සජිතගේ ස්වර්ණපාලි හෙවත් ජැක්සන් ඇන්තනි විසින් ඉතිහාසය ජනප්‍රියකරණය කිරීමේ උත්කර්ෂය

අපේ රටේ ප්‍රකට චරිතයක් වන ජැක්සන් ඇන්තිගේ පුත් සජිත අනුත්තර විසින් ගායනා කරනු ලබන “ස්වර්ණපාලියේ” නැමති ගීතය මේ දිනවල මෙරටේ ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබේ. මෙරට ඉතිහාසය පදනම් කර ගනිමින් ලියවී ඇති එම ගීතය ජැක්සන් ඇන්තනි විසින් රචනා කරන ලද්දකි. එම ගීතය මෙරටේ ඓතිහාසික සිදුවීම් විස්තර කරමින් රචනා වී ඇති බැවින් එක්තරා සුවිශේෂී ගීතයක් වශයෙන් එම ගීතය හැඳින්විය හැකි වුවත් මෙම සටහන ඒ  පිළිබඳ තබන්නක් නොවන අතර මාගේ මෙම සටහන තැබීමේ අරමුණ වන්නේ සජිත අනුත්තර විසින් ගයන මෙම ගීතය ඔහුගේ පියාගේ, එනම් ජැක්සන් ඇන්තනී විසින් සිදු කරනු ලැබූ ඉතිහාසය ජනප්‍රියකරණයේ උත්කර්ෂය වශයෙන් හඳුනාගත හැකි වීමය. එබැවින් මේ ඒ පිළිබඳව තබන සටහනකි.

ජැක්සන් ඇන්තනි පිළිබඳ මුලින්ම මට මතකයක් ඇත්තේ මා කුඩා කාලයේ දී නැරඹූ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය තුළිනි. ඔහු රඟපෑ දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි අදටත් විශිෂ්ට ගණයේ ලා සැලකෙන රූපවාහිනී මාධ්‍යය බිහිවූ මුල් යුගයේ දී නිර්මාණය වූ ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂකයින්ගේ මනස තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කළ අතර එවැනි කලාත්මක ටෙලි නාට්‍ය කලාව මරණ මංචකය වෙත කැඳවාගෙන යමින් වර්තමානයේ බිහිවී ඇති මෙගා ටෙලි නාට්‍ය රැල්ළ ඔස්සේ කොතෙක් ටෙලි නාට්‍ය නිර්මාණය වුවත් කිසිදු නළුවෙකු නිළියක හෝ තිර රචනා ආදියහි කිසිදු කලාත්මක භාවිතයක් හෝ ඉස්මතු නොවන ක්ෂණික නූඩ්ල්ස් ආකාරයේ ගුවන් කාලය කා දමන වාණිජ ටෙලි රැල්ළක් බිහිකර තිබීම අතිශය කණගාටුදායක තත්ත්වයකි.

එසේ මෙරටේ ටෙලි නාට්‍ය කලාවේ මුල් යුගයේ දී නිර්මාණය වූ විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය තුළින් මෙන්ම විශිෂ්ට ගණයේ චිත්‍රපට තුළින් ලාංකේය සමාජය දැන හඳුනාගෙන සිටි ජැක්සන් ඇන්තනි නැමති රංගධරයා පසුව මෙරට රූපවාහිනී මාධ්‍යය තුළ සුවිශේෂී භූමිකාවක් ඉටු කිරීමට කටයුතු කරනු ලබන්නේ රූපවාහිනී වැඩසටහන් පූරකයෙකු වශයෙන් මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වශයෙන් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ මතකය තුළින් කිසිදා නොමැකෙන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් නිර්මාණය කර ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම තුළිනි. ඒ අතරින් ජැක්සන්ගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් මෙරටේ අතිශය ජනප්‍රිය වූ වැඩසටහනක් වන ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය කරන ලද “හපන් පැදුර” වැඩසටහන රූපවාහිනී ළමා වැඩසටහන් අතර අදටත් නොමැකෙන සලකුණක් තැබූ වැඩසටහනකි.

රූපවාහිනී මාධ්‍යය තුළ ජැක්සන්ගේ භූමිකාව තහවුරු වීම සඳහා ඔහු විසින් ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කළ “ගඟ දිගේ” සහ “සලංහන්තේ” වැනි සංචාරක වැඩසටහන් ද හේතුවන අතර පසුව නිර්මාණය වූ එම වැඩසටහන් ආකෘතියේම වැඩසටහනක් වන ජාතික රූපවාහිනියෙන් විකාශය කරන ලද “මහා සංචාරය” නැමති වැඩසටහන ද ජැක්සන් ඇන්තනි නැමති සංචාරකයා, මාධ්‍යවේදියා මෙන්ම ඉතිහාසය පිළිබඳ ඔහු තුළ වූ ඥානයත් ප්‍රේක්ෂකයින් අතරට රැගෙන යන ලද සුවිශේෂී රූපවාහිනී වැඩසටහනක් බවට පත්විය. ඒ අනුව මෙම සටහනට පාදක වන්නේ ජැක්සන් ඇන්තනි විසින් රූපවාහිනී මාධ්‍යය තුළින් ඉතිහාසය ජනප්‍රියකරණය සඳහා සිදුකළ මාධ්‍ය මෙහෙවරේ දිගුවක් සජිත අනුත්තර විසින් සමාජගත කිරීම දක්වා වන අති සුවිශේෂී මෙහෙවර සම්බන්ධයෙන් මාගේ අදහස ඉදිරිපත් කිරීමය.

ලංකා ඉතිහාසය විශ්වවිද්‍යාල ඇතුළුව ඉතිහාසය අධ්‍යයන කිරීමේ වෙනත් ආයතනවල විද්‍යාර්ථින්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ භාවිතයට පමණක් සීමා වී සාමාන්‍ය පුරවැසියන් වෙතින් දුරස්ව තිබූ සමයක ජැක්සන් ඇන්තනි විසින් ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කරනු ලැබූ “මහා සිංහලේ වංස කතාව” නැමැති සාකච්ඡාමය වැඩසටහන තුළින් පුස්තකාල තුළ පොත් රක්කවල දුහුවිලි වදිමින් තිබූ ඉතිහාස පොත් නැවත කියවා බැලීමට අපේ රටේ ජනයාව යොමුකරන ලදි. මාගේ මතකය අනුව සෑම මසකම පොහෝ දින රාත්‍රියේ විකාශය වූ මෙම වැඩසටහනට සම්පත් දායකයින් වශයෙන් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි, මහාචාර්ය මැන්දිස් රෝහණධීර හා ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් විද්වතෙකු ද සෑම වැඩසටහනකම නිත්‍ය සම්පත්දායකයින් ලෙස සහභාගි කරගෙන තිබූ අතර ඉතිහාසය පිළිබඳ වෙනත් සුවිශේෂී විද්වතුන්ගේ සහභාගිත්වය ද ඇතැම් දිනවල ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව කාලයත් සමඟ සාමාන්‍ය ජනතාව තුළ හීන වෙමින් පැවති ඉතිහාසය සම්බන්ධයෙන් වන උනන්දුව නැවත එම වැඩසටහන මඟින් ඇති කිරීමට සමත් විය. එම වැඩසටහනේ ජනප්‍රියත්වය කෙතරම් ද යන්න ඉතිහාස කරුණු විමසීමෙන් එම වැඩසටහනට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන විශාල ප්‍රමාණයක් වූ ලිපිවලින් තහවුරු විය. එම වැඩසටහන් මාලාව විකාශය කර දැනට වසර ගණනාවක් ගත වුවත් තවමත් එම වැඩසටහනේ ගුණාත්මකභාවයට සමකළ හැකි ඉතිහාසය සම්බන්ධයෙන් වන කිසිදු රූපවාහිනී වැඩසටහනක් නිෂ්පාදනය නොවීම අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ අභාග්‍යය වන බව පැවසිය යුතුය.

ජැක්සන් ඇන්තනිගේ මෙම “මහා සිංහලේ වංස කතාව” වැඩසටහනට පසුව “මහා සිංහලේ යටත් විජිත වංස කතාව” නමින් මෙරටේ යටත් විජිත සමයේ ඉතිහාසය සම්බන්ධයෙන් විමසා බැලුණු වැඩසටහනක් ද විකාශය කළ අතර එය ද යටත් විජිත සමයේ බොහෝ ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වන දැනුම ප්‍රේක්ෂකයින්ට ලබාදීමට සමත් විය. තව ද රෝමයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා මනරම්ව කරුණු ඉදිරිපත් කරනු ලැබූ සංචාරක වැඩසටහන් ආකෘතියේ වැඩසටහනක් වූ ජැක්සන් ඇන්තනිගේ “රෝම පුරාණය” නැමැති වැඩසටහන ද මා ඉතා ආශාවෙන් නැරඹූ වැඩසටහනක් ලෙස මාගේ මතකයේ තැන්පත්ව ඇත්තේ එය විකාශය වූ දින මාගේ දිනපොතක තැබූ සටහනක් පිළිබඳව මාගේ මතකයේ රැඳී ඇති බැවිනි.

මෙසේ ජැක්සන් ඇන්තනි විසින් සිදුකළ ඉතිහාසය ජනප්‍රියකරණය කිරීමේ ක්‍රියාවලිය රූපවාහිනී වැඩසටහන්වලට පමණක් සීමා නොවී පසුව ටෙලි නාට්‍ය මාධ්‍යයෙන් මෙන්ම සිනමා මාධ්‍යයෙන්ද මෙරට ප්‍රේක්ෂකයින් තුළ ඉතිහාසය පිළිබඳ විඥානය අවදි කරවීමට සමත් විය. ඒ අනුව උඩරට රාජධානිය වටා බැඳුණු ඓතිහාසික සිදුවීම් ගණනාවක් මෙන්ම ඓතිහාසික ප්‍රේම වෘත්තාන්තයක් වශයෙන් ද ප්‍රකටව පවත්නා දස්කොන්-ප්‍රමිලා ආදර අන්දරය පදනම් කර ගනිමින් නිමැවූ සම්මානිත “දස්කොන්” ටෙලි නාට්‍යය සහ සීගිරි රාජධානිය ගොඩනැංවීම ඇතුළුව ධාතුසේන රාජ්‍ය සමය මෙන්ම සමකාලීන බොහෝ ඓතිහාසික සිදුවීම් ද පදනම් කර ගනිමින් නිර්මාණය වූ මෑතකදී විකාශය කරන ලද “සී රජ” ටෙලි නාට්‍යය ද ජැක්සන් ඇන්තනි නම් විශිෂ්ට ඉතිහාස ලෝලියා වෙතින් අපේ රටේ ඉතිහාසය ජනප්‍රියකරණයට ලක්කළ ව්‍යාපෘතියේ සුවිශේෂී මං සලකුණු වශයෙන් පෙන්වා දිය හැකිය. ඔහු විසින් එක්තරා පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ ඓතිහාසික කතා පුවත් රැගත් ටෙලි නාට්‍ය ආකෘතියක් මෙරට තුළ බිහිකිරීම  ඔහුගේ අරමුණ බවට පත්වී තිබෙන බවය. අපේ රටේ ඉතිහාසය පුස්කොළ පොත්වලට පමණක් සීමා කොට තැබිය යුතු යැයි ඇතැමුන් විසින් දරණ ආකල්පයට අභියෝග කරමින් ජැක්සන් ඇන්තනි සිය මාධ්‍ය භූමිකාව ඔස්සේ මෙසේ සිදු කරන ක්‍රියාදාමය ඉතිහාසය දෙස ඇල්මැරුණු මානසිකත්වයකින් බලන අපේ රටේ නව පරපුර තුළ ඉතිහාසය කෙරෙහි නැඹුරුවක් ඇති කිරීම සඳහා ඉවහල් වූ බව මාගේ විශ්වාසයයි.

ජැක්සන්ගේ සිය ඉතිහාස ජනප්‍රියකරණ භූමිකාව ඔහු විසින් නිර්මාණය කළ “අබා” චිත්‍රපටය ඔස්සේ තවදුරටත් උත්කර්ෂයට නැංවුණි. එම චිත්‍රපටයෙන් පසු ඓතිහාසික තේමා පදනම් කර ගනිමින් චිත්‍රපට නිර්මාණය කිරීමේ රැල්ළක් ද ඇතිවුණි. එම බොහෝ චිත්‍රපට සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයින් විශාල වශයෙන් ඇදී ඒමට ද හේතුවක් විය. විශේෂයෙන්ම “අබා” ඓතිහාසික තේමාවක් සාකච්ඡා කළ චිත්‍රපටයක් වුවත් එතෙක් ඉතිහාස කතා ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටවලට වඩා ප්‍රේක්ෂකයින් අතර අතිමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට අබා තුළ වූ එක් සුවිශේෂත්වයක් වූයේ එහි භාවිත කළ භාෂාව අනවශ්‍ය අන්දමට බැරෑරුම් සහ ප්‍රේක්ෂකයින්ට වටහා ගැනීමට අපහසු ආකාරයේ භාෂා භාවිතයක් නොවීමය. ඒ ඔස්සේ ඉතිහාස කථා ජනප්‍රිය සිනමාවට නැගීමේ අභියෝගය ජයගැනීමට සමත් වූ ජැක්සන් ඇන්තනි ලාංකේය සිනමාව තුළ ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණයට ලක්වන ඉතිහාස කථා රැල්ළක් මෑත කාලීනව ඇති කිරීමේ පුරෝගාමියා වූ බවද පැවසිය හැකිය. කෙසේ වුවත් අබාගෙන්  පසුව ඇති වූ ඓතිහාසික තේමා චිත්‍රපට රැල්ළ තුළ බිහිවූ සෑම චිත්‍රපටයක් තුළම එක හා සමාන ගුණාත්මක තත්ත්වයක් නොපැවතියත් ඉතිහාසයේ සැඟවුණු බොහෝ සිදුවීම් ගවේෂණය කරමින් ඒවා චිත්‍රපට තිර රචනා තුළට යොදා ගෙන ඉතිහාසය සිනමාකරණය කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මෙන්ම නිෂ්පාදකයින් ද පෙළඹීම චිත්‍රපට කර්මාන්තයට මෙන්ම වැළලී යමින් පැවති මෙරට ඉතිහාසය නැවතත් ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වන හා විචාරකයින්ගේ විචාරවලට ලක්වන තත්ත්වයට පත්වීම වැදගත් කරුණක් ලෙස මම දකිමි.

මෙසේ ජැක්සන් ඇන්තනි විසින් ඉතිහාසය පිළිබඳ පුනරුදයක් හෙවත් රූපවාහිනී මාධ්‍යය සහ සිනමා මාධ්‍යය ඇසුරින් ඉතිහාසය ජනප්‍රිය සංස්කෘතියක් බවට පත්කිරීම මෑතකදී ඔහු පුත් සජිත අනුත්තර විසින් ගායනා කරන ලද ස්වර්ණපාලියේ නැමැති ගීතය ඔස්සේ උත්කර්ෂයට නැංවී තිබේ. මන්ද යත් ප්‍රේමය පදනම් කරගනිමින් නිර්මාණය වන ඒකාකාරී ගීත රැල්ළ වෙනත් මානයකට යොමු කරමින් අපේ රටේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇති වන ආකාරයෙන් එම ගීතය නිර්මාණය වී ඇත්තේ ජැක්සන් ඇන්තනිගේ පද මාලාව අනුවය. එබැවිනි එම ගීතය නව පරපුරේ තවත් එක් ගීතයක් වශයෙන් පමණක් නොසලකා ජැක්සන් ඇන්තනීගේ ඉතිහාස ජනප්‍රියකරණයේ උත්කර්ෂය වශයෙන් සැලකිය හැකි වන්නේ. එනම් ඉතිහාසය සම්බන්ධයෙන් වූ ජැක්සන් ඇන්තනිගේ භූමිකාවේ තවත් දිගුවක් ඔහුගේ පද රචනයක් අනුව ඔහු පුත් සජිත අනුත්තර විසින් ගායනා කරන ස්වර්ණපාලියේ ගීතය තුළින් සනිටුහන් වන බව පැවසිය යුතුය.

ඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ අපේ රටේ ඉතිහාසය කවර මාධ්‍යයකින් වුවත් ජනප්‍රිය භාවිතයක් බවට පත්වීම එම ඉතිහාසය සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රබෝධයක් ඇති වීම සඳහා වැදගත් වන බවය. එය රූපවාහිනී මාධ්‍යයෙන් වේවා, සිනමා මාධ්‍යයෙන් වේවා, ගීත මාධ්‍යයෙන් වේවා ජාතියක් වශයෙන් අප සියලු දෙනා සතුටට පත්විය යුතු කරුණක් වශයෙන් මම දකිමි. එසේ ජැක්සන් ඇන්තනි විසින් ඉතිහාසය ජනප්‍රියකරණය කිරීම සජිතගේ ස්වර්ණපාලියේ තුළින් තවත් බොහෝ දුර යන බවට සැකයක් නැත. ඉදිරියටත් ලක් ඉතිහාසය අද්‍යතන පරපුර අතර ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීමට ජැක්සන් ඇන්තනි නම් ඉතිහාස ලෝලියාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments