අපේ රටේ ඩෙංගු පිළිබඳ සැබෑ තත්ත්වය හා ජය ගත යුතු අභියෝග

ඩෙංගු රෝගය මේ වන විට මුළු මහත් රටේම අවධානය දිනා ගෙන ඇති ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම දෛනිකව ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙමින් පැවතීමත්, ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයේ රෝහල් තුළ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් මෙම තත්ත්වය රටක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති  අභියෝගයක් ලෙස විවිධ බලපෑම් ඇති කරමින් තිබේ. මෙම තත්ත්වය මෑත කාලීන ඉතිහාසය තුළ මෙරටට මුහුණ පෑමට සිදුවූ බරපතළම සෞඛ්‍ය ගැටළුව වශයෙන් ද පෙන්වා දිය හැකි බැවින් මේ එම ඩෙංගු රෝගයේ පිළිබඳ වර්තමාන තත්ත්වය ද ඇතුළුව ඒ සම්බන්ධ ප්‍රවේශ ගණනාවක් ඇසුරින් තබන සටහනකි.

ඩෙංගු රෝගය පිළිබඳව මෙරට තුළ පළමු වරට විද්‍යාත්මකව තහවුරු වන්නේ 1962 වසරේදී ය. එවිට එනම් 1960 දශකය මුල් භාගයේ දී ඩෙංගු රෝගය වාර්තා වූ රටවල් ගණන 9 ක් වූ අතර එහිදී වාර්ෂිකව රෝගීන් 15,000 ක පමණ ප්‍රමාණයක් එහි දී වාර්තා විය. එහෙත් අද වන විට ලෝකයේ රටවල් 128 ක් පුරා පුද්ගලයින් බිලියන 3.9 කගේ ජීවිත ඩෙංගු වැළඳීමේ අවදානමට ලක්වී ඇත. සංඛ්‍යාත්මකව සැලකීමේ දී එම ප්‍රමාණය බිලියන 7.5 ක් වන ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණකි. එබැවින් මෙම ඩෙංගු රෝගය ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට බලපෑමක් වෙමින් පවතින පැවසිය හැකිවේ.

මෙම වසරේ ජූලි මාසය වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් යැයි සැක කරන රෝගීන් ප්‍රමාණය 93322 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම වසරේ ගතවූ මාස හත තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේ දී වන අතර එම ප්‍රමාණය 22601 කි.  වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ප්‍රතිශතයක් වශයෙන් එය  42.02% ක ප්‍රමාණයකි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්කය කොළඹ වන අතර එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 20472 ක් වේ.

කෙසේ වුවත් සංඛ්‍යාත්මකව මෙතරම් ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් වාර්තා වුව ද එයට සාපේක්ෂව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව අවම අගයක් ගනී. ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන පරිදි මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 269 ක් වේ. එයින් 136 ක් බස්නාහිර පළාතෙන් ද  29 ක් දකුණු පළාතෙන් ද 27 ක් සබරගමුව පළාතෙන් ද 24 ක් නැගෙනහිර පළාතෙන් හා 20 ක් මධ්‍යම පළාතෙන් ද වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව කොතෙක් දැනුවත් කළත් මහජනතාව ඒ සඳහා දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව ඩෙංගු මර්දනය සඳහා විවිධ වැඩසටහන් සඳහා සක්‍රීයව දායකත්වය සපයන රාජ්‍ය නිලධාරීන් වෙතින් චෝදනාවක් ද එල්ල වේ. විශේෂයෙන්ම ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහභාගි වන නිලධාරීන් කිහිපදෙනකුගෙන් මා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා උනන්දුව පිළිබඳ විමසා සිටිමේදී ඔවුන් පවසා සිටියේ බොහෝ පිරිසක් තවමත් ඩෙංගු මර්දනය සඳහා දක්වන දායකත්වය ප්‍රමාණවත් නොවන බවය. එම නිසා රාජ්‍ය නිලධාරීන් කෙතරම් ප්‍රමාණයක් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දුන්නද එම නිලධාරීන් විසින් ලබා දෙන උපදෙස් පිළිපැද ඒවා අනුව කටයුතු කිරීමට ජනතාව නොපෙළඹෙන්නේ නම් ඩෙංගු මර්දනය කිරීම රාජ්‍ය නිලධාරීන්ට පමණක් කළ නොහැකි බව එම නිලධාරීන් විසින් ප්‍රකාශ කර සිටියි.

තව ද ඩෙංගු මර්දන වැඩසටහන්වලදී හෙළිදරව් වූ කරුණු අනුව ජනතාව ඩෙංගු රෝගයෙන් මුදවා ගැනීම සඳහා ඇති ස්ථාන තුළ මෙන්ම ඒ සඳහා කටයුතු කරන නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා බලපෑ හේතු ගණනාවක් අනාවරණය වී තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රධාන දිස්ත්‍රික් රෝහලක් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබුණේ රෝහලේ වැසිකිලියක් තුළ වැසිකිලියට අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා වැසිකිලි ටැංකියක් තුළ බෝවූ මදුරු කීටයන්ගෙනි. ඒ පිළිබඳව එම රෝහලේ කිසිවෙකුගේ අවධානය යොමු නොවී තිබූ අතර ඩෙංගු මර්දන වැඩසටහනක නිලධාරීන් විසින් එම තත්ත්වය අනාවරණය කරගෙන තිබුණි. එසේ භාවිතයට නොගන්නා එවැනි වැසිකිලි ටැංකි තුළ ජලය එක්රැස් වීම රෝහල් වලට මෙන්ම නිවෙස්වලට ද පොදු කාරණයකි.

එසේම ඇතැම් වෛද්‍යවරුන්ගේම නොසැලකිලිමත්කම හේතුවෙන් ද ඩෙංගු ව්‍යාප්ත වීම සඳහා බලපෑ හේතු පිළිබඳව ඩෙංගු මර්දන වැඩසටහන් තුළ දී නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබුණි. එසේ අනාවරණය කර ගනු ලැබූ එක් හේතුවක් වශයෙන් එක් වෛද්‍යවරයෙක් විසින් මිලදී ගෙන තිබූ ඉඩමක් පාළුවට යෑමට ඉඩහැර තිබීම හේතුවෙන් එම ඉඩම මදුරු කීටයන් සඳහා රජදහනක් බවට පත්වී තිබුණි. එම නොසැලකිලිමත්කම එම වෛද්‍යවරයාට පමණක් ආදාළ නොවන අතර ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු පැතිරීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීමක් ඇත.

ඩෙංගු මර්දන නිලධාරීන් පෙන්වා දෙන මෙවැනි තත්ත්ව වලට අමතරව තවමත් මහජනතාව විසින් උනන්දුව දක්වා නොමැති ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා හේතු වී ඇති ඩෙංගු තොටිලි නිර්මාණය වීමට හේතු වී ඇති අවස්ථා කිහිපයක් පිළිබඳව ද සඳහන් කිරීම වැදගත්ය. එනම් ශීතකරණයේ පසුපස ජලය එක්රැස් වීම සඳහා ඇති කොටස, වැහි පිහිලි, රම්පේ පඳුරු සහ අලංකරණය සඳහා සිටුවා ඇති ගස් වර්ග මෙන්ම නිවසින් පිටත භාවිතයට නොගන්නා වැසිකිලි තුළ ද මදුරු කීටයන් බෝවීම සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය වීමට ඉඩ ඇති අතර එවැනි ස්ථාන ගණනාවකින් ඩෙංගු මර්දන වැඩසටහන් තුළ දී  මදුරු කීටයන් සොයාගෙන තිබුණි.

එවැනි ඩෙංගු තොටිලි විනාශ කිරීමට මෙන්ම උගුල් ඇටවීම නමින් හඳුන්වන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද ඩෙංගු මර්දන වැඩසටහන් තුළ දී උපදෙස් දෙනු ලැබේ. විශේෂයෙන්ම මෙම උගුල් ඇටවීම නැමති ක්‍රමය තුළදී මදුරුවන්ට කීටයන් බිහි කිරීම සඳහා ඉඩකඩ සලසා දී දින තුනකට පසු එම කීටයන් විනාශ කිරීමට කටයුතු කළ යුතු වේ.

අපේ රටේ මෙම ඩෙංගු මර්දන වැඩසටහන් වල තත්ත්වය පිළිබඳව විමසා බැලීමේ දී ලෝකයේ වෙනත් රටවල් ඩෙංගු උවදුර ජයගැනීම සඳහා කටයුතු කළ ආකාරය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ අනුව ඩෙංගු රෝගය සැලකිය යුතු මට්ටමකින් ජයගත් කියුබාව ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව මෙසේ අවධානය යොමු කළ හැකිය.

මෑත ඉතිහාසයේ දී කියුබාව තුළ මුල් වරට ඩෙංගු රෝගය වාර්තා වීම 1977 -1978 වර්ෂවලදී සිදුවූ අතර එම වසරවලදී එරටේ එම රෝගයට ගොදුරු වූ ප්‍රමාණය 500,000 ක් පමණ විය. මෙම කාලයේ දී කියුබාව සම්බාධක වලට ද මුහුණ දී සිටි රටක් වුවත් ඔවුන්ගේ කැපවීම තුළ වසර කිහිපයක් තුළ ඩෙංගු තුරන් කිරීමට ඔවුන්ට හැකිවිය. ඒ අනුව රෝහල්වලට අමතරව පාසල් පවා තාවකාලික රෝහල් බවට පත්කර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රජය ක්‍රියා කළ අතර රෝගීන් හඳුනාගැනීමට හා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකසා ඒවා අනුව කටයුතු කිරීමට පහසුකම් සැලසීය. විශේෂයෙන්ම රෝගීන් සොයා රෝහල්වලට ඇතුළත් කළ පසු ඔවුන්ව මදුරුවන්ගේ දෂ්ඨනවලට ලක් නොවන ලෙස තබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ ඔවුන් වෙතින් මදුරුවන් මාර්ගයෙන් රෝගය වෙනත් පුද්ගලයින්ට පැතිරීම වැළැක්වීම පිණිසය.

එසේ වසංගත තත්ත්වය පාලනය කළ පසු ඩෙංගු රෝගයේ වාහකයා වන මදුරුවන් මර්දනය සඳහා කටයුතු කිරීමට ද කියුබාව ක්‍රියා කළ අතර මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට ද කටයුතු කළේය. ඩෙංගු මර්දනය සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීම තුළින් නැවත ඩෙංගු වලට හිස එසවීමට එරෙහිව කටයුතු කරන ලදි. එසේම නැවතත් ඩෙංගු රෝගය හිස එසවුවහොත් එම තත්ත්වය මුලින්ම හඳුනාගැනීමේ අරමුණ සහිතව සියලු උණ රෝගීන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ආවේක්ෂණ (Surveillance) ක්‍රමවේදයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන ලදි.

මෙසේ කියුබාව ඩෙංගු රෝගය මැඩලීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් 1977 -1978 වර්ෂවල පැතිරුණු ඩෙංගු වසංගතයේ අවසාන රෝගියා වාර්තා වූයේ 1981 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තව ද අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇමරිකානු කලාපයේ වෙනත් රටවල් 29 ක් තුළ ඩෙංගු රෝගය පැතිර යමින් තිබිය දී 1981 වසරේ සිට 1997 තෙක් වසර 16 ක් තුළ කියුබාවෙන් කිසිදු ඩෙංගු රෝගියෙක් වාර්තා නොවුණි.

