මට මුණගැසුණු ඒ අපූරු මිනිසා හෙවත් “හතර වෙනි ජයසිංහ”

මේ කෘතිය මාගේ අතට පත්වන්නේ අහම්බයෙනි. එහෙත් මුළු පොතම නොකියවා මිස නැවත පසෙකින් තැබීමට නොහැකි වන තරමට එම කෘතිය මාව මුළුමනින්ම ග‍්‍රහණයට ගත්බව පැවසිය හැකිය. එබැවින් කෘතිය කියවා උද්දාමයට පත්වූ මා හට ඒ පිළිබඳව මෙසේ සටහනක් නොතබා සිටිය නොහැකි විය. ඒ අනුව මා මේ තබන සටහන මා කියවූ ඒ අපූරු කෘතිය පිළිබඳව මාගේ අදහස්වල අංශු මාත‍්‍රයකි.

කෘතියේ නම “හතර වෙනි ජයසිංහ” ය. එම නම පවා සාමාන්‍යයෙන් කෘතියක නමකින් ඔබ්බට ගිය නමකි. එය එක්තරා දුරකට තවත් කවි පොතක නමක්දැයි කියා මුලින් මට සිතුණත් එය කවි පොතක් නොව කවියෙකුගේ කෙටිකතා පොතක් බව පොත අතට ගත් පසු මට පසක් විය. ඒ අනුව පොතේ නම කියවූ සැනින්ම පොත පිළිබඳ කුතුහලයක් මා තුළ ජනිත කළ ඒ හතර වෙනි ජයසිංහ ගැන දැන කියා ගැනීමට මා යුහුසුළු වුණෙමි.

මෙම කෘතිය කෙටිකතා පොතක් වුවත් එය කවි පොතක්දැයි කියා හැඟීමක් ඇතිවීමට එක් හේතුවක් මම මීට පෙර පැවසුවෙමි. ඒ මෙම කෘතියේ කතුවරයා කවියෙකු වීමය. කවියෙකු කුමන කලා මාධ්‍යයක් තුළ සිය ප‍්‍රකාශනය ඉදිරිපත් කළ ද කවියෙකු වශයෙන් පවත්නා ප‍්‍රතිභාව ජලයේ ගිල්වූ රබර් බෝලයක් මෙන් ඉස්මතු වන බවට මෙම කෘතිය කදිම සාක්ෂියක් යැයි මට සිතේ. එම නිසා හතර වෙනි ජයසිංහ කෙටිකතා පොතක් යැයි පැවසීමට මම ඉක්මන් නොවෙමි. මන්ද යත් මට අනුව නම් එය කවියත් කෙටිකතාවත් අතර මැද පවත්නා සුවිශේෂී කලාත්මක භාවිතයක් ලෙස මට හැඟෙන බැවිනි. එම කාරණයම මෙම කෘතියේ සුවිශේෂත්වය පිළිබඳ පෙන්වා දිය හැකි ප‍්‍රබලතම කරුණකි.

හතර වෙනි ජයසිංහට හුස්ම පොවන්නේ සමිත බී. අටුවබැන්දෑල නැමැති කවියාය. ඔහුගේ තරමක වෙනස් ආකාරයේ කවි රචනා සම්බන්ධයෙන් මීට පෙර මා යම් අත්දැකීමක් ලබා තිබුණි. ඔහුගේ බස හැසිරවීමේ ස්වභාවයත් ඒ ඔස්සේ ඔහු පවසන අදහස අපගේ ශරීරයේ සෑම රතු රුධිරාණුවකටම අවශෝෂණය වී අපි ද කවියේ ජීවමාන වස්තු බීජයක් බවට පත්වීම මා සමිතගේ කවි තුළින් අත්විඳි සුවිශේෂත්වයයි. එම ජීවන අත්දැකීම හතර වෙනි ජයසිංහ තුළින් තවත් දිගුවක් කරා රැගෙන ගොස් ඇති බව මාගේ විශ්වාසයයි.

සිය කවිය තුළින් නිදහස් ශෛලියකින් සමාජය කියවන සමිත ඊටත් වඩා වෙනස් මානයක් මෙම කෘතිය තුළින් අප හමුවේ සනිටුහන් කරන්නේ තමා කවියෙකු වීම සාම්ප‍්‍රදායික කෙටිකතාකරුවෙකු නොවීම සඳහා කෙතරම් දුරට වැදගත් වනවාදැයි යන්න අප හමුවේ සාක්ෂාත් කරමිනි. එනම් අප මෙතෙක් කියවා ඇති කෙටිකතා තුළදී අපට හමුවූ සාම්ප‍්‍රදායික රචනා ශෛලිය අතික‍්‍රමණය කරමින් සමිත අප හමුවේ ඉදිරිපත් කරන්නේ ඔහුට ආවේණික වූ රචනා ක‍්‍රමවේදයකි. එය කාව්‍යකරණයත් ලේඛණයත් අතර සිදුවූ සංසර්ගයකින් උපන් අලුත් දරුවෙක් හා සමානය. සමිත කරන්නේ ඒ අලුත් දරුවාගේ පෙකෙණි වැල කපා ඒ දරුවාට මෙලොව දකින්නට ඉඩහසර විවර කර දීමය. ඒ උත්සාහය සාර්ථක වී තිබේ. එනම් කවීත්වය නැමැති සමිත විසින් මෙතෙක් කල් මේ ගෙන්දගම් පොළොව මත ගොඩනඟා ගත් සිය අනන්‍යතාව හෙවත් අලුත් දරුවාගේ මවගේ ජීවිතයත් බේරාගෙන සමිත ඉතා සාර්ථක අන්දමින් සිය වින්නඹු රාජකාරිය සිදු කර තිබේ. මට නම් එය හාස්කමකි. එසේ මවත් නොමරා දරුවත් නොමරා නව කලාත්මක ප‍්‍රකාශනයක් ලෝකයට දායාද කිරීමට කටයුතු කිරීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැක්කක්ම වන්නේය.

මාගේ මෙම අදහස තවදුරටත් තහවුරු කිරීම සඳහා හතර වෙනි ජයසිංහ කෘතිය තුළ සමිත ඉදිරිපත් කර ඇති එක් ප‍්‍රකාශනයක් මෙසේ උපුටා දැක්විය හැකිය.

“අමාරුවෙන් අටවගත්ත ගෙයයි
නොබැන්ද දූවරු තුන්දෙනයි
රස්සාවක් නැති පුතයි
හොදටම අසනීප බිරිඳයි
ණය පොතයි. ගිනි පොළියයි.
මහලුයි
ඇටකටු ගොඩයි
රැස් අහිමි වෙච්ච අපේ සර් මතුවුණේ එහෙම…”

මේ හතර වෙනි ජයසිංහ නැමැති කාව්‍යමය ශෛලියේ කෙටිකතාව තුළ සමිත විසින් ඉදිරිපත් කරන ප‍්‍රකාශනයකි. ඔහු මෙසේ පැහැදිලි කරන්නේ පාසල් ගුරුවරයෙකුගේ ජීවන යථාර්ථය හෙවත් සමස්තයක් වශයෙන් ගත්කල රජයේ සේවකයෙකුගේ ජීවන යථාර්ථය පිළිබඳව ප‍්‍රකාශනයකි. එය නිරවුල්ය. අව්‍යාජය. අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන තරමට කියවූ සැනින් අපට ජීර්ණය වන භාෂා ශෛලියකින් එය ලියා තිබේ. එනම් තමන් මේ ලියන්නේ කෙටිකතාවක් යැයි කියා සමිත විසින් පූර්වයෙන් නිගමනය කර තිබුණද කෙටිකතාව මැද හැංගිමුත්තන් කරන ඔහුගේ කවියා එළියට ඒමකි. එය අපූරුය. බලහත්කාරයෙන් හිතට ඇතුළු කර ගන්නට අපි වෙර දරණ කතාවකට වඩා නිරායාසයෙන්ම අපගේ ස්නායු පද්ධතිය වෙළා ගන්නා සමිතගේ මෙම ප‍්‍රකාශනය අපගේ ඇටමිදුළු තුළටම ගමන් කරයි. ඒ අනුව අප ද සමිතගේ ප‍්‍රකාශනයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි.

හතර වෙනි ජයසිංහ කෘතියේ එන මුල්ම කෙටිකතාව තුළ සමිත විසින් ප්‍රේමය සම්බන්ධයෙන් වන අත්දැකීමක් පිළිබඳ ඉදිරිපත් කරන ප‍්‍රකාශනය ද මාගේ සිත තදින්ම නතර වූ තැනකි. එම නිසා ඒ ගැන ද වචනයක් හෝ පැවසිය යුතුම යැයි මට සිතේ.

කවි ශෛලියේ එම කෙටිකතාව නම් කර ඇත්තේ “මගේ පේ‍්‍රම වස්තුව” නමිනි. පේ‍්‍රමය පිළිබඳව තරුණියකගේ අත්දැකීමක් ඉතා අපූර්ව අන්දමින් සමිත එහිදී අප හමුවේ ඉදිරිපත් කර සිටියි. එය සමාජයේදී හමුවන පොදු අත්දැකීමකි. එහෙත් සමිත එය ප‍්‍රතිනිර්මාණය කරන අන්දමට එය ඉතා අපූර්ව අත්දැකීමක් බවට පත්වේ.

මෙහිදී සමිත ඉතා අපූරු යෙදුමක් මෙම කතාව තුළ යොදා ගනු ලබයි. එය අවතාරය නැමති වචනයයි. තරුණියකගේ සිත තුළ තරුණයෙක් පිළිබඳ ඇතිවන පේ‍්‍රමයක් මිය ගිය ද එම පේ‍්‍රමය අවතාරයක් වශයෙන් සිතේ හොල්මන් කිරීම නිරූපණය කිරීම සඳහා සමිත විසින් යොදාගෙන ඇති එම අවතාරය නැමති වචනය පේ‍්‍රමය පිළිබඳව ඉදිරිපත් කළ හැකි ඉතා ප‍්‍රබලතම ප‍්‍රකාශනයක් වශයෙන් මම දකිමි. එම කෙටි කතාවේ අත්දැකීමට මුහුණ දෙන්නේ එහි තරුණිය පමණක් වුවත් මා ද ඇතුළුව එය කියවන සෑම පුද්ලගලයෙකුම සමිතගේ එම ප‍්‍රකාශනයේ වස්තු බීජයක් බවට පත්වන්නේ තුරුණු වියේ ඇතිවන ප‍්‍රකාශිත හෝ අප‍්‍රකාශිත පේ‍්‍රමයක් පිළිබඳ අංශු මාත‍්‍රයක හෝ හැඟීමක් දැනුණු  ඕනෑම අයෙකුගේ සිතක සමිත පවසන අවතාරයක් හොල්මන් කරන බැවිනි. එනම් පේ‍්‍රමය මියගියද මගතොටකදී  ඕනෑම මොහොතක අහම්බෙන් අපට අවතාරය හමුවිය හැකිය.

මෙසේ සමිතගේ හතර වෙනි ජයසිංහ පිළිබඳ තවත් බොහෝ දෑ කිවයුතුව ඇතත් එම අත්දැකීම් මා විඳි ආකාරයටම ඔබට ද විඳින්නට ආරාධනා කරමින් මෙම සටහන අවසන් කරමි. එහෙත් මෙම සටහන අවසන් කිරීමට පෙර මාගේ සිත සංවේදී කළ හතර වෙනි ජයසිංහ කෘතියේ එක් තැනක මොහොතක් ඔබේ සිත ද නතර කර මෙම සටහනට තිත තබමි.

“අම්මා…. මට කිරි උගුරක් දෙන්ඩ. එතකොට මට මස් කඬේ ඉන්න අනික් ඌරන් තලේ දවසකට හරි පපුව පුම්බාගෙන ආඩම්බරෙන් හිටියෑකි…. දන්නවද… මමත් එක පාරක් හරි අම්මා කෙනෙක්ගෙන් කිරි උගුරක් බීපු ඌරෙක් කියලා……”

 

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments