එන්න… ලබන 20 වනදා බොක්ස් එකකට යමු!

චාලක රණසූරිය නව පරපුරේ දක්ෂ වේදිකා නාට්‍යකරුවෙකි. අවස්ථා ගණනාවකදීම සිය වේදිකා නිර්මාණ ඔස්සේ පේ‍්‍රක්ෂක හා විචාරක අවධානය තමා වෙත නතු කර ගන්නට සමත් වූ චාලක ඔහුගේ කලා දිවියේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් එළඹෙන අගෝස්තු 20 වන දින සනිටුහන් කිරීමට සැරසේ. එම උත්සාහය එක් අතකින් වේදිකා නාට්‍ය පේ‍්‍රක්ෂකයින්ට සුවිශේෂී අත්දැකීමකි. එසේම තවත් අතකින් එය සාහිත්‍යකාමී පාඨකයින්ට වැදගත් වන අවස්ථාවකි. එබැවින් මෙම සටහන චාලකගේ එම සුවිශේෂී උත්සාහය පිළිබද තබන සටහනකි.

වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් පේ‍්‍රක්ෂක මනස නැවුම් මානයන්ට රැගෙන යාමට සමත් වූ චාලක වර්තමාන නව පරපුරේ නාට්‍යකරුවන් අතර සුවිශේෂී නමක් දිනාගෙන සිටින්නෙකි. ඒ එක්තරා අතකින් චාලක විසින් සිය වේදිකා නාට්‍ය සදහා තෝරා ගන්නා ලද වස්තු විෂයන් සමාජය තුළ අනන්තවත් අත්දකින්නට හැකි එහෙත් කිසිවෙකුත් ඒවා සම්බන්ධයෙන් විවෘතව කතා කරන්නට නොපෙළඹෙන නිසා යැයි මට සිතේ. මන්ද යත් ඔහුගේ සෑම නාට්‍ය නිර්මාණයක් තුළම පාහේ සමාජය විසින් සාධු සම්මත දෘෂ්ටි කෝණයෙන් බලා බැහැර කරන ලද චර්යාවන් අභියෝගයට ලක් කර ඇති නිසාවෙනි. එය නාට්‍යකරුවෙකු වශයෙන් චාලක තමන් තුළ ඇති කර ගන්නා ලද කැරැල්ල සමාජ ගත කිරීමකි. එම සමාජ කැරැල්ල තුළින් චාලක විසින් ප‍්‍රසිද්ධ වේදිකාව තුළ ඉදිරිපත් කරන එදිනෙදා සමාජයේ දී අපට අසන්නට දකින්නට ලැබෙන එහෙත් එවැනි දෑ සිදු නොවන අන්දමට පේ‍්‍රක්ෂකයින් වශයෙන් අප ජීවත් වෙමින් සිටීම පිළිබද දෙබිඩි මානසිකත්වය අපගේ ඇස් ඉදිරිපිට නිරුවත් කරයි.

නිදසුනක් වශයෙන් චාලකගේ ඉතා ජනප‍්‍රියත්වයට පත්වූ කෙටි නාට්‍යයක් වන බොක්ස් පිළිබද අවධානය යොමු කරමු. පාසල් වියේ දී පේ‍්‍රම සබදතා පවත්වාගෙන යන ටියුෂන් පන්තිවල ෆීස් ගෙවීමට අම්මලා තාත්තලාගෙන් කීයක් හරි මුදලක් අතට ලැබෙන පෙම්වතුන් බොහෝ පිරිසක් තම ලිංගික අවශ්‍යතා සදහා යන්නේ චිත‍්‍රපට ශාලාවල බොක්ස් තුළට බව අප කවුරුත් දන්නා සත්‍යයකි. විශේෂයෙන්ම සති අන්ත දින වලදී සිනමා ශාලාවල බොක්ස් වලට යෑමට මුහුණ හංගාගත් පෙම්වතියන් රැසක් තම පෙම්වතුන් සමග පෝලිම් වල සිටියි. එය එක් අතකින් මෙරට සමාජ ව්‍යුහය තුළ වික්ටෝරියානු සුචරිතවාදය මුල් බැසගෙන ඇති බවට නිදසුනකි. එසේම තවත් අතකින් යම් සැලකිය යුතු මුදලක් ගෙවා ගෙස්ට්හවුස් එකක කාමරයකට ගොස් නිදහසේ සුවපහසුවට ලිංගික සතුට විදීමට බාධාවක් බවට පත්වී ඇති දරිද්‍රතාවයේ සංකේතයකි. මේ අතරින් චාලක සිය බොක්ස් නාට්‍යය සදහා තෝරා ගන්නේ දෙවන හේතුවයි.

තම බිරිදගෙන් තෘප්තියක් නොලබන රජයේ සේවකයෙක් ගණිකාවකගෙන් එම පහස ලැබීමට අඩු මුදලකට බොක්ස් එකකට යාම බැලූ බැල්මට වැරැද්දක් ලෙස පෙණුනත් එය සැබැවින්ම වැරැද්දක් වනවාද යන්න බොක්ස් නාට්‍යය ඔස්සේ ප‍්‍රශ්නගත වේ. එනම් ජීවිතයේ සතුටක් නොමැතිව ෆයිල් එක්ක හැප්පෙමින් ගතකරන නීරස ජීවිතයෙන් මොහොතකට හෝ මිදීමට පඩි දිනයේ දී ගණිකාවක් සමග බොක්ස් එකක් තුළ සතුට සොයන රජයේ සේවකයා අතිශය ප‍්‍රබල සංකේතයකි. අනෙක් අතින් ඔහු සමග ආ ගණිකාවගේ ජීවිත කතාවත් අප සමාජයේ ගණිකාවන් බවට පත්වී සිටින බහුතරයකගේ ලැමට යටින් කවුරුත් නොදකින සත්‍යයයි.

එසේ බොක්ස් තුළින් හිතුවක්කාර සමාජ විවරණයක නිරත වන චාලකගේ තවත් නාට්‍යයක් පිළිබදව ද ඔබගේ අවධානය යොමු කිරීම වැදගත් බව සිතුවෙමි. ඒ හෙලෝ නාට්‍යයයි. මෙම නාට්‍යය තුළින් විවරණය කරන්නේ ද සමාජය තුළ බහුල වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන අනියම් සම්බන්ධතාවක් පිළිබද ගැටළුවකි. එනම් තම ස්වාමි පුරුෂයාගෙන් සංතෘප්ත කර ගැනීමට නොහැකි වන අවශ්‍යතා අනියම් පුරුෂයෙකු වෙතින් සංතෘප්ත කර ගැනීමට පෙළඹෙන බිරිදක් නිසා උද්ගත වන අර්බුදයක් මෙහිදී චාලක නාට්‍යෝචිත අන්දමින් සිය නිර්මාණය සදහා භාවිත කර තිබේ. හෙලෝ නාට්‍යය ආරම්භයේ සිටම පේ‍්‍රක්ෂකයින් සිනහාවෙන් එය රස විදිනු ලැබුවත් නාට්‍යයේ අවසානය දක්වා පැමිණීමත් සමග පේ‍්‍රක්ෂකයින්ගේ එම සිනහාව සංකීර්ණ සමාජ යථාර්ථයක් වෙත පරිවර්තනය කිරීමට චාලක සමත් වේ. එනම් නාට්‍යය ආරම්භයේ දී බොහොම සැහැල්ලූවෙන් එය නැරඹූ පේ‍්‍රක්ෂකයා නාට්‍ය නිමා වූ පසු නාට්‍ය ශාලාවෙන් පිටත්ව යන්නේ හදවතත් බුද්ධියත් අතර අතරමං වූ හැගීමකින් යුතුවය. විශේෂයෙන්ම මෙවැනි කෙටි නාට්‍යයකින් එවැනි සංකීර්ණ මනෝභාවයක් පේ‍්‍රක්ෂකයා තුළ ජනිත කිරීමට නාට්‍යකරුවා සැබෑ දක්ෂයෙක් විය යුතු යැයි මම විශ්වාස කරමි.

චාලකයේ ඩයිනෝසර පේ‍්‍රමය ද තරුණයන් මුහුණ දෙන රැකියා පිළිබද අර්බුදයත් ඒ හේතුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවන් සමග සිදුවන ඝට්ටනයත් විවරණයට ලක්කරයි. චාලකගේ මෙම නාට්‍යය නැරඹීමේ දී මට සිහිපත් වූයේ එම නාට්‍යයට ප‍්‍රස්තූත වූ සිදුවීම මෙන් මාගේ සහෝදර සරසවි මිතුරු මිතුරියන් ජීවන අරගලය ගෙන යෑම සදහා විවිධ ප‍්‍රවර්ධන කටයුතු වල නිරත වීමයි. එම තත්ත්වය සමාජයේ කිසිවෙකුගේ හෝ අවධානයට ලක් නොවුණ ද සරසවි පැමිණෙන බොහෝ සිසු සිසුවියන් පිරිසක් එවැනි ප‍්‍රවර්ධන කටයුතු වලින් ලැබෙන සුළු මුදල තම ජීවන අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරන බව පැවසිය හැකිය.  ඒ අනුව චාලකගේ මෙම ඩයිනෝසර පේ‍්‍රමයේ ප‍්‍රස්තුතය හා සමාන සරසවි ජීවිතයේ දී මා අත්දුටු එවැනි සිදුවීමක් ද මෙසේ සදහන් කළ හැකිය.

එවැනි සිදුවීමක් වන්නේ මාගේ සරසවි මිතුරෙකු අත්විදි සිදුවීමකි. එහිදී මාගේ මිතුරා එක්තරා උත්සව ශාලාවක පැවති මංගලෝත්සවයක අමුත්තන්ට ආහාර පාන පිළිගැන්වීමේ පුද්ගලයෙකු ලෙස සේවය කිරීම සදහා එනම් කේටරින් සේවාවක සේවය කිරීම සදහා ගොස් තිබූ අතර එම මංගලෝත්සවයට සිය පෙම්වතිය පැමිණ තිබීම හේතුවෙන් ඔහු මහත් අපහසුතාවකට පත්වී තිබුණි. මාගේ මිතුරා මුහුණ පෑ එම සිදුවීමත් චාලකගේ ඩයිනෝසර පේ‍්‍රමයේ සිදුවීමත් සමාන වන බව පැවසිය හැකිය.

චාලකගේ මෙම බොක්ස් හෙලෝ හා ඩයිනෝසර පේ‍්‍රමය ද ඇතුළුව චාලකගේ කෙටිනාට්‍ය පිටපත් ඇතුළත් කෘතියක් එලඹෙන අගෝස්තු 20 වන දින එළිදැක්වේ. ඒ ග‍්‍රහලෝකාගාරය අසල බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනය හෙවත් නාඩා ආයතනයේ දී ය. ඔහුගේ කෙටි නාට්‍ය සම්බන්ධයෙන් මෙසේ සටහනක් මා තැබුවේ මා චාලකගේ නාට්‍ය රසයත් අත්විද ඇති බැවින් එම නාට්‍ය කෘතියක් වශයෙන් එළිදැක්වීම සුවිශේෂී වන බැවිනි. මන්ද යත් චාලක විසින් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන ප‍්‍රකාශනය බොහෝ පුද්ගලයින්ගේ මානසික තත්ත්ව සංකීර්ණ තලයකට ඔසවා තැබීම සදහා ඉතා වැදගත් වන නිසාවෙනි. මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ දී ප‍්‍රවීණ විචාරක කේ.කේ. සමන් කුමාර සහ උපුල් ශාන්ත සන්නස්ගල ආරාධිත දෙසුම් පැවැත්වීමට ද නියමිතය. බොක්ස් හා හෙලෝ නම් අපූරු නාට්‍ය ද්විත්වය එහිදී නැරඹීමට ද ඔබට අවස්ථාව ලැබේ.

එබැවින් එම අවස්ථාවට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස මා ඔබට ඇරයුම් කරන්නේ ජීවිතය පිළිබද අලූත් මානයකින් දැකීමට චාලකගේ නාට්‍ය නිර්මාණ ඔස්සේ හැකිවන නිසාවෙනි.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

ආශ්‍රිත ලිපි
බොක්ස් එකකට ගිහින් පෙම්වතුන් යුවලක් හැසිරුණු විදිහ ගැන හෙළිදරව්වක්

Comments

comments