දොළොස් වසක හුදකලාවකින් පසු අපිට නැවත අප හමුවීම

අදින් අවුරුදු 12 කට කලින් එකම අරමුණක් වෙනුවෙන් එකට එකතුවුණ යාළුවො පිරිසක් අද මුණගැහුණා. ඒත් ඒ එදා තිබුණ අරමුණ වෙනුවට එක එක පාරවල්වල තමන්ගේ ජීවිතය හොයාගෙන යන පිරිසක් විදිහට. අද ඒ එකතු වුණේ අපේ ඒ කණ්ඩායමේ එක මිතුරෙකුගේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන්. ඒ උත්සවේ තිබු‍ණේ පැය කිහිපයක් වුණත් අවුරුදු 12 ක් තුළ අපේ ජීවිතවල ඇති කරලා තිබුණ වෙනස එක්තරා දුරකට භාවමය කම්පනයක් ඇති කළා කිව්වොත් නිවැරදියි. ඒ වගේම අද ගතවුණ ඒ පැය කිහිපය අවුරුදු 12 ක ජීවිතය හරි අපූරුවට ආවර්ජනය කරලා දීපු මොහොතක් වුණා කියලා කිව්වත් වැරදි නෑ. මේ හැමදේමත් එක්ක ජීවිතය ගැන මට දැනුණ හැඟීම් මේ විදිහට අකුරු කරන්න හිතුවා.

මීට අවුරුදු 12 කට කලින් අපි මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න ඇතුළත් වුණා. ඒ රජයේ කැම්පස් එකකට ගිහින් ඉංජිනේරුවො වෙන්න හිතාගෙන. ඒ දවස්වල අපි කතා කරපු හැමදේකම තිබුණේ ඒ හීනය. අපි ගියපු ටියුෂන් පන්තිවල ගුරුවරුත් කැම්පස් එක ගැන කියපු දේවල් නිසා 2008 අවුරුද්දේ පළමු වතාවට උසස් පෙළ විභාගය ලියන තෙක් ඒ ඉංජිනේරු හීනය අපිව ජීවත් කළා. ඒ පළමු වතාවට විභාගය ලියන්න ළංවෙද්දි අපිට ඒ හීනය දුරයි කියලා හිතුණත් මං ඇරුනම වෙන කිසිම කෙනෙක් ඒ හීනය අත්අරින්න සූදානම් වුණේ නෑ. ඒත් මං 2009 අවුරුද්දෙදි වෙන පාරකට හැරිලා 2013 දී කොළඹ කැම්පස් එකේ ශ්‍රීපාලි මණ්ඩපයට එන්නේ ඉංජිනේරු හීනයට අහලකින්වත් යන්නේ නැති ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරන්න. ඒත් මගේ මිතුරෝ දිගටම එයාලා මුලින් තෝරගත්ත පාරෙ ගියා. ඒත් ඒ කිසිම කෙනෙක්ට රජයේ කැම්පස් එකක ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න බැරි වුණා. ඒ වුණත් එක්කෙනෙක් සබරගමුව කැම්පස් එකටත් තවත් එක්කෙනෙක් මොරටුව කැම්පස් එකටත් ගියා අයි.ටී. පැත්තෙ උපාධිවලට. තවත් හතරදෙනෙක් ප්‍රයිවට් කැම්පස්වලට ගිහින් තමන්ගේ ඉංජිනේරු උපාධි හීනය ජයගත්තා. ඒ අතරින් එක්කෙනෙක් දැන් ජීවතුන් අතර නෑ. ඒ වගේම තව එක්කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකේ විද්‍යා පීඨයට ගියා.

ඔන්න ඒ විදිහට රජයේ කැම්පස් එකක ඉංජිනේරු පීඨවලට යන්න දැකපු අපේ හීන වෙන වෙන හීනවලට පරිවර්තනය කර ගන්න අපිට සිද්ධ වුණා. කොහොම වුණත් අපේ කණ්ඩායමේ ගොඩක් අය අද යම් ඉහළ ආර්ථික හැකියාවක් තියෙන පුද්ගලයෝ බවට පත්වෙලා. ඒ අතරින් හතරදෙනෙක්ට තමන්ටම කියලා කාර් එකක් තියෙනවා.  ගතවුණ අවුරුදු 12 ක ජීවිතය මේ විදිහට අපේ ජීවිත උඩුයටිකුරු කරලා.

ගතවෙච්ච අවුරුදු 12 ඇතුළත මං පොත් 3 ක් ලිව්වා. ඒවාවලින් දැන් කැම්පස්වල ළමයි විභාග, තීසීස් ලියනවා. ඒ දේවල් අහද්දි දකිද්දි මං විඳින සතුට මිලකරන්න බෑ. ඉතින් එක පොතක් ලියලා ඉවර කරාට පස්සෙ තව පොතක් ලියන්න හිතෙනවා. එහෙම බලද්දි මගේ අනිත් මිතුරො වගේම මං තෝරගත්ත පැත්තෙන් මං සාර්ථකයි. මොකද කොච්චර සල්ලි තිබුණත් ඒ සල්ලිවලට ගන්න බැරි සතුටක් මං ළඟ තියෙන නිසා.

ඉතින් මෙන්න මේ විදිහට තමා අවුරුදු 12 කට පස්සේ අපි නැවත හමුවෙද්දි අපේ ජීවිත තීරණය වෙලා තිබුණේ. අපේ මේ යාළුවො අතරින් එක්කෙනෙක් ඇරුනම අනිත් හැමෝම රැකියා කරන්නේ කොළඹ. ඒ කියන්නෙ අපි හැමෝම ඉන්නේ කොළඹ අහස යට. ඒත් අපිට හමුවෙන්න, කතාබහ කරන්න, ජීවිතේ විඳින්න වෙලාවක් නෑ රැකියාවල කාර්යබහුලකම නිසා. ඒ හින්දා මේ වගේ විශේෂ අවස්ථාවකදි ඇරුනම ආයෙ අපි හමුවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. කොහොම වුණත් අද දවස ගැන සතුටුයි. ආයෙත් දවසක අපි මෙහෙම හමුවෙන කොට අපේ ජීවිත තවත් ගොඩක් වෙනස් වෙලා තියෙයි. ඒත් එදා වගේම එක මේසේ වාඩිවෙලා අපිට අතීතය, වර්තමානය ගැන කතා කරන්න පුළුවන්. ඉතින් කොච්චර කල් ගතවුණත් අපේ මිතුරුකම කිසිදා නොවෙනස් වන බව නම් සහතිකයි.

Comments

comments

3 comments

  1. මා හට මෙම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වීම පිළිබදව අතිශයින්ම කණගාටු වෙමි.

  2. පැරණි මිතුරන් යලිත් හමුවෙද්දි මතකයන් ආවර්ජනය කරද්දී ලැබෙන සතුට කියලා නිමකරන්න බෑ ඉරංග. මගේ පළමු පාසලේ මිතුරන් ගොඩාක් යළි හමුවුනා අවුරුදු 25කට විතර පස්සේ. එකෙක් දෙන්නෙක් මත්දව්‍ය වලට යොමුවෙලා තිබුනත් අනික් අය හොද සමාජතත්වයක් ඇතිව තමන්ගේ ජීවිත ගතකරනවා. ඔබේ කතාව හා සමානයි.

    • ඔව් මිතුරුකම් නිසා විඳින සතුට නිම කරන්න බෑ සහෝදරයා.

Please comment using your facebook account.