Iranga.net දෙවසරක අකුරු හරඹය සමඟ රොද බැඳි පාඨක ඔබ සැමට තුති..!

මාගේ Iranga.net බ්ලොග් අඩවිය ආරම්භ කර අදට වසර දෙකක් සපිරේ. ගතවූ මෙම දෙවසර පුරා පාඨක ඔබ වෙත ශාස්ත්‍රීය, සමාජ හා දේශපාලන, සාහිත්‍ය කලා විචාර ඇතුළු අංශ ගණනාවකට අදාළව මා විසින් ලියූ ලිපි රැසක් තිළිණ කරන්නට මා හට අවස්ථාව ලැබීම මා ලද සුවිශේෂීම ජයග්‍රහණය වශයෙන් මම සලකමි. මේ ඒ පිළිබඳ තබන සටහනකි.

බ්ලොග්කරණය අද වන විට ඉතා ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් සිදු කරන බ්ලොග්කරණයට විශාල පාඨක ආකර්ෂණයක් හා රුචිකත්වයක් හිමිවී ඇති අතර බ්ලොග්කරුවන් වන අපට ද නිරන්තරයෙන් බ්ලොග්කරණයේ නිරතවීම සඳහා අපව මෙහෙයවන බලවේගය බවට පත්ව ඇත්තේ අප ලියන ලිපි සඳහා පාඨකයින් වෙතින් නිරන්තරයෙන් අප ලබන ප්‍රතිචාර සහ දිරිගැන්වීම්ය. බ්ලොග්කරණයේ ජනප්‍රියත්වයත් සමඟ බිහිවී ඇති එම බ්ලොග් පාඨක සංස්කෘතිය මෙරටේ ප්‍රධාන ධාරාවේ කියවීමේ සංස්කෘතික් දක්වා දැන් වර්ධනය වී තිබීම අතිශය සතුටුදායක තත්ත්වයකි.

අදින් වසර දෙකකට පෙර, එනම් 2015 වසරේදී “Iranga.net – නිදහස් සිතුවිලි අවකාශය” නමින් ලාංකේය සයිබර් පාඨන අවකාශයට මුදා හැරෙන මාගේ බ්ලොග් අඩවිය ද එසේ බොහෝ පාඨක ප්‍රතිචාර මැද දෙවසරක් පුරා පවත්වාගෙන ඒමට ලැබීම මා සලකන්නේ මාගේ ජීවිතයේ මා ලද සුවිශේෂතම ජයග්‍රහණයක් වශයෙනි. මන්ද යත් මාගේ දැනුම සහ අත්දැකීම් පාඨකයින් වෙත ඉතා ඉක්මනින් රැගෙන යාමට සහ පෙරළා ඔවුන් වෙතින් ප්‍රතිචාර ලැබීමට මෙම බ්ලොග් මාධ්‍යය තරම් සුදුසු වන වෙනත් මාධ්‍යයක් නොමැති බැවිනි.

බ්ලොග් පිළිබඳව ආශාවක් හා කුතුහලක් මා තුළ ඇති වන්නේ 2006 වසර තරම් බොහෝ කාලයකට පෙර සිට වුවත් නිරන්තරයෙන් බ්ලොග් ලිපි ලිවීමට මා පෙළඹෙන්නේ ගතවූ වසර පහක පමණ කාලය තුළදීය. එහිදී මුලින්ම මුහුණුපොත තුළ ලිපි පළකිරීමට කටයුතු කළ මා ඉන් ලැබූ උත්තේජනයෙන් බ්ලොග්කරණයට පිවිසී ගතවූ දෙවසර පුරා ලිපි රැසක් පාඨකයින් හමුවට ඉදිරිපත් කිරීමට මම කටයුතු කළෙමි.

බ්ලොග්කරණයේදී පාඨකයින් වෙතින් ප්‍රතිචාර හිමිවීමට අමතරව සම්මාන උළෙලවලදී සම්මානයෙන් පිදුම් ලැබීම ද බ්ලොග් ලේඛකයින්ගේ ස්වේච්ඡා සේවය ඇගයීමට ලක්වන ඉතා වැදගත්ම අවස්ථාවකි. ඒ අනුව මාගේ බ්ලොග් අඩවිය ආරම්භ කළ වර්ෂයේ මා පළකළ ලිපියක් මෙම වසරේදී සම්මානයට පාත්‍රවීම ද මාගේ ජීවිතයේ මා ලද අති සුවිශේෂී ජයග්‍රහණයකි. ඒ “නෙළුම් යාය බ්ලොග් සම්මාන – 2016” උළෙලේදී මා විසින් ලියූ “යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව” නැමැති ලිපිය සාහිත්‍ය කලා විචාර අංශයෙන් වසරේ හොඳම බ්ලොග් ලිපියට හිමි දෙවන ස්ථානය හිමිකර ගැනීමය. එය තවත් බොහෝ ලිපි ලිවීමට මා හට උත්තේජනය සැපයූ කරුණක් වූවා මෙන්ම සහෝදර බ්ලොග්කරුවන් රැසක් දැන හඳුනා ගැනීමට සහ මාගේ බ්ලොග් ලිපි විශාල පාඨකයින් පිරිසක් අතරට ගෙනයෑම සඳහා ඉවහල් වූ කරුණක් බවට ද පත්විය.

මෙම නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට අමතරව බ්ලොග් රචකයින් දිරිමත් කිරීම සඳහා සංවිධානය වන අනෙක් ප්‍රධානම සම්මාන උළෙල වන්නේ “බ්ලොග් වසන්තය” සම්මාන උළෙලයි. එමඟින් ද මාගේ ලිපි විශාල පාඨක පිරිසක් අතරට ගෙන යෑමට අවස්ථාව සැලසුණු අතර කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තු නොවී හුදෙක්ම බ්ලොග්කරණය දිරිගැන්වීම සඳහා සංවිධානය වන මෙවැනි සම්මාන උළෙලවලට මූල්‍ය ශක්තිය හා සංවිධාන ශක්තිය ලබාදෙන සැමට ද මෙහිදී මාගේ ස්තූතිය පළකර සිටින්නේ ඔවුන් ද මා වැනි බ්ලොග්කරුවන්ට නිරන්තරයෙන් ශක්තියක් වන බැවිනි.

එසේම විවිධ බ්ලොග් අඩවිවල පළවන ලිපි එක් ස්ථානයකට එකතු කිරීම මඟින් ඒවා පාඨකයින් හමුවට රැගෙන යාමට අවස්ථාව සලසා දෙන බ්ලොග් සින්ඩිකේටර පවත්වාගෙන යනු ලබන හිතවතුන් ද මෙහිදී ස්තුති පූර්වකව සිහිපත් කරනු ලබන්නේ සමාජ මාධ්‍ය අවකාශයට අමතරව පාඨකයින් විශාල වශයෙන් බ්ලොග් අඩවි කරා ප්‍රවේශ වීම සඳහා මෙම බ්ලොග් සින්ඩිකේටර වෙතින් ලැබෙන දායකත්වය ද සුවිශාල වන බැවිනි. ඒ අනුව මෙම බ්ලොග් සින්ඩිකේටර වෙතින් ද මා වැනි බ්ලොග්කරුවන් ලබන සේවය සුළුපටු නොවන අතර මාගේ බ්ලොග් අඩවියට දෙවසරක් සපිරෙන මේ මොහොතේ ඔවුන්ගේ නිහඬ සේවය පිළිබඳව මෙසේ ගෞරව පූර්වකව සිහිපත් කර සිටිමි.

මෙසේ බ්ලොග් පාඨකයින්, සහෝදර බ්ලොග්කරුවන්, බ්ලොග් සම්මාන උළෙල සංවිධායකයින් මෙන්ම බ්ලොග් සින්ඩිකේටර පවත්වාගෙන යන හිතවතුන්, සමාජ මාධ්‍ය කණ්ඩායම් පරිපාලකවරුන් හා මා ලියන ලිපි උපුටාගෙන නැවත පළ කරන වෙබ් අඩවිවල හා පුවත්පත්වල සංස්කාරකවරුන් ද ඇතුළුව බොහෝ පිරිසක් වෙතින් ලද සහයෝගය බ්ලොග්කරණයෙන් මා මෙතෙක් පැමිණි ගමනට දැවැන්ත උපකාරයක් විය. එමෙන්ම දිවි ගමනට යෝධ සෙවනැල්ලක් වෙමින් මා හට ආශිර්වාදයක් වන මාගේ අම්මා සහ තාත්තා ද මෙහිදී සිහිපත් කරමි. එසේම මා ලියන කියන දෑ නිතර කියවමින් ඒවා පිළිබඳ සිය අවංක අදහස් මා සමඟ බෙදා ගනිමින් මා දිරිමත් කරන මාගේ ආදරණීය පෙම්වතිය ද මෙහිදී මතක් කරමි.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර විශේෂයෙන්ම ජනමාධ්‍ය අධ්‍යයනයට අදාළ දැනුම සොයමින් නිරන්තරයෙන් මාගේ බ්ලොග් අඩවිය වෙත පැමිණෙන විද්‍යාර්ථින්ට සහ අනෙකුත් සාමාන්‍ය බ්ලොග් පාඨකයින්ට ද පැවසිය යුතු සුවිශේෂී කරුණක් මෙසේ සඳහන් කරමි. එනම් ජනමාධ්‍ය පිළිබඳ ලිපි ද ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක් අළලා මා විසින් රචනා කරන ලද බ්ලොග් ලිපි කෘතියක් වශයෙන් ඉදිරියේ දී පාඨක ඔබ සැම අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු මම මේ දිනවල සිදුකරමින් සිටිමි. බ්ලොග් අවකාශය තුළින් මා පාඨක ඔබ හමුවට රැගෙන ආ දැනුම හා අත්දැකීම් එමඟින් තවත් බොහෝ පාඨක පිරිසක් වෙත රැගෙන යාමට හැකියාව ලැබෙන බව මම තරයේ විශ්වාස කරමි.

ගතවූ වසරේ දී මා විසින් ලියා පළකළ ලිපි අතරින් වැඩිම පාඨක ප්‍රතිචාර ලද ලිපි

  1. දෙරණේ දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට පිළිතුරක්
  2. ලංකාවේ සෙක්ස් මියුසික් වීඩියෝ වලින් ගොඩ යන නිරූපිකාවන්ගෙයි වල පල්ලට යන ගායකයින්ගෙයි කතාව
  3. සරසවි සිසුවියකගේ හැඬුමකින් ප්‍රතිචාර ලද සංවේදී නාට්‍ය අත්දැකීම
  4. ගංවතුර ආධාර වලට මුවාවී මාධ්‍ය සදාචාරය කෙළෙසීම
  5. ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග
  6. අන්තර්ජංජාලෙ මගේ ජීවිත කතාව හෙවත් බ්ලොග් සහ මම!
  7. අට්ටාලයේදී අවුරුදු සමරා සයිටම් අරගලයට ලකුණු දා ගැනීම
  8. විස්සයි විස්ස මැච් එකේදී පත්තු වුණ මොරටු කැම්පස් කොල්ලන්ගෙ ටිකිරි මොළේ…!
  9. ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් සන්නස්ගලගේ “අම්මා”
  10. ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු!

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.

Comments

comments

2 comments

Please comment using your facebook account.