ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර දී ඇති ඉතා වැදගත් අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම මඟින් තහවුරු කර දී ඇත්තේ මූලික වශයෙන්ම  අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි. එය මෙරටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙන්ම දේශීය හා ජාත්‍යන්තර ප්‍රකාශනයන් තුළත් තහවුරු කර දී තිබෙන පුද්ගලයා සතු ඉතා වැදගත්ම හිමිකමකි. එනිසා  භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව සාකච්ඡා කිරීමේදී එයට අදාළ වන නීතිමය රාමුව පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.


(ඉහත රූපය උපුටා ගන්නා ලද්දේ http://malawi.misa.org වෙබ් අඩවිය තුළිනි.)

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව මෙසේ සඳහන් වේ.

සෑම පුරවැසියෙක්ම භාෂණයේ යෙදීමේ නිදහස හා මුද්‍රණය කිරීම ඇතුළු ප්‍රකාශන සඳහා නිදහසට අයිතිවාසිකම් ලබයි.

තව ද අන්තර්ජාතික බැඳීමක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ  19 වන වගන්තියේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව සඳහන් වන්නේ පහත අයුරිනි.

සෑම පුද්ගලයෙක්ම අදහස් දැක්වීමේ නිදහසට හා ප්‍රකාශනයට අයිතිවාසිකම් ලබයි. මෙම අයිතිවාසිකම් තුළ මැදිහත්වීම් සහ නිරීක්ෂණයන්ට ලක්වීමෙන් තොරව අදහස් දැරීමටත්, තොරතුරු සහ අදහස් ඕනෑම මාධ්‍යයක් හරහා සීමා මායිම්වලින් තොරව ලබා ගැනීම හා බෙදාහැරීමත් අන්තර්ගත වේ.

එසේම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ  19 වන වගන්තිය තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව පහත අයුරින් සඳහන් වේ.

සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලුම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම් වලින් තොරව ප්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.

කෙසේ වුවත් එම නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය යම් යම් සීමාකම්වලට ද ලක්වේ. ඒ අනුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හා විවිධ අණ පනත් තුළ අන්තර්ගත වන එවැනි  සීමාකිරීම් ඔස්සේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අර්ථ දක්වා ගත යුතුය.

එලෙස භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට අදාළ හේතු කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් වේ[1]. ඒවා පහත ආකාරයට දැක්විය හැකිය.

  1. වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා.
  2. පාර්ලිමේන්තු වරප්‍රසාද සුරැකීමට.
  3. අධිකරණය අපහාස කිරීම වැළක්වීමට.
  4. අන් අයගේ අයිතිවාසිකම් හෝ කීර්තියට ගරු කිරීම සඳහා.
  5. ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ මහජන සෞඛ්‍ය හා සදාචාරය රැකීම සඳහා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළත් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුතිය තුළත් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තුළත් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා වන බව පැවසිය හැකිය.

තවද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට ලක්වන තවත් නීති ප්‍රභේදයක් වන්නේ හදිසි නීති හා රෙගුලාසිය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන පරිච්ඡේදයේ 155 වන වගන්තිය යටතේ මහජන ආරක්ෂාවට අදාළ විධිවිධාන සලකා බැලිය හැකිය. එසේම 1993 අංක 1 දරණ හදිසි අවස්ථා විධිවිධාන හා බලතල ලෙස ද ඒවා සම්බන්ධව අවධානය යොමු කළ හැකිවේ.

විශේෂයෙන්ම මෙම හදිසි නීති රෙගුලාසි ඔස්සේ ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන අවස්ථාවලදී පමණක් නොව දේශපාලන උපක්‍රම ලෙස  යම් යම් මාධ්‍ය ආයතන වසා දැමීමට හා  තහනම් කිරීමට ද කටයුතු කර ඇති බව ඉතිහාසය පරික්ෂා කිරීමේදී පෙනී යයි. ඒ සඳහා නිදසුන් කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකිය.

(i). 1966 ‘ඇත්ත’ ජනදින තහනම් කිරීම.

(ii). 1974 අප්‍රේල් 14 ‘දවස’ පුවත්පත සීල් තැබීම.

(iii). 1982 නොවැම්බර් 02 ‘ඇත්ත’ සීල් තැබීම.

(iv). 2000 මැයි 22 ‘ලීඩර් ප්‍රකාශන’ තහනම් කිරීම.

එසේම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස කෙරෙහි බලපාන තවත් සුවිශේෂී නීතියක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ අන්තර්ගත වූ  සාපරාධී අපහාස නීතිය පෙන්වා දිය හැකිය. එහි සඳහන් වන අන්දමට “කථා කරනු ලැබූ වචනවලින් හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනවලින් හෝ සංඥාවලින් හෝ පෙනෙන නිරුපණයන්ගෙන් යම් තැනැත්තෙකු පිළිබඳ ආරෝපණය කිරීමෙන් ඔහුගේ කීර්තියට හානි කරන අදහසින් හෝ කීර්තියට හානියක් වන බව දනිමින් හෝ එබන්දකින් එලෙස වන බව විශ්වාස කිරීමට කරුණු තිබියදී ඔහු සම්බන්ධයෙන් එබඳු ආරෝපණය කිරීමක් යමෙකු කළහොත් හෝ ප්‍රසිද්ධ කළහොත් මින් මතු දැක්වෙන අවස්ථාවලදී හැර ඔහු ඉහත කී තැනැත්තාගේ කීර්තියට හානි කළ ලෙස” සලකනු ලැබේ.

ඒ අනුව යම් අයෙක්ට අපහාස වන ලෙස යම් ප්‍රකාශනයක් සිදු කළ හොත් එය අපහාසයකි. එවිට එම අපහාස කිරීමට අදාළව වන්දි මුදලක් හෝ චූදිතයාට දඬුවම් දීම හෝ සිදු කළ හැකිය. ඒ සම්බන්ධව ඇති ප්‍රතිපාදන අතර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 135 වන වගන්තිය යටතේ සාපරාධී අපහාස නඩුවක් පැවරීම සිදු කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ අනුදැනුම යටතේ හෝ පමණි. විශේෂයෙන්ම මේ සම්බන්ධව පැවති විවේචනය වන්නේ පුවත්පත් කලාවේදීන් හෙම්බත් කිරීමට රජය විසින් මෙම නීතිය භාවිත කරන බවයි.

තව ද පාර්ලමේන්තු වරප්‍රසාද ප්‍රකාරව ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකිවූ නීතිය අහෝසි වීමත් සමඟ සාපරාධී අපහාස නීතිය ඒ සඳහා භාවිත කළ හැකි නීති ක්‍රමයක් බවට පත්විය. එහි දී සිදු වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු කරන මූලික පරීක්ෂණයකින් තොරව නීතිපති විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමයි. තවද මෙම ක්‍රමවේදය ඔස්සේ විද්‍යාමාන වූ පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය වන ප්‍රධානතම අවස්ථාවක් ලෙස මූලික පරීක්ෂණයකින් වැරදිකරුවන් නොවූ පුද්ගලයන්ට පවා අධිචෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනා සනාථ වීමට පෙරම ඇඟිලි සළකුණු ලබා දීමට සිදුවීම දැක්විය හැකිය. එම ක්‍රමය ඇති කර තිබුණේ ජේ.ආර්.ජයවර්ධන මහතා විසිනි.

එසේම අපහාස නිතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ව්‍යතිරේක ද දක්නට ලැබේ.

(i). මහජනතාවට වැදගත් දෙයක් සම්බන්ධව සාධාරණව කරුණු දැක්වීම.
(ii). මහජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධ කාරණා අනාවරණය කිරීම නිසා හානි නොවීම.
(iii). තමා කරන ප්‍රකාශය සත්‍ය බවත්; මහජනතාවට හානි කර බවත් තර්කානුකූලව ඉදිරිපත් කළ හැකි නම් එබඳු ප්‍රකාශයක් අපහාසාත්මක ප්‍රකාශයක් වුවත් වන්දි ගෙවිය යුතු නැත.

ඒ අනුව සමස්තයක් වශයෙන් අපහාස නීතිය වූ කලී මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය වෘත්තිකයන්ට හානි දායක වූ නීතියක් ලෙස හඳුනා ගත හැකිය. එනිසා මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම පිණිසත් වඩා නිවැරදි වාර්තාකරණයක් සිදු කිරීම පිණිසත් අපහාස නීතිය ඔස්සේ විවිධ බලපෑම් එල්ලවෙනු දැකිය හැකිය.

එනිසා මෙවැනි තත්ත්ව මත 2002 වර්ෂයේ දී දණ්ඩ නීති සංග්‍රහයට කරන ලද සංශෝධනයක් අනුව සාපරාධී අපහාස නීතිය අහෝසි කරන ලදි. මෙම නිතිය අහෝසි කිරීම සම්බන්ධව ඇති වූ කතිකාව තුළ අවධාරණය වූ කරුණක් වූයේ මෙම අපහාස නිතිය ඔස්සේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වයට හානි කරන නිසා මෙය අහෝසි කිරීම වඩාත් සුදුසු වන බවයි. එහිදී පවතින රජය විවේචනය කරනු ලබන මාධ්‍යවේදීන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට රජය මෙම නිතිය භාවිත කරන බවට බොහෝ චෝදනා නැඟුණි. විශේෂයෙන්ම මෙම සාපරාධී අපහාස නීතිය අහෝසි කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පුවත්පත් කර්තෘ සංසඳය ඇතුළු මාධ්‍ය සංගම් ගණනාවක් විසින් විරෝධතා ව්‍යාපාර සංවිධානය කොට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2002 ජූලි මස 18 වන දින පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වීම මඟින් මෙම නීතිය අහෝසි විය. ඉකුත් මහින්ද රාජපක්ෂ සමයේදී ද නැවත මෙය ක්‍රියාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් විය. එහෙත් මාධ්‍ය නිදහස අගයන සැමගේ අදහස වන්නේ මෙම නිතිය යළිත් බලාත්මක නොකළ යුතු බවයි.

භාෂණය හා ප්‍රකාශනය සම්බන්ධව බලපාන තවත් පනත් කිහිපයක් පිළිබඳව තවදුරටත් මෙසේ අවධානය යොමු කළ හැකිය. එහිදී 1995 අංක 32 දරණ නිල රහස් පනත ඔස්සේ තහනම් ස්ථානයකට අවසර නොමැතිව ඇතුළු වීමට හෝ කැමරා ආදී වූ සටහන් උපාංග රැගෙන යාමට කිසිවෙකුට අයිතියක් නොමැත. විශේෂයෙන්ම ඡායාරූප ගැනීම, එවන් තහනම් ස්ථානවල දේවල් සටහන් කිරීම හෝ නිරූපණය කිරීම වරදක් වන අතර එවැනි වරදකට වරදකරු වුවහොත් සිරගත කිරීමකට හෝ රුපියල් 20,000 කට නොවැඩි දඩයකට ලක්වීමට හැකිය. තව ද 1946 අංක 47 දරණ රාජ්‍ය ආඥා පනත ප්‍රකාරව ද කිසියම් දෙයක් පළ නොකර සිටීමේ මාධ්‍යවේදියෙකු සතු අයිතිය වලංගු වන කරුණු දෙකක් පිළිබඳව සඳහන් වේ.

1973 අංක 05 දරණ පුවත්පත් මණ්ඩල පනත ද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් වැදගත් වන පනතකි. එම පනතේ අරමුණ වන්නේ ජනමාධ්‍යයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමටත් පුවත්පත් ප්‍රකාශනයට හා මුද්‍රණයට අදාළ වරදවල් සම්බන්ධව විමර්ශනය කරවීමටත් පුවත්පත් මණ්ඩලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය බලතල හා විධිවිධාන සකස් කිරීමටත් කටයුතු කිරීමයි. ඒ අනුව පනතේ 15 හා 16 වන වගන්ති මඟින් ජනමාධ්‍ය නිදහස සීමාකිරීම්වලට අදාළ ප්‍රතිපාදන දක්වා තිබේ.

එසේම 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ද සෘජුවම මාධ්‍යවේදීන්ට අදාළ පනතකි. එමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යම් සභාවක් තුළ කරන ලද කථාවක්, විවාදයක් හෝ දෛනික කටයුතුවල යෙදීමේ යම් ක්‍රියාවක් සම්බන්ධ යම් පළ කිරීමක් හෝ අපහාසාත්මක හෝ විවේචනාත්මක පළකිරීම්වලින් වැළකීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබේ.

ජේ.ආර්.ජයවර්ධන මහතා බලයේ රැඳී සිටි වසර දොළහක කාල සිමාව තුළ මෙම පනතට අවස්ථා පහකදී සංශෝධන එකතු කර තිබේ. තව ද පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සහ එහි කටයුතු බාධාවලින් තොරව කරගෙන යාම සඳහාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා නිදහස සහතික කිරීම පිණිසත් පිටස්තර බලපෑම්වලින් ආරක්ෂා කොට ඔවුන්ගේ ව්‍යවස්ථාදායක කාර්යභාරය මනා වගකීමෙන් යුතුව ඉටු කිරීම පිණිසත් මෙම පනත ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

ඉහත ආකාරයට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා බලපාන මෙරට තුළ ක්‍රියාත්මක වන නීති පිළිබඳව සාකච්ඡා කළ හැකිය. ඒ අනුව විද්‍යාමාන වන්නේ ඕනෑම සමාජයක් තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඉතා ඉහළින් අගය කරනු ලැබුවත් ඊට සමාන්තරව ක්‍රියාත්මක වන නීතිමය රාමුවක්ද ක්‍රියාත්මක වන බවයි. එනිසා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නැංවීමේ දී එකී තත්ත්වයන්වලට අනුකූලව කටයුතු කිරීමට වග බලා ගත යුතු වේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාත්මක වීමේ දී මෙම තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

පාද සටහන්
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2), 15(7), 19(3) වගන්ති.

ආශ්‍රිත මූලාශ්‍ර
1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978)
2. දණ්ඩ නීති සංග්‍රහය (1883)
3. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය (1948)
4. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (1966)

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

4 comments

    • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් විකාශය වූ මාධ්‍යවේදී තිලක් ජයරත්න මහතා විසින් නිෂ්පාදනය කළ නොවිධිමත් අධ්‍යාපන වැඩසටහනක් වන “කම්කරු ප්‍රජාව” වැඩසටහන හදිසියේ නවතා දැමීම හේතුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහයෝගය සහිතව මානව හිමිකම් ක්‍රියාකරුවෙකු වූ විමල් ප්‍රනාන්දු නම් ශ්‍රාවකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ වැඩසටහන හදිසියේ නතර කර දැමීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරුකර ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලදි. 1996 වසරේදී මෙම වැඩසටහන විකාශය වූ අතර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අදාළ අතිශය වැදගත් මෙම නඩු තීන්දුව ලබා දුන්නේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසිනි.

Leave a Reply

Your email address will not be published.