“හඳ පළුව තනි තරුව” හෙවත් එදා කියූ අදට ගැළපෙන කතාව

හන්තාන කන්දට උඩින් හඳ පෑයුවම අපේ ගෙදරට ලස්සනට පේනවා. අදට හරියටම සතියකට කලින් පෝය දවස. පෝය දවසට අපිට වගේම වෙනත් ආගම් අදහන අයටත් මේ හඳත් එක්ක ආගමික වශයෙන් කොච්චර නම් බැඳීමක් තියෙනවද. ඒ විදිහට සොබාදහමත් එක්ක ආගමික සංකල්ප ගොඩනඟාගෙන ඒ ස්වභාවික වස්තු බෙදාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතාවන් මහ පොළොව මත යථාර්ථයක් බවට පත්කරන්න පුළුවන් වුණත් ඒ දේවල්වල හරය තේරුම් නොගත්ත සුළු පිරිසක් නිසා පහුගිය දවස් කිහිපයෙ වගේම තවමත් මුළු රටම කතාබහ කරන වාතාවරණයක් ඇතිවුණා. ඉතින් රටේ ජාතික ප්‍රශ්නයක් බවට ඒ තත්ත්වය පත්වුණ නිසාත් මගේ උපන් ප්‍රදේශය මහනුවර වීම නිසාත් ඒ ගැන මට දැනෙන දේ මේ විදිහට අකුරු කරන්න හිතුවා.

මේ සටහන පටන් ගන්නෙ කොහොමද කියලා හිතමින් ඉද්දි දැනට ටික කාලයකට පෙර මට කියවන්න ලැබුණු අපූරු පොතක් ගැන මගේ මතකයට ආවා. ඒ තමා නිශ්ශංක විජේමාන්න මහතා රචනා කරපු පහුගිය අවුරුද්දෙ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පවා පිදුම් ලබපු “හඳ පළුව තනි තරුව” කියන පොත. මේ පොත ගැන ඒක කියවපු දවස්වලම ලිපියක් ලියන්න ඕනෙ කියලා හිතන් හිටියත් තිබුණ කාර්යබහුලකමත් එක්ක ඒක මඟහැරුණා. ඒත් දැන් ඒ ගැන ලියන්න සිද්ධවෙලා තියෙන්නෙ ඒ පොත ගැන ලිවිය යුතුම අවස්ථාවෙදි වුණත් මේ වගේ ඛේදවාචකයකට පස්සේ මෙහෙම ලියන්න සිද්ධවීමම වේදනාකාරී හැඟීමක් බව කිව යුතුයි.

නිශ්ශංක විජේමාන්නගේ “හඳ පළුව තනි තරුව” නවකථාවෙත් ප්‍රධාන සංකේතය ලෙස ඔහු විසින් යොදා ගෙන තියෙන්නෙ මේ සටහන ලියන්න පූර්විකාවක් විදිහට මං යොදා ගත්ත හඳමයි. හැබැයි ඒ පෝය හඳ නම් නෙමෙයි. රාමසාන් සඳ… ඒ කියන්නෙ අපේ  සහෝදර ජන වර්ගයක් වන මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව සංකේතවත් කරන අඩ සඳ සහ තරුව. නවකතාවෙ නමේම ඒක සඳහන් වෙනවා. මුස්ලිම්වරුන් තමන්ගෙ සංකේතය විදිහට තෝරා ගත්ත හඳ පළුවත් පෝය දවසට බෞද්ධ ජනයා දකින පෝය හඳත් එකම හඳක් බව වගේම එකම හඳක එළිය යට ජාතීන් විදිහට ඉරි ගහලා වෙන් කරන්න බැරි තරමට මේ පොළොව මත මිනිස්සු ජීවිතය බෙදා ගන්නා ආකාරය ගැනත් මේ නවකතාව තුළ බොහොම අපූරුවට සටහන් වෙනවා.

මේ කතාවේ ප්‍රධාන චරිතය “මෙහොමඩ් අනිල් සත්‍යනාදන්” කියන තරුණයා. ඔහුගේ මේ නම පවා ඉතාම විශේෂිත සම්මිශ්‍රණයක්. මේ නම වගේම නවකතාව තුළත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යැයි නිගමනය කළ හැකි චරිත හමුවනවා. මං ඔවුන් එසේ නිගමනය කළ හැකි චරිත ලෙස හැඳින්වූයේ සැබැවින්ම එසේ බෙදා දැක්වීම පවා අසාධාරණ වන නිසා. කොහොම වුණත් ඔවුන් සියලු දෙනාම එක්වී අපූරු කතාවක් අප හමුවට ගෙන එනවා. ඔවුන් සියලු දෙනාම එකට බැඳ තබන බන්ධනය තමා ආදරය. ආදරය ලෙන්ගතුකම හමුවේ සියලු බේද අර්ථ විරහිත වෙනවා. ඒත් මේ ඇත්තට පිටුපාලා මිනිස්සු කටයුතු කරන විදිහ ගැන නවකතාවෙ එක තැනක කතුවරයා මේ විදිහට කියනවා.

“ජීවියෙක් බිහිකරන කෙනාගෙන් වෙන් වුණාම එයා අයිති සොබාදහමට. ඒකයි ඇත්ත. අපි විශේෂයෙන් මිනිස්සු මේ ඇත්ත වෙනුවට සංස්කෘතියක් හදාගන්නවා….”

නිශ්ශංක විජේමාන්නගෙ මේ අපූරු නවකතාව ගතවුණු පහුගිය දවස් තුන හතරට ඉතාම වැදගත්. මොකද පහුගිය දවස් කිහිපයෙ වගේම තවමත් මුළු රටම කතාබහ කරන එවැනි වාතාවරණයක් ගැන විග්‍රහ කරන්න මේ නවකතාවෙන් ගෙන එන ප්‍රවේශය ඉතාම විශිෂ්ටයි. ඒත් 2017 අවුරුද්දෙදි ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තට පස්සෙ මේ පොත කොයිතරම් නම් පිරිසක් කියවන්න ඇත්ද? එහෙම කියවපු තරමට මේ පොතෙන් ඉදිරිපත් කරපු පණිවිඩය සමාජගත වුණාද? මං හිතන්නේ මේ සියලු කාරණාත් එක්ක නිශ්ශංක විජේමාන්නගේ මේ සාහිත්‍යමය ප්‍රවේශයට ‍මේ පොළොවේ දළු ලා වැඩෙන්නට වගේම මෙවැනි නවකතා තව තවත් ලියවෙන්නට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් ඉතාම වැදගත්.

ඒ නවකතාව ගැන කතාවෙන් පස්සෙ මේ සටහන අවසන් කරන්න පෙර ආයෙත් මං මේ සටහන ලියන්න හේතුවුණ කාරණයට එන්නම්. ඒ වාතාවරණයත් එක්ක සමාජ මාධ්‍යවලට පිවිසීමත් අවහිර කෙරුණා. කොහොම වුණත් කවුරුත් බලාපොරොත්තු නොවුණ තරම් දුරදිග ගියපු පහුගිය දවස්වල ඇතිවුණ තත්ත්වය වගේ වාතාවරණයක් නැවත ඇති නොවන අන්දමට ක්‍රියාකිරීමයි සියලු දෙනාගේම වගකීම විය යුත්තේ. ඒ සඳහා නිශ්ශංක විජේමාන්න වැනි ලේඛකයින් විතරක් නෙමෙයි කවර හෝ මාධ්‍යයකින්  සමාජයට ආමන්ත්‍රණය කළ හැකි සියලු පාර්ශව ඒ සඳහා මැදිහත් වීම වැදගත් වනවා.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.

Comments

comments