පරපුරක අනාගතය අඳුරු කළ සරසවි අනධ්‍යයන සේවක වර්ජනය

දින 44 ක් පුරා ක්‍රියාත්මක වූ සරසවි අනධ්‍යයන සේවක වර්ජනය ඊයේ දිනයෙන් අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය. කෙසේ වුවත් පැවති එම වර්ජනය හේතුවෙන් සමස්ත සරසවි පද්ධතියම බිඳ වැටී උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය වූ බරපතළ අර්බුදය නිමා වන්නේ නැත. සිය ගැටළුවලට විසඳුම් ලබා ගැනීම සඳහා අනධ්‍යයන සේවකයින් රජයේ බලධාරීන් සමඟ අවස්ථා ගණනාවක දී සාකච්ඡා පැවැත්වුව ද ඒ සියල්ලක්ම නිසි විසඳුමකින් තොරව අවසන් වීම තුළ මෙම අර්බුදය සමාජ ඛේදවාචක ගණනාවකට මඟ විවර කර තිබේ. මේ පරපුරක අනාගතය අඳුරු කළ එම අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හමුවේ උද්ගත වූ සමාජ අර්බුද සම්බන්ධයෙන් විමසා බැලීම පිණිස තබන සටහනකි.

මෙරට රාජ්‍ය විශ්විවිද්‍යාල පද්ධතිය තුළින් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නා පිරිස ලක්ෂ ගණනකි. ඔවුහු පශ්චාත් උපාධි, ප්‍රථම උපාධි සහ ඩිප්ලෝමා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළින් හදාරමින් සිටිති. මෙම සියලු පාඨමාලාවල සියලු කටයුතු මෙම අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඇණහිටි අතර එම තත්ත්වය මතුපිටින් දෘෂ්‍යමාන වන තත්ත්වයට වඩා බරපතළ තත්ත්වයක් වන්නේ ඇතැම් විට මෙසේ වැඩ වර්ජනය හේතුවෙන් ගතවී යමින් පවතින කාලය තුළ සම්පූර්ණ කළ යුතු බොහෝ අධ්‍යයන කාර්යයන් සැපිරීම සඳහා ගතකිරීමට සිදුවන අතිරේක කාලය හේතුවෙන් නිසි කාලය තුළ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර යොමු වීමට අවස්ථාව තිබූ බොහෝ රැකියා අවස්ථා ගිලිහී යාම හේතුවෙනි. මෙම ඛේදනීය තත්ත්වය එම තත්ත්වයට මුහුණපාන විද්‍යාර්ථින් හැරුණු කොට වර්ජනය සඳහා යොමුවූ අනධ්‍යයන සේවකයින්වත්, රජයේ උසස් අධ්‍යාපන බලධාරීන්වත් අවබෝධ කර නොගත් තත්ත්වයක් බව පැවසිය යුතු වන්නේ 2016 වසරේ දී ක්‍රියාත්මක වූ මෙවැනිම අනධ්‍යයන සේවක වර්ජනයක අහිතකර ප්‍රතිඵල හේතුවෙන් නියමිත කාලය තුළ උපාධිය සම්පූර්ණ කර යොමුවීමට තිබූ රැකියා සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ලැබීමට මා ඇතුළු මාගේ සමකාලීන විද්‍යාර්ථින්ට නොහැකි වූ බැවිනි.

මෙලෙසම 2016 වසරේදී මසකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක වූ සරසවි අනධ්‍යයන සේවක වැඩ වර්ජනයේ බලපෑමේ සැබෑ ස්වරූපය පිළිබඳ පුළුල් අවබෝධයක් මා හට ලබා ගැනීමට හැකි වූයේ ‍එකල මා ප්‍රථම උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටි බැවිනි. එම වර්ජනයත් සමඟ නොවැම්බර් මස තුළ සම්පූර්ණ කර භාර දීමට තිබූ අවසන් වසර පර්යේෂණ නිබන්ධන භාර ගැනීමේ දිනය ද කල්දැමූ අතර පර්යේෂණ නිබන්ධන භාර දීමෙන් පසු අප යොමුවිය යුතුව තිබූ ආයතනගත පුහුණුවට ද අපට යොමුවීමට සිදුවුණේ මසකට වඩා වැඩි කාලයක ප්‍රමාදයක් සහිතවය. ඒ හේතුවෙන් එම පුහුණුව 2017 වසරේ ජනවාරි මස අග දක්වා දීර්ඝ වීම තුළ 2016 වසර අවසාන වීමට පෙර උපාධිය සඳහා සම්පූර්ණ කළ යුතුව තිබූ අධ්‍යයන අවශ්‍යතාවන් ඊළඟ වසර දක්වා දීර්ඝ වීමත් සමඟ 2016 වසර තුළ උපාධිය සම්පූර්ණ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සඳහන්ව තිබූ ඇතැම් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ලැබීමට නොහැකි විය. එය ඉතාම ඛේදනීය තත්ත්වයක් බවට පත්වූයේ ඇතැමුන් අදාළ රැකියා සඳහා බඳවා ගැනීමේ ලිඛිත විභාග සහ සම්මුඛ පරීක්ෂණ පවා සමත්ව තිබියදී උපාධිය සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ කාලය අනධ්‍යයන සේවකයින් සහ ඒ සඳහා වගකිව යුතු රජයේ බලධාරීන් විසින් අහිමි කිරීම හේතුවෙනි.

2016 වසරේදී සිදුවූ එම අවාසනාවන්ත තත්ත්වය මේ දිනවල ක්‍රියාත්මක වන අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් සිදු නොවේ යැයි කිව නොහැකිය. මන්ද යත් අධ්‍යයන කාර්යයක් මසකින් කල්ගත වීම යනු බොහෝ විට නැවත කිසිදා උදාකර ගත නොහැකි අවස්ථා ගණනාවක් මඟහැරී යාමක් වන බැවිනි. ඒ හේතුවෙන් මා ඇතුළු මාගේ සමකාලීන විද්‍යාර්ථින් මුහුණ පෑ ඉහත සඳහන් කළ සිදුවීම එම වසරේ දී මෙන්ම මෙම වසරේදීත් බොහෝ ප්‍රථම උපාධි අපේක්ෂකයින්ගේ අනාගත ඉරණම බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ බොහෝ සරසවිවල අවසන් වසර විද්‍යාර්ථින් මේ දිනවල පර්යේෂණ නිබන්ධන කාර්යයන්වල නිරතවෙමින් සිය උපාධි සම්පූර්ණ කිරීමේ අවසන් අධ්‍යයන කාර්යයන්වල නිරත වන නිසාය.

අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් සිය බොහෝ අනාගත අරමුණු බිලිදීමට සිදුවී ඇති ප්‍රථම උපාධි අපේකයින්ගේ ඉරණම එසේ විසඳෙමින් පවතින විට තවත් බොහෝ අධ්‍යයන අවශ්‍යතා සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ කටයුතු කරන බොහෝ පිරිසකගේ අධ්‍යයන කාර්යයන් ද මෙම අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් ඇණහිටියේ ඔවුන්ට වෘත්තීය ජීවිතය තුළ ළඟාකර ගැනීමට ඇති අරමුණු ද අහිමි කරමිනි. එනම් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි  කාර්යයන්වල නියැලෙන පිරිසට ද තම අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා සිදුවන ප්‍රමාදවීම ද කිසිසේත් සුළුකොට තැකිය නොහැකි තත්ත්වයක් වන බැවිනි. විශේෂයෙන්ම ඔවුන් අර්ධ කාලීනව එම පාඨමාලා සමඟ සම්බන්ධ වී කටයුතු කරන බැවින් බොහෝ විට සති අන්ත දිනවල පැවැත්වෙන එම පාඨමාලා නියමිත කාලය තුළ සම්පූර්ණ කිරීම මෙම වර්ජනය හේතුවෙන් නොහැකි වන්නේ එම පාඨමාලා පැවැත්වීම සඳහා සැලසුම් කළ නිශ්චිත දින ගණන පිළිබඳ ගැටළු සහගත තත්ත්ව නිර්මාණය වන බැවිනි. එය විශේෂයෙන්ම අදාළ පාඨමාලාවල ගුණාත්මකභාවය පිළිබඳ අර්බුද ඇතිවීම සඳහා ද හේතුවක් බවට පත්වන බැවින් ප්‍රථම උපාධි අපේක්ෂකයින්ට මෙන්ම ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ද මෙම අනධ්‍යයන සේවක වැඩ වර්ජනයේ අහිතකර බලපෑම් අත්විඳීමට සිදුවීම අතිශය කණගාටුදායකය.

මෙසේ ඇතිවන අර්බුද ගණනාවක් තුළ නිර්මාණය වන සමාජ ඛේදවාචක ගණනාවක් සඳහා පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සරසවි අනධ්‍යයන සේවක වරජනය හේතුවිය. අනධ්‍යයන සේවකයින් සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා මෙම වර්ජනය සිදුකිරීම පිළිබඳව මෙන්ම රජයේ පාර්ශවයෙන් ඒ සඳහා නිසි ප්‍රතිචාර ලබාදීම යන පැතිකඩ ද්විත්වය කෙරෙහිම මෙහිදී අවධානය යොමුවිය යුතුව තිබුණි. වර්ජනය හේතුවෙන් දැනටමත් මසකට වඩා වැඩි කාලයකින් පසුපසට ඇදදැමූ අධ්‍යයන කටයුතු හේතුවෙන් සිදුවී ඇති පාඩුව මිල කළ නොහැකි අතර ඉක්මනින් නැවත විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා වගකිව යුතු සෑම පාර්ශවයක්ම වහා කටයුතු කළ යුතුය. මන්ද යත් ඔවුන් දැනටමත් අනාගත පරපුරක අධ්‍යාපනය මත ගොඩනැඟී ඇති බලාපොරොත්තු මරණ මංචකය වෙත කැඳවාගෙන යෑම සඳහා ක්‍රියාකර අැති බැවිනි.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

3 comments

  1. ශිෂ්‍ය පිරිස විසින් සිදු කරන ක්‍රියාකාරකම් නිසාත් (පංති වර්ජන, උද්ගොෂණ) කලට වේලාවට උපාධිය නිමා කිරීමට ඇති නොහැකියාවක් සදහන් කිරිම වටී.

  2. These non-acedemic staff are useless. They are lazy and harldy do anywork. For example, go to the College House in UoC and see how long their lunch break is. It’s close to 2-3 hours. They don’t care about the people who are there to get work done from them. They take their sweet time, and go on gossiping, ignoring their duties.
    Then the non-acedemic person who is in-charge of maintaining Chemictry labs in UoC. All he does is dialute the pure alcohol (that is their for experiments) in the lab and getting drunk with it.

    • Dear UoC,
      If you had adequate pieces of evidence against those employees and their malpractices, then what actions you took to prevent them? Such malpractices can occur notwithstanding the fact whether they represent which category of an institution. For an example, how many academics replace their lectures from demos, tutors etc in order to facilitate their private tuition? What about the everlasting debate over the granting superior grades to the selected female students? Expecting 80% attendance from the students where lecturers even do not cover 25% of their participation in the lectures?

Please comment using your facebook account.