නික්ම ගිය සුපසන් සකි සඳ

සරසවිය පුරා සුදු ධජ ලෙළදෙමින් තිබේ. උදෑසන පිපුණු මල් ශෝකය දරාගත නොහැකි ව බිම බලාගෙන සිටියි. මේ තවත් එක් සහෘදයෙකුගේ නික්ම යාමක් පමණක් ම නොවේ. එය මහා පුරුෂයෙකුගේ නික්ම යාමකි. එමෙන් ම මහා දැනුමක උරුමකරුවෙකුගේ සමුගැනීමකි. මේ එකී සමුගැන්ම උදෙසා හදවතින් කළ අකුරු කිරීමකි.

ඔහු නමින් පසන් කොඩිකාර වන්නේ ය. අප සැවොම ඔහු හඳුනන්නේ ග්‍රන්ථ රචකයෙකු හා පරිවර්තකයෙකු ලෙස ය. මෙරට පරිවර්තන සාහිත්‍යය තුළ පාඨක අවධානය දැඩි ව ග්‍රහණය කර ගත් ග්‍රන්ථ රැසක ම පරිවර්තකයා ඔහු ය. බොහෝ දෙනා ඔහු හඳුනන්නේ නමින් මිසක් රූපයෙන් නොවේ. මන්ද යත් ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය වැනි ලෞකික සුඛයන් සොයා නොගිය අල්පේච්ඡයෙකු වූ ඔහුගේ පරිවර්තන ග්‍රන්ථවල ඔහුගේ නම මිස ඔහු පිළිබඳ කිසිදු හැඳින්වීමක්වත් ඡායාරූපයක්වත් නොයොදා තිබුණු බැවිනි.

නමුත් අප ඔහු ව රූපයෙන් හඳුනන්නට භාග්‍යවන්තයෝ වූහ. ඒ සරසවිය තුළ ඔහු නිරත වූ ඇදුරු භූමිකාවේ අප ඔහුගේ විද්‍යාර්ථීන් වූ නිසා ය. අප ඔහුගේ දැනුම් සාගරයේ වෙරළේ ඇවිදින්නට වාසනාවන්තයන් වූ නිසා ය. එමෙන් ම එකී දැනුම් සාගරය දකින්නට පමණක් පින් ලද මුත් එහි කිමිදී එහි පතුල දකින්නට අප අවාසනාවන්තයන් වූ නිසා ය.

තොප්පියක් පැළඳ සම් බෑගයක් කරේ දමාගෙන පොත් දෙක තුනක් අතින් රැගෙන දේශන ශාලාවට ආ ඒ රුව යළි කිසි දා නොපැමිණෙනු ඇත. නමුත් ඔහු රැගෙන ආ සහෘද ලෙන්ගතුකමේ ජිවමාන සුවඳ සදාකල් මේ වාතලය පුරා පැතිරී පවතිනු ඇත.

පසන් සර්…!
ඔබට නිවන් සුව නොපතමි.
මන්ද යත්, යළිදු ඔබ හමුවන්නට ඕනෑ නිසාම ය.

(2015 මාර්තු 24 වන දින තැබූ සටහනකි.)

Comments

comments

2 comments

  1. රුසියාවේ සිටිද්දී දැන සිටි පරණ යහළුවෙක්. පළමු නෙලුම් යාය උත්සවය කරනන් ආපු වෙලේ මරණ ගෙදරත් ගියා

    • එහෙමද අයියා. ස්තූතියි ඔහු ගැන ඔබේ මතකයත් අවදි කළාට.

Please comment using your facebook account.