“රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය” – පිළිතුරු ලිපියට පිළිතුරක්

මීට දින කිහිපයකට පෙර මා විසින් ලියා පළකර තිබූ රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය” නැමැති ලිපියට පිළිතුරු ලිපියක් (SOCIAL : රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය @ Iranga.net) සහෝදර බ්ලොග්කරුවෙකු වන ටෙරෙන්ස් ආරච්චි සහෝදරයාගේ විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය තුළ පළකර තිබුණි. මේ එම පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් මාගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා තබන ලද සටහනකි.

මාගේ එම ලිපියට පිළිතුරු ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් ටෙරෙන්ස් සහෝදරයාට මම මාගේ ස්තූතිය පළකර සිටිමි. මන්ද යත් බ්ලොග් අවකාශය තුළ මෙසේ ඇතිවන සංවාද – ප්‍රතිසංවාද ඔස්සේ යම්කිසි කරුණක් පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක් බ්ලොග් ලේඛකයින් තුළ මෙන්ම බ්ලොග් පාඨකයින් අතරද ඇතිවන නිසාවෙනි. එබැවින් එම සහෝදරයාගේ පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් මෙසේ මාගේ අදහස් දැක්වීමක් ඉදිරිපත් කිරීම වැදගත් බව සිතුණේ මාගේ මුල් ලිපිය තුළ මා විසින් ඉදිරිපත් කළ ඇතැම් අදහස් තවදුරටත් පැහැදිලි කිරීම සඳහාය.

මාගේ ලිපිය තුළ මා ඉදිරිපත් කර තිබූ ඇතැම් අදහස්, මා එම අදහස් ඉදිරිපත් කිරීමේ දී අදහස් කළ අර්ථයෙන් තොරව අදාළ පිළිතුරු ලිපිය තුළ අර්ථදක්වා ගෙන ඇති බවක් දැකිය හැකිය. එවැනි එක් අවස්ථාවක් වන්නේ “යම් ක්ෂේත්‍රයක විශේෂවේදී උපාධියක්, අදාළ ක්ෂේත්‍රයේ වසර 12 ක විධායක මට්ටමේ අත්දැකීම්වලට සමාන ලෙස සලකනවා” යනුවෙන් මා විසින් ඉදිරිපත් කර තිබූ අදහසයි. මාගේ මෙම අදහස වඩාත් නිරවුල් ලෙස පැහැදිලි කිරීම සඳහා මෙසේ නිදසුනක් ඇසුරෙන් එය පැහැදිලි කළ හැකිය.

එනම් ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමේ දී පූර්ව සුදුසුකමක් ලෙස සැලකීම සාමාන්‍ය තත්ත්වය වන අතර එසේ ජනමාධ්‍ය පිළිබඳ උපාධියක් හදාරා නොමැති පුද්ගලයින්ට ද ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා විකල්ප ක්‍රමයක් ඔස්සේ අවස්ථාව ලබා දී තිබේ. එනම් එසේ ලබා දී තිබෙන්නේ ඔවුන් එම ක්ෂේත්‍රය තුළ ලබා ගෙන ඇති අත්දැකීම් අනුවයි. එහිදී ජනමාධ්‍ය පිළිබඳ විධායක මට්ටමේ වෘත්තින්වල සේවය කර වසර 12 ක අත්දැකීම් ඇත්නම් සිව් වසරක ජනමාධ්‍ය විශේෂවේදී උපාධියට සමාන සුදුසුකමක් ලෙස ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දීමේ දී සලකා බැලීම සිදුකරනු ලබයි. එබැවින් උපාධිදාරීන්ගේ සුදුසුකම් වසර 12 ක විධායක මට්ටමේ අත්දැකීම් හා සමාන වන බව මා විසින් ප්‍රකාශ කරන ලද්දේ එම අර්ථය සහිතවය. එහිදී මා තවදුරටත් අදහස් කළේ යම් ක්ෂේත්‍රයකට අදාළව ලබා ගත් උපාධියක් සහිතව උපාධිදාරියෙක් එම ක්ෂේත්‍රයේ රැකියාවක් සදහා පිවිසෙන්නේ නම් එම උපාධිදාරියා අදාළ ක්ෂේත්‍රයේ පහළම තැනින් රැකියාව පටන් ගත යුතු නැති බවයි. එනම් මා අදහස් කළේ නිදසුනක් වශයෙන් ජනමාධ්‍ය පිළිබඳ උපාධිදාරියෙක් පුවත්පතක ටයිපිස්ට් කෙනෙකු ලෙස රැකියාවකට යෑම හෝ එසේ බඳවා ගැනීම සුදුසු නොවන බවයි. මන්ද යත් ක්ෂේත්‍රයේ ඇතැම් පුද්ගලයින් මෙවැනි ආකල්ප සහිත වූවන් වන බව මා අත්දැකීමෙන්ම දන්නා කරුණක් වන නිසාය. එසේම උපාධිදාරීන් උපාධිය සම්පූර්ණ කර පැමිණි පමණින් ඔවුන්ට විධායක මට්ටමේ තනතුරු පිරිනැමිය යුතු බව ද මා කවර තැනකදීවත් මාගේ අදහස් දැක්වීම් තුළ සඳහන් කර නොමැත. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ එක් සහෝදරයෙක් පළකර තිබූ අදහසකට මා දැක්වූ පිළිතුර ද මෙහිදී මෙසේ උපුටා දැක්විය හැකිය.

මාගේ අදහස-  සරලව කිව්වොත් මේකයි. ඉංජිනේරු උපාධියක් ලබා ගෙන මේසන්වරයෙකු ළඟ අත්වැඩට යා යුතු නැත.

එම සහෝදරයාගේ අදහස- නැහැ එහෙම අදහස් කරේ නැහැ, නමුත් මගේ අත්දැකීම මත ඒ අය වෘතීය පළපුරැද්දකින් තොරව කෙළින්ම කළමනාකරන මට්ටමට කිට්ටු පහසුකම් බලාපොරොත්තු වීම ගැන. මටත් උපාධියක් තියනව හැබැයි මම මුලදිම තේරැම් ගත්ත දෙයක් ඒක කොළ කෑල්ලක් විතරයි කියන දේ. ඒ නිසා මම පොඩියි කියල නොහිත හැකි හැම දේම ඉගෙන ගත්ත නිසා සාර්ථක වුණා.

මාගේ අදහස-  මාත් ඔබේ අදහසට එකඟයි. මා කියන්නෙත් නැහැ උපාධිදාරීන්ට කෙළින්ම කළමනාකරණ තනතුරු ලබා දිය යුතුයි කියා. මන්ද යත් ඔවුන්ට යම් වසර ගණනක් වෘත්තිය අත්දැකීම්ද අවැසි වන නිසා. මගේ අදහස වන්නේ උපාධීදාරීන්ට තම උපාධියේ වටිනාකමට සරිලන රැකියාවකින් සිය රැකියා ජීවිතය ආරම්භ කිරීමට අවස්ථාව ලැබිය යුතුයි කියා.

එබැවින් “උපාධිදාරීන්ගේ සුදුසුකම් වසර 12 ක විධායක මට්මටේ අත්දැකීම් හා සමාන වන බව” යනුවෙන් මා අදහස් කළේ උපාධිදාරීන් ක්ෂේත්‍රයේ පහළම රැකියාවකින් රැකියා ජීවිතය ආරම්භ නොකළ යුතු බව මිසක් විධායක ශ්‍රේණියේ රැකියාවකින් උපාධිදාරීන් සිය රැකියා ජීවිතය ආරම්භ කළ යුතු බව නොවේ.

මෙම අදහසට අමතරව මා විසින් ඉදිරිපත් කර තිබූ තවත් අදහසක් පිළිබඳ අදාළ පිළිතුරු ලිපිය තුළ සිදුකර ඇති අදහස් දැක්වීම සම්බන්ධයෙන්ද මෙසේ මම මාගේ අදහස ඉදිරිපත් කිරීම වැදගත් බව සිතුවෙමි. එනම් මාගේ ලිපියේ එක් තැනක “ඇතැම් ආයතනවල හෝ ආයතනයේ කිසියම් අංශයක ප්‍රධානියා උපාධිදාරියෙකු වුවත් සරසවි තුළින් පිටවන ඇතැම් උපාධිදාරීන් උපාධියත් සමඟ අදාළ උපාධියේ වටිනාකම තව දුරටත් ඔප් නැංවෙන වෙනත් සුදුසුකම් සහිත වූයේ නම් අදාළ අංශ ප්‍රධානියා වෙතින් එවැනි උපාධිදාරීන්ට හිමිවන්නේ ද නොසැලකිල්ලකි” යනුවෙන් මා ඉදිරිපත් කර තිබූ අදහස පිළිබදව එම පිළිතුරු ලිපිය තුළ දීර්ඝව කරුණු දක්වා ඇති බැවින් එම අදහස මා ඉදිරිපත් කළ හේතුව මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් එම අදහස මා ඉදිරිපත් කළේ මට මුහුණ පෑමට සිදුවූ පෞද්ගලික අත්දැකීමක් හේතුවෙනි. එම අත්දැකීම නම් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එක්තරා ආයතනයක එක්තරා රැකියාවකට මා පිවිසීමේ දී මා ජනමාධ්‍ය පිළිබද රචනා කර තිබූ ග්‍රන්ථ හේතුවෙන් අදාළ රැකියා ස්ථානයේ අංශ ප්‍රධානියා වෙතින් මට හිමිවූයේ නොසැලකිල්ලකි. එය එම අංශ ප්‍රධානියාගේ චින්තනය පිළිබඳ ගැටලුවක් මිස අදාළ පිළිතුරු ලිපිය තුළ එම බ්ලොග් රචකයා විසින් ඉතා දීර්ඝව පැහැදිලි කර ඇති අන්දමේ “කොලිෆිකේෂන් එකතු කිරීමේ පිස්සුව” හා සම්බන්ධ කරුණක් නොවන බව පැවසිය යුතුය. කෙසේ වුවත් අදාළ පිළිතුරු ලිපියේ එම දීර්ඝ පැහැදිලි කිරීම තුළ බොහෝ වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බව පැවසිය හැකිය.

එසේම “පුහුණු වන්නෙකු ලෙස රැකියා පුහුණුව ලබා සේවය ස්ථිර නොකර සිටීමේ තත්ත්ව දක්වා උපාධිදාරීන්ට අත්විඳීමට සිදුවූ අවාසනාවන්ත අවස්ථා ගණනාවක් මම ද අත්වින්දෙමි” යනුවෙන් මා අදහස් කරන ලද්දේද මා අත්විඳි පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධ සිදුවීමක් වන අතර එය ඉන්ටර්න්ෂිප් සම්බන්ධ කරුණක් නොවේ. එනම් ඕනෑම රැකියාවකට පිවිසීමේ දී මුල් මාස කිහිපය තුළ පුහුණුවන්නෙකු ලෙසට රැකියාවේ නිරත වීමට සිදුවේ. එහිදී  එම පුහුණු කාල සීමාවෙන් පසු සේවය ස්ථිර කරන බවට මුලින් පොරොන්දුවක් ලබා දී එය එසේ නොකර සිටින අවස්ථාවකට මට මුහුණ දීමට සිදුවූ අයුරින් එවැනි අවස්ථාවලට ඇතැම් උපාධිදාරීන්ට මුහුණ පෑමට සිදුවන බැවින් ඒ පිළිබඳ පැවසීම සඳහා මම මෙසේ කටයුතු කළ බව කිව යුතුය.

කෙසේ වුවත් මාගේ ලිපියට ටෙරෙන්ස් ආරච්චි සහෝදරයාගේ විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය තුළ පළකර තිබූ  පිළිතුරු ලිපිය තුළ උපාධිදාරීන් රැකියාවලට පිවිසීමේ දී මුහුණ දෙන තවත් බොහෝ තත්ත්ව පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබීම තුළ මා විසින් සංවාදයට ලක්කළ අදාළ මාතෘකාව තවදුරටත් පුළුල්ව සංවාදයට ලක්ව තිබේ. එබැවින් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් මෙවැනි පිළිතුරු ලිපි ඉදිරිපත් වීම බ්ලොග් අවකාශය තුළ ඉතා පුළුල් හා ගැඹුරු සංවාදවල නියැලීම සඳහා අවස්ථාව සලසා දෙන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments