රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය

උපාධිදාරීන් යනු රටක උගත්ම තරුණ පිරිස වන බවට තර්කයක් නොමැත. එසේම ඔවුන් බොහෝ දෑ සම්බන්ධයෙන් වඩාත් ඉදිරිගාමී අදහස් දරණ පිරිසක් වන බවට ද සැකයක් නොමැත. විශේෂයෙන්ම පොත පත ඇතුළුව නවීන තාක්ෂණය ද උපයෝගී කර ගෙන විශ්ව දැනුම සොයා යමින් නූතන ලෝකයේ සංවර්ධිත යැයි පැවසෙන රාජ්‍යයන් සමඟ දැනුමෙන් සහ බුද්ධියෙන් කරට කර සටන් වදින අපේ රටේ සරසවි පද්ධතිය තුළින් බිහිවන උපාධිදාරීන් අන් කිසිදු රටකට නොදෙවෙනි බුද්ධිමය ශක්‍යතාවයෙන් යුක්ත වන පිරිසක් බව ලෝකය ඉදිරියේ තහවුරු වූ අවස්ථා අප්‍රමාණය. එසේ වුවත් මෙම බුද්ධිමය සම්පතෙන් නියාමාකාර වූ ප්‍රයෝජනයක් අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින්  ලබා ගන්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. එනම් මෙරට සරසවිවල උපාධිදාරීන්ට ලෝකයේ ඉහළම පිළිගැනීමක් හිමිව තිබුණ ද අපේ රට තුළ එම උපාධියට හිමිව ඇති තැන පිළිබඳ කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක් දක්නට නොමැත. එය එසේ වන බවට ඉදිරිපත් කළ හැකි උදාහරණ ගණනාවක් මා ද උපාධිදාරියෙකු බවට පත්ව ගතව ගිය මාස ගණනාව පුරා මම අත්වින්දෙමි. ඉන් ඇතැම් ඒවා මාගේ අත්දැකීම් වන අතර ඇතැම් ඒවා මාගේ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවූ තත්ත්වයන්ය. මේ කවර තත්ත්වයක් වුවත් ඒ සෑම එකකින්ම නිරූපණය වන්නේ සරසවි උපාධිදාරීන්ට අපේ රට තුළ හිමිව ඇති ඛේදනීය තත්ත්වයේ අඳුරු පැතිකඩයි. මේ එම අවාසනාවන්ත ඉරණම පිළිබඳ තබන සටහනකි.

උසස් පෙළ නැමැති අතිශය තරඟකාරී විභාගයෙන් සමත් වී සරසවි වරම් දිනා ගැනීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි කරුණකි. එනම් කවරෙකු කෙසේ මෙම තත්ත්වය විග්‍රහ කරනු ලැබුව ද අපේ රට තුළ රාජ්‍ය සරසවියකට පිවිසීමට අවස්ථාව උදාකර ගැනීම අතළොස්සකට පමණක් හිමිවන අතිදුර්ලභ අවස්ථාවක් වන බව පැවසිය යුතුය. එසේ සරසවියට පිවිස උපාධියක් සම්පූර්ණ කිරීම අවම වශයෙන් විෂයන් තිහක පමණ ප්‍රමාණයක් පිළිබඳවවත් පරිචයක් ලැබීමකි. එසේම බොහොමයක් උපාධි හැදෑරීම් තුළ ප්‍රායෝගිකව නියැලෙමින් සම්පූර්ණ කළ යුතු විෂය ඒකක ගණනාවක් ද අන්තර්ගතව පවතින අතර ඒ සෑම එකකින්ම උපාධියට අදාළ කුසලතා උපාධිදාරියා තුළ වර්ධනය කරනු ලබයි. එබැවින් පොතට පතට සීමා වී ලබන දැනුමෙන් ඔබ්බට ගියා වූ ප්‍රායෝගික අත්දැකීම් සහ කුසලතා තුළින් උපාධිදාරියා අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයෙකු බවට පත්කිරීම සිදු කරන්නේ සරසවියේදී එසේ ප්‍රගුණ කළ දැනුම සරසවියෙන් පිටවූ පසු රටට සහ සමාජයට දායක කිරීමේ අරමුණ සහිතවය. එසේ එක් එක් විෂය ක්ෂේත්‍ර ඔස්සේ වසරක් පාසා සරසවි තුළින් රටට අවශ්‍ය බුද්ධිමය පදාසය බිහිකිරීම සිදු කරනු ලැබුවත් එම බුද්ධිමය පදාසය රටේ සේවා සහ කර්මාන්ත පද්ධතියේ සංවර්ධනය සඳහා යොදා ගැනීම සිදු නොවීම මේ වන විට උද්ගතව පවත්නා දැවැන්තම අර්බුදයයි. එම නිසා උපාධිදාරීන්ට ඉලක්ක ගත වූ රැකියා වෙනුවට ඔවුන් වෙනත් රැකියාවල නිරත වෙමින් සරසවි තුළ ප්‍රගුණ කරන ලද දැනුම, කුසලතා සහ ආකල්ප අපතේ හරිමින් ඔවුන්ට කටයුතු කිරීමට සිදුවී තිබීම පුද්ගලිකව එම උපාධිදාරීන්ට මෙන්ම සමස්තයක් වශයෙන් රටට ද අතිවිශාල පාඩුවකි.

මෙම තත්ත්වයේ ස්වභාවය කෙබඳු ද යන්න සරසවියෙන් පිටවී උපාධිදාරියෙකු ලෙස සුදුසු රැකියාවක් ලබා ගැනීම සඳහා උත්සාහ කිරීමේ දී මා ඇතුළු මාගේ මිතුරු මිතුරියන් අත්විඳි තත්ත්ව ගණනාවක් ඇසුරින් මෙසේ විස්තර කළ හැකිය. එනම් ඇතැම් ආයතනවල රැකියා සඳහා ඉල්ලුම් කළ විට අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු සේවකයින් උපාධිදාරීන් නොවීම හේතුවෙන් උපාධිදාරීයෙකු එම ආයතනවල රැකියාවකට බඳවා ගැනීමෙන් වැළකී සිටීමට ඇතැම් ආයතන ප්‍රධානීන් කටයුතු කර තිබුණි. තව ද ඇතැම් ආයතනවල හෝ ආයතනයේ කිසියම් අංශයක ප්‍රධානියා උපාධිදාරියෙකු වුවත් සරසවි තුළින් පිටවන ඇතැම් උපාධිදාරීන් උපාධියත් සමඟ අදාළ උපාධියේ වටිනාකම තව දුරටත් ඔප් නැංවෙන වෙනත් සුදුසුකම් සහිත වූයේ නම් අදාළ අංශ ප්‍රධානියා වෙතින් එවැනි උපාධිදාරීන්ට හිමිවන්නේ ද නොසැලකිල්ලකි. එලෙස රැකියාවට බඳවා නොගෙන සිටීමේ සිට පුහුණු වන්නෙකු ලෙස රැකියා පුහුණුව ලබා සේවය ස්ථිර නොකර සිටීමේ තත්ත්ව දක්වා උපාධිදාරීන්ට අත්විඳීමට සිදුවූ අවාසනාවන්ත අවස්ථා ගණනාවක් මම ද අත්වින්දෙමි. උපාධිදාරියෙකු වීම උපාධියට සුදුසු වන බොහෝ රැකියා සඳහා මෙසේ නුසුදුසුකමක් බවට පත්වීම ඉකුත් මාස ගණනාව පුරා මා ඇතුළු මාගේ මිතුරු මිතුරියන් අත්විඳි අභාග්‍ය සම්පන්න තත්ත්වයයි.

මේ ආකාරයට උපාධිදාරියෙකු වුවත් රැකියා නොලැබීම නිසා ඇතිවන මානසික පීඩනය මෙන්ම රැකියා ලැබුණත් ඒවා උගත් උපාධියේ මට්ටමට ගැළපෙන රැකියා නොවීම ද උපාධිදාරීන් බොහෝ පිරිසක් මේ වන විට අත්විඳින තවත් එක් කණගාටුදායක තත්ත්වයක් බවට පත්වී තිබේ. එහිදී උපාධිය අමතක කර උපාධියේ අධ්‍යාපන සුදුසුකම්වලට කිසිසේත් නොගැළපෙන කාර්යයන්වල නිරත වීමට බොහෝ උපාධිදාරීන්ට සිදුව තිබෙන්නේ ජීවන අරගලයට මුහුණදීම උගත්කමට සරිලන රැකියාවක් නොලැබීමෙන් රැකියා විරහිත තත්ත්වයට පත්ව සිටිනවාට වඩා වැදගත් වන බැවිනි. එලෙස කොළඹින් එපිට ඇතැම් දුර පළාත්වල උපාධිදාරීන් කොළඹට වී උපාධියට නොගැළපෙන රැකියාවල නිරත වෙමින් තම වටිනා කාලය සහ ශ්‍රමය අතට ලැබෙන සොච්චම් මුදලේ නාමයෙන් දියකර ගමට ගොස් තම රැකියා පිළිබඳ උදම් අනන්නේ උගත්කමට සරිලන රැකියා ඇත්තේ කොළඹ පමණක් බව පවසමිනි. මෙම තත්ත්වය ඇතැම් උපාධිදාරීන්ට අකමැත්තෙන් වුවත් ගත කිරීමට සිදුවී ඇති දෙබිඩි ජීවිතයේ අවාසනාවන්ත ස්වභාවයයි.

කෙසේ වුවත් සිව් වසරක් පුරා බුද්ධිය මෙහෙයවා බොහෝ කැපකිරීම් කර ලබා ගත් උපාධිය මෙලෙස සමාජය හමුවේ අවතක්සේරු වී යන්නට ඉඩහැර බලා හිදීමේ ඛේදවාචකය තුළ බොහෝ උපාධිදාරීන්ට සමාජය තුළ පීඩිත පිරිසක් ලෙස කටයුතු කරන්නට සිදුවීමේ අවාසනාව සරසවි පද්ධතියෙන් බිහිවන උපාධිදාරීන් ඉදිරියේ පවත්නා දැවැන්තම ඛේදවාචකය වන බවට සැකයක් නොමැත. එබැවින් තවදුරටත් මෙරට සරසවි පද්ධතිය රටේ රැකියා වෙළෙඳපොළත් සමග බද්ධ කරමින් සෑම උපාධි අපේක්ෂකයෙකුම සරසවි අධ්‍යාපනයෙන් පසු ඔවුන්ගේ දැනුමට මෙන්ම උගත්කමට ගැළපෙන රැකියා වෙත ඉලක්ක ගත කිරීමේ විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මේ සෑම අවාසනාවන්ත තත්ත්වයකින්ම නැවත නැවතත් හෙළිදරව් කරන කරුණයි. එය රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද සහයෝගය සහිතව විශේෂයෙන්ම රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතම අවධානයක් යොමුකළ යුතු කරුණක් වන බවත් මෙම සටහන අවසන් කිරීමට පෙර අවධාරණය කර සිටින්නේ ජනතාවගේ මුදලින් උපාධියක් ලබා රටට සහ සමාජයට සේවය කිරීමට අපේ රටේ උපාධිදාරීන් සතුව පවත්නා වගකීම මෙලෙස අපතේ හැරීමට කටයුතු කර තිබීම පුද්ගලිකව උපාධිදාරීන්ට මෙන්ම රටට සහ සමාජයට ද සිදුකරන බරපතළම හානිය වන නිසාවෙනි.

ආශ්‍රිත ලිපි
“රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය” – පිළිතුරු ලිපියට පිළිතුරක්

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

5 comments

  1. මොන වගේ රැකියාවන්ද (වැටුප් පරිමාන, තනතුරු නාමය සහ සේවා ස්ථානය ස්වරුපය පැත්තෙන් හිතුවොත් – උදා: බහුජාතික සමාගමක පුහුණුවන කළමනාකරු , වැටුප 50000ක් වගේ.) ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ?

  2. උපාධිධාරීන් හට ගැලපෙන රැකියා ලෙස ඔබ අදහස් කරන්නේ කුමක්ද?

  3. ඔබලා දෙදෙනාගේම ප්‍රශ්නවලට ලබා දිය හැකි පොදු පිළිතුරක් මෙසේ ඉදිරිපත් කළ හැකියි. ඕනෑම ක්ෂේත්‍රයකට කිසිම දෙයක් නොදැන පිවිසෙන කෙනෙක් අදාළ ක්ෂේත්‍රයේ පහළම රැකියාවකින් තම රැකියා ජීවිතය ආරම්භ කළත් අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධියක් ලබාගෙන ක්ෂේත්‍රයට පිවිසෙන පුද්ගලයෙක් පහළම තැනින් තම රැකියා ජීවිතය පටන් ගත යුතු නැහැ. යම් ක්ෂේත්‍රයක විශේෂවේදී උපාධියක්, අදාළ ක්ෂේත්‍රයේ වසර 12 ක විධායක මට්ටමේ අත්දැකීම්වලට සමාන ලෙස සලකනවා. ඉතින් උපාධීදාරීන්ට ලැබිය යුතු රැකියාවක මට්ටම දැන් බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නා මට්ටමට වඩා ඉහළින් පවතින්නක් බව පැවසිය යුතුයි.

  4. උපාධිධාරීන්ට රැකියා නැතිවීම සැබවින්ම අද දුක්ඛදායී තත්ත්වයකි. මේ ප්‍රශ්නය දෙස අපහාසයෙන් බලා “රජයෙන් දෙනකල් බලානොසිට තමන්ගේම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. පුද්ගලික රැකියාවකට යන්න. නාහෙන් අඩන්නැතිව අධිතක්සේරැව පැත්තකට දාලා කම්පැණි එකක පොඩි තැනේ ඉදන් ඉහලට යන්න” යනුවෙන් පොර ටෝක් දෙන කට්ටියගෙන්නම් අඩුවක් නැත. මේ පිළිතුර එ් අය වෙනුවෙන්මය.
    උපාධියේ වටිනාකම දන්නෙ එ්ක ගත්තු එකාය. උනන්දුවෙන් කරගත්තු එකාට එ්ක කොල කෑල්ලට එහා ගොඩාක් වටිනවාය.කැම්පස් එකෙන් අවුට් වෙනකොට අවුරැදු 24 25 වෙලාය. දෙමාපියන්ට සලකන්න ඔනි ගෙදරට කීයක්හරි දෙන්නෝනි වයසේදි ජොබ් හොය හොයා ඉන්න වුනාම එ්කෙ දුක ඔය කවුරැවත් හිතන තරම් සුන්දර නැත. පුද්ගලික රැකියාද ඔනිතරම් අැති අතර වලං හෝදන තැනින් හෝ වෘත්තීය ජීවිතය පටන් ගන්නට උපාධිධාරී අපටනම් හොද පන්නරයක් අැත. නමුත් ගැටලුව වන්නේ බොහෝ අායතන උපාධිධාරී කියා මදක් හෝ ඉව වැටුන සැනින් ඔයාගේ සුදුසුකම් වැඩියි මේ රැකියාවට. කලමනාකාර පුරප්පාඩු අාවොත් අවස්ථාවක් දෙන්නම් කියා ඉන්ටව් ගිය ජොබ් එකට ගන්නේ නැත. තවත් භාගයක් ජොබ්වලට පලපුරැද්ද බලනුයේ අවුරැදු දෙක තුන පහය. එතකොට අපිට ඔක්කොම සුදුසුකම් තිබුනත් වැඩක් නැත. තත්ත්වය ඔන්න ඔිකය. එතකොට අපිට අපේ හිත්වලට යම් පීඩනයක් දැනෙන්නේය. අපේ අම්මලට අපි රැකියාවක නියැලෙනවා බලන්න නැතිකොට ඔවුන් හෙලන සුසුම් අපට ද දැනෙන්නේය. තියෙන සතෙත් විභාග ගාස්තුවලට බැද රැකියා විභාග ලිවුවත් ප්‍රතිපල මාස ගනන් ගෙවීත් එන්නැතිකොට තනි අැහැට අැඩෙනවාය. හොටු එනවාය.

    තව සමහර නෝනලා මහත්තයාලා වගේ නෙමෙයි උපාධිධාරී බහුතරය පාර්ට් ටයිම් ජොබ් කරලා කට්ට කාගෙන නය වෙවී අම්මලා තාත්තලා දාපු සල්ලිවලින් ඉගෙනගත් දුප්පත් දරැවන් ය. කොලඹටවෙලා හිටියොත්නම් නන්නත්තාරෙ ගිහින්හරි කීයක්හරි හොයාගත හැක. නමුත් දහදාහකට විසිදාහකට කොලඹ ඉදන් ජොබ් කලාට එ්කෙන් ඉතුරැවෙන සොච්චම ගෙදරට කීයක්හරි දෙන්න අාසාවකට කීයක්හරි ඉතුරැ කරන්න හොදටෝම මදිය. උපාධිධාරී දරැවන් බොහෝමයක් බහුතරයක්ම ගෙවල්වලට වෙලා හොටු පෙර පෙරා ජොබ් ගැන කියලා අඩන්නේ එ්කය. ලොකු නෝනලා මහත්තරැන්ට එයින් පිලිකුලක් හෙම අැති වුනානම් අනේ සමාවෙන්නට ඔිනෑය. එ් අෑයෝ නොදන්න ලොකු කතාවක් ජොබ් නැතිව ලතැවෙන ලමයි පිටිපස්සේ අැත.
    අනිකනම් එ් ලෙවල් වෙනකල් ඉගෙනගත්තු ලමයි දේශපාලනේ අැදුනුකම්කමට ගිහින් රජයේ ජොබ් කරද්දී තිරිහන් අපිට සමාවනු මැනවි ටිකක් රිදෙන්නේය. එ් ලෙවල් වෙනකල් ඉගෙනගත්තු ලමයි ගන්න ජොබ්වලට අපිත් ඉන්ටව් යද්දී පපුව ටිකක් එව්වා මෙව්වා වෙන්නේය. එ් අපේ කුහකකමම වෙන්නැතිය. හැබැයි මේකත් නොකියාම බැරිය. මෙහෙම පීචං වෙන්න හොටු පෙරං හූල්ලන්න අැයි අපි උපාධියක් ගත්තෙ කියන ප්‍රශ්නෙද මට අැත. එ්ක කොල කෑල්ලකට දාලා රැකියා සුදුසුකමක් නොවේ කියන්නනම් මොන රෙද්දකට ජීවිතේ හොදම වයස එ් වෙනුවෙන් කැප කලාද කියා මා නොදනිමි. රජය ද කල යුත්තේ තව තවත් නාහෙන් අඩන්නට කට්ටිට එකතු වෙන්න නොදී ඔය කොල කෑල්ලක් ගන්න කටු කන විශ්ව විද්‍යාල ටික වහලා දමා එ් ලෙවල්වලින් එහාට ඉගෙනීම නැවැත්වීමය. ජපානෙනම් උපාධි ගත්තු අය කරන්නේ මේකයි අර රටේනම් මෙහෙමයි මේ රටේ උපාධිධාරයො විතරයි මහපොලේ ඉදන් රජයෙන් යැපෙන්නෙ. කිසිම ප්‍රායෝගිකත්වයක් නෑ කියන අයටද කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා මේ රට ඔය කොයි රටක් වගේ හරි කොරලා පෙන්නන්න. එතකොට අපිත් එයාලා වගේ හැමෝම නව ව්‍යවසායකයො වෙන්නම් පාඩුවෙ ඉන්නම් කියාය. දැනටනම් අපිට අාසාවකට ටොෆියක් කන්න අතේ සතේ නැත.

    • ලැබූ උපාධියට සුදුසු රැකියා නොමැතිව දුක් විඳින උපාධිදාරීන්ගේ වේදනාව හරියටම කියලා තියෙනවා. ගොඩක් ස්තූතියි මේ අදහස පළකළ සහෝදරයාට හෝ සහෝදරියට.

Please comment using your facebook account.