විජේරාමෙදි යළි අවදිවුණු ප්‍රේමය පිරි මගේ සුන්දර සරසවි මතකය

ගොඩක් දවසකට පස්සේ බ්ලොග් ලිපියක් ලියන්න වෙලාව හොයා ගන්න පුළුවන් වුණා. ඉස්සර නම් දිනපතාම වගේ ලියන්න වෙලාව තිබුණත් දැන් රැකියාවත් එක්ක කාර්ය බහුල වෙන්න සිදුවෙලා නිසා බ්ලොග් ලිපි ලියන්න විතරක් නෙවෙයි නින්ද වගේ ජීවිතේ මූලික අවශ්‍යතාවලටත් වෙලාව හොයාගන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් ඉතින් විනෝදාංශයක් විදිහට හුරුවුණ බ්ලොග් ලිවීම ජීවිතෙන් අයින් කරන්න බැරි තරමටම ජීවිතේට බද්ධ වෙලා තියෙන හින්දා ඒ පරණ පුරුද්දට මේ විදිහට ආයෙත් පණ දෙන්න හිතුවා.

සරසවි ජීවිතේ නිමාවෙන් පස්සෙ වෙහෙසකර රැකියා ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණත් ඒ අතරෙ සරසවියෙදි ගත කරපු සුන්දර කාලය ගැන මතකය හිතට එන වාර අනන්තයි. මොකද අවුරුදු හතරක් කියන්නේ පොඩි කාලයක් නොවෙනවා වගේම ඒ කාලය වෙනත් කිසිම දෙයක් එක්ක සම කරන්නත් බැරි නිසා. අධ්‍යාපනයට දක්වපු උනන්දුව නිසාම ජීවිතේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් වන සරසවි වරම් ලැබීම කියන්නේ ජීවිතේ විශාලතම පරිවර්තනය ඇති කරපු යුගය කියලා කියන්න පුළුවන්.

හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ශ්‍රී පාලි මණඩපය තමයි මගේ සුන්දර සරසවි ජීවිතයේ නවාතැන බවට පත්වුණේ. හොරණ නගරය හා වෑවල හන්දිය වටා ගොඩනැඟුණු සුන්දර මතක ගොඩක් අවුරුදු හතරක් පුරා ජීවිතයට එකතු වුණා. ඒ අවුරුදු හතරෙන් පස්සෙ දැන් ගතකරන රැකියා ජීවිතය නිසා නුගේගොඩ නගරයයි විජේරාම හන්දියයි ජීවිතයට සමීප වෙලා තියෙනවා. විජේරාම හන්දිය ජයවරධනපුර සරසවිය ළඟ නිසා මගේ සරසවියයි වෑවල හන්දියයි එක්ක බැඳුණු අතීත සිදුවීම් නිතරම මතකයට එනවා. මේ සටහන තබන්න හිතුණෙ කිසිදා අමතක නොවන ඒ සුන්දර මතකය ගැනයි.

මගේ සරසවි ජීවිතය ගොඩක් සුන්දර වුණේ මට මුණගැහුණ සංසාරෙ පුරා පතාගෙන ආවා වගේ දැනුණ මගේ උරුමක්කාරිය, ඒ කියන්නෙ මගේ පෙම්වතිය නිසා. මං සරසවියට ඇවිත් පළවෙනි අවුරුද්දේ අග හරිය වෙද්දි ඇයත් එක්ක මගේ ආදර කතාව පටන් ගන්න ලැබීමත් එක්ක ඇය මගේ සෙවණැල්ලක් වගේ මං ළගින්ම හිටපු නිසා ඉතුරු අවුරුදු හතරම තනියක් පාළුවක් හුදෙකලාවක් නැතුව මට ගත කරන්න පුළුවන් වුණා. අපි අත් අල්ලගෙන වෑවල හන්දියෙන් කොච්චර නම් එහෙ මෙහෙ ගියාද. හොරණ නගරය පුරා අපේ දෙපා කොච්චර නම් එහෙට මෙහෙට පියනගන්න ඇත්ද. ඇත්තටම දැන් කාර්යබහුල වෙලා නිදහසේ හුස්මක් ගන්නවත් වෙලාවක් නැති ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණත් අපි ගතකරපු ඒ සුන්දර නිදහස් සරසවි ජීවිතය කොයි තරම් නම් හිතට සැනසීමක්ද.

ඉතින් තුන්වේලම කෑම කන්න විජේරාම හන්දියට යන එන කොට ඒ අතීත මතකය අලුත් වෙනවා. මොකද අපි වගේ පෙම්වතුන් අනන්තවත් විජේරාම හන්දියෙන් එහෙ මෙහෙ යනවා එනවා දකිනවා. ඒ කිසිම කෙනෙක් පුද්ගලිකව හඳුනන්නේ නැති වුණත් අපි හැමෝම හදවත්වලින් සමාන පෙම්වතුන්. එත් එක්කම මටත් ආයෙත් මගේ පෙම්වතියත් එක්ක සරසවී ජීවිතයට ගිහින් වෑවල හන්දිය පහුකරන් හොරණ නගරය පුරා අත් අල්ලගෙන ඇවිදින්න යන්න හිතෙනවා. සමහර දවස්වල හවසට අපි ගිහින් චිත්‍රපටියක් බලපු සිනමා ශාලාවෙදි පෙම්වතිය තුරුළු කරන් චිත්‍රපටයක් බලන්න හිතෙනවා. ඔව් ඒ තමා අපේ හදවත් ආදරෙන් ළං කරපු අපිව ජීවත් කරවපු නගරය.

හැමදාම රෑ 7 කියන්නෙ විජේරාම හන්දිය ගොඩක්ම ජනාකිරීණ වෙන වෙලාව. මොකද සරසවියෙ ළමයි රෑ කෑම අරන් යන්න කෑම කඩවලට යන එන වෙලාව තමයි ඒ. ඒ අතරෙ සමහර පෙම්වතුන් තමන්ගේ පෙම්වතියත් එක්ක කෑම කඩවල කෑම කනවා. තවත් සමහරු කෑම පාර්සල් ගන්න පෙම්වතියත් එක්ක පෝලිමේ ඉන්නවා. ඈත පළාතකින් ඇවිත් ආගන්නතුක මේ නගරෙ ජීවත් වෙන මේ පෙම්වතුන්ට නුගේගොඩ‍ අහස අඳුරු කරගෙන බිං කරුවල වැටෙන මේ වෙලාවට ඔවුනොවුන්ගේ ආදරය කොයිතරම් නම් රැකවරණයක්ද. මගේ පෙම්වතිය නිසා සරසවි ජීවිතයෙදි මාත් අවුරුදු හතරක් පුරා විඳපු ඒ අමිල වස්තුව ගැන මං තරම් දන්න වෙන පෙම්වතෙක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

විජේරාම හන්දියෙදි මෙහෙම සිතුවිලි සාගරයක අතරමං වෙන මං ඉක්මනටම ජංගම දුරකථනය අතට අරන් මගේ පෙම්වතියට ඇමතුමක් ගන්නවා. වෙලාව රෑ 7.30 ට විතර ඇති. ඇය වැඩ ඉවර වෙලා තාම ගෙදරට යන ගමන්. අපේ ජීවිත ගොඩක් කාර්යබහුල වෙලා. ඒත් ආදරයෙ නම් කිසිම වෙනසක් නෑ. අපි දෙන්නා තැන් දෙකක ඉඳන් අපේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ තමයි ඇත්තම ආදරය. හැම මොහොතකම මගේ පපුවට හුස්ම පුරවන ඇගේ ආදරය.

හන්දියෙන් රෑට කෑම කාලා මං ආයෙත් බෝඩිමට යන අතරමගදිත් බෝඩ්ම් ළඟ පෙම්වතුන් අඩ අඳුරේ කතා කරකර ඉන්නවා දකිනවා. ඒ ඉන්නේ ඇයයි මමයි. මං මගෙ හිතින් කියා ගන්නවා. ඔහොම එන අතරෙ සමහර කොල්ලොන්ගෙ බෝඩිම්වල සින්දු කියනවා  ඇහෙනවා. ආයෙත් මගෙ හිත සරසවි ජීවිතයට යනවා. අවුරුදු හතරම යාළුවොත් එක්ක ගත කරපු හොස්ටල් බෝඩිං ජීවිතය. පෙම්වතියත් එක්ක ගත කරපු ජීවිතයට පස්සෙ දෙවැනි තැන ලැබුණෙ ඒ ජීවිතයට. අපිත් ඒ විදිහට රෑට සින්දු කිව්වා. දුකේදි සැපේදි එකටම හිටියා. ජීවිතය බෙදා ගත්තා. ඒත් මං දැන් තනියම බෝඩිං කාමරයක තනිවෙලා අනාගතය වෙනුවෙන් සටන් කරනවා. අතීතයත් වර්තමානයත් අතර සැරිසරපු මේ සිතුවිලිත් එක්ක මං අඩිය ඉක්මන් කරලා බෝඩිමට ඇවිත් කාමරේ දොර වහගෙන නිදා ගන්න ලෑස්ති වුණේ තව පැය කීපයකින් ඊළඟ වැඩ මුරයට යන්න අවදිවෙන්න ඕනෙ නිසා.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

4 comments

  1. එහෙනම් ඒක තමයි ඉරංගගේ ලිපි අඩුවුනේ. රස්සාවේ කාර්්‍යබහුලත්වයත් එක්ක බොහෝ දේවල් මගහැරෙනවා දැන් මගේ බ්ලොග් එකටත් වෙලා තියෙන්නේ ඒකම තමයි…

Please comment using your facebook account.