ආපදා වාර්තාකරණයේ මූලධර්ම

ලෝකයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නේ ජනමාධ්‍ය මඟිනි. එම සිදුවීම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ග්‍රාහකයා ‍වෙත ලබාදීම වාර්තාකරණය ලෙස හඳුනාගත හැකිවේ. මෙය ඉතා සැලකිල්ලෙන් හා වගකීම් සහගතව සිදුකළ යුතු කාර්යයකි. විශේෂයෙන්ම ආපදා වාර්තාකරණයක් තුළ දී මෙම කාර්යයට හිමිවන වැදගත්කම ඉතා සුවිශේෂී වන්නේ ආපදාවකට අදාළව නිවැරදි තොරතුරු ඉතා ඉක්මනින් වාර්තා කිරීම වැදගත් වීම තුළ සමාජමය වශයෙන් ද ඒ සඳහා වැඩි වටිනාකමක් හිමිවන බැවිනි. මේ එසේ ආපදා වාර්තාකරණයේ දී සැලකිලිමත් විය යුතු මූලධර්ම සම්බන්ධයෙන් තබන සටහනකි.

ආපදා  හඳුනාගැනීම

ආපදාවක් ලෙස හඳුනාගත හැක්කේ යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමක ආරක්ෂාවට හානිකර වන තත්ත්වයක් හෝ යම් දේපළක් විනාශය කරා පමුණුවන තත්ත්වයක් හෝ ස්වභාවික හෝ මිනිසා විසින් සිදු කරනු ලබන හානිකර ක්‍රියාවක් ආදී වූ තත්ත්වයකි. එම තත්ත්ව පහත ආකාරයට පෙන්වා දිය හැකිය.

  • නායයෑම්
  • සුළි සුළං
  • ගංවතුර
  • නියඟ
  • කාර්මික උපද්‍රව
  • සුනාමි තත්ත්ව
  • භූමි කම්පා
  • ගුවන් උපද්‍රව
  • සමුද්‍රීය උපද්‍රව
  • ගිනි ගැනීම්
  • වසංගත තත්ත්ව
  • පිපිරීම්
  • ගුවන් ප්‍රහාර
  • සිවිල් හෝ අභ්‍යන්තර ගැටුම්
  • රසායනික අනතුරු
  • ගොඩබිම සහ මුහුදේ සිදුවන තෙල් පිටාර ගැනීම් වැනි තත්ත්ව
  • න්‍යෂ්ටික ආපදා
  • වෙරළ ඛාදනය වීම්
  • ටොනේඩෝ චණ්ඩ මාරුත, අකුණු සැර වැදීම් හා ගිගුරුම් සහිත කුණාටු තත්ත්ව

ඒ අනුව ඉහතින් සඳහන් කළ ඕනෑම තත්ත්වයක් ව්‍යසනයක් හෙවත් ආපදාවක් ලෙස හඳුනාගත හැකි අතර ක්‍ෂණිකව විනාශකාරී තත්ත්ව ගණනාවක් මෙවැනි ආපදා ඔස්සේ ඇතිවිය හැකිය. ඇතැම් ආපදා මඟින් නැවත යථා තත්ත්වයට පත්කළ හැකි මට්ටමේ බලපෑම් ඇති වන අතර ඇතැම් ආපදා තත්ත්ව තුළින් එසේ නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි මට්ටමේ බලපෑම් ඇති වේ.

ආපදා වාර්තාකරණය

ආපදා තත්ත්වයක් තුළ දී සමාජමය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් අර්බුද ගණනාවක් නිර්මාණය වන බැවින් ආපදා වාර්තාකරණය තුළ දී ඒවා සම්බන්ධයෙන් මනා අවබෝධයක් සහිතව කටයුතු කිරීම වැදගත් වේ. නැවත එවැනි ආපදා තත්ත්ව ඇති වූ විට ආරක්ෂා වීම සඳහා අවශ්‍ය වන දැනුවත් කිරීම් ද  සහිතව සිදුකළ යුතු ආපදා වාර්තාකරණය තුළ දී විශේෂයෙන්ම නිවැරදි තොරතුරු වාර්තාකරණය වැදගත් වන අතර එම නිවැරදි වාර්තාකරණය පුනරුත්ථාපන ක්‍රියාවලියට සහ පශ්චාත් ආපදා තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ද වැදගත් වන බැවින් ඒ සඳහා නිවැරදි මූලාශ්‍ර භාවිත කිරීමට කටයුතු කළ යුතුවේ.

ආපදා වාර්තාකරණයක් තුළ දී එසේ නිවැරදි තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍ර පිළිබඳව ජනමාධ්‍යවේදියාට අවබෝධයක් තිබිය යුතුය. ඒ අනුව ආපදා සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට භාවිත කළ හැකි මූලාශ්‍ර ලෙස පහත සඳහන් පුද්ගලයින් හා ආයතන පෙන්වා දිය හැකිය.

  1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  2. රාජ්‍ය නිලධාරීන්
  3. ආපදාවට ලක්වූ තැනැත්තන්
  4. ආපදාව ඇසින් දුටු තැනැත්තන්
  5. ආපදාව සම්බන්ධයෙන් දැනුම ඇති තැනැත්තන්
  6. සිවිල් සංවිධාන
  7. ජන නායකයින්

ඒ අනුව ඉහත මූලාශ්‍ර ඔස්සේ ආපදා වාර්තාකරණයකට අදාළව වාර්තාකරුවෙකුගේ පළමු කාර්යය වන ප්‍රවෘත්ති මූලාශ්‍ර සොයා ගත් පසු ඊට අදාළව ප්‍රවෘත්ති රචනය කළ යුතුය. එසේ ප්‍රවෘත්ති රචනයේ දී පහත ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ලෙස ප්‍රවෘත්ති රචනය කිරීම වැදගත් වේ.

  • When? – කවදාද?
  • What? – මොකක්ද?
  • Where? – කොහෙද?
  • Why? – ඇයි?
  • Who? – කවුද?
  • How? – කොහොමද?

ප්‍රවෘත්ති රචනයක් තුළ අනිවාර්යයෙන්ම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම “5W1H න්‍යාය” ලෙස හඳුන්වනු ලැබේ.

තව ද යුනෙස්කෝ මාධ්‍ය පර්යේෂකයෙකු වන පෝල් ඩී. මැසෙනියර් පෙන්වා දෙන පරිදි ප්‍රවෘත්තියක් තුළ නිවැරදි බව, නිරවුල් බව, සමබර බව හා විශ්වාසවන්ත බව ආදී වූ ගුණාංග ද ඇතුළත් වීම වැදගත් වේ.

A + B + C = C

A :- Accuracy

B :- Balance

C :- Clarity

C :- Credibility

එසේම ආපදා වාර්තාකරණයක් තුළ දී තවදුරටත් සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු කරුණු පහත ආකාරයට පෙළගැස්විය හැකිය.

  • සෙසු මාධ්‍ය සමඟ ඇති තරඟය
  • කාලසීමා පිළිබඳ අවබෝධය (Deadlines)
  • ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවබෝධය

ඒ අනුව ප්‍රවෘත්ති රචනයේ දී වැදගත් වන කරුණු පිළිබඳව මෙන්ම ආපදාවක් වාර්තාකරණයේ දී අවධානය යොමුකළ යුතු සුවිශේෂී කරුණු පිළිබඳව ද සැලකිලිමත් වෙමින් වඩා සාර්ථක ආපදා වාර්තාකරණයක් සිදුකළ හැකිය.

ආශ්‍රිත මූලාශ්‍ර

  • 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments