සරුංගල් එක්ක බැඳුණු මගේ අත්දැකීම්

ඔන්න ඉතින් ආයෙත් හිතුවක්කාර සිතුවිලි වලට ලියන්න හිතුණා. අද මට මේ සටහන ලියන්න ඕනෙ කියලා හිතුණෙ අපෙ ළමා කාලයයි දැන් ළමයින්ගෙ ළමා කාලයයි අතර තියෙන පරතරය කොච්චරද කියලා හිතුණම. මොකද අපි ළමා කාලෙදි අත්විඳපු ගොඩක් අත්දැකීම් අද ළමයින්ගෙ ලෝක වලින් ඈත් වෙලා. කොටින්ම කිව්වොත් එහෙම දේවල් තිබුණ ද කියලාවත් දන්නෙ නැති තරමට ළමයි ඒ දේවල් වලින් ඈත් වෙලා. ඈත් වෙලා කිව්වට කියන්න ඕනි හරිම විදිහ තමා ළමයි ඒ දේවල් වලින් ඈත් කරලා කියන එක. ඉතින් ඒ විදිහට දැන් සමහර ළමයි දන්නෙවත් නැති දෙයක් තමා මේ සරුංගල් යවනවා කියන දේ. ඒ නිසාම මගේ ළමා කාලෙදි මං ලබපු සුන්දර අත්දැකීමුත් එක්ක ළමා කාලෙදි මං ගොඩක් ආශා කරපු සරුංගල් යැවීම ගැන මගේ නිදහස් සිතුවිලි අවකාශයට මෙහෙම ලියන්න හිතුණා.

මගේ ඒ සරුංගල් ගැන අත්දැකීම් කියන්න කලින් ඒ කාරණයටම අදාළ වෙන තවත් දෙයක් ගැනත් කියලා ඉන්න එක වැදගත් කියලා හිතුණා. ඒ තමා දැන් ළමයි මේ වගේ සුන්දර, ඒ වගේම මුළු ජීවිත කාලෙටම අමතක නොවන, විශේෂයෙන්ම පරිසරයත් එක්ක ගනුදෙනු කරන අත්දැකීම් වලින් ඈත් වුණේ ඇයි කියන කාරණය. ඇත්තටම ඒකට හේතුව විදිහට මම නම් දකින්නෙ අද කාලේ ළමයි මේ අලුත් තාක්ෂණයත් එක්ක ඒ කියන්නෙ අන්තර්ජාලෙයි පරිගණකයි ජංගම දුරකථනයි වගේ දේවල් එක්ක තියෙන ඇයිහොඳැයිය වැඩි වීම. ඒක එහෙම වෙන්න බලපාපු එක කාරණයක් තමා ඒ ළමයි මේ ලෝකෙ එළිය දකින්නෙ ඒ වගේ තාක්ෂණික දේවල් වලින් මේ සමාජය සන්නද්ධ වෙලා ඉන්න කාලයක. මං මේ කියන කතාව තවදුරටත් මට මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්.

ඒ තමා මං විශ්වාස කරන විදිහට මං ඇතුළු මගේ සමකාලීන පරම්පරාව අයිති වෙන්නෙ අලුත් තාක්ෂණික මෙවලම් වල බලපෑම අතරමැදි විදිහට ලැබුණු පරම්පරාවට. ඒ කියන්නෙ අපිට කලින් අපේ දෙමව්පියන්ගෙ පරම්පරාව අයිති වෙන්නෙ තාක්ෂණයේ බලපෑම අඩුවෙන් ලැබුණු පරම්පරාවට. අපිට පස්සෙ ඉපදුණු පරම්පරාව ඒ කියන්නෙ දැන් ළමයින්ගෙ පරම්පරාව අයිති වෙන්නෙ තාක්ෂණයේ බලපෑම වැඩියෙන් ලැබුණු පරම්පරාවට. එහෙම ගත්තම මං නියෝජනය කරන මම ඇතුළු මගේ සමකාලීන පරම්පරාව කියන්නෙ ඒ අන්ත දෙකටම අතරමැදි විදිහට බලපෑමට ලක්වුණු පරම්පරාවට. මොකද අපි ඉපදෙනකොට දැන් බහුලව භාවිතා වෙන සමහර තාක්ෂණික දේවල් ලෝකෙට ඇවිල්ලා තිබුණෙම නෑ. ඒ කියන්නෙ සුහුරු ජංගම දුරකථන එහෙමත් නැත්තම් අපි ස්මාර්ට්ෆොන් කියන ඒවා එහෙම ඒ කාලෙ තිබුණෙ නෑනෙ. පරිගණකයි අන්තර්ජාලයයි වුණත් අපේ රටේ ගොඩක්ම ව්‍යාප්ත වුණේ දෙදාහ අවුරුද්දෙන් පස්සෙනෙ. හැබැයි ඉතින් දෙදාහ අවුරුද්දෙන් මෙපිට ඉපදුණු ළමයි නම් ඉපදුණේ එහෙම තාක්ෂණික මෙවලම් බහුල වෙච්ච ලෝකෙක. අන්න ඒ හේතුව හින්දා තමයි ඒ පරම්පරාවෙ අයට අපි අපේ ළමා කාලෙදි විඳපු මේ සරුංගල් යැවීම වගේ දේවල් නුහුරු වෙලා තියෙන්නෙ.

කොහොමින් කොහොම හරි එහෙනම් ඔන්න ඉතින් මං කියන්න පටන් ගත්ත කාරණාවට බහින්නම්. හැබැයි ඉතින් දැන් මං මේ කියපු දේවලුත් කිව්වෙ මං මේ කියන්න හදන දේට ඒ කියන්නෙ සරුංගල් ගැන අත්දැකීම් වලට ඒ දේවල් අදාළ වෙන නිසා. මොකද අපි විඳපු ඒ අත්දැකීම් ගොඩක් සුන්දර විදිහට අපිට දැනෙන්න වගේම අද කාලෙ ළමයින්ට ඒවා නොදැනෙන්නත් දෙමව්පියන් ඒ දේවල් නොදැනෙන විදිහට ළමයි හදපු එකටත් බලපාපු හේතු තියෙන්න ඕනිනෙ. එහෙම හේතු කියද්දි මතක් වුණේ. අද කාලෙ සමහර අම්මලා පොඩි බබාලව නළවන්නෙත් ස්මාට් ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි වීඩියෝ එකක් දාලා බලන්ට දීලනෙ. ඉතින් එහෙම හැදුණු ළමයෙක් වෙලකට බැහැලා කන්දක නැගලා සරුංගයක් යවන අත්දැකීමට කැමති නොවෙන එකත් පුදුමයක් නෙවෙයිනෙ නේද?

කොහොම වුණත් මං ඉපදිලා ඉස්කෝලෙත් උසස්පෙළ පන්තියට වගේ යනකන් ඒ ස්මාට් ෆෝන් ටැබ් වගේ දේවල් නොතිබ්බ නිසා මට නම් සුන්දර ඒ වගේම පරිපූර්ණ ළමා කාලයක් ගතකරන්න ලැබුණා කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ හින්දම සරුංගල් යැවීම කියන අත්දැකීමටත් මං මගෙ ළමා කාලෙදි ගොඩක් ආසා කළා.

මට මතක විදිහට මං පොඩි කාලේ ඉඳන් සරුංගල් වලට ආසා කළත් මගේ අතින්ම සරුංගල් හදලා උඩට යවලා ඒ සතුට අත්විඳින්න පටන් ගත්තෙ ඉස්කෝලෙ හතේදි අටේදි වගේ. ඉස්සෙල්ලාම එහෙම සරුංගල් හැදුවේ ඉරටු කූරු වලින්. ඊට පස්සෙ නම් මට මතක විදිහට ගමේ ඇවිදලා තල් කූරු හොයාගෙන ඇවිත් ඒවා වලිනුත් ටිකක් ලොකු සරුංගල් හැදුවා.

අපේ ගම් පැත්තෙ නම් සරුංගල් යවන්නෙ නොවැම්බර් දෙසැම්බර් වගේ කාල වල. එක එක පැති වල මේ කාලය වෙනස් වෙනවා. ඒ කියන්නෙ ඒ ඒ පැති වලට හුළං වැඩිපුර තියෙන කාලෙ තමයි ළමයි සරුංගල් යවන්නෙ. ඒ නිසා මගේ ගම වෙච්ච මහනුවර දිස්ත්‍රික්කයෙ ගොඩක් ප්‍රසිද්ද ලංකාතිලක විහාරයට ටිකක් මෙහායින් තියෙන යාලේගොඩ කියන ගම පැත්තෙ අපි හුරුවෙලා තිබුණෙ දෙසැම්බර් කාලෙට සරුංගල් යවන්න. ඒ කාලෙට ඉස්කෝලෙ නිවාඩු නිසා අපේ දෙසැම්බර් නිවාඩුව ගොඩක්ම ගත වෙන්නෙ මේ සරුංගල් යවන සෙල්ලමට.

ඇත්තටම අපේ අතින්ම කූරු හොයාගෙන ඇවිත් ඒවා සුද්ද කරලා සරුංගලේ පට්ටම හදලා සව් කොල ගෙනැල්ලා අලවලා උඩට යවන එක දක්වාම ගොඩක් ආසාවෙන් තමා ඒ හැමදේම කළේ. ඒ අත්දැකීම ළමයෙක්ට ගොඩක්ම වැදගත් කියලයි මම නම් හිතන්නෙ. මොකද වත්තක පිටියක වෙලක නියරක ඇවිදලා ඒ ලබන අත්දැකීම කීයටවත් පරිගණකයකින් හරි ස්මාර්ට් ෆෝන් එකකින් හරි ගන්න බෑනෙ. මොකද ළමයින්ගෙ ලෝකෙ සුන්දර වෙන්න එහෙම ස්වභාවික පරිසරයත් එක්ක ගහ කොළත් එක්ක තියෙන ආස්සරය ගොඩක්ම වැදගත් වෙන නිසා. ඒත් අනේ අද ළමයි. ඇටෙන් පොත්තෙන් එළියට එද්දිම උන් ඉල්ලන්නෙ ස්මාර්ට් ෆෝන් ලැප්ටොප්. දෙමව්පියොත් ඉතින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ දේවල් අරන් දෙනවා. ඊට පස්සෙ බණිනවා ළමයා ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉගෙනීම කර ගත්තෙ නෑ කියලා.

කොහොමින් කොහොම හරි ඔන්න සරුංගල් එක්ක ලස්සන වුණු මගේ ළමා කාලෙ ගැන කතාවට මං ආයෙත් එන්නම්. සරුංගල් කාලෙට ගමේ ළමයි ඔක්කොම එකතු වෙන්නෙ ගමේ තියෙන වෙලට. ඒත් ඉතින් මමයි අපේ ගෙවල් ළග හිටපු තව ළමයි කීප දෙනෙකුයි සරුංගල් යවන්න ගියෙ අපේ ගෙවල් වලට පිටිපස්සෙන් තිබ්බ ටිකක් උස කන්දක් උඩට. ඒ කන්ද පුරාම ඉලුක් වැවිලා තිබුණා. ඒ කන්දෙ රෑට එළියට එන වල් ඌරු රංචු වගේම දවල්ට ඉඳලා හිටලා දකින දුඹුරු පාට වල් හාවොත් හිටියා.

මේ කන්ද මුදුනට නැග්ගම වටේට තියෙන හැම කන්දක්ම බොහොම ලස්සනට පේනවා. ඉස්සරහින් තියෙන්නෙ හන්තාන කන්ද. ඒ කන්දෙ සුන්දරත්වය දකින්න නම් අපි මේ සරුංගල් යවන කන්දට යන්නම ඕනි. අමරසිරි මහත්තයා කිව්වට හන්තානට පායන හඳ බලන්න පේරාදෙණිය විස්සවිද්‍යාලෙට යන්න ඕනි කියලා අපි නම් සරුංගල් යවන්න ගිහින් පොඩ්ඩක් කළුවර වෙච්ච දවසට හන්තානට පායපු හඳ සාමාන්‍ය පෙළ ලියන්නත් කලින් දැක්කා. ඇත්තමට මද අඳුරෙ එහෙම හඳ පෑව්වම තියෙන්නෙ වචනෙන් කියන්න බැරි තරමේ ලස්සනක්.

සමහර දවස් වලට මං බොහොම සතුටින් සරුංගලෙත් අරන් කන්ද නැග්ගට ආයෙ බහින්නෙ ටිකක් දුකකින්. ඒ කියන්නෙ සරුංගලේ නූල කැඩිලා ගිහින් සරුංගලේ නැතුව ආයෙ එන්න වෙන දවසට. හැබැයි ඉතින් එහෙම නූල කැඩිලා යද්දි සරුංගලේ පස්සෙ පන්නගෙන අල්ලපු ගම් වලටත් ගියපු අවස්ථා තියෙනවා. මොකද ඇහැට පෙනෙන නොපෙනෙන ගානට අහසට යවපු සරුංගලයක නූල කඩාගෙන යනවා කියන එක හිතට ගොඩක් දුකක් දැනෙන කාරණයක් නිසා. ඒත් ඉතින් එහෙම නූල කැඩිලා තිතක් වගේ වෙනකන් ඈතට සරුංගලේ යද්දි ආයෙ කොහෙ අල්ලන්නද. එහෙම ඉතින් ගිහින් ගොඩක් ඈතක සරුංගලේ පැටලිලා තියෙනවා පොඩිවට පේද්දි කළුවර වෙනකන් ඒක දිහා බලන් ඉඳලා දුකෙන් කන්ද බැහැලා ගෙදර එනවා. ඇවිත් ඊට පහුවෙනිදම තව සරුංගලයක් හදනවා.

ඔහොම ඉතින් සරුංගල් එක්ක ගතවුණු මගේ ළමා කාලෙ අත්දැකීම් ගැන මතකය නම් ගොඩක්ම සුන්දරයි. තාමත් ඒ දේවල් මතක් වෙද්දි ආයෙත් හිතෙන් ඒ කාලෙට ගිහින් ඒ අත්දැකීම් වල මිහිර විඳිනවා. ඇත්තටම බොහොම සැහැල්ලුවෙන් සුන්දර විදිහට ගස් කොළන් හුළං එක්ක ගතවෙච්ච ඒ ළමා කාලයට මං ගොඩක් ආදරේ කරනවා. ඒ කාලෙයි අදයි බලද්දි ලෝකය තාක්ෂණයෙන් කොච්චර ඉස්සරහට ගිහින් තිබුණත් තාක්ෂණය නැතුව අපි ලබපු සතුට ලබා දෙන්න මොන තරම් තාක්ෂණයෙන් ඉහළ වුණත් කිසිම මෙවලමකට නම් හැකියාවක් නෑ. ඒ වගේම මේ සුන්දර මතක සටහන අවසන් කරන්න කලින් තවත් දෙයක් කියන්න ඕනි. ඒ තමා අපි ගමේ ගොඩේ වත්ත පිටියේ ඇවිදලා කූරු හොයලා අපේ අතින්ම කොල අලවලා අහසේ තිතක් වගේ පේනකන් උඩට යවන සරුංගලයකින් ලබන සතුට චීනෙන් ගෙන්නලා පාරවල් අයිනේ තියන් විකුණන සරුංගලයක් සල්ලි දීලා ළමයෙක්ට අරන් දීලා ගෝල් ෆේස් එකට හරි එහෙමත් නැත්තම් වෙන තැනකට හරි ගිහින් ඒ සරුංගලය යවන්න දීලා ඒ ළමයට අපි විඳපු සතුටෙන් දාහෙන් පංගුවක්වත් ලබන්න බැරි බව එහෙම කරන දෙමව්පියො තේරුම් ගන්න ඕනෙ.

කියවපු හැමෝටම ස්තූතියි!

ඊළඟ පෝස්ටුවෙන් හම්බෙමු!

මගේ මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් පහතින් සටහන් කරන්න.
මොකද ඒ අදහස් මට ගොඩක් වටිනවා.
යාළුවනේ, මගේ අලුත්ම ලිපි ගැන දැන ගන්න මගේ Facebook පිටුවට Like කරන්න. නැත්තම් ඔයාලගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments