මාක්ස්වාදයෙන් නිරූපිත පංචවිධ ආර්ථික සැකැස්ම පිළිබඳ විමසුමක්

අද්‍යතන මානව සමාජය තෙක් මානව සමාජයේ විකාශනය තුළ මානවයා යුග ගණනාවක් පසුකර තිබේ. එහි දී මුල්ම මානවයා අර්ධ වානර ලක්ෂණ සහිතව පරිණාමය වීමේ සිට සයිබර් යුගය තෙක් මානවයාගේ සකල විධ චින්තන ශක්තියෙන් හා කායික ශ්‍රමයෙන් බිහිවූ සංකල්ප මෙන්ම භෞතික වස්තූන් ද මානවයාගේ මෙම ඓතිහාසික ප්‍රගමනය සඳහා පදනම සපයන ලදි. ඒ ඔස්සේ සමාජයීය, සංස්කෘතික හා ආර්ථික ආදී වූ විවිධ පැතිකඩ ඔස්සේ මානවයා අත්කර ගත් සංවර්ධිත ජීවිතය තුළ ඔහු සමස්ත ධරණී තලයේම බලවතා බවට අද වන විට පත්ව සිටියි.

කෙසේ වුවත් ඓතිහාසික විකාශනය තුළ මානවයා අත්කර ගත් මෙම භෞතික හා අභෞතික සාධක මඟින් වෙනස්කම්වලට බඳුන් වූ මානව සමාජය පිළිබඳව ලෝක ඉතිහාසය පුරා බිහි වූ විවිධ දාර්ශනිකයින් හා විවිධ දාර්ශනික ගුරුකුල විසින් විවිධාකාර පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබේ. ඒ අතර ඉතිහාසය තුළ ලෝකයේ වැඩිම පිරිසක්‌ අතරට ගමන් කළ දාර්ශනික මතවාදය ලෙස පිළිගනු ලබන කාල් මාක්ස් නම් සුප්‍රකට දාර්ශනිකයා විසින් ඉදිරිපත් කළ මාක්ස්වාදී දර්ශනය තුළ මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය පංති අරගල වල ඉතිහාසය ලෙස හඳුන්වන අතර[1]  එම ඉතිහාසය විස්තර කරනු ලබන්නේ භෞතිකවාදී දෘෂ්ටියකිනි. එය ඓතිහාසික භෞතිකවාදය (Historical Materialism) ලෙස හඳුනාගනු ලැබේ. මාක්‌ස්‌ විසින් රචනා කළ “දේශපාලන අර්ථ ශාස්‌ත්‍රය පිළිබඳ විවේචනයක” (Critique of Political Economy) නැමති ග්‍රන්ථය තුළ ඔහු තම ඓතිහාසික භෞතිකවාදී චින්තනය මඟින් ලෝක ඉතිහාසයේ සමාජ ක්‍රමයේ විකාශනය පිළිබඳ පැහැදිලි කරනු ලබයි. එහි දී මාක්ස් සඳහන් කරන්නේ ලෝක ඉතිහාසය යනු පුද්ගල චරිත, වීර කතා හෝ ආගමික පුරාවෘත්ත නොව එය ආර්ථිකයේ වෙනස් වීමෙන් ඇති වෙන්නක් බවයි.[2]  නොඑසේනම් නම් නිෂ්පාදන ක්‍රමවේදවල සිදුවන ගතිකයන් ඔස්සේ එය සිදුවන බව මාක්ස් විසින් විස්තර කරයි. තව ද එංගල්ස් විසින් ලියන ලද “සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට” නම් ලේඛනය තුළ ද ඉතිහාසය හා ආර්ථිකය පිළිබඳ පහත ආකාරයට විස්තර කරනු ලබයි.

ආදිකල්පික අවධි හැර, මුළු අතීත ඉතිහාසයම පංති අරගල ඉතිහාසයක් බවත්, මෙම යුද්ධකාරී පංති නිතරම නිශ්පාදන සහ හුවමාරු මාර්ගවල, කොටින් කියතොත්, එම වකවානුවේ පැවති ආර්ථික තත්ත්වයන්ගේ නිශ්පාදිතයන් වූ බවත්, සමාජයේ සැබෑ පදනම සැපයෙන්නේ ආර්ථික ව්‍යුහයෙන් බව හා නිශ්චිත ‍ඓතිහාසික කාලයක නෛතික හා දේශපාලන ආයතන ද, ආගමික, දේශපාලන සහ අනෙකුත් අදහස් ද ඇතුලත් සමස්ත උඩු ව්‍යුහයම ගැන සම්පූර්ණ සහේතුක විස්තරයක් කළ හැක්කේ එම පදනමෙන් පටන් ගැනීමෙන් පමණක් බවත්,… [3]

එංගල්ස් පවසන පරිදි සමස්ත ඉතිහාසයම පන්ති අරගලවල ඉතිහාසය වන අතර සමාජයේ සැබෑ පදනම සැපයෙන්නේ ආර්ථික ව්‍යුහය මඟිනි. එනිසා මානව ඉතිහාසය තුළ විවිධ අවධි පිළිබඳව සාකච්ඡා කිරීම යනු සමකාලින ආර්ථික ව්‍යුහයන් පිළිබඳව කරනු ලබන විමර්ශනයකි. එය තුළ සමකාලීනව පැවති නිෂ්පාදනයන්ගේ ස්වභාවය අන්තර්ගත වන අතර මානව සමාජ විකාශනය සකස් වී ඇත්තේ එම ආර්ථික සාධක මත වේ.

එසේම මානව ඉතිහාසය තුළ මානව සම්බන්ධතා ආකාර ද්විත්වයක් යටතේ සිදුවේ. ඒ පහත පරිදිය.

(i). නිෂ්පාදන බලවේග
(ii). නිෂ්පාදන සබඳතා

මෙහි දී නිෂ්පාදන බලවේග ලෙස හඳුනාගත හැක්කේ මිනිස්‌ ශ්‍රමය ප්‍රමුඛ නිෂ්පාදන සඳහා යොදා ගන්නා සම්පත්, මිනිස්‌ දැනුම හා තාක්‍ෂණය ආදිය වේ. එසේම නිෂ්පාදන සබඳතා යනු නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඇති කර ගනු ලබන මානව සම්බන්ධතාවන් හෙවත් ධනවාදී යුගයේ දී ධනපතියා හා නිර්ධනයා අතරත් වැඩවසම් යුගයේ දී නම් රදලයින් හා ප්‍රවේණිදාසයින් අතරත් වහල් යුගයේ දී නම් වහල් හිමියන් හා වහලුන් අතරත් ඇති වන සම්බන්ධතා ලෙස එය අර්ථ දැක්විය හැකිය. එහි දී මෙම සම්බන්ධතාවල ස්වරූපය අනුව සමාජයේ ආර්ථික ක්‍රමවේදය තීරණය වේ. එසේම මාක්ස්ට අනුව නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතාවල ඒකීයත්වය පවතින තුරු සමාජ ක්‍රමයේ පැවැත්ම තහවුරු වන අතර ඒවා අතර ඇතිවන ප්‍රතිවිරෝධතා ඔස්සේ සමාජ ක්‍රමයේ වෙනස්කම් සිදුවේ. එලෙස ඉතිහාසය තුළ ඇති වූ ප්‍රතිවිරෝධතා මඟින් බිහි වන යුග පහක් පිළිබඳව මාක්ස්වාදය තුළ විස්තර කෙරේ.

එම යුග පහත ආකාරයට දැක්විය හැකිය.

  1. පූර්ව කොමියුනිස්ට් සමාජය.
  2. වහල් සමාජය.
  3. වැඩවසම් සමාජය.
  4. ධනවාදී සමාජය.
  5. සමාජවාදී සමාජය.

මාක්ස්වාදය තුළ සාකච්ඡාවට බඳුන් කරනු ලබන මෙම එක් එක් යුග තුළ ක්‍රියාත්මක වූ ආර්ථික රටා හෙවත් ආර්ථික  සැලසුම්ද එකිනෙකට වෙනස් වේ. මෙම රචනයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ එම එක් එක් යුගවලට සාපේක්ෂව ක්‍රියාත්මක වූ ආර්ථික ක්‍රමවේද පිළිබඳව විග්‍රහයට බඳුන් කිරීමයි.

ඒ අනුව මාක්ස්වාදය තුළ සඳහන් වන ලෝක ඉතිහාසය තුළ මුලින්ම පැවති සමාජ ක්‍රමය වන්නේ ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ක්‍රමය හෙවත් පූර්ව කොමියුනිස්ට් සමාජ ක්‍රමයයි. මෙම සමාජ ක්‍රමය තුළ පැවති ආර්ථික ක්‍රමවේදය වූයේ සමස්තයම පොදු දේපළ ලෙස පරිහරණය කළ ක්‍රමවේදයයි. එනම් කිසිවෙකු විසින්වත් යමක් පුද්ගලික යැයි සලකමින් පරිහරණය නොකළ අතර සියල්ල පරිහරණය කරනු ලැබුවේ පොදු දේපළ ලෙස සලකමින්ය. තව ද මෙම සමාජ ක්‍රමය තුළ ජිවත් වූ පුද්ගලයින් සතුව පැවතියේ සීමිත අවශ්‍යතාවන්ය. එම සීමිත අවශ්‍යතාවන් විසින් මෙහෙය වනු ලැබූ පුද්ගල ජිවිත සරල අවශ්‍යතා මඟින් තෘප්ත විය. මෙම සමාජ ක්‍රමයේ ලක්ෂණ ලෙනින් “රාජ්‍යය” නමින් සිදු කරන ලද දේශනයක පහත පරිදි සඳහන් වේ.

ඔබ ආදිකල්පික ශිෂ්ටාචාරය ගැන ඕනෑම කෘතියක් ගන්නේ නම්, සමාජ වහල් හිමියන් හා වහලුන් ලෙසට බැදී නොපැවති, අඩු වැඩි වශයෙන් ආදිකල්පික කොමියුනිස්ට් ක්‍රමයට සමාන ක්‍රමයක් තිබුණු බව කියන, අඩු වැඩි වශයෙන් පැහැදිලි විස්තර, සලකුණු හා මතක සටහන් නොවරදවාම ඔබට හමුවනු ඇත. එම කාලවලදී රාජ්‍යයක් නොතිබිණි. ක්‍රමානුකූළ ලෙස බලහත්කාරය යෙදීම සහ ජනතාව බලහත්කාරයෙන් යටපත් කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් එකල ‍නොතිබුණි.[4]

ඉහත දේශනයට අනුව ලෙනින් පැහැදිලි කරනු ලබන්නේ එකල ආදිකල්පික කොමියුනිස්ට් ක්‍රමයට සමාන ක්‍රමයක් එනම් පූර්ව කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් පැවති බවත් එකල රාජ්‍යයක් නොපැවති බවත්ය. ඒ අනුව එමඟින් අවධානයට ලක් කළ හැකි විශේෂ සාධකයක් වන්නේ මෙකල සමාජයේ ආර්ථික ක්‍රියාවලිය පාලනය කිරීම හෙවත් නියාමනය කිරීම සඳහා කිසිදු යාන්ත්‍රණයක් නොපැවති බවයි. එනිසා පුද්ගල අවශ්‍යතා මත සමපාත වූ සියල්ලන්ටම පොදු වූ භාණ්ඩ පරිහරණය කිරීමේ ක්‍රමවේදයක් තුළ නිර්මාණය වූ පූර්ව කොමියුනිස්ට් සමාජ ආකෘතිය සමාජවාදී මූලධර්ම හා එකඟවන යුගයක් ලෙස ද හඳුනාගත හැකිය. මෙම යුගය තුළ පුද්ගලික අයිතියක් නොතිබූ බැවින් පංති බෙදීමක්ද නොවීය. එනම් සමාජ පන්ති සාධකය මෙම යුගය තුළ නොපැවතුණි. එනිසා එක් පන්තියක් විසින් තවත් පන්තියක් යටත් කොට තබා ගනිමින් බලහත්කාරයෙන් සිදු කරනු ලබන ශ්‍රම සූරාකෑම් ද මෙම යුගය තුළ දක්නට නොලැබුණු නිසා පූර්ව කොමියුනිස්ට් සමාජ ක්‍රමයක්‌ ලෙස මෙම සමාජ ක්‍රමය හැඳින්වීම වඩා සාධාරණය.

කෙසේ වුවත් ගෝත්‍රික සමාජ අතර ඇති වන ගැටුම් ඔස්සේ මෙම සමාජ ක්‍රමය බිඳ වැටෙන අතර එක් ගෝත්‍රයක් විසින් අනෙක් ගෝත්‍රය යටත් කර ගැනීම නිසා එක් ගෝත්‍රයක  දේපළක් බවට අනෙක් ගෝත්‍රය පත් විය. එමඟින් “පුද්ගලික දේපළ ක්‍රමය” බිහි වූ අතර එතැන් පටන් මානව ඉතිහාසය වෙනස් කළ සුවිශේෂී බලවේගයක් බවට පත්වන්නේ ද මෙම ක්‍රමයයි. තව ද මෙම ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස දේපළ හිමි පන්තියක් හා දේපළ අහිමි පන්තියක් නිර්මාණය වන අතර සමාජ පන්ති බිහි වීමේ මූලාරම්භය වන්නේ එම තත්ත්වයයි. ඉන පසු එක් සමාජ පන්තියක් විසින් අනෙක් සමාජ පන්තිය සිය බලයට නතු කොට පාලනය කිරීම තුළ සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වේ.

මෙම රචනයෙහි මුලින් විස්තර කළ නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතා නම් සාධක ද්විත්වයට අනුව මෙම යුගය තුළ දී හුදු නිෂ්පාදන මාර්ගයක් ලෙස වහලුන් සලකන ලදි. වහලා ප්‍රමුඛ කර ගන්නා ලද නිෂ්පාදන මාර්ගවල හිමිකරුවා වූයේ වහල් හිමියාය. මේ සම්බන්ධව ලෙනින් සිය “රාජ්‍යය” නැමති දේශනය තුළ තවදුරටත් පැහැදිලි කරනු ලබයි.

අවුරුදු දෙදහසකට පෙර වහල් ක්‍රමය ඉතාමත් ප්‍රභලව පැවැත්තේය. ලෝකයේ අන් කොටස්වල ජනතාවගෙන් අති බහුතරයද මෙම අවධිය ගෙවා ඇත. දියුණුවෙන් අඩු ජනතාවන් අතර වහල් ක්‍රමයේ සටහන් අද දක්වාම ඉතිරිවී ඇත්තේය. නිදසුනක් ලෙසට වර්තමාන අප්‍රිකාවේ වහල් ආයතනය පවතින බව ඔබට දැක්ක හැකිය. වහල් හිමියන් සහ වහළුන් වශයෙන් බෙදීම ප්‍රථම වැදගත් පංති බෙදීම විය. මෙයින් මුලින් සඳහන් පංති කණ්ඩායමට සියළුම නිෂ්පාදන මාර්ග -ඉඩම් සහ එකල ඉතාමත් නොදියුණු හා ආදිකල්පික තත්ත්වයෙන් වුව පැවති උපකරණ – පමණක් නොව ජනයාද අයත් විය.මෙම කණ්ඩායම වහල් හිමියන් වශයෙන් හැදින්වුණි. ඒ අතර ශ්‍රමකාරී වූ සහ අන්‍යයන් සඳහා ශ්‍රමය සැපයූ අය වහලුන් ලෙසට හැදින්විනි. [5]  

ඒ අනුව ඔහු විසින් පැහැදිලි කරන පරිදි මෙම ක්‍රමය ලෝකය තුළ අවුරුදු දහස් ගණනක් පුරා පැවතුණු තත්ත්වයකි. මෙයට නිදසුනක් වන්නේ ග්‍රීසිය තුළ දක්නට ලැබුණු වහල් සමාජ ක්‍රමයයි. එහි දී එම සමාජ ක්‍රමය තුළ වහලා සලකන ලද්දේ එම සමාජයෙන් පිටස්තර පුද්ගලයෙකු ලෙසිනි. එකල පැවති දේශපාලන ක්‍රමය අනුව වහලාට ඡන්ද බලය හිමි නොවුණි. කෙසේ වුවත් ලෙනින් පවසන පරිදි ඔහු එම දේශනය පැවැත්වූ කාල වකවානුවේ දී අප්‍රිකාව තුළ වහල් ක්‍රමයේ ලක්ෂණ පැවතුණු බව සඳහන් වේ. තවද වහල් හිමියන්ට සියළුම නිෂ්පාදන මාර්ග, ඉඩම් සහ එකල ඉතාමත් නොදියුණු හා ආදිකල්පික තත්ත්වයෙන් වුව පැවති උපකරණ – පමණක් නොව ජනයාද අයත් වූ බව ප්‍රකාශ කරයි. ඒ අනුව වහල් සමාජ ක්‍රමයේ සියලු සමාජ සාධකවල නියාමකයා හෙවත් සර්ව බලධාරියා බවට පත්වූයේ මෙම ධනය හිමි වහල් හිමියා නියෝජනය කරනු ලබන සමාජ පන්තියයි. සියලු නිෂ්පාදන මාර්ග හා ඉඩම්, උපකරණ ආදී වූ සමාජයක ආර්ථිකය සඳහා වැදගත් වන සියලු සම්පත් ඔහු සතු වූ නිසා එම සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ ආර්ථික පාලනය කරන ලද්දේද මෙම වහල් හිමි සමාජ පන්තියයි. ඔවුන් විසින් වහල් සමාජ ක්‍රමයේ සියලු ආර්ථික සාධක පාලනය කළ අතර එම පාලනය මත සමාජයේ සියලු බලවේග නියාමනය විය.

එමෙන්ම මෙම සමාජ ක්‍රමය තුළ ප්‍රධාන ආර්ථික සම්පත බවට පත්වන්නේ වහලාය. එනිසා වහලාට සමාජය තුළ කිසිදු නිදහසක් වහල් හිමියන් වෙතින් හිමි නොවුණි. ඒ අනුව ඔවුන්ට හිමි වූ එකම නිදහස වූයේ වහල් හිමියාට සේවය කිරීම පමණි. වහල් හිමියාගේ පැවැත්ම තීරණය වූයේ වහලාගේ ශ්‍රමයෙහි අතිරික්ත ඵලය මඟිනි. එසේම වහලා විසින් තම යැපුමට අවශ්‍ය ශ්‍රම ප්‍රමාණයට වඩා වැඩි ශ්‍රමයක් වැය කරන ලද  අතර එම අතිරික්ත ශ්‍රමය සම්පූර්ණයෙන් ම වහල් හිමියා විසින් පැහැර ගන්නා ලදි. මෙම ශ්‍රමය වහල් සමාජ ක්‍රමයේ ආර්ථික පදනම ලෙස ක්‍රියාත්මක වීම තුළ වහලාට හිමි වූයේ අතිශය දුක්ඛිත ජිවන තත්ත්වයකි.

මෙසේ වහාලාට හිමි වූ දුක්ඛිත ජිවන තත්ත්වය තුළ පැනනැගුණු ප්‍රතිවිරෝධතා ඔස්සේ වහල් සමාජ පන්තිය වහල් හිමි සමාජ පන්තියට එරෙහිව සංවිධානය වන අතර එතුළින් වහල් සටන් ඇතිවේ. එසේ ඇතිවූ සටනකට නිදසුනක් ලෙස “ස්පාටකස් කැරැල්ල” පෙන්වා දිය හැකිය. එම සටන්වල අවසාන ප්‍රතිඵලය වන්නේ වහල් සමාජ ක්‍රමය බිඳ වැටී නව සමාජ ක්‍රමයක් වන වැඩවසම් සමාජය නිර්මාණය වීමයි.

වහල් සමාජ ක්‍රමය තුළ මූලික ආර්ථික සාධකය බවට වහලා පත්වූ ආකාරයට වැඩවසම් සමාජ ක්‍රමය තුළ මූලික ආර්ථික සාධකය බවට පත්වන්නේ ඉඩම්ය. එවිට ඉඩම් හිමි සමාජ පන්තිය ලෙස රදලයින් හා ඉඩම් අහිමි සමාජ පන්තිය ලෙස ප්‍රවේණි දාසයින් ඉස්මතු වේ. කෙසේ වුවත් මෙම සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ නිෂ්පාදන සබඳතාව වහල් සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ නිෂ්පාදන සබඳතාවට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. ලෙනින් මෙම සබඳතාවයේ ස්වරූපය පිළිබඳව සිය “රාජ්‍යය” නැමති දේශනය තුළ පහත පරිදි විස්තර කරයි.

රටවල් බොහෝමයකම වැඩවසම් ක්‍රමය සංවර්ධනය වීමේදී එය ප්‍රවේණි දාස ක්‍රමය ලෙසට පරිණාම විය. එවිට සමාජය මූලික වශයෙන් බෙදුනේ වැඩවසම් අධිපතියන් සහ ගොවි ප්‍රවේණි දාසයන් යනුවෙනි. ජනතාව අතර සම්බන්ධකම් පිළිබඳ ආකෘතිය වෙනස් වුනේය. වහල් හිමියෝ වහලුන් තමන්ගේ දේපලක් සේ සැලකූහ. නීතිය විසින් මෙම අදහස ස්ථීර කරන ලද අතර, වහලා වහල් හිමියාට සම්පූර්ණ වශයෙන් අයත් භාණ්ඩයක් ලෙසට සලකන ලදී. ගොවි ප්‍රවේණි දාසයා හා සම්බන්ධයෙන් ව කළ, පංති පීඩනය සහ යටහත් බව ඔහු කෙරෙහි රැදී පැවති නමුත්, වැඩවසම් අධිපතියන්ගේ භාණ්ඩ මෙන් ගොවි ජනයා ඔවුන්ට අයත් සේ නොසලකන ලදී. වැඩවසම් අධිපතියාට තිබුනේ ගොවි ජනයාගේ ශ්‍රමය ලබාගැනීම සඳහා නැතහොත්, ඔවුන් ලවා කිසියම් සේවාවන් අනිවාර්ය ලෙස කරවා ගැනීම සඳහා අයිතියය. [6] 

ඒ අනුව වැඩවසම් සමාජ ක්‍රමය තුළ නිෂ්පාදන බලවේගය ලෙස ඉඩම් ඉස්මතු වූ අතර නිෂ්පාදන සබඳතා ලෙස ක්‍රියාත්මක වූයේ රදළයින් හෙවත් වැඩවසම් අධිපතියන් හා ගොවි ප්‍රවේණි දාසයින් අතර වූ සම්බන්ධතාව වේ. මෙම ක්‍රමය තුළ දැකිය හැකි වූ විශේෂත්වය වූයේ ඉඩම් හිමි පන්තිය තම දේපළක් ලෙස ගොවි පන්තිය නොසැලකීමයි. එනම් වහල් සමාජ ක්‍රමයේ දී මෙන් වහලා වහල් හිමියාගේ දේපළක් ලෙස නොසැලකීම නිසා නිෂ්පාදන සබඳතාවයේ ස්වරූපය වෙනස් ස්වභාවයක් දැරීය. වහල් සමාජ ක්‍රමය තුළ වහල් හිමියාගේ  දේපළක් ලෙස සැලකීම නීතිය මෙමඟින් ද පිළිගත් නමුත් මෙම ක්‍රමයේ දී එම තත්ත්වය දක්නට නොලැබුණි. ඒ වෙනුවට මෙම සමාජ ක්‍රමය තුළ දක්නට ලැබුණේ ගොවි ජනයාගෙන් කිසියම් සේවාවක් අනිවාර්ය ලෙස කරවා ගැනීම සඳහා අයිතියයි. එසේ වුවත් වැඩවසම් සමාජය තුළ ද ගොවි ප්‍රවේණි දසයා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පන්ති පීඩනය එලෙසින්ම දැකිය හැකි විය.

මෙම රාජ්‍ය ක්‍රමය තුළ ප්‍රධාන ආර්ථික සම්පත බවට ඉඩම පත්වීම නිසා සමස්ත ආර්ථික ක්‍රියාවලිය රඳාපැවතියේ ඉඩම නම් සාධකය කේන්ද්‍ර කර ගනිමිනි. එනිසා මෙකල ක්‍රියාත්මක වූ නිෂ්පාදන සබඳතාවයේ ස්වරූපය වූ රදළයා හා ප්‍රවේණි දාසයා අතර වූ සම්බන්ධතාව  ද තීරණය කරන ලද්දේ මෙම සාධකය විසිනි. එනිසා ඉඩම් හිමි පන්තිය සමස්ත ආර්ථික ක්‍රියාවලියේ බලධාරියා බවට පත්වූ නමුත් එම ක්‍රියාවලියේ ගාමක බලවේගය ලෙස කැපී පෙනුණේ ගොවි පන්තියේ දායකත්වයයි.

වැඩවසම් සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ පීඩාකාරී ස්වභාවය නිසා නිෂ්පාදන සබඳතාවල ඇතිවන ප්‍රතිවිරෝධතා හේතුවෙන් මෙම සමාජ ක්‍රමය තුළ අරගල ඇතිවන අතර එංගලන්ත විප්ලවය හා ප්‍රංශ විප්ලවය යනු එසේ ඇති වූ කැරලිවලට නිදසුන් කිහිපයකි. මෙම විප්ලව මඟින් පැවති වැඩවසම් සමාජ ක්‍රමය බිඳ දමා ධනවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කර ගනියි.

ධනවාදී සමාජ ක්‍රමය නිර්මාණය වන්නේ වැඩවසම් සමාජයේ නෂ්ටාවශේෂ මඟිනි.[7] නොඑසේනම් එය එක් පන්තියක් පාගා වෙනත් පන්තියක් නැගී සිටීමට ඉතිහාසය තුළ දැරූ උත්සහයන්වල තවත් එක් අදියරක් පමණි. කෙසේ වුවත් ධනවාදී සමාජ ක්‍රමයක් ඇතිවීම හෙවත් ධනපති පන්තියක් හා නිර්ධන ඇතිවීම කෙරෙහි බලපෑ සාධක අතර දේශ ගවේෂණ කටයුතු, යටත් විජිත වෙළෙඳාම හා කාර්මික විප්ලවය යනාදිය පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම මෙම සාධක අතරින් මේ සඳහා ප්‍රබල දායකත්වයක් සැපයූ සාධකය ලෙස කාර්මික විප්ලවය හඳුනාගැනීමට හැකිවේ. එසේ නිර්මාණය වූ නව සමාජ ක්‍රමය නිසා නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතාවල ස්වරූපය ද සීඝ්‍ර වෙනසකට බඳුන් විය. එය සිදු වූ අයුරු පහත ආකාරයට විස්තර කළ හැකිය.

18 වන සියවසේ දෙවනි භාගයේ දී එංගලන්තයේ ඇති වූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්ධන පන්තිය බිහිවිය. ඉන් අනතුරුව කාර්මික විප්ලවය ලෝකයේ අනෙක් රටවල්වලට පැතිරුණි. මෙම විප්ලවය ඇතිවුණේ විවිධ කාර්යයන් පහසු කිරීම පිණිස යන්ත්‍ර සොයා ගැනීම  නිසාය. එම යන්ත්‍ර මිල අධික වූ නිසා ඒවා මිල දී ගත හැකි වූයේ ධනවතුන්ට පමණි. එනිසා එතෙක් පැවති නිෂ්පාදන ක්‍රමය වෙනස් වූ අතර කම්කරුවන්ට නොදියුණු අත්යන්ත්‍රවලින් නිපදවිය හැකි වූ දේවල් මෙම යන්ත්‍ර මඟින් වඩා වැඩි ලාභයක් සහිතව ඉතා පහසුවෙන් නිපදවිය හැකි වූ නිසා පැරණි කම්කරුවන්ට පාරට බැසීමට සිදු විය. මෙම හේතුව නිසා යන්ත්‍ර විසින් සමස්ත කර්මාන්තයම ධනපතින් අතට පවරන ලදි. සෑම ක්ෂේත්‍රයකටම අදාළව යන්ත්‍ර නිර්මාණය වීම තුළ ශ්‍රමය කම්කරුවන් අතර බෙදී යාමට පටන් ගත්තේය. එනම් කාර්මික විප්ලවයට පෙර යම්කිසි නිෂ්පාදනයක් මුල සිට අග දක්වාම එක් කම්කරුවෙකු අතින් නිෂ්පාදනය වුවත් මෙතැන් පටන් යම් නිෂ්පාදනයක කොටසක් නිපදවන තත්ත්වයට කම්කරුවා පත්වීම නිසා ශ්‍රම විභජනය ඇතිවිය. ඒ ඔස්සේ නිෂ්පාදන වඩාත් සිඝ්‍රයෙන් නිපදවීම සිදු වූ අතර හා ඒවායේ මිල ද අඩු විය.[8]

තව ද කාර්මීකරණයේ බලපෑම මත මහා පරිමාණ වශයෙන් කර්මාන්තශාලා බිහි වීම ද සිදු විය. එමඟින් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වියදම අඩු වී ශ්‍රම විභජනය වඩාත් පුළුල් විය. ක්‍රමක්‍රමයෙන් කර්මාන්තශාලා ලෝකය පුරා ව්‍යාප්ත වීම නිසා හැම ක්ෂේත්‍රයක් තුළම කර්මාන්තශාලා ඔස්සේ සිදු කරන භාණ්ඩ නිපදවීම තහවුරු වූ අතර මෙහි අනිසි ඵලයක් ලෙස කුඩා හස්ත කර්මාන්ත ශිල්පීහු  ආර්ථික විනාශයට මුහුණ පෑහ. ඒ අනුව ශිල්පියාට හිමිව තිබූ පැරණි තත්ත්වය සහමුලින්ම වෙනස් වූ අතර සමාජයේ සියලු කොටස් අභිබවා මහා ධනවතුන්ගේ පන්තිය හා කිසිදු ධනයක් නොමැති පන්තිය නමින්  නව සමාජ පන්ති ද්විත්වයක් ද නිර්මාණය විය.[9]

මෙම ධනවාදී සමාජ රටාව තුළ ආර්ථික ක්‍රමවේදය සංවිධානය වූයේ නිර්ධන පන්තිය විසින් ධනපති පන්තියට ශ්‍රමය අලෙවි කිරීම ඔස්සේ ඇති වූ නිෂ්පාදන සබඳතාවල ස්වරූපය මඟිනි. එහි දී ශ්‍රමය ද සලකන ලද්දේ අනෙකුත් භාණ්ඩ හා සමානවමය. එනම් අන් සියලු භාණ්ඩවල මිල නියම කරන අයුරින්ම ශ්‍රමයට ද මිලක් නියම විය. භාණ්ඩයකට මිලක් නියම වන්නේ එම භාණ්ඩයේ නිෂ්පාදන වියදමට සමාන වන ලෙසය, එසේම ශ්‍රම නිෂ්පාදනයේ වියදමට සමාන මිලක් ධනවාදී සමාජ ක්‍රමය තුළ  නියම වේ. එම මිල වූ කලී කම්කරුවාට තම ශ්‍රමයේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සහ කම්කරු ජිවිත මිය නොගොස් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණය වේ. එම ප්‍රමාණයට වඩා වැඩි දෙයක් කම්කරුවාට තම ශ්‍රමයට නොලැබෙයි. එනිසා ඔහුට ලැබෙන වැටුප ඉතා අඩු වැටුපක් වේ.[10]

කෙසේ වුවත් මෙම ධනපති සමාජ ක්‍රමය තුළ කම්කරුවා වහල් යුගයේ වහලාගෙනුත් වැඩවසම් යුගයේ ප්‍රවේණි දාසයාගෙනුත් කැපී පෙනෙන ලෙස වෙනස් වේ. මන්ද යත් එක් වහලෙකු නියමිත ස්වාමියාගේ දේපළක් වූ නිසා වහලාගේ පැවැත්ම සහතික විය. එහෙත් ධනපති ක්‍රමය තුළ කම්කරුවාගේ ශ්‍රමය මිලට ගන්නේ ධනපතියාට අවශ්‍ය වූ විට පමණි. එනිසා ඔහුගේ පැවැත්ම සහතික වී නොමැත. එනිසා පන්තියක් වශයෙන් නිර්ධන පන්තියේ පැවැත්ම තහවුරු වී ඇති අතර ධනපති සමාජ ක්‍රමය තුළ නිර්ධනයා තරඟකාරී බවට පත්ව සිටින අතර වහලාට එම තරඟය බලපාන්නේ නැත. තව ද වහලා සමාජය තුළ පුරවැසියකු ලෙස නොසැලකුණු අතර කම්කරුවා සමාජය තුළ පුරවැසියෙකු ලෙස සලකනු ලබයි.  එසේම වහලාට පුද්ගලික දේපළ අයිතියේ එක් සම්බන්ධතාවක් වන වහල් හිමිකාරිත්වය විනාශ කර දැමීමෙන් නිදහස් වී නිර්ධනයෙක් වීමට අවස්ථාව ලැබේ. නමුත් නිර්ධනයාට සිය ස්වාධීනත්වය සාක්ෂාත් කරගත හැක්කේ පුද්ගලික දේපළ අයිතිය පොදුවේ විනාශ කර දැමීමෙන් පමණි.[11]

ධනපති සමාජයේ කම්කරුවා ප්‍රවේණි දාසයාගෙන් වෙනස් වන්නේද  මූලික වශයෙන්  ප්‍රවේණි දාසයාගේ පැවැත්ම තහවුරු වී තිබීම හා නිර්ධනයාගේ පැවැත්ම තහවුරු වී නොතිබීම තුළය. එහි දී ප්‍රවේණි දාසයාට තම රදළ ස්වාමියාව පන්නා දමා ඉඩම් හිමියෙකු බවට පත්වීමට හැකිය. එමඟින් ඔහුට නිදහස ළඟාකර ගත හැකි අතර නිර්ධනයාට නිදහස ලැබිය හැකි වන්නේ පුද්ගලික දේපළ අයිතිය හා සියලු පන්ති භේද අහෝසි කර දමමිනි.[12]

ධනපති සමාජ ක්‍රමයේ ආර්ථික ක්‍රියාවලිය තුළ දැකිය හැකි සුවිශේෂතම ලක්ෂණයක් වන්නේ එය ගෝලීයව ක්‍රියාත්මක වීමේ ස්වරූපයයි. එනම් ලෝකයේ විවිධ රටවල් සමඟ ඇති කර ගනු ලබන සම්බන්ධතා මත ප්‍රසාරණය වන ගෝලීය වෙළෙඳපොළක් තුළ කටයුතු කිරීමට ධනපති සමාජ රටාව තුළ සිදුවේ. මෙම තත්ත්වය කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය තුළ පැහැදිලි කරන්නේ පහත අයුරිනි.

සිය නිෂ්පාදන භාණ්ඩ වලට නියත ලෙසම විශාල වෙමින් පවතිව වෙළඳපොලක් සොයා ගැනීමේ අවශ්‍යතාවය විසින් මුළු මහත් ලෝකගෝලය වටා ධනපති පංතියට දුවන්නට සිදුවෙයි. එයට හැම තැනටම රිංගන්නටද හැම තැනකම පදිංචි වීමටද හැම තැනකම සම්බන්ධකම් ඇතිකර ගැනීමටද සිදුවේ.[13]

ඒ අනුව ප්‍රසාරණය වෙමින් පවතින වෙළෙඳපොළක් සොයා ගැනීමේ අවශ්‍යතාව මත  ධනපති පන්තියට ලෝකය පුරා ගමන් කිරීමට සිදුවේ. එවිට සෑම තැනකටම ගමන් කිරීමටත් සෑම තැනක් සමඟම සම්බන්ධකම් ඇති කර ගැනීමටත් සිදුවේ. ඒ අනුව ධනවාදී ආර්ථික ක්‍රමවේදය සමස්ත ලෝකය ආවරණය කරමින් ක්‍රියාත්මක වන කිසිවෙකුටත් එයින් වියුක්තව කටයුතු කළ නොහැකි ප්‍රපංචයක් බවට පත්ව තිබේ.

තව ද ධනපති පන්තියේ නිෂ්පාදන සම්බන්ධකම් මෙන්ම ආර්ථික ක්‍රියාවලිය එයට ගැළපෙන පරිදි ධනපති ආයතන ව්‍යුහයක් ද ඇති කළේය. විශේෂයෙන් කම්කරු පන්තිය රජයට විරුද්ධව නැගී සිටීම හා ධනපති පන්තියේ ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රතිගාමී දේශපාලන ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය යාන්ත්‍රණය ද යුද හමුදාව, පොලීසිය ඇතුළු වෙනත් ප්‍රචණ්ඩකාරී ආයතන ද ධනපති සමාජ රටාව තුළ සංවිධානය කරන ලදි. එසේම දේශපාලනය, නීතිය, කලාව, සදාචාරය හා දර්ශනවාදය ආදිය පිළිබඳ මත ධනපති අදහස් ඔස්සේ ගොඩනංවන ලදි.[14]

ධනපති ආර්ථික ක්‍රියාවලියේ මූලික අරමුණ වන්නේ ලාභයයි. ඒ අනුව ධනපති නිෂ්පාදන සබඳතා විසින් බිහි කරන ලද ධනපති ලාභය නිෂ්පාදනය සංවර්ධනය සඳහා විශාල උත්තේජනයක් බවට පත්විය. එහි දී ලාභ ලබා ගැනීමට සඳහා ධනපතියා සිය නිෂ්පාදන ව්‍යාප්ත කිරීම හා යන්ත්‍ර සුත්‍ර වැඩි දියුණු කිරීම සිදු කරයි. එසේම කර්මාන්තවල හා කෘෂිකර්මාන්තයේ ද නිෂ්පාදන ක්‍රම උසස් කරයි.  එහි අවසානය වන්නේ ධනපති නිෂ්පාදන ක්‍රමය විනාශ මුඛය කරා රැගෙන යනු ලබන නිෂ්පාදන බලවේග ජනිත වීමයි.[15]

19 වෙනි සියවසේ අගභාගය වන විට ධනපති ක්‍රමය එහි උත්කර්ෂවත් අදියර වන අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වේ. එහි දී සිදුවූයේ නිදහස් තරඟය අභිබවා භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධව විශාල ධනපති සමාගම් විසින් ඒකාධිකාරියක් ඇතිකර ගැනීමය. ඒ ඔස්සේ හැකි තරම් ලාභ වැඩි කර ගැනීමේ පරමාර්ථය මත අධිරාජ්‍යවාදීන් විසින් යටත් විජිතවල ජනයාගේ ශ්‍රමය සූරාකමින් සිය ආර්ථික අරමුණු ඉටු කර ගැනීම උදෙසා කටයුතු කරයි.

ධනපති ක්‍රමය ඔස්සේ මෙසේ ජනිත කරනු ලබන සියලු ප්‍රතිවිරෝධතාවන්ගේ  සීමාව ඉක්මවා යෑම හේතුවෙන් ආර්ථික අර්බුද හා රැකියා විරහිතභාවය වැනි තත්ත්ව නිර්මාණය කරයි. එනිසා නිර්ධන පන්තිය ධනපති පන්තියට එරෙහිව පන්ති සටන් ක්‍රියාත්මක කර අවසනයේ ධනවාදී නිෂ්පාදන සබඳතා විනාශ කර දමා සමාජවාදී සමාජ ක්‍රමයක් බිහි කර ගනු ලබයි.

මෙම සමාජවාදී සමාජ ආර්ථික ව්‍යුහය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමයි. එමඟින් ශ්‍රමය සූරාකෑම ඇතුළු වෙනත් පිඩාකාරී තත්ත්වයන් සියල්ල ද සමාජය තුළින් ඉවත් කිරීමට කටයුතු කරයි. මෙම තත්ත්වය ඇති කිරීම පිණිස කම්කරු පන්තිය අනෙකුත් වැඩ කරන ජනතාවගේ සහයෝගය ද සහිතව නව සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් නිර්මාණය කරනු ලබයි. ඒ ඔස්සේ කෘෂිකර්මාන්තය සමූහගත කිරීම රට කර්මාන්තමය කිරීම හා සංස්කෘතික විප්ලවයක් ඇති කිරීම මඟින් සමාජවාදී නිෂ්පාදනයක්, ආර්ථික ක්‍රමවේදයක් හා ඊට අනුකූල වන පරිදි සමාජ උපරි ව්‍යුහයක් ද නිර්මාණය කිරීමට කටයුතු කරයි.

අනෙකුත් සමාජ ක්‍රම තුළ දී මෙන් සමාජවාදී සමාජ ක්‍රමය තුළ ද පදනම බවට පත්වන්නේ සම්පත් නිෂ්පාදනය කිරීමයි. ඒ අනුව වහල් යුගයේ දී වහලාගේ ශ්‍රමය නිෂ්පාදන බලවේගය බවට පත් වූ ආකාරයට, වැඩවසම් යුගයේ දී  ගොවි ප්‍රවේණි දාසයා හා ඉඩම් නිෂ්පාදන බලවේග බවට පත් වූ ආකාරයට හා ධනවාදී යුගයේ දී යන්ත්‍රසුත්‍ර, තාක්ෂණය හා කම්කරු ශ්‍රමය නිෂ්පාදන බලවේග බවට පත් වූ ආකාරයට සමාජවාදී යුගයේ දී සමාජවාදී කර්මාන්තය හා  සාමූහික කෘෂිකර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව සමාජවාදී සමාජයේ නිෂ්පාදන බලවේග බවට පත්වේ.

සමාජවාදී සමාජය තුළ පුද්ගලික දේපළ අයිතියක් දක්නට නොලැබෙන නිසා කම්කරුවන් අතර අන්‍යෝන්‍ය ආධාරය මත පදනම් වූ නිෂ්පාදන සබඳතා නිර්මාණය වේ. එහි දී සමාජ පන්ති දැකිය හැකි වූ මානව ඉතිහාසයේ වෙනත් යුගවල දී මෙන් සමාජවාදී සමාජ ක්‍රමය තුළ නිෂ්පාදන සම්බන්ධතාවල සවභාවය මත සමාජ පන්ති දක්නට නොලැබෙන නිසා එක් සමාජ පන්තියක් විසින් වෙනත් සමාජ පන්තියක් සිය බලයට නතු කොට සිදු කරනු ලබන ශ්‍රම සූරා කෑම සමාජවාදී නිෂ්පාදන සබඳතාවල දක්නට නොලැබේ. එසේම සමාජවාදී මූලධර්ම අනුව වැඩ කිරීම සමාජයේ සෑම සාමාජිකයෙකුගේම යුතුකම වන බව ද මෙහි දී අවධාරණය කෙරේ.

එසේම සමාජවාදී ආර්ථික ව්‍යුහය බිහිකිරීමට අවශ්‍ය අනිවාර්ය කොන්දේසිය ලෙස පැහැදිලි කරන්නේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වය තහවුරු කිරීමයි. එනම් කම්කරු පන්තියේ දේශපාලන අධිපත්‍යය ස්ථිර කිරීමයි.[16] ඉන් අනතුරුව නිෂ්පාදනයේ ප්‍රධාන අංශ සියතට ගනිමින් රජය නගරවල හා ගම්වල සමාජවාදී නිෂ්පාදන සබඳකම් ගොඩනැඟීම ක්‍රමනුකූලව සිදුකරනු ලබයි.

ධනවාදී සමාජ ක්‍රමයේ දී මෙන් පාදම පමණක් නොව කලාව, සාහිත්‍ය හා නිර්ධන පන්ති සදාචාරය ආදී වූ අංගවලින් සමන්විත සමාජවාදී ආර්ථික ක්‍රමවේදයට ගැළපෙන පරිදි සමාජ උපරි ව්‍යුහයක් ද මෙම සමාජ ක්‍රමය තුළ ගොඩනඟනු ලැබේ. එසේම කොමියුනිස්ට්  පක්ෂය ප්‍රමුඛ කරගත් විධිමත් දේශපාලන ව්‍යුහයක් හා ආයතන පද්ධතියක් ද සමාජවාදී මූලධර්මවලට අනුකූලව බිහි කරනු ලැබේ. ඒ ඔස්සේ සමාජවාදී ආර්ථික ක්‍රමවේදය මානව ඉතිහාසයේ වඩාත් ජන හිතකාමී ආර්ථික හා සමාජ ක්‍රමය බවට පත් කරමින් සකලවිධ ජනයාගේ විමුක්තිය තහවුරු කරනු වස් මිනිසා විසින් මිනිසාගේ යහපත උදෙසා බිහිකර ගත් වැදගත්ම සමාජ ක්‍රමය බවට පත්කිරීමට කටයුතු කරනු ලැබේ.

ආශ්‍රිිත මූලාශ්‍ර
[1] මාක්ස්, කේ., එංගල්ස්, එෆ්., 1848. කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය.
[2] http://www.divaina.com/2011/12/07/badada02.html
[3] https://www.marxists.org/sinhala/marx/1880/soc-utop/part2.htm
[4] වී.අයි. ලෙනින් විසින් 1919 ජූලි මස 11 වැනි දින ස්වෙර්ද්ලෝව් විශ්වවිද්‍යාලයේ දී ඉදිරිපත් කරන ලද “රාජ්‍යය” පිළිබඳ දේශනය.
[5] වී.අයි. ලෙනින් විසින් 1919 ජූලි මස 11 වැනි දින ස්වෙර්ද්ලෝව් විශ්වවිද්‍යාලයේ දී ඉදිරිපත් කරන ලද “රාජ්‍යය” පිළිබඳ දේශනය.
[6] වී.අයි. ලෙනින් විසින් 1919 ජූලි මස 11 වැනි දින ස්වෙර්ද්ලෝව් විශ්වවිද්‍යාලයේ දී ඉදිරිපත් කරන ලද “රාජ්‍යය” පිළිබඳ දේශනය.
[7] මාක්ස්, කේ., එංගල්ස්, එෆ්., 1848. කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය.
[8] ෆෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට්වාදයේ මූලධර්ම.
[9] ෆෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට්වාදයේ මූලධර්ම.
[10] ෆෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට්වාදයේ මූලධර්ම.
[11] ෆෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට්වාදයේ මූලධර්ම.
[12] ෆෙඩ්රික් එංගල්ස්, කොමියුනිස්ට්වාදයේ මූලධර්ම.
[13] මාක්ස්, කේ., එංගල්ස්, එෆ්., 1848. කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය.
[14] අපනාසියෙව්, වි.,ජී., මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය.
[15] අපනාසියෙව්, වි.,ජී., මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය.
[16] අපනාසියෙව්, වි.,ජී., මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

Leave a Reply

Your email address will not be published.