අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය

මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක් වන ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මා සිදුකළ යම් යම් පර්යේෂණාත්මක අධ්‍යයන සහ නිරීක්ෂණ ඔස්සේ මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැකිය හැකි අහිතකර තත්ත්ව සඳහා හේතුවී ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම සටහන තැබීමේ අරමුණයි. එසේම රටේ වගකිව යුතු ක්ෂේත්‍රයක් තුළ කිසිසේත් සරලව බැහැර කළ නොහැකි මෙම තත්ත්ව පැවතීම තුළ ජනමාධ්‍ය තුළ පැවතිය යුතු ගුණාත්මක බව සහ විශ්වසනීයත්වය අතිශය බරපතළ අන්දමින් ප්‍රශ්නගත වන බවත් මෙහිදී සදහන් කළ යුතුය.

රටේ ජනතාවට විශාල බලපෑමක් සිදුකළ හැකි එහෙත් එම ක්ෂේත්‍රයට පිවිසීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවන ප්‍රධාන ක්ෂේත්‍ර දෙක අතරින් දේශපාලන ක්ෂේත්‍රය හැරුණු විට අනෙක් ක්ෂේත්‍රය වන්නේ මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයයි. එබැවින් මුල් නොමැතිව, ඕපපාතිකව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන පුද්ගලයින් වෙතින් ජනමාධ්‍ය තුළින් බලාපොරොත්තු විය හැකි පරමාදර්ශී තත්ත්ව කෙසේ වෙතත් ජනමාධ්‍ය තුළදී පැවතිය යුතු මූලික භාවිතයන් හෝ අනුගමනය කරනු ඇතැයි යන්න බලාපොරොත්තු වීම පවා හාස්‍යයට කරුණකි. ඒ අනුව මෙරට ජනමාධ්‍යවේදීන් තුළ නිරීක්ෂණය කළ හැකි මූලික කරුණු ත්‍රිත්වයක් සම්බන්ධයෙන් මෙසේ අවධානය යොමු කළ හැකිය.

1. ජනමාධ්‍ය සම්බන්ධ මූලික සංකල්ප පිළිබඳ පවතින අනවබෝධය
2. භාෂා භාවිතයේ ගැටලු
3. වෘත්තීයභාවය පිළිබඳ ගැටලු

ජනමාධ්‍ය සම්බන්ධ මූලික සංකල්ප පිළිබඳ පවතින අනවබෝධය

ජනමාධ්‍ය යනු රටක සහ සමාජයක වැදගත් ක්ෂේත්‍ර අතරින් එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස පෙන්වා දිය හැකිය. ජනමාධ්‍ය රටේ සිව්වන ආණ්ඩුව ලෙස සංකල්පීකරණයට ලක්වන්නේ ද එහි පවත්නා බලපෑම් සහගත බව හේතුවෙනි. මෙවැනි අතිශය වැදගත් ක්ෂේත්‍රයක් සම්බන්ධ මූලික සංකල්ප පවා නොදැන එනම් මුල් නැතුව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසී කටයුතු කරන මාධ්‍යවේදීන් හේතුවෙන් සිදුවන හානිය අතිවිශාලය. ජනමාධ්‍ය පිළිබඳ මූලික සංකල්ප පිළිබඳ ජනමාධ්‍යවේදියෙකු සතුව අවබෝධය පැවතීම වැදගත් වන්නේ ඒ හේතුවෙනි.

ජනමාධ්‍ය රටේ තවත් එක් ක්ෂේත්‍රයක් පමණක් නොව එය රටක, සමාජයක ජනතාවගේ චින්තනයට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රධානම මෙවලමයි. එබැවින් ජනමාධ්‍ය යනු කුමක්ද?, එහි කාර්යභාරය, ජනමාධ්‍ය ඔස්සේ ග්‍රාහකයාට සිදුවන බලපෑම, ජනමාධ්‍ය පිළිබඳ මූලික න්‍යායන්, එක් එක් මාධ්‍යවල පවත්නා ශක්‍යතා ආදිය පිළිබඳ ජනමාධ්‍යවේදියාට අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍යය. ඒ සඳහා ජනමාධ්‍ය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වන අතර එය අත්දැකීම් තුළින් තවදුරටත් පෝෂණය කරගත යුතුය. එහෙත් මෙරට බොහෝ ජනමාධ්‍යවේදීන් තුළින් මෙම තත්ත්වය දැකිය නොහැකි අතර මාධ්‍ය භාණ්ඩයක් තවත් එක් භාණ්ඩයක් වශයෙන් පමණක් සලකා විකිණීමට කටයුතු කරන පුද්ගලයින් පිරිසක් බවට ඔවුන් පත්ව තිබේ. මෙම තත්ත්වය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැකිය හැකි අතිශය කණගාටුදායක් තත්ත්වයක් බව පැවසිය යුතුය.

භාෂා භාවිතයේ ගැටලු

මෙම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය තුළ නිරීක්ෂණයට ලක්කළ හැකි අතිශය බරපතළ අර්බුද අතරින් එකක් ලෙස පෙන්වා දිය හැකිය. එනම් විශේෂයෙන්ම ජනමාධ්‍ය තුළ සිංහල භාෂා භාවිතයට අදාළව මෙම තත්ත්වය විග්‍රහ කිරීමේදී බොහෝ විට විද්‍යුත් මාධ්‍ය තුළ පමණක් නොව මුද්‍රිත මාධ්‍ය තුළ පවා දැකිය හැකි වැරදි භාෂා භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකිවේ. නිදසුනක් ලෙස අක්ෂර වින්‍යාසයේ දෝෂ අතිශය බහුල අන්දමින් දැකිය හැකි තත්ත්වයකි. එය රූපවාහිනී මාධ්‍ය තුළ දෛනිකව දැකිය හැකි තත්ත්වයක් වන අතර ඇතැම් විට මෙරට ජාතික පුවත්පත්වල සිරස්තලවල පවා එම තත්ත්වය දැකිය හැකිවේ. එසේම ව්‍යාකරණ උල්ලංඝනය කරමින් ලියන ලද වාක්‍ය ද විවිධ අවස්ථාවලදී දැකිය හැකිය. තවද වර්තමානයේ මෙරට ගුවන්විදුලි නාලිකාවල භාෂා භාවිතය තුළ ද වැරදි ලෙස භාෂාව භාවිත කිරීම නිරන්තරයෙන් දැකිය හැකි තත්ත්වයක් වන අතර බොහෝ විට මෙරටේ ප්‍රධාන ධාරාවේ පුවත් වෙබ් අඩවි තුළ ද අතිශය බරපතළ අන්දමින් සාවද්‍ය භාෂා භාවිතය දැකිය හැකිවේ. එමෙන්ම මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ලෙස එක් භාෂාවකින් තවත් භාෂාවකට සිදුකරන පරිවර්තනවලදී වැරදි අර්ථකථන සහිතව සිදුකරන පරිවර්තනය කිරීම් පෙන්වා දිය හැකි අතර ඒවා ඔස්සේ ජනමාධ්‍ය භාවිතය තුළ පැවතිය යුතු වගකීම් සහගත බව උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ද පැවසිය යුතුය.

මෙසේ දෛනිකව මෙරට ජනමාධ්‍ය තුළ දැකිය හැකි සාවද්‍ය භාෂා භාවිතය සඳහා බලපාන මූලික හේතුව වන්නේ භාෂා භාවිතය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් තුළ පවතින දැනුම අල්ප වීමයි. එනම් සිංහල භාෂාව සම්බන්ධයෙන් මූලික දැනුමක්වත් නොමැතිව, අවම තරමින් ණ, න, ල, ළ යෙදිය යුතු ආකාරය පිළිබඳවවත් අවබෝධයක් නොමැතිව ජනමාධ්‍යකරණයේ නියැලීම තුළ සිදුවන හානිය ඉතා විශාලය. එනම් රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ තුළදී රූපවාහිනී තිරය මත දිස්වන වැරදි අක්ෂර වින්‍යාසය සහිත වචන පසුව සමාජ භාවිතයන් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී. පුවත්පතකදී එසේ වැරැද්දක් සිදුවන්නේ නම් ඉන් වන හානිය ඊටත් වඩා බරපතළය. මුද්‍රිත මාධ්‍ය තුළ සෝදුපත් බැලීම පවා සිදුවුව ද එහිදී පවා නිවැරදි නොවූ වැරදි දැකිය හැකි නම් එය අත්වැරැද්දක් ලෙස සැලකීම කිසිසේත් සාධාරණ නොවේ.

වෘත්තීයභාවය පිළිබඳ ගැටලු

මෙම තත්ත්වය ද මෙරට ජනමාධ්‍යවේදීන් තුළ දැකිය හැකි ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට හානිකර වන තත්ත්වයකි. ඉහතින් සාකච්ඡා කළ තත්ත්ව ද මෙම තත්ත්වය සඳහා හේතුවන පැවසිය යුතුය. විශේෂයෙන්ම කිසියම් ක්ෂේත්‍රයකට අදාළ වෘත්තිකයෙකු තුළින් අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අධ්‍යාපනය, අත්දැකීම්, නිපුණත්වය ලබා තිබීම මෙන්ම අදාළ ක්ෂේත්‍රය තුළ ආචාර ධර්ම පද්ධතියක් අනුව කටයුතු කිරීම ද බලාපොරොත්තු වේ. එහෙත් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙවැනි තත්ත්ව දැකගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. විශේෂයෙන්ම ජනමාධ්‍ය තුළ කටයුතු කිරීමේදී මාධ්‍ය හිමිකාරිත්වයේ අවශ්‍යතාවන් සාධනය කිරීම සඳහා සමාජ වගකීමකින් තොරව කටයුතු කිරීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නගත කිරීම ද නිරර්ථක ක්‍රියාවක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ ජනමාධ්‍යවේදීන් ලෙස හඳුන්වන ඇතැම් පුද්ගලයින් ජනමාධ්‍ය වෘත්තියට මුවාවී කිසිසේත් ජනමාධ්‍යවේදීන්ට සුදුසු නොවන කටයුතුවල නිරත වෙමින් ක්‍රියා කිරීම තුළ මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය හුදු ප්‍රලාපයක් පමණක් බව පැවසීම සාවද්‍ය නොවේ.

(අවන්ත ආටිගලගේ කාටූනයකි)

එසේම මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ලෙස මෙරට ජනමාධ්‍ය භාවිතය තුළ දැකිය හැකි අතිශය බරපතළ අන්දමින් සිදුවන ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම් පෙන්වා දිය හැකිය. එනම් හුදෙක් මෙරට ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ වඩවඩාත් ඉස්මතු කරමින් විකුණන මූලික දේවල් ත්‍රිත්වයක් වේ. එනම් මිනිසුන්ගේ දුක, ලිංගික කරුණු සහ ප්‍රචණ්ඩත්වයයි. මෙම සාධක විවිධ ජනමාධ්‍ය විසින් අඩු වැඩි වශයෙන් භාවිත කරමින් සිය ජනමාධ්‍ය ආයතනය පවත්වාගෙන යනු ලබයි. මෙහිදී ඔවුන්ට ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඒ හේතුවෙන් සමාජයට හානිකර දෑ නිරන්තරයෙන් නිෂ්පාදනය කරන සහ බෙදාහරින වාහකයක් බවට මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය පත්ව තිබේ. මෙම තත්ත්වය ද ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී බැහැර කළ නොහැකි තත්ත්වයක් වන අතර වෘත්තීයභාවය සම්බන්ධයෙන් වැඩමුළු, සමුළු හා සම්මන්ත්‍රණ තුළ කොතෙක් සාකච්ඡාවට බඳුන් වුවද එම තත්ත්වය ප්‍රායෝගිකව මෙරට ජනමාධ්‍යවේදීන් තුළ ගොඩනැඟීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව පැවසිය යුතුය.

මෙසේ මුල් නැතුව මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ජනමාධ්‍යවේදීන් තුළ අධ්‍යයනයට ලක්කළ හැකි තත්ත්ව සහ ඒ හේතුවෙන් උද්ගතවී ඇති අර්බුද සම්බන්ධයෙන් ඉහත ආකාරයට සාකච්ඡාවට බඳුන් කළ හැකිය. එම මූලික කරුණු ත්‍රිත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර එවැනි තත්ත්ව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම ඔස්සේ මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට පියවර ගැනීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ වගකීම බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

Comments

comments