“ශිලාලිපි සංඥාර්ථවේදය” හෙවත් ශ්‍රී ලාංකේය ඉතිහාසයට සන්නිවේදනාත්මක ප්‍රවේශයක්

ශ‍්‍රී ලංකාව වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රටකි. එම ඉතිහාසය සාහිත්‍ය මූලාශ‍්‍රවලින් මෙන්ම ශිලාලිපි වැනි නොබිඳිය හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ඔස්සේ ද තහවුරු වී තිබේ. විශේෂයෙන්ම සාහිත්‍ය මූලාශ‍්‍ර මඟින් හෙළිවන කරුණු පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ඔස්සේ තවදුරටත් සත්‍යෙක්ෂණය වීම නිසා මෙරටේ සැඟවී ඇති ඉතිහාසය ලෝකය ඉදිරියේ ප‍්‍රක්ෂේපණය කරනු ලබන කැඩපතක් ලෙස මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය හඳුනා ගත හැකිය. එහි දී එම පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය අතරින් ශිලාලිපි හෙවත් ශෛලමය ලේඛනවලට සුවිශේෂී වැදගත්කමක් හිමිවන අතර සිංහල භාෂා පරිණාමය අධ්‍යයනය සඳහා වැදගත් වීම, වංශකතාවල සඳහන් නොවන කරුණු හෙළිකර ගැනීමට භාවිත කළ හැකි වීම හා වංශකථාවල දැක්වෙන ඇතැම් ඓතිහාසික කරුණු හා තොරතුරු තුලනය කිරීමට යොදා ගත හැකි වීම ඇතුළු හේතු ගණනාවක් ඒ සඳහා බලපා ඇති බව පැවසිය හැකි වේ.

සමකාලීන සන්නිවේදන මාධ්‍යයක් ලෙස ශිලාලිපි හිමිකර ගනු ලබන වැදගත්කමට අනුව ඒවා තුළ අන්තර්ගත වන තොරතුරු අවබෝධ කර ගත හැකි වන්නේ ඒවායේ ඇතුළත් වී ඇති සංඥා සහ සංකේත මඟිනි. එනම් එම සංඥා සහ සංකේත මඟින් ප‍්‍රකට කරනු ලබන අර්ථ ඔස්සේ ශිලාලිපිවල අන්තර්ගත තොරතුරු පාඨනය කළ හැකි වන අතර සංඥාර්ථ පිළිබඳ න්‍යායාත්මක හා සංකල්පීය එළඹුමකට පිවිසීම තුළ ශිලාලිපි අධ්‍යයනය වඩාත් ඵලදායී වීම හේතුවෙන් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ශිලාලිපි හිමිකර ගනු ලැබූ වැදගත්කම මූලික කර ගනිමින් මෙම කෘතිය මා විසින් රචනා කරන ලදි. එසේම මෙම කෘතියට පදනම් වූ පර්යේෂණාත්මක අධ්‍යයනය තුළ කේන්ද්‍රීය සාධකය බවට පත්වන ශිලාලිපි පිළිබඳව හා එම ශිලාලිපි තුළ අන්තර්ගත වන සංඥාර්ථ පිළිබඳව ශාස්ත‍්‍රීය විශ්ලේෂණයක් ද මෙම කෘතිය තුළ මා විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම ශාස්ත‍්‍රීය පර්යේෂණය ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමේ දී ඒ සඳහා වටිනා පෙරවදනක් ලියා දුන් ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා මෙන්ම මෙම පර්යේෂණයට මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් මෙම කෘතියට පසුවදනක් ලියා දුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සහ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දඹර අමිල ස්වාමින්වහන්සේ ද මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය.

Comments

comments