කියුබාව මෙසේ ඩෙංගු මැඩලීම සඳහා කටයුතු කළ ආකාරය විමසීමේ දී අපට අවධානය යොමු කළ හැකි කරුණු කිහිපයක් වේ. ඉන් එක් වැදගත් කරුණක් වන්නේ නිවැරදි හා ශක්තිමත් නායකත්වයක් සැපයිය හැකි දේශපාලන නායකත්වයක් පැවතීමය. කියුබාවේ තුළ එම තත්ත්වය මැනවින් දැකිය හැකි විය. එමෙන්ම දීර්ඝ කාලීනව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හෙවත් විශේෂයෙන්ම ඩෙංගු රෝගය නොමැති කාල වලදීත් එම වැඩසටහන් කියුබාවේ ක්‍රියාත්මක විය. ඩෙංගු රෝගය සඳහා ගතයුතු සියළු ක්‍රියාමාර්ග ගැනීමට හා තීරණ ගැනීමට මෙන්ම පාලනය සඳහා එක් මධ්‍යගත මධ්‍යස්ථානයක් ඔස්සේ කටයුතු කිරීම ද කියුබාවේ දක්නට ලැබුණි.

කියුබාවේ ක්‍රියාත්මක කළ මෙවැනි තත්ත්ව හා සැසඳීමේ දී මෙරට තුළ දෛනිකව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුවන තත්ත්ව පාලනය කළ හැකි ක්‍රියාමාර්ග ගණනාවක්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ඇති බව පැවසිය හැකිය. විශේෂයෙන්ම මේ දිනවල රජයේ රෝහල් තුළ රෝගීන් ඔවුන් රෝහලකින් ලැබිය යුතු අවම පහසුකම්වත් නොලබමින් එක ඇඳක අවම වශයෙන් රෝගීන් දෙදෙනෙකුවත් සිටිමින් මෙන්ම ඇතැම් රෝහල් තුළ තවත් බොහෝ රෝගීන් බිම පැදුරුවල හා රෝහලේ බංකු ආදියෙහි හිඳිමින් ප්‍රතිකාර ගැනීමට කටයුතු කිරීම තුළ එක් රෝගියෙකුගෙන් රෝගය තවත් පැතිරීමට ඇති ප්‍රවණතාව ඉතා ඉහළ ගොස් තිබේ. ඒ අතර රෝගීන් බිම නිදා ගන්නා බැවින් හෙදියන්ගේ නිල ඇඳුම වන ගවුම වෙනුවට ඒ සඳහා කලිසම් ඇඳිය යුතු බවට වන අදහසක් සම්බන්ධයෙන් ද පසුගිය දිනවල අසන්නට ලැබුණි.

ඒ අනුව ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙසේ වර්තමානයේ මෙරට තුළ උද්ගත වී ඇති තත්ත්වය තුළ ඒ සඳහා ක්‍රියාත්මක වීමේ ප්‍රමුඛතම වගකීම මහජනතාව සතු වන බව නැවතත් සිහිපත් කළ යුතුය. මහජනතාව ඩෙංගු මර්දනය සඳහා යොමු කරවීම සඳහා ග්‍රාමීය මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එහිදී ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇත. එසේම රජයක් වශයෙන් සියලුම කාර්යයන් නිසි නායකත්වයක් සහිතව මෙහෙයවීම මෙන්ම රෝහල් වල පහසුකම් වැඩි කිරීමට හා රෝහල් වල සිටින රෝගීන්ගෙන් තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේම ඩෙංගු මර්දන වැඩසටහන් ඩෙංගු රෝගය උත්සන්න වූ කාල වලදී පමණක් ක්‍රියාත්මක නොකර ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් හා සැලැස්මක් සකස් කර ක්‍රියාවට නැංවීම ද කළ යුතුය. එවිට ඩෙංගු රෝගය සමඟ සටන් කර ජයගත් රාජ්‍යයන් මෙන් මෙරටින් ද ඩෙංගු රෝගය තුරන් කිරීම අපහසු කරුණක් නොවනු ඇත.

2017.07.20 – අද පුවත්පත

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

 

Comments

comments