සරසවි ප්‍රේමයේ උත්කර්ෂය හෙවත් ඇය බලන්නට ගිය ගමන

එදා තමයි දවස. අවුරුදු ගාණක් ආදරය කරපු පෙම්වතිය බලන්න නෑදෑයෝ පිරිවරාගෙන ගියපු දවස. ඉතින් ඒ දවස ගැන නොකියා කොහොමද. මේ සටහන ජීවිතයේ එක්වරක් පමණක් විඳිය හැකි ඒ සුන්දර අත්දැකීම දැනුණු දවස ගැනයි.

සරසවි ප්‍රේමයක් පෝරුවක් මත විවාහයක් බවට පත්වෙනවා කියන එක කෙනෙකුට ලේසියෙන් ලබන්න බැරි දුර්ලභ අත්දැකීමක් කියලයි මට නම් හිතන්නෙ. මොකද ලක්ෂ ගාණක් ලියන උසස් පෙළ විභාගයෙන් ඉතාම අතළොස්සකට හිමිවන සරසවි වරම් ලබාගෙන ඊට පස්සේ සරසවි ඇවිත් මුණගැහුණ ආදරවන්තිය හෝ ආදරවන්තයා මුළු ජීවිත කාලයටම ළඟ ඉන්න සහකරුවා හෝ සහකාරිය බවට පත්වෙනවා කියන එක ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නිසා. සරසවියට ආවට පස්සේ ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ඒත් ඒ සම්බන්ධයක් විවාහයක් දක්වා අරන් යන්න පුළුවන් වෙනවා කියන්නෙ ඇත්තටම එක අවුරුද්දක සරසවි ඇවිත් ප්‍රේම කරපු දහස් ගණනක් අතරින් සිය දෙනෙකුටවත් ළඟා වෙන්න බැරි කඩයිමක් විදිහටයි මට දැනෙන්නේ. එත් ඒ දේ මටයි මගේ පෙම්වතියටයි ජයගන්න පුළුවන් වුණා.

ඒ දවස, ඒ කියන්නෙ එයා බලන්න යන දවස ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වෙන්නේ ඒ නිසයි. උදෑසන අවදිවෙලා එයාව විවාහ කරගන්න සහකරුවා විදිහට දෙමව්පියෝ සහ නෑයෝ එක්ක එයාගේ ඇස් ඉස්සරහට ගියපු මොහොත වෙනකන් ගතවුණ හැම තත්ත්පරයක්ම මුළු ජීවිත කාලය පුරාම ආවර්ජනය කරන්න පුළුවන් නිමේෂක් වුණා කිව්වොත් නිවැරදියි. අවුරුදු පහක් ආදරය කරපු පෙම්වතිය බිරිඳ බවට පත්කරගන්න ගියපු ගමන, එහෙමත් නැත්තම් විවාහයට කලින් දෙපාර්ශවයෙම නෑදෑයෝ මුණගැහුණ දවස, අපි දෙන්නගෙම අම්මගෙයි තාත්තාගෙයි ඇස්වල සතුටු කඳුළු පිරිච්ච, සතුට වැඩිකමට වචන හිරවුණ දවස…

ඉතින් අපේ ගෙදරින් එන අය පාන්දරම එහෙන් එන්න පිටත් වෙලා තිබුණ නිසා විජේරාමෙ බෝඩිමේ හිටපු මමත් යන්න ලෑස්ති වුණා. වැඩට යද්දි කලබලේට මැදපු ඇඳුම් එදා බොහොම උනන්දුවෙන් හෙමීට මැද්දා. සපත්තු මේස් දෙක පවා දැම්මේ බොහොම පරිස්සමෙන්. මං හිතන්නෙ මට මතක ඇති කාලෙක එහෙම උනන්දුවකින් ලෑස්ති වෙලා ගියපු ගමනක් ගැන හිතාගන්න අමාරුයි.

බෝඩිමෙන් පිටත්වෙන්න ඕන කියලා හිතන් හිටපු වෙලාවට වඩා පැය බාගයක් කලින් මං බෝඩිමෙන් එළියට ආවා. ඊට පස්සෙ හම්බුණ ඉස්සෙල්ලාම බස් එකට නැගලා වාඩිවුණා. එදා සෙනසුරාදා දවසක් නිසා පාරෙ තදබදයක් තිබුණේ නෑ. ඒත් බස් එක නවත්තපු හැම ට්‍රැෆික් ලයිට් එකක් ළඟදිම මං ඔළුව උස්සලා බැලුවා. බැලුවා කිව්වට එහෙම බැලුණා කිව්වොත් නිවැරදියි. ට්‍රැෆික් ලයිට් තිබුණ තැන්වල නවත්තලා තිබුණ බස් එක යන්න ඕන වෙලාව තීරණය කරන, තත්පරෙන් තත්පරය අඩුවෙන, කාලය පෙන්නන පුවරු හැම එකක්ම මගේ ගමනට බාධා කරන එදිරිවාදීන් විදිහටයි මට පෙනුණෙ.

ඔහොම නොඉවසුම් සහගතව ඇවිත් කොටුවෙන් අනිත් බස් එකට ගොඩවුණා. ඒ තමා පෙම්වතියගේ ගෙදරට යන්න නගින්න ඕන බස් එක. ඒ ගමනත් පැය එක හමාරක් දෙකක් විතර යන ගමනක්. ඉක්මනට යන්න මට කොච්චර හදිස්සියක් තිබුණත් බස් එක බොහොම නිවී සැනසිල්ලේ යනවා. ඔහොම පැය එක හමාරක් විතර ගිහින් ටික ටික ගමනාන්තයට ළං වෙමින් ආවා. මොරටුව, පානදුර, වාද්දූව.. වාද්දූව… වාද්දූව… කළුතර කියලා පාර‍ෙ බෝඩ් එකක් දකිනකන් මං නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. ඒත් දිගටම වාද්දූව කියන බෝඩ් විතරමයි. ඒ වෙලාවෙ මට හිතුනා ලංකාවෙ ලොකුම නගරය ද මේ වාද්දූව කියලා. මොකද පානදුරේ පහුකරලා කළුතර කියලා දකිනකන් හුස්ම ගන්න සිහියක් නැතුව හිටපු මට ඇයි මෙහෙම වෙන්නෙ කියලා හිතුණ නිසා. විනාඩි ගාණක්.. නෑ පැය ගාණක්.. නෑ ඊටත් වඩා.. දවස් ගාණක් වගේ මට දැනුණ ඒ කාලෙ පහුවෙලා ඔන්න කළුතර කියලා බෝඩ් පේන්න පටන් ගත්තා. දැන් නම් පපුවෙ ගැස්ම වැඩිවෙලා වගේ. අවුරුදු ගාණක් ආදරේ කරත් එදා තමයි එයා මුලින්ම දකින්නෙ වගේ හැඟීමක් මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් අවුරුදු ගාණක් මං එයත් ගත කරපු කාලය එක තත්පරේකින් මට අමතක වෙලා තරුණයෙක් තරුණියක්ව ඉස්සෙල්ලාම බලන්න යද්දි දැනෙන තරමක ලැජ්ජාවක් පිරුණු කුතුහලයකින් මගේ හිත පිරුණා. ඒ මොහොතෙ ඉඳන් එයාගෙ ගෙදරට ගිහින් එයා මගේ ඇස් ඉස්සරට එන මොහොත වෙනකන්ම මගේ හිත ඒ හැඟීමට සමවැදිලා තිබුණෙ. හරියට ධ්‍යානෙකදි වගේ.

ඔහොම ගිහින් බස් එකෙන් බැහැලා ගෙදර අය ආපු වාහනේට නැගලා මෙච්චර වෙලා පෙරම් පුරපු එයාගේ ගෙදරට ගියා. ගෙදරට ඇතුළු වෙනකොටම එයාගේ අම්මා තාත්තා ඇතුළු නෑදෑයෝ අපිව පිළිගත්තා. ඊට පස්සේ වාඩිවෙලා දෙපැත්තෙ අය පොඩි කතාබහකට වැටුණා. ඒත් මං හිටියෙ‍ කෝ එයා දැන් එයි දැන් එයි කියලා හිත හිත. ඒත් තාම නෑ. ඒ කාලය මට දරාගන්න බැරි නිහැඬියාවක්. මේ නිහැඬියාව මට මීට කලින් දැනිලා තියෙන්නේ එකම එක වතාවයි. ඒ අවුරුදු ගාණක් මහන්සි වෙලා උසස් පෙළ ලියන්න විභාග ශාලාවට ගිහාම පේපර් එක දෙනකන් ගතවෙන විනාඩි පහ වගේ. හරියට කල්ප දෙකක් අතරෙ තියෙන පුංචිම පුංචි කාල අවකාශයක් වගේ. හැබැයි මට නම් ඒ කාලය කල්පයක්.

ඉතින් ඒ විදිහට කල්පයක් පුරා මං බලන් හිටපු එයා ඔන්න දැන් මං ඉස්සරහට එනවා. අවුරුදු ගාණක් ආදරේ කළත් මෙච්චර කාලයක් මං නොදැකපු එයා දැන් මගේ ඇස් ඉස්සරහට ඇවිත්. එයා ඉස්සෙල්ලාම දකින කොට අපේ නෑදෑයෝ එයා දිහා බලන් හිටියට වඩා කුතුහලයකින් මං එයා දිහා බලාගෙන හිටියා. එක ඇහි පිල්ලමක්වත්, ඉහළට ගත්ත හුස්මක්වත් පහළට හෙළන්නෙ නැතුව… කොටින්ම කිව්වොත් ඒ මොහොතට බාධාවෙයි කියලා හිතුන සිතුවිල්ලකටවත් ඒ මොහොත මගෙන් උදුරගන්න බැරිවුණා.

එයා ඇවිත් අපේ නෑදෑයින්ට ආචාර කරලා මට එහා පැත්තේ පුටුවේ වාඩි වුණා. මං ටිකෙන් ටික පියවි සිහියට ආවත් දැන් මං එයාගෙ පරණ පෙම්වතා නෙමෙයි කියලයි මට හිතුණෙ. මොකද දැන් අපි ආයෙත් අලුත් පෙම්වතුන්. හරියට සරසවි ආපු මුල්ම අවුරුද්දේ අපි මුණගැහුණා වගේ. එදා ඉදන් ඒ මොහොත දක්වාත් ඒ මොහොතෙ ඉඳන් මැරෙනකන්මත් අපි පෙම්වතුන්. විවාහය නීතියටයි සංස්කෘතියටයි අනුව සිද්ධ වෙන දෙයක් වුණත් ප්‍රේමය ඒ හැමෙදේකින්ම නිරපේක්ෂයි. ඉතින් මං දැන් මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා. එදා එයාගෙ ඇස්වල තිබුණ ඒ නිලංකාරය මට කිව්වෙ එකම දෙයයි. ඒ තමා මේ ප්‍රේමය තවත් කල්ප ගාණක් අපිව මේ විදිහට ජීවත් කරයි කියන එක.

ආශ්‍රිත ලිපි
මිනිසුන්-නොමිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සරසවියේ සිව් වසරක මතකය
ශ්‍රී පාලි මණ්ඩපයේ වසර හතරක් හෙවත් මගේ සරසවි ජීවිතය

Comments

comments

One comment

  1. මංගල යෝජනාවකට අනුව අලුත් මනාලියක් බලන්න ගියා වාගේනේ.
    ඉක්මනින්ම නෑසනුහරