බටුවන්ගල රාහුල හිමිගේ “රන්කරඬුව” මෙතරම් වටින්නේ ඇයි?

පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සෑම වසරක් පාසාම පවත්වනු ලබන “ස්වර්ණ පුස්තක” සම්මාන ප්‍රදානය සාහිත්‍ය මාසය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ද පැවැත්වුණි. එහි මෙවර වසරේ විශිෂ්ටතම නවකථාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වූයේ බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත “රන්කරඬුව” කෘතියයි. මෙම සටහන එම කෘතිය පිළිබඳවය.

බටුවන්ගල හිමියන්ගේ රන්කරඬුව කෘතිය වූ කලී බුද්ධාගම පදනම් කරගත් කෘතියකි. විශේෂයෙන්ම කතුවරයා සිය භික්ෂූත්වය තුළින් ලද දැනුම හා අත්දැකීම් ඇසුරෙන් ගොඩනඟා ගත් පරිකල්පනික සිතුවිලි සමූහයක් නවකථාවක් ලෙස මෙහි දී පාඨකයා හමුවේ ඉදිරිපත් කර තිබේ. මෙහි ආඛ්‍යාන රීතිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පැවසිය හැකි වන්නේ එය “මායා යථාර්ථවාදය” නම් වූ ලේඛන විධි ක්‍රමයට අයත් වන බවය. බුද්ධ භූමි වන්දනා කිරීම පිණිස දඹදිව චාරිකාවක යෙදෙන භික්ෂුවකගේ චාරිකා තොරතුරු ඇසුරෙන් බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා මායා යථාර්ථමය ස්වභාවයෙන් කතුවරයා මෙම කෘතිය තුළ ඉදිරිපත් කරයි. කෙසේ වුවත් මෙම ලේඛන ක්‍රමවේදය ලංකේය පාඨකයාට නව අත්දැකීමක් නොවුණත් එය මෙරට තුළ තවමත් පර්යේෂණාත්මක අවධියේ පසුවන ලේඛන විධික්‍රමයකි. බෞද්ධ ඉතිහාසයේ හා බෞද්ධ සාහිත්‍යයේ විවිධ සිද්ධි මායා යථාර්ථය ඔස්සේ ගෙනහැර පාමින් නූතන සාමාජ, දේශපාලනික හා ආගමික මුහුණුවර ද මෙම කෘතිය තුළ කතුවරයා විග්‍රහ කරයි. ඒ අනුව රන්කරඬුව කෘතියේ අන්තර්ගතය පිළිබඳව යම්කිසි විචාරාත්මක ප්‍රවේශයකට එළඹීම ඉතා  වැදගත් වේ.

මෙහි කථාව ඇරඹෙන්නේ භික්ෂුවක් සතර ස්ථාන වැඳ පුදා ගැනීමේ අරමුණින් නැව් තොටකට ගොඩ බැසීම සමඟය. එම භික්ෂුව තමාට ආගන්තුක මෙම පුරයට තමා පැමිණි අරමුණ ඉටු කර ගැනීම පිණිස කරත්තකරුවෙකු සමඟ සිය ගමන අරඹයි. කරත්තකරුගේ නම ගුප්ත වේ. ගැඹුරු අදහස් ඇති ඔහු සම්බන්ධව භික්ෂුවගේ සිත තුළ කිසිදු හැඟීමක් ජනිත නොවුණත් භික්ෂුව ඔහු සමඟ සිය චාරිකාව යාමට තීරණය කරයි.

මෙසේ සිය ගමන අරඹන භික්ෂුවට එතැන් පටන් මුහුණ පෑමට සිදුවන්නේ බලාපොරොත්තු නොවූ අත්දැකීම් සමුහයකටය. භික්ෂුව මෙන්ම මෙය කියවන පාඨකයා ද මෙම සත්‍ය හා මායාව කැටි වූ ලෝකයක් වෙත ගෙන යාමට කතුවරයා සමත් වේ. එම උත්සාහය තුළ කථාවේ මතුපිටින් එක් අර්ථයකුත් කථාවේ යටි පෙළින් තවත් අර්ථයකුත් ඉස්මතු කරමින් කතාව ගොඩනඟන කතුවර භික්ෂුව එකිනෙකට ඝට්ටනය කරනු ලබන සාධක ද්විත්වය වන්නේ “බුද්ධාගම” හා “බෞද්ධ දර්ශනය” වේ. එම සාධක ද්විත්වය නියෝජනය කරනු පිණිස කතුවරයා තෝරාගනු ලබන්නේ සාමාන්‍ය පාඨකයා විසින් පිළිගැනීමට මැලිවන ආකාරයේ චරිත ස්වභාවයන් සහිත චරිත ද්විත්වයක් වන බෞද්ධ භික්ෂුවක් හා කරත්තකරුවෙකි. මොවුන් අතරින් නෛසර්ගිකව  බෞද්ධ දර්ශනය නියෝජනය කරනු ඇතැයි පාඨකයා විශ්වාස කරන බෞද්ධ භික්ෂුවගේ චරිතය එයට නිශේධනාත්මකව එනම් බුද්ධාගම නියෝජනය කිරීම පිණිස හසුරවමින් පාඨකයා විශ්වාස කිරීමට පසුබට වන කරත්තකරුවෙකුගේ භූමිකාව බෞද්ධ දර්ශනය නිරූපණය කිරීම පිණිස තෝරාගනු ලබයි. ඒ අනුව රන්කරඬුවේ කථා සන්ධර්භය සුවිශේෂී ප්‍රපංචයක් ලෙස ගොඩනැඟීමට මෙම තෝරාගැනීම හේතු වූ බව සඳහන් කළ හැකිය.

ඉහතින් සඳහන් කළ සාධක ද්විත්වයේ ඝට්ටනය නවකථාවේ ආරම්භයේ සිටම දක්නට ලැබේ. මෙම තත්වය පහත උපුටා ගැනීම ඇසුරින් පැහැදිලි කළ හැකිය.

‘ “උඹත් මේ ස්ථාන වැඳගනින්…..

“මං බලාගෙන තියෙන්නෙ.”

“බලාගැනිල්ලයි වැඳගැනිල්ලයි දෙකක්….

“මට ඒ ඇති..”

කොහොමත් උඹ හොඳ බෞද්ධයෙක් නෙමෙයිනේ?”

“…… ඒ ගරු කරන්නෙ ඒ හැම සංකේතයකටම සංස්කෘතික කතාවක් තිබෙන නිසා’

“…. උගන්නන දේවල්වලින් උඹ විශ්වාස කරන, අදහන දේවල් නැද්ද?”

“තියෙනවා, ඒක සාතිශය පෞද්ගලිකයි…..”

“ඒ ඇයි?”

විශ්වාස කරන කොටසින් ලබන ප්‍රතිඵලය තමාට පමණක් අයිති පෞද්ගලික දෙයක් නිසා…” ’

(රන්කරඬුව, 26 – 27 පිටු)

මෙලෙස භික්ෂුව හා ගුප්ත අතර මතවාදීමය වශයෙන් සිදුවන ගැටීම් මෙම නවකථාව පුරාම දක්නට ලැබේ. ඒවා ඔස්සේ තවදුරටත් භික්ෂුව දරණ ආකල්පය හා ගුප්තගේ චින්තන ස්වභාවය පාඨකයා හමුවේ විදහා දැක්වේ. එහෙත් එය හුදු දෙබසකින් ඔබ්බට ගියා වූ මෙම නවකථාවේ කශේරුකාව ලෙස සැලකිය හැකි සාධකය වන බව අමතක නොකළ යුතුය.භික්ෂුව හා ගුප්ත නම් කරත්තකරු අතර ඇතිවන ඉහත දෙබස තුළ භික්ෂුව බුද්ධාගම පිළිබඳ දරණ ආකල්පය හා ගුප්ත ආගම් පිළිබඳ  දරණ ආකල්පය පැහැදිලි වේ. ඒ අනුව භික්ෂුව හොඳ බෞද්ධයෙක් ලෙස සිද්ධස්ථාන හොඳින් වන්දනාමාන කරන තැනැත්තෙක් සැලකීම හා ගුප්තගේ අදහස අනුව ආගමික සංකේතවලට සංස්කෘතික කතාවක් ඇති නිසා සැලකීම හා විශ්වාසය තුළින් ලබන ඵලය වෙනත් පුද්ගලයෙකුට ප්‍රකාශ නොකළ යුතු දෙයක් ලෙස සැලකීම යනා දී අදහස් අතර සිදුවන ගැටීම තුළ භික්ෂුව හුදු දෘශ්‍යමාන සාධක ඔස්සේ නිගමනවලට එළඹීම හා ගුප්ත යමක් අවබෝධයෙන් යුතුව වටහා ගැනීමට පෙළඹීම ඔස්සේ දෙදෙනා ආගම පිළිබඳ දරණ මතය ප්‍රකට වේ.

‘ “උඹ අඹුවො තුන් දෙනෙක් තියාගෙන ඉන්නෙ ඇයි….”

“…..ඔවුන් තෘප්තිමත් කිරීම මගේ යුතුකමක් කියලා මට හිතුණා…”

“බුද්ධාගමට විරුද්ධ කතාවක් උඹ කියන්නෙ…”

“සිද්ධාර්ථයන් වහන්සේ තෘප්තියෙන් පසු නිමාව දැකපු කෙනෙක් කියලයි මං හිතන්නෙ.”

“…..උන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරලා උට්ඨාන වීර්යයෙන් බුදු වෙන ආත්මෙත් ගොඩාක් දුක් විඳලා බුද්ධත්වයට පත් වුණේ…”

“මට නැවත කියන්න තියෙන්නෙත් සිද්ධාර්ථයන් වහන්සේ ඒ සත්‍ය සොයා ගියේ තෘප්තියෙන් පසුවයි…” ’

(රන්කරඬුව, 97 – 98 පිටු)

භික්ෂුව හා ගුප්ත අතර ඇතිවන ඉහත දෙබස අනුව ද භික්ෂුව යමක් දුටු පමණින් සරලව තේරුම් ගැනීමට උත්සහ කිරීම හා ගුප්ත ගැඹුරු පදනමක පිහිටා යමක් විග්‍රහ කිරීම තුළ එකිනෙකාගේ ආකල්ප අතර සිදුවන ගැටීම හෙළිදරව් වේ. භික්ෂුව අදහන පරිදි තෘප්තිමත් වීම බුදුදහමට අනුව විරුද්ධ වන අතර වීර්යයෙන් උත්සහ කොට එය මැඬලිය යුතුය. එහෙත් සැබෑ බෞද්ධ දර්ශනය වන්නේ එය ද යන්න මෙහි දී ප්‍රශ්නගත වන්නේ ගුප්ත භික්ෂුවගේ අදහස අනුමත නොකරමින් ඊට වඩා යථාර්ථවාදී වන අයුරින් එම ප්‍රශ්නයට පිළිතුරක් සැපයීම නිසාය. මන්දයත් ඔහු පවසන්නේ සිද්ධාර්ථයන් වහන්සේ තෘප්තියෙන් අනතුරුව නිමාවක් දුටු බවයි. සැබැවින්ම සත්‍යය වන්නේ එයයි. රම්‍ය, සුරම්‍ය හා සුභ නමින් මාළිගා ත්‍රිත්වයක සුව විඳ අන්තඃපුර ඇතුළු රජ කුමරෙක් විසින් අත්විඳින සියලු සුඛ විහරණයන් අත්විඳ විවාහ පත්ව දරුවකු ලද දිනයේ නාටිකාංගනාවන්ගේ විකාර දැක ගිහිගෙය හැර යන සිදුහත් කුමරා සියල්ල අත්හැරියේ තෘප්තියෙන් පසුව නොවේ යැයි කියා පැවසිය හැකිද? නොහැකිය. එසේ නම් සිදු වූයේ තෘප්තියෙන් පසුව සියල්ලේ නිරර්ථක බව වටහා ගෙන සියල්ල අත්හැර නිරිවාණය පසක් කර ගැනීමයි. එහෙත් ගුප්ත අවබෝධ කරගෙන සිටින මෙම සත්‍යය පිළිගැනීමට භික්ෂුව උත්සහ නොකරයි. ඒ අනුව බෞද්ධාගමේ දාර්ශනික පදනමෙන් තොරව හුදු ආගමික පදනමක් මත පිහිටා කටයුතු කිරීම තුළ භික්ෂුවක් බවට පත් වුවත් අර්ථයක් නොමැති බව පැවසිය යුතු වේ.

ඉහතින් විස්තර කළ ආකාරයට බුද්ධාගම හා බෞද්ධ දර්ශනය අතර සිදුවන ඝට්ටනය මෙන්ම බුදුන් වදාළ නිර්මල බුදු දහමට වර්තමානයේ අත්වී ඇති ඉරණම කථාවේ මුඛ්‍ය වස්තු බීජය වන රන්කරඬුව ඔස්සේ කතුවරයා විග්‍රහ කරයි. එය බෞද්ධ ඉතිහාසයේ එන විවිධ චරිත ඇසුරින් ගැන හැර දැක්වුවත් අදින් වසර දෙදහස් පන්සියයකටත් පෙර විසූ එම චරිත හා සම චරිත ලක්ෂණ සහිත චරිත වර්තමානය තුළ ද අපට හමුවේ. එබැවින් ඉතිහාසයේ එන එම චරිත හරහා අද්‍යතන බුදුදහමේ ඉරණම සංකේතාත්මකව දක්වමින් කතුවර භික්ෂුව කථාව තුළ චරිත නිරූපණය කිරීමට කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම රන්කරඬුව නම් සංකේතාත්මක භාවිතය මෙම අදහස පැහැදිලි කිරීම සඳහා යොදා ගත හැකිය. එහි දී කෘතියේ සඳහන් බෞද්ධ භික්ෂුවට කොණ්ඩඤ්ඤ තාපසතුමා භාර කරන්නේ නිර්මල බුදුදහම සහිත එක් රන් පතක් අන්තර්ගත කරඬුවකි. එහෙත් අවසානයේ කරඬුව තුළ රන්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එයින් මුල් රන්පත සොයා ගැනීමට නොහැකි වීම නිර්මල බුදු දහම සොයා ගැනීමට ඇති දුෂ්කරතාව පෙන්නුම් කරයි. එසේම කරඬුව දේවදත්ත තෙරුන් විසින් රැගෙන යන විට රාජානුග්‍රහය සහිතව එයට ලැබෙන පිළිගැනීම තුළ බුදුදහමට අත්වී ඇති  නූතන ඛේදවාචක සමුහය පැහැදිලි වේ.

බෞද්ධාගම හරය කර ගත් කෘතියක් වන  නමුත් මෙහි කාථා සන්ධර්භය තුළ නූතන සමාජයීය හා දේශපාලනික ප්‍රශ්න පිළිබඳව ද සාකච්ඡා කෙරේ. අධික දරිද්‍රතාව, ලාංකීය සමාජයේ පුද්ගල ආකල්පවල ස්වභාවය හා ඒ ඔස්සේ ඇතිවන සමාජ අර්බුද වැනි තත්වයන් ද මෙහි දී අවධානයට ලක්වේ. බෞද්ධ දර්ශනය රැගත් කෘතියක් තුළ මෙවැනි සංකීර්ණ සමාජයීය තත්ව සම්බන්ධව විග්‍රහ කිරීම හා එමඟින් සෑම චරිතයක් හා සෑම සිද්ධියක් අතරම මනා සම්බන්ධතාවක් ඇති කරමින් සංකීර්ණ අදහස් සමූහයක් සරලව මෙම නවකථාව ඔස්සේ ඉදිරිපත් කර තිබේ.

සයිමන් නවගත්තේගම නම් නවකථාකරුවා  සිය කෘති තුළ යොදාගත් හා මොහාන් රාජ් මඬවල නම්  නවකථාකරුවා හරහා මෙරට තුළ වඩාත් ජනප්‍රිය වූ මායා යථාර්ථවාදී ලේඛන රීතිය වඩාත් සිත්ගන්නා සුළු භාවිතයක් ලෙස මෙම කෘතිය හරහා උත්කර්ෂයට නැංවේ. එහි දී බෞද්ධ සාහිත්‍යය නූතන සාහිත්‍යය සමඟ මිශ්‍ර කිරීම සඳහා යොදාගත් උපක්‍රමයක් ලෙස ද කතුවරයාගේ මෙම සාහිත්‍ය ලේඛන ක්‍රමවේදය හැඳින්වීම සාවද්‍ය නොවේ.

මේ අනුව සමස්තයක් වශයෙන් සලකන කල බෞද්ධ දර්ශනය නවකථා ශෛලිය ඔස්සේ පාඨකගත කරමින් එහි සංකීර්ණ මනෝභාවයන් උපමා, රූපක ඇසුරෙන් පැහැදිලි කිරීම මඟින් වඩාත් ආකර්ෂණීය හා සරල ලේඛන ක්‍රමවේදයක් ඔස්සේ රචිත රන්කරඬුව කෘතිය විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ලෙස පෙන්වා දිය හැකිය.

Comments

comments