“ජනමාධ්‍ය සහ සමාජ විචාර” – අද්‍යතන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයට විචාරාත්මක ප්‍රවේශයක් සපයනු පිණිස

”ජනමාධ්‍ය සහ සමාජ විචාර” නැමති මාගේ මෙම කෘතිය වසර කිහිපයක් පුරා මා විසින් ජනමාධ්‍ය ඇතුළු විවිධ සමාජීය ප‍්‍රපංච විශ්ලේෂණය කිරීමේ අරමුණින් ලියන ලද ලිපි පෙළක් කෘතියක් වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීමකි. විශේෂයෙන්ම මෙරට අද්‍යතන ජනමාධ්‍ය භුමිකාව විචාරයට සහ විශ්ලේෂණයට ලක්කිරීමේ අවශ්‍යතාවක් පුළුල් ලෙස ඉස්මතුව පැවතීම සහ අද්‍යතන ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විචාරශීලී සංස්කෘතියක් බිහිවීමේ රික්තකයක් පැවතීමත් හේතුවෙන් එකී බුද්ධිමය අවශ්‍යතාව පූරණය කිරීමේ අරමුණ සහිතව විවිධ පැතිකඩ පිළිබඳ පුළුල් අන්දමින් අවධානය යොමුකරමින් ඒවා විශ්ලේෂණයට ලක්කිරීමේ අභිලාෂයෙන් මා විසින් මෙම ලිපි පෙළ රචනා කරන ලදි.

එසේම අද්‍යතන ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී නිරීක්ෂණය කළ හැකි මුඛ්‍ය කරුණක් වන්නේ එය කිසිදු නියාමනයකට ලක්නොවෙමින් අධිපතිවාදී ස්වරූපයකින් දේශපාලන සහ ආර්ථික අරමුණු සාධනය කරගැනීමේ මෙවලමක් වශයෙන් අධිභාවිතයට ලක්වෙමින් ක‍්‍රියාත්මක වීමය. එහිදී ආචාර ධර්ම ඇතුළු ජනමාධ්‍ය භාවිතය තුළ පැවතිය යුතු සියළු ප‍්‍රමිතීන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කිරීම හේතුවෙන් සමාජ ඛේදවාචක ගණනාවක් සඳහා ලාංකේය ජනමාධ්‍ය භූමිකාව තුළ උත්තේජන සපයමින් තිබේ. මෙම තත්ත්වය ප‍්‍රමාණවත් අන්දමින් විචාරයට ලක්නොවීම සහ ශාස්ත‍්‍රීය සමාජය තුළින් ජනමාධ්‍ය ප‍්‍රමිති අනුගමනය කිරීම සඳහා ජනමාධ්‍ය වෙත සාධනීය බලපෑමක් ඇති නොවීම ද ජනමාධ්‍යවල එම තත්ත්වය සඳහා හේතුවී තිබේ. එබැවින් මෙම කෘතිිය තුළ ඒ සඳහා යම් ප‍්‍රවේශයක් සපයා ඇති බව පැවසිය යුතුය.

තව ද ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත‍්‍රීය අධ්‍යයනය තුළ ලාංකේය සමකාලීන ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය විශ්ලේෂණයට ලක්කිරීමේ අවශ්‍යතාවක් ද පවතී. එනම් ජාතික මෙන්ම විවිධ ගෝලීය සාධකවල ද බලපෑම තුළ ක‍්‍රියාත්මක වන ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ සුවිශේෂතා සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය විග‍්‍රහයකට හා විශ්ලේෂණයකට එළඹීම ද මෙම ලිපි පෙළ රචනා කිරීම සඳහා මා පෙළඹවූ තවත් එක් හේතුවකි. එම අරමුණ ද මෙම කෘතිය තුළින් සාක්ෂාත් කර ගැනීමට හැකිවූ බව පැවසිය යුතුය.

මෙම ග‍්‍රන්ථයට වටිනා පෙරවදනක් ලියා දුන් ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මෙම කෘතියට හරවත් පසුවදනක් ලියා දුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ් මහතා මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. එසේම මෙම කෘතියට අගනා පිටකවරයක් නිර්මාණය කර දුන් කලාව ආයතනයේ මධුශංක රත්නායක සොයුරා සහ මෙම කෘතිය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ කවිවර ප්‍රකාශන ආයතනයේ අධිපතිනි කවි කරුණාරත්න මහත්මියට ද මාගේ ස්තූතිය හිමිවේ.

Comments

comments