කථිකාව සඳහා ඉතා වැදගත් වනු ඇත.

(විපතට පත් වූවන්ට සමාජ මාධ්‍ය මැදිහත් වී ආධාර රැගෙන යාම කාටුන් ශිල්පී අවන්ත ආටිගල දුටු ආකාරය)

නදී මෙන්ම මෙම මෙම කථිකාව තුළ දී සිය අත්දැකීම් දෙමළ බසින් හා ඉංග්‍රීසි බසින් ද බෙදාගත් ගෝපීහරන් හා හිමාල් ද සමාජ මාධ්‍ය වල බලය පිළිබඳ මෙම කථිකා‍ව පෝෂණය කිරීමට සමත් විය. මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටි පිරිස වෙතින් ඔවුන්ට ඉදිරිපත් වූ ප්‍රශ්න හා අදහස් තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින උනන්දුව මෙන්ම ඒවා සමාජ ගැටළු විසඳීම සඳහා උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් කෙතරම් විශ්වාසයක් පවතිනවාද යන්නත් පැහැදිලි විය.

(කථිකාවට සහභාගි වූ තරුණයෙකු විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන අවස්ථාවක්)

මෙම කථිකාව නිමවී ශාලාවෙන් පිටතට යන අතරතුර නාලක ගුණවර්ධන මහතා සමඟ කතාබහ කිරීමේ දී ඔහු පවසා සිටියේ මෙම කථිකාව ඉතා සාර්ථක එකක් වූ බවය. පුද්ගලිකව මම ද ඔහුගේ එම අදහස සමඟ එකහෙළාම අනුමත කරන්නේ මෙම කථිකාව තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැක්වූ අදහස් මෙන්ම ඒ සඳහා තරුණ තරුණියන් ද ඇතුළුව සහභාගි වී සිටි පිරිස් ඉතාම සක්‍රීයව දායකත්වය ලබා දෙමින් තම අදහස් ඉදිරිපත් කිරීමට එහිදී ඔවුන් ඉතා උනන්දුවෙන් කටුයුතු කළ බැවිනි.

එබැවින් සමාජ මාධ්‍ය බලය තවදුරටත් නොසලකා හැරිය නොහැකි දෙයක් නොවන බව මේ අනුව ඉතාම හොඳින් ඔප්පු වේ. එය බොහෝ ආපදා අවස්ථාවල රටේ රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා ගොස් මහජන යහපත සඳහා යොදා ගැනීම සිදුවිය. එසේම ඇතැම් සාම්ප්‍රදායික මතධාරීන් සිතා ඉන්නා අන්දමට සමාජ මාධ්‍ය අවකාශය ගැඹුරු මෙන්ම බුද්ධිමය කථිකා සඳහා අවකාශය සපයන ස්ථානයක් නොවන බවට වන මතය ද දැන් යල් පැන ගිය මතයක් බවට පත්වී ඇති බව ද පැවසිය යුතුය. මන්ද යත් රටේ ඕනෑම ප්‍රතිසංස්කරණයක්, ප්‍රතිපත්තිමය ඇති කිරීමක් ඇතුළුව ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඉතා පුළුල් , ගැඹුරු හා බුද්ධිමය සංවාද ගොඩනැංවී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අර්බුදය සම්බන්ධයෙන් පවා ඉතාමත් තාර්කික මෙන්ම වඩාත් ප්‍රායෝගික හා බුද්ධිමය සංවාද සමාජ මාධ්‍ය අවකාශය තුළ සංවාදයට බඳුන් වෙමින් තිබීම එවැනි බුද්ධිමය කථිකාවන් සඳහා එක් උදාහරණයකි. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ ගොඩනැඟෙන මෙවැනි සංවාද සමාජයේ බොහෝ ප්‍රායෝගික තත්ත්ව පිළිබඳ විග්‍රහ කරමින් බොහෝ ජාත්‍යන්තර තත්ත්ව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඉදිරිපත් වන බව ද පැවසිය හැකිය.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ ගොඩනැඟෙන එම සංවාද ඔස්සේ මෙන්ම ඊයේ පැවති කථිකාව ඇතුළු කථිකාවන් තවදුරටත් සංවිධානය කිරීම තුළින් ද දැන් රටේ සංවර්ධනය සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමට කටයුතු කළ යුතුව තිබේ. ඒවා එසේ කළ හැකි බවත් තරුණ තරුණියන් ඇතුළු බුද්ධිමය මතධාරීන් හා ක්‍රියාකාරීන් ඒවා සඳහා සිය සක්‍රීය දායකත්වය දක්වන බවත් ඔප්පු වී තිබේ. විශේෂයෙන්ම එසේ රට සංවර්ධනයට සමාජ මාධ්‍ය යොදාගැනීමට ක්‍රියාකිරීම ඔස්සේ එක් අතකින් රාජ්‍ය යාන්ත්‍රණයට සංවර්ධන කාර්යයන් සඳහා බලපෑම් ඇති කිරීමට මෙන්ම අනෙක් අතින් රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන හා ධානපතීන් ඇතුළු පාර්ශව වල දායකත්වයෙන් සංවර්ධන කාර්යයන් සඳහා මැදිහත් වීමටත් කටයුතු කළ හැකිය. එබැවින් ඊයේ පැවැත්වූ එම කථිකාව මඟින් නිර්මාණය කළ සංවාද ප්‍රවේශය තවදුරටත් ඉදිරියට ගෙනයමින් රටේ සංවර්ධනයට සමාජ මාධ්‍ය යොදා ගැනීම සඳහා වඩාත් යුහුසුළුව ක්‍රියා කළ යුතු කාලය දැන් එළඹී ඇත.

(ඡායාරූප උපුටා ගන්නා ලද්දේ නාලක ගුණවර්ධන මහතාගේ ට්විටර් ගිණුමෙනි.)

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments