කුණු වී, දුගඳ හමන අපේ රටේ ජනමාධ්‍ය සංස්කෘතිය වෙනුවෙන් අපට කළ හැකි දේ

අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නා අය මෙන්ම ඊට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රවල ඉන්නා පුද්ගලයෝ ද දනිති. මෙම තත්ත්වය තුළ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියකට පිවිසෙන උගත් නූගත් ඕනෑම අයෙකුට එම කුණු වලේ බැස කුණු නාගෙන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනමාධ්‍ය තුළ කටයුතු කරන්නට සිදුවී තිබේ. කුණු කන්නට කැමති, කුණු විකුණා සැප විඳින්නට කැමති බොහෝ පුද්ගලයින්ගේ පාරාදීසය බවට පත්වී ඇත්තේ මෙම ජනමාධ්‍ය ක්ෂේත්‍රයයි.

ඕනෑම ඇත්තක් බොරුවක් කළ හැකි, ඕනෑම බොරුවක් ඇත්තක් කළ හැකි සහ කපුටන් රෑනක් කුණු මස් වැදැල්ලක් ලැබෙන තෙක් බලා ඉන්නවා මෙන් ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක්, මිනීමැරුමක් හෝ රටේ නමගිය කෙනෙකු ගෑවෙන මඟුලක්, මළගෙයක්, උපන්දින පාටියක් හෝ කොටහළු මඟුලක් වුවත් අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය තුළ විකුණන් කෑ හැකි තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබේ. බොහෝ විට තමන්ගේ සමීපතමයින්ට එවැන්නක් සිදුවුණා නම් අඩුම තරමින් අසල්වැසියෙකු සමඟවත් ඒ පිළිබඳ පැවසීමට කටයුතු නොකරන බොහෝ දෑ අපේ රටේ මාධ්‍යකරුවෙකුට දැන ගන්නට ලැබුණොත් සිද්ධියට මුහුණ පෑ පුද්ගලයාට ඉන්පසු පාරේ බැහැලා යා හැකි තත්ත්වයක් කෙසේ වෙතත් අඩුම තරමින් පවුලේ පුද්ගලයින්ගේ මුහුණ බලා කතා කළ හැකි තත්ත්වයක්වත් ඉතුරු වන්නේ නැත. ඒ, සිදුවූ සෑම දෙයක්ම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයාටත් වඩා ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව මාධ්‍යකරුවෙකු විසින් විශේෂ ඥානයකින් දැක එය මාධ්‍යවල ප්‍රසිද්ධ කරන නිසාය.

ඉතින් මෙම කුණු මාධ්‍ය සංස්කෘතිය තුළ ආචාර ධර්ම ගැන කතා කිරීම හෝ එවැනි දෑ නාමිකවවත් ඇත්දැයි සිතීම පවා විහිළු සහගතය. බරපතළ ස්ත්‍රී දූෂණයකට ලක්වූ දැරියන්ගේ ඡායාරූප පත්තරවල මුල් පිටුවල විශාල ප්‍රමාණයෙන් කිසිම පැකිලීමක් නැතුව පළකරන්නට කටයුතු කරනවා නම්, ස්ත්‍රී දූෂණයක් හෝ මිනීමැරුමක් තවත් එවැනි අපරාධ දහයක් කිරීමට හිතෙන විදිහට පත්තරවල වෙබ් අඩවිවල අකුරක් නෑර ලියනවා නම් ඒවාට කිසිම වාරණයක්, නීතියක්, ආචාර ධර්මයක් කෙසේ වෙතත් අඩුම තරමින් සදාචාරයක්වත් නැතිනම් එය කෙතරම් නම් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්ද. මේ ගැන කතා කිරීමේදී බොහෝ මාධ්‍යකරුවන් පවසන්නේ අපේ රටේ මිනිස්සුන්ට කුණු දෙයක් දුන්නේ නැතිනම් මාධ්‍යවල කිසිම දෙයක් විකුණාගන්නට බැරි බවය. එහි යම්කිසි ඇත්තක් ඇතත් සමාජයට පූර්වාදර්ශ සැපයිය යුතු රටේ සිව්වන ආණ්ඩුව ලෙස සංකල්පීකරණය කරන ජනමාධ්‍යයට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති බව පැවසිය යුතුය.

මට අනුව නම් අපේ රටේ අඩුම වටිනාකමක් හිමිවී ඇති වචනය වන්නේ “ජනමාධ්‍යවේදියා” නැමති වචනයයි. මන්ද යත් “වේදියා” ලෙස යෙදෙන අන් කිසිදු වචනයක් “ජනමාධ්‍යවේදියා” නැමති වචනය මෙන් හෑල්ලුවට ලක්වී නොමැති බැවිනි. උදාහරණ ලෙස කියන්නේ නම් නීතිවේදියා, සංගීතවේදියා, සුපවේදියා, වෛද්‍යවේදියා, පෝෂණවේදියා, අධ්‍යාපනවේදියා ආදීවූ කවර නාමපදයක් සැලකුව ද ඒ සෑම එකකින්ම හැඳින්වෙන්නේ ඒ අදාළ ක්ෂේත්‍රයට අදාළව ප්‍රාමාණිකව ලබා ඇති අධ්‍යාපනයයි. වේදය යන්නෙහි අර්ථය වන්නේ දැනුමයි. එම දැනුම ශාස්ත්‍රීයව හෝ ප්‍රායෝගිකව ආදී ලෙස ලබා තිබිය යුතුය. ඒ අනුව “වේදියා” ලෙස හැඳින්වෙන අනිකුත් සෑම වචනයක් තුළම එම අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් හෝ අදාළ ක්ෂේත්‍රය තුළ ලබා ඇති ඉහළ මට්ටමේ පිළිගත් ප්‍රායෝගික සුදුසුකම් පැවතීම අනිවාර්ය වේ. එහෙත් ජනාමාධ්‍ය පිළිබඳ දැනුමක් තියා අඩුම තරමින් ජනමාධ්‍ය යන්නෙහි තේරුම පවා නොදත් බොහෝ පිරිසක් ජනමාධ්‍යවේදියා යන වචනය අවභාවිත කරමින් සිටිති. මෙහි කණගාටුදායකම තත්ත්වය වන්නේ ජනමාධ්‍ය පිළිබඳ මෙලෝහසරක් නොදැන ජංගම දුරකථනයකින් වීඩියෝවක් පටිගත කර ජනමාධ්‍ය වෙත ලබා දෙන පුද්ගලයාගේ සිට ජනමාධ්‍ය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි ලබා ඇති පුද්ගලයින් දක්වා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන තැනැත්තන් හැඳින්වීමට ජනමාධ්‍යවේදියා නැමති වචනය භාවිතා කිරීමයි. එසේම මෙම අන්ත දෙක අතර මැද සිටින ජනමාධ්‍ය ආයතනවල සේවය කරන බොහෝ පිරිසක් හැඳින්වීමට ද ජනමාධ්‍යවේදියා නැමති වචනය අවභාවිතයට ගන්නා බව පැවසිය යුතුය.

ඉතින් මෙම කුණු වී ඇති අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය වෙනුවෙන් ජනමාධ්‍ය පිළිබඳ ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබූ විද්‍යාර්ථින් වශයෙන් අපට කළ හැක්කේ කුමක්ද? ඊට පිළිතුරු දෙකක් තිබේ. එකක් නම් බොහෝ පිරිසක් දැනටමත් කරමින් ඉන්නවා මෙන් ජනමාධ්‍ය පිළිබඳ උගත් දෑ පසෙකින් තබා මේ මජර, පාදඩ සංස්කෘතියට මිශ්‍ර වී කුණු කමින්, කුණු නාගෙන කිසිදු වැරදි දෙයක් සිදුනොවෙනවා මෙන් ඇස කන වසාගෙන සිටීමය. දෙවැන්න නම් පවත්නා මෙම කුණු දුගඳ හමන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා කවර හෝ උත්සහයක් දැරීමය. මා විශ්වාස කරන්නේ අප ජනමාධ්‍ය පිළිබඳ උගත් ශාස්ත්‍රීය හා ප්‍රායෝගික දැනුම තුළින් මෙම කුණු ජනමාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය හා ප්‍රායෝගික විග්‍රහකිරිම්, විශ්ලේෂණය කිරීම් සිදුකරමින් ශාස්ත්‍රීය සමාජය තුළ ඒවා සම්බන්ධයෙන් කතිකා ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි. එම කතිකා පසුව ශාස්ත්‍රීය සමාජයෙන් ඔබ්බට රැගෙන ඒම තුළින් පවත්නා මෙම මජර ජනමාධ්‍ය සංස්කෘතිය නිසි මඟට ගැනීමට කවර අන්දමේ හෝ බලපෑමක් ඇති කළ හැකිය. එසේ නොමැතිව සරසවියේ දී ජනමාධ්‍ය හැදෑරූ පලියට ජනමාධ්‍ය තුළ වෘත්තියක නියැලෙමින් මෙම කුණු සංස්කෘතිය තුළ අනේ අපිත් කීයක් හරි මේකෙන් හම්බකර ගන්නවානෙ යැයි සිතමින් මෙම කුණු සංස්කෘතියට ආවැඩීම මාගේ හෘද සාක්ෂියට එකඟව මට නම් සිදුකළ නොහැකිය.

Comments

comments