කොළඹ සරසවිය ස්වාධීන කිරීමෙන් සිසු යහපත සැලසිය හැකි අයුරු ශ්‍රී පාලි මණ්ඩපය ඇසුරින් විග්‍රහයක්

කොළඹ විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්වාධීන ආයතන බවට පත් කරන බවට වන යෝජනාවක් පිළිබඳ දැනට දින කිහිපයකට පෙර කතා බහක් ඇතිවිය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් බ්ලොග් අවකාශය තුළ මෙන්ම සමාජ මාධ්‍ය අවකාශය තුළද යම් යම් සංවාද ඇතිවීම ද සිදු විය. කෙසේ වුවත් මෙම යෝජනාව පිළිබඳව කන වැකුණු සැණින් භූමිතෙල් ගෑවුණු ගැරඬින් සේ කලබලයට පත්ව සිටින පෙරටුගාමීන් සහ ජවිපෙත් ඔවුන් පසුපස යන බොහෝ සරසවි සිසුන් ද මෙම යෝජනාවට එකහෙළාම විරුද්ධ වන බවට කිසිදු තර්කයක් නොමැති අතර මෙම යෝජනාව ඇසුණු සැණින් දැනටමත් ඔවුන් මෙම යෝජනාවට එරෙහිව සිය ඊළඟ දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ඔවුන් එසේ කවර ආකාරයෙන් මෙම යෝජනාවට විරුද්ධ වුවත් සිසුන්ගේ යහපතට හා අධ්‍යාපනයත් සමඟ ඇතිවී ඇති අර්බුද වලට විසඳුමක් වශයෙන් මෙම යෝජනාව යොදා ගත හැකි ආකාරය පිළිබඳ බ්ලොග් හා සමාජ මාධ්‍ය අවකාශය තුළ සංවාදයට ලක්වූ කාරණා මෙන්ම ඒ පිළිබඳ මාගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරමින් මෙම මෙම සටහන තැබීම වැදගත් යැයි සිතුවෙමි.

ඒ පිළිබඳව එක්තරා පුවත්පතක් වාර්තා කර සිටියේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී ඒ පිළිබඳ සාකච්ඡා වූ බව සහ ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පරිපාලන නියෝජිතයෙකු ද සහභාගි වී සිටි බවය. මෙසේ කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ස්වාධීන කිරීමේ මුල් අදියර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කිරීමට නියමිත බවත් එම පුවත්පතේ පළවූ පුවත තුළ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. එසේ එම විශ්වවිද්‍යාල ස්වාධීන කිරීම ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එම විශ්වවිද්‍යාල වල පරිපාලන කාර්යයන් වලින් ඉවත් කර ඒවායේ පරිපාලන කටයුතු ස්වාධීනව කරගෙන යාමට කටයුතු සැලැස්වීම සිදුවුවත් තවදුරටත් සිසුන් බඳවා ගැනීමේ කටයුතු එම කොමිසම හරහා සිදු කිරීමට නියමිත බවද සඳහන් විය. එනම් පරිපාලන ස්වාධීනත්වය සහ මූල්‍ය ස්වාධීනත්වය ඒ ඔස්සේ එම විශ්වවිද්‍යාලවලට හිමිවන බවටත් කරුණු වාර්තා විය.

කෙසේ වුවත් මෙම යෝජනාවත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු ස්වාධීන කළහොත් උපාධි පාඨමාලා විකිණීමෙන් තොරව එම සරසවි පවත්වාගෙන යා නොහැකි වන බවට පදනමක් නොමැති තර්කයක් ද ඇතැමුන් විසින් ඉදිරිපත් කරයි. එම තර්කය ඉදිරිපත් කිරීම සිදු කරන්නේ එක් අතකින් පටු දේශපාලන වාසි පිණිස බව පැවසිය හැකි වුවත් ඔවුන්ගේ එම පදනමක් නොමැති තර්ක ඉහළින්ම පිළිගන්නා ඔවුන්ගේ රූකඩ බවට පත්ව සිටින ඇතැම් සරසවි සිසුන්ද එම දේශපාලන කණ්ඩායම් වල පටු අරමුණු සාධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. එබැවින් පොතක් පතක් නොකියවන, රටක් ලෝකයක් ගැන නොදන්නා ලිං මැඬි මානසිකත්වයෙන් පෙළෙන අතළොස්සකට මෙම සරසවි ස්වාධීන කිරීමේ යෝජනාව මරාගෙන මැරීමට සිතෙන අන්දමේ ලේ රත්කරන ආරංචියක් වුවත් නමට සරසවි සිසුවෙකු හෝ සිසුවියක නොවී විවෘතව ලෝකය දෙස බලන, ලෝකයේ නව දැනුම හා බුද්ධිමය සංවාද සමඟ යාවත්කාලීන වන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමත් යැයි පැවසිය හැකි සිසු සිසුවියන්ට තමන්ගේ නිදහස් බුද්ධිය මෙහෙයවා සිතා බැලිය හැකි මෙන්ම සරසවි පැමිණ ඔවුන්ට දැන් මුහුණ දීමට සිදුවී ඇති ඇතැම් අර්බුද වලට විසඳුමක් වශයෙන් මෙම නව ක්‍රමය යොදා ගත හැකි බවට පෙන්වා දිය හැකි හා විදේශ රටවල් තුළ දැනටමත් සාර්ථකව අත්හදා බලා ක්‍රියාවට නැංවා ඇති ස්වාධීන සරසවි පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙසේ කරුණු ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතුවෙමි.

ඒ අනුව සරසවි ස්වාධීන කිරීමේ මෙම යෝජනාවත් සමඟ උපාධි පාඨමාලා විකිණීමෙන් තොරව සරසවි පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳව බ්ලොග් අවකාශය තුළ මෙන්ම සමාජ මාධ්‍ය අවකාශය තුළද සංවාදයට ලක් වූ අතර එම සංවාද තුළින් මතුවූ කරුණක් වන්නේ පර්යේෂණ තුළින් විශ්වවිද්‍යාල නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් සොයා ගත හැකිය යන කරුණයි. මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා මා අධ්‍යාපනය හැදෑරූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය උදාහරණයට ගෙන මෙසේ පැහැදිලි කළ හැකිය.

එනම් ශ්‍රී පාලි මණ්ඩපය තුළ පවත්වාගෙන යනු ලබන එක් ප්‍රධානතම උපාධි පාඨමාලාවක් වන්නේ ජනමාධ්‍ය පිළිබඳ විශේෂවේදී උපාධි පාඨමාලාවයි. එහිදී රූපවාහිනී මාධ්‍යය, ගුවන්විදුලි මාධ්‍යය,  මුද්‍රිත මාධ්‍යය හා මාධ්‍ය අධ්‍යයනය ආදී විෂය ක්ෂේත්‍රවලට අදාළව විශේෂවේදී උපාධි පිරිනැමීම සිදුවේ. ඒ අනුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් වන මෙම ක්ෂේත්‍රවලට අදාළව ශ්‍රි පාලි මණ්ඩපයේ සිසු සිසුවියන් පර්යේෂණ කටයුතු සඳහා යොමු කරවීමට කටයුතු කළ හැකිය. නිදසුනක් ලෙස දැන් පවත්වාගෙන යනු ලබන රූපවාහිනී නාලිකාවක වැඩසටහන්වල අන්තර්ගතය සමාජයේ යම් යම් පිරිස්වලට බලපෑම් ඇති කරවන ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණයට ලක්කළ හැකිය. එම පර්යේෂණ වලින් එළඹෙන නිගමන ඔස්සේ මහජනතාවට වඩාත් උචිත අන්තර්ගතයන් සහිත වැඩසටහන් ඉදිරිපත් කිරීමට මෙන්ම විශේෂයෙන්ම එම නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ද එම පර්යේෂණ වල ප්‍රතිඵල යොදාගැනීමත් සිදු කළ හැකිය.

එසේම අලුතින් යම් නාලිකාවක් ආරම්භ කිරීමේ දී මෙන්ම යම් නාලිකාවකින් අලුත් වැඩසටහනක් ආරම්භ කිරීමේදීත් ග්‍රාහකයින් වඩාත් රුචිකත්වයක් දක්වන්නේ කවර ආකාරයේ වැඩසටහන් වලටදැයි යන්නත් එම වැඩසටහන්වල අන්තර්ගතය සකස්විය යුතු ආකාරය සම්බන්ධයෙනුත් පර්යේෂණ පැවැත්වීම තුළින් ලබා ගන්නා ප්‍රතිඵල ඔස්සේ කටයුතු කළ හැකිය.

මෙසේ ජනමාධ්‍ය පිළිබඳ ඉහළ මට්මක දැනුමක් සහිත වන ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරණ සිසුසිසුවියන් මාධ්‍ය ආයතන සිය පර්යේෂණ කටයුතු වලට යොදා ගැනීමට කටයුතු කිරීම එක් අතකින් එම ආයතනවලට වාසි දායකය. ඒ සඳහා ඉහළ මිලක් එම පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාලයට ලබාදීමට එම මාධ්‍ය ආයතන පසුබට නොවනු ඇත්තේ එම පර්යේෂණ මාධ්‍ය ආයතනවල දියුණුව සඳහා ඉවහල් කර ගැනීමට කටයුතු කළ හැකි බැවිනි. එසේම ජනමාධ්‍ය හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ රටේ ඉහළම දැනුවත් භාවයක් සහිත තරුණ පිරිස ඒ සඳහා දායක කර ගැනීමට හැකිවීම පිළිබඳව ද මාධ්‍ය ආයතන තෘප්තිමත් වන බව නිසැකය.

සරසවි සිසු සිසුවියන් මෙසේ පර්යේෂණ කාර්යයන් සඳහා යොමු කරවීම විශ්වවිද්‍යාලයට වැදගත්වනවා මෙන්ම එම සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයෙන් පිටවූ විට එකතු වන රැකියා විරහිත පෝළිමට විසඳුමක් ද එම ක්‍රමය ඔස්සේ සලසා ගත හැකිය. එනම් මෙම ක්‍රමය ඔස්සේ මාධ්‍ය ආයතන වල මෙන්ම ඊට සම්බන්ධ වෙනත් ආයතන වල (නිද. වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය කිරීමේ ආයතන) රැකියා සඳහා යොමු වීමට සිසු සිසුවියන්ට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම ක්‍රමවේදය වර්තමාන රැකියා අර්බුදය සඳහා පිළියමක් වශයෙන් ද සාර්ථකව අනුගමනය කළ හැකිය.

මේ විශ්වවිද්‍යාල ස්වාධීන කර පාඨමාලා විකිණීමෙන් තොරව එම ආයතන සිසුන්ගේ යහපතට ද හේතු වන අයුරින් පවත්වාගෙන යා හැකි එක් ක්‍රමයකි. එසේම ඒ සඳහා කටයුතු කළ හැකි තවත් ක්‍රමයක් ද මෙසේ යෝජනා කළ හැකිය.

එනම් ග්‍රන්ථ රචනා කිරීමට සරසවි සිසුන් දිරි ගන්වා එසේ ප්‍රකාශයට පත් කරන ග්‍රන්ථ අලෙවි කිරීමෙන් එම ආදායම සරසවියට ලබා ගැනීමටත් ඉන් කොටසක් අදාළ සිසුන්ට ලබා දීමටත් කටයුතු කළ හැකිය. මෙම ක්‍රියාවලිය ද නිදසුනක් ඇසුරෙන් විස්තර කරන්නේ නම් ජනමාධ්‍ය අධ්‍යාපනයට අදාළව යාවත්කාලීන වන දැනුම, ලෝකයේ නව ප්‍රවණතා මෙන්ම වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරිත්වය විශ්ලේෂණයට ලක් කිරීම ආදිය සම්බන්ධයෙන් ග්‍රන්ථ වැඩි වශයෙන් රචනා වීමේ අවශ්‍යතාවයක් ඇත. එබැවින් ඒ සඳහා සරසවි සිසු සිසුවියන් යොමු කර ග්‍රන්ථ ප්‍රකාශයට පත්කිරීම විශ්විද්‍යාලය මැදිහත් වීමෙන් විශ්විද්‍යාල ප්‍රකාශන වශයෙන් නිකුත් කිරීම සිදු කළ හැකිය. එය එක් අතකින් ජනමාධ්‍ය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නොලබා ග්‍රන්ථකරණයේ නියැලෙන පුද්ගලයින් විසින් සමාජ ගත කරන විධිමත් නොවන ප්‍රකාශන වලට පිළිතුරක් වශයෙන් ද ඉදිරිපත් කළ හැකිවේ. එසේම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා අවශ්‍ය වන දැනුමේ සිට ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා මෙන්ම උපාධි පාඨමාලා සඳහා අවශ්‍ය වන දැනුම දක්වා පුළුල් පරාසයක විහිදුණු ග්‍රන්ථ ඒ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම කළ හැකිය. එමෙන්ම මෙසේ ග්‍රන්ථ එළිදැක්වීම සඳහා සරසවි ආචාර්යවරුන් වැඩි වශයෙන් යොමු කීරීම ද මෙහි දී වැදගත් වන බව සඳහන් කළ යුතුය.

මෙසේ සරසවි ස්වාධීන ආයතන වශයෙන් පවත්වාගෙන යාමේ දී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් සම්බන්ධයෙන් මම විසින් මෙහි දී අවධානය යොමු කළෙමි. මෙවැනි ඕනෑම සාධනීය තත්ත්වයක් දෙස වපර ඇසින් බලා ඒවා ක්‍රියාත්මක නොකිරීමට අකුල් හෙලීම හා ඒවාට එරෙහිව සරසවි සිසුන් උසි ගැන්වීම තම වෘත්තිය බවට පත් කරගෙන කටයුතු කරන ජවිපෙ හා පෙරටුගාමීන්ට මෙය තවත් සයිටමයක් බිහිකිරීම සඳහා වන යෝජනාවක් යැයි පැවසිය හැකිය. එනම් ඔවුන් සරසවි සිසුන්ගේ විමුක්තිදායකයින් ලෙස පෙනී සිටිය ද ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ රාජ්‍ය සරසවි තුළ අර්බුද වැඩි කරමින් සිසුන් දිනපතා මහමඟ රස්තියාදු කරමින් වසර හතරේ උපාධිය වසර හයක් හතක් දක්වා දීර්ඝ වන අයුරින් කටයුතු කිරීමය. මන්ද යත් සරසවි තුළ සිසුන් අධ්‍යාපනය ලැබීමේ දී විශ්වවිද්‍යාල දියුණු වී සිසුන්ගේ අර්බුද විසඳුණහොත් හා සරසවි වලින් සිසුන් පිටවන විටම ඔවුන්ට රැකියා ලැබුණොත් තම පටු දේශපාලන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා සරසවි සිසුන් අතකොළුවක් බවට පත් කර ගැනීමට ජවිපෙට හා පෙරටුගාමීන්ට නොහැකි වන බැවිනි.

එම නිසා ඔවුන් දැනටමත් විශ්වවිද්‍යාල මෙසේ ස්වාධීන කිරීමේ යෝජනාවට එරෙහිව ඔවුන්ගේ ඊළඟ දේශපාලන ව්‍යාපාරය සැලසුම් කර ඇති අතර ඒවායේ ආරම්භක සංඥා ද විවිධ මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීමටත් ඔවුන් දැනටමත් කටයුතු කර ඇත. ඔවුන්ගේ එම බංකොලොත් ව්‍යාපාරයට සහාය දැක්වීමට ඊළඟ මොහොතේදී ළිං මැඬි මානසිකත්වයෙන් පසුවන සරසවි සිසුන් පෙළ  ගැසෙනු ඇත. එහෙත් එක තැන පල් වෙන අපේ රට අධ්‍යාපනයෙන් සංවර්ධනය කිරීම සඳහා මෙවැනි ඉදිරිගාමී වැඩපිලිවෙළවල් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. මෙවැනි තත්ත්ව ඔස්සේ උපාධි සහතිකය හුදු කඩදාසියක් බවට පත්වී ඇති සංස්කෘතිය පිටු දැකීමෙන් පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධ වෙමින් යාවත්කාලීන වන රැකියා වෙළෙඳපොළට ගැළපෙන දැනුමෙන් මෙන්ම අත්දැකීම්වලින් ද සන්නද්ධ උපාධීදාරීන් බිහිකර ගැනීමට අප දැන්වත් පියවර තැබිය යුතුය. මෙම සරසවි ස්වාධීන කිරීමේ යෝජනාව ඒ සඳහා භාවිත කළ හැකි වටිනා අවස්ථාවක් බව සඳහන් කළ යුතුය.

එසේම ජවිපෙ හා පෙරටුගාමීන් උඩ පැන්න පමණින් ඔවුන්ට තවදුරටත් අපේ රට අගාධය කරා රැගෙන යාමට ඉඩ දිය යුතුදැයි ප්‍රගතිශීලී බුද්ධිමතුන් දැන්වත් සිතා බැලිය යුතුය. මන්ද යත් අධ්‍යාපනය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ගෙන එන කවර යෝජනාවක් වුවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය යැයි ලේබල් අලවා කුණු පෙට්ටියට තල්ලු කිරීම තුළ හැමදාමත් සරසවි සිසුන් පාරවල් වල හන්දිගානේ රස්තියාදු වන්නන් බවට පත්වනු නියතය. ඔවුන් දිනපතා කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන්පොලු පහරවල් කමින් මාධ්‍යවලට සිරස්තල සපයන කණ්ඩායමක් වනු ඇත. එසේම උපාධිය ලැබීමට සරසවි පැමිණ අට්ටාල ගානේ මදුරුවන් තලමින් කාලකන්නි වන පිරිසක් බවට පත්වනු ඇත. එබැවින් මෙම තත්ත්වය දැන්වත් වෙනස් කිරීම සඳහා පෙරමුණ ගත යුතුය. ඒ සඳහා අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලය හෙවත් අන්තරය තහනම් සංවිධානයක් බවට පත්කර හෝ එම වෙනස සිදු කිරීම ආරම්භ කළ යුතුය. එසේ නොවුණහොත් මහජනතාවගෙන් බැණුම් අසමින්, පාරේ ගුටිකමින්, අපරාධකරුවන් සේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙමින් අධ්‍යාපනය ලැබීම අමතක කර පුවත් මවන්නන් පිරිසක් බවට පත්වී සිටින සරසවි සිසුන් මෙරටින් පිටුවහල් කළ යුතු සමාජ කොට්ඨාශයක් බවට පත් වන දිනය වැඩි ඈතක නොවන බව සඳහන් කළ යුතුය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

One comment

  1. Lot of people know this is good right thing to do. But lack of courage in part of Government (because of protest), Uni staff (too hard) , Other (afraid of unknown) will stop going to this direction.

    Keep writing about this…

Please comment using your facebook account.