සමාජ මාධ්‍ය කියන්නේ රකුසෙක්ද?

සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ උද්ගත වී ඇති ගැටළු ද රාශියකි. එබැවින් මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවන බව පැහැදිලිය. එහෙත් එසේ සිතීම සාධාරණද? එසේත් නැතිනම් සමාජය තුළ පැතිරී ඇත්තේ හුඹස් බියක්ද? මේ එම සමාජ මාධ්‍ය භූමිකාව පිළිබඳ කාලීන තත්ත්වයන් ඇසුරෙන් තබන සටහනකි.

සමාජ මාධ්‍ය ව්‍යාපාර සඳහා මෙවලමක් ලෙස

මහා පරිමාණ ව්‍යාපාරයක සිට ස්වයං රැකියාවක් දක්වා වූ ඕනෑම ව්‍යාපාරයකට අද වන විට සමාජ මාධ්‍ය නැතුවම බැරි මෙවලමක් බවට පත්වී තිබේ. ඒ අනුව වර්තමානයේ දී බොහෝ සාම්ප්‍රදායික ක්‍රම වලට ව්‍යාපාර කටයුතු සිදු කළ ව්‍යාපාර පවා සමාජ මාධ්‍ය ව්‍යාපාරික මෙවලමක් වශයෙන් භාවිත කරන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එහිදී මහා පරිමාණ ව්‍යාපාර මුදල් ගෙවා සමාජ මාධ්‍ය තුළ තම වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ දී සුළු ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින් නොමිලේ තම ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රචාරණය සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගැනීම සිදු කරයි. උදාහරණ වශයෙන් පවසන්නේ නම් මහා පරිමාණව ඉදිකිරීම් කටයුතු වල නියැලෙන සමාගමක් මුදල් ගෙවමින් තම ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රචාරණය සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගැනීම මෙන්ම තනි පුද්ගලයෙකු විසින් සුළු පරිමාණව පවත්වාගෙන යන ඉදිකිරීම් කටයුතු කිරීමේ ව්‍යාපාරයක් නොමිලේ සමාජ මාධ්‍ය තුළ සිය ප්‍රචාරණය සිදු කරයි. එසේම මෑත කාලයේ වඩාත් ජනප්‍රිය ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වන රූපලාවන්‍ය කටයුතු කිරීමේ ව්‍යාපාර වල රූපලාවන්‍ය මධ්‍යස්ථාන ජාලයක් විවිධ ප්‍රදේශ වල පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ සමාගමක් විසින් සිය ප්‍රචාරණය මුදල් ගෙවමින් වැඩි ග්‍රාහකයින් පිරිසක් අතරට ගෙන යාමේදී ස්වයං රැකියාවක් වශයෙන් රූපලාවන්‍ය කටයුතු වල නියැලෙන පුද්ගලයෙකු නොමිලේ සමාජ මාධ්‍ය අවකාශවය සිය ප්‍රචාරණයට යොදා ගනු ලබයි. එසේ වර්තමානය තුළ එලෙස ව්‍යාපාරික අවස්ථා පුළුල් කර ගැනීමේ මෙවලමක් වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින අතර එය සමාජ මාධ්‍ය භාවිතය ඉතා ඵලදායී අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් දැක්විය හැකි එක් අවස්ථාවකි.

පුද්ගලයින් සමීප කිරීමේ හා දුරස් කිරීමේ මෙවලමක් ලෙස

සමාජ මාධ්‍ය භාවිතය තුළින් පුද්ගලයින් අතර ඇතිවන සම්බන්ධතා වඩාත් පුළුල් වන බව බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන මෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී යොදා ගනු ලබන ජනප්‍රියතම කතිකාවයි. එය සත්‍යයක් වුවත් එයට නොදෙවෙනි වන අන්දමින් සමාජ මාධ්‍ය විසින් පුද්ගල සම්බන්ධතා දුරස් කරමින් ඉන්නා බවත් අකමැත්තෙන් වුවත් පැවසීමට සිදුවී තිබේ. එය සිදු වන්නේ ද පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ ලබා දී ඇති පහසුකම් භාවිතයෙනි. මෙම තත්ත්වය එක් නිදසුනක් ඇසුරින් මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් කණ්ඩායම් නිර්මාණය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී ඇති පහසුකම් තුළ විවිධ ජනවර්ග, විවිධ ආගම්, විවිධ හේතු, ප්‍රදේශ, අධ්‍යාපන ආයතන ආදිය පදනම් කර ගනිමින් කණ්ඩායම් නිර්මාණය කර ගෙන තිබේ. අනතුරුව එසේ නිර්මාණය කරගත් කණ්ඩායම් තුළින් සමාජය තුළ දී අප හෙළා දැකිය යුතු වන බව පවසන විවිධ පිටු දැකිය යුතු මානසික තත්ත්ව ඇති කිරීම සඳහා බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව ජාතිවාදය, ආගම්වාදය, ප්‍රදේශවාදය, පාසල් වාදය වැනි තත්ත්ව සමාජ මාධ්‍ය තුළින් පතුරවයි.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ එසේ කණ්ඩායම් ගත වීම සමාජ සත්ක්‍රියා ගණනාවකමට අවස්ථාව සැලසුණ බවත් සිහිපත් කළ යුතුය. එනම් මෑතකදී ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වය තුළ ආධාර එක්රැස් කිරීමේ හා ඒවා කළමණාකරණය කිරීමේ කාර්යයේ පෙරමුණ ගෙන කටයුතු කළේ සමාජ මාධ්‍ය අවකාශයේ ක්‍රියාකාරීන්ය. එසේම පියාට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි වූ සාවද්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් යාම අහිමි වූ කුලියාපිටිය දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙන්නේ එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සමාජ මාධ්‍ය අවකාශය තුළ පවත්වාගෙන යනු ලැබූ කණ්ඩායම හෙවත් සමූහය තුළ ඔවුන් විසින් සිදු කළ සංවාදය හේතුවෙනි. මෙවැනි මෑත කාලීන උදාහරණ ගණනාවක් සමාජ මාධ්‍ය අවකාශය යහපත් අන්දමින් භාවිතා කළ අවස්ථා සඳහා උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකි වන නමුත් සමාජ මාධ්‍ය අවකාශය අවභාවිතා කරමින් සමාජ විරෝධීව හැසිරෙන තත්ත්වයන් වල දෛනික වැඩිවීමක් මිස අවම වීමක් සිදු නොවන බව ද පැවසිය යුතුය.

සමාජ මත පැතිරවීමේ මෙවලමක් ලෙස

සමාජ මාධ්‍ය පිළිබඳව අවධානය කිරීමේදී  සමාජ මාධ්‍ය වලට එරෙහිව එල්ල වී ඇති ප්‍රබලතම චෝදනාවක් වන්නේ එය සමාජ දුර්මත ඇති කිරීමේ මෙවලමක් ලෙස භාවිත වන බවය. මෙවැනි තත්ත්ව සඳහා ද නිදසුන් ගණනාවක් මෑත කාලීන පෙන්වා දිය හැකිය. ඒ අනුව පසුගිය දිනවලදී අසන්නට ලැබුණු “රබර් හාල්” නැමැති හාල් සම්බන්ධයෙන් වන සාවද්‍ය තොරතුරක් පැතිරවීම පිළිබඳ සිදුවීම හා  නිවසට පැමිණ නොමිලේ ලේ පරික්ෂා කර දෙන පවසා එච්.අයි.වී වෛරසය ශරීර ගත කරන බවට වන සාවද්‍ය තොරතුර ආදිය මෑත කාලීනව එසේ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් වශයෙන් ප්‍රචාරයට ලක්වී සමාජ කතිකාවන් නිර්මාණය වූ සාවද්‍ය මත ප්‍රචාරය කිරීම සම්බන්ධ සිදුවීම්ය. මෙවැනි තත්ත්ව වලට අමතරව ජනප්‍රිය පුද්ගලයින් එනම් ක්‍රීඩකයින්, නළුනිළියන්, ගායක ගායිකාවන්, මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් වන ප්‍රචාරද සමාජ මාධ්‍ය අවකාශය තුළ ඉතා පුළුල් අන්දමින් ප්‍රචාරයට ලක්වේ. කවරෙකු විසින් හෝ වගකීමකින් තොරව සමාජ මාධ්‍ය අවකාශයට මුදා හරින තොරතුරක් ක්ෂණිකව පුද්ගලයින් අතර බෙදා ගැනීම ඔස්සේ එය සමාජයේ කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වේ. එසේ වීම ඇතැම් විට අදාළ පුද්ලයාගේ කීර්තියට පවා හානිකර විය හැකිය. ඉකුත් ගංවතුර ආපදා සමයේ දී වාර්තා වූ එවැනි සිදුවීමක් වන්නේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නමින් කෙසෙල්ගෙඩි පාර්සලයක් අවතැන් වූ ජනතාවට බෙදීම සඳහා සකස් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය අවකාශයේ හුවමාරු වීමය. පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එයට සම්බන්ධ පුද්ගයින් හඳුනාගත් බවට ද වාර්තා විය. මෙවැනි සිදුවීම් ගණනාවක් සමාජ මාධ්‍ය අවකාශය තුළ සිදුවෙමින් පැවතියත් ඒවායේ සුලමුල සෙවීමට කටයුතු කරන්නේ සිදුවීම් අතළොස්සක පමණි.

මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය මත ප්‍රචාරය කරනවා සේම පුද්ගල මත සංවිධානය කිරීම සඳහා ද සමාජ මාධ්‍ය ඉතා බහුල වශයෙන් යොදා ගැනීම පිළිබඳ දේශීය සිදුවීම් මෙන්ම ජාත්‍යන්තර සිදුවීම් ද වාර්තා විය. ඒ අතරින් ජාත්‍යන්තරය තුළ ප්‍රමුඛ අවධානයක් යොමුවූ සිදුවීම වන්නේ අරාබි වසන්තය නැමැති බල පෙරළියයි. එහිදී ඒකාධිපති රාජ්‍ය නායකයින්ට විරුද්ධව ජනයා සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ සංවිධානය වූ බව අරාබි වසන්තය තුළ දී අසන්නට ලැබුණු ප්‍රධානතම කරුණයි. ඒ අනුව පුද්ගලයින් එසේ අන්තර්ජාලය මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වී සමාජ විප්ලව සඳහා කටයුතු කිරීම “සයිබර් විප්ලව” නැමැති නව පාරිභාෂික යෙදුමෙන් හඳුන්වනු ලබයි.

අරාබි වසන්තය නැමැති මෙම මහජන නැගිටීම ආරම්භ වන්නේ 2010 වසර අගභාගයේ ටියුනීසියාව තුළිනි. එහිදී රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ ක්‍රියා වලට විරුද්ධව නැගී සිටි මහජනයා උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් එරට ජනාධිපතිවරයාට ද ධූරයෙන් ඉවත් වීමට සිදු වන අතර ටියුනීසියාවේ මෙම මහජන නැගිටීම සඳහා බලපෑ ආසන්නතම සිදුවීම වශයෙන් වාර්තා වූයේ පළතුරු වෙළෙන්දෙක් විසින් තමාට පොලීසියෙන් සාධාරණය ඉටු නොවූ බව ප්‍රකාශ කර ගනිමින් ගිනිතබා ගැනීමය. මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් අන්දමින් ප්‍රචාරය වීම තුළ එය ජාත්‍යන්තර වශයෙන් ද අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත්විය. අනතුරුව ඊජිප්තුව, ලිබියාව හා යේමනයට තුළ ද මෙසේ මහජන නැගිටීම් සිදුවන අතර එසේ එය අරාබි කලාපයම කැළඹූ සමාජ සංසිද්ධියක් බවට පත්වේ.

ඊජිප්තුව තුළ මෙය එරට සරසවි සිසුන්ගේ හා සෙසු සමාජ ක්‍රියාකාරීන්ගේ නායකත්වය ඔස්සේ සිදුවන අතර එය වැළැක්වීම පිණිස මුබාරක් රජය විසින් ඊජිප්තුව ගෝලීය අන්තර්ජාල සබඳතා වලින් කපා හැරීමට ද කටයුතු කළේ මෙම මහජන නැගිටීම් ඉතා ශක්තිමත්ව සංවිධානය වීම සඳහා සමාජ මාධ්‍ය අවකාශය ඉතා පුළුල් අන්දමින් භාවිත වීමය. ලිබියාව තුළ මෙය සිදුවන්නේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළින් ගඩාෆිගේ සැබෑ නිරුවත හෙළිවීම නිසා ගඩාෆි ඒවා කෙරෙහි දැක්වූ බිය හා වෛරය පිළිබඳ කාටුන් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වීමෙනි.

මෙසේ අරාබි රාජ්‍යයන් පුරා ජනමතය සංවිධානය වීම ආදර්ශයක් බවට පත්කර ගනිමින් ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී මෙරට තුළ ජනමතය සංවිධානය වූ අවස්ථාවක් වාර්තා විය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තෙවන වරට ජනපති අසුනට වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ව්‍යාපාරයයි. එය දේදුනු විප්ලවය නමින් හඳුන්වා දී තිබුණි. ඒ අනුව මෙවැනි සිදුවීම් ගණනාවක් ඔස්සේ සමාජ මාධ්‍ය සමාජ මත පැතිරවීමේ මෙවලමක් වශයෙන් භාවිත වේ.

මෙසේ සැලකීමේ දී සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සමාජයේ විවිධ පිරිස් විසින් මවා ඇති භීතිකාව සත්‍යයක් නොවන බව පැවසිය හැකිවේ. එසේ වුවත් එය භාවිතා කරන ආකාරය අනුව එය යහපත් දේ සඳහා මෙන්ම අයහපත් දේ සඳහා ද යෙදවිය හැකි බව පෙන්වා දිය හැකිය. කෙසේ වුවත් සමාජ මාධ්‍ය සමාජ අයහපත සඳහා භාවිත නොකරමින් එය සමාජ සුබසිද්ධිය සඳහා පමණක් යොදා ගැනීමට අප විසින් කටයුතු කළ යුතුය.

2017.07.21 – අද පුවත්පත

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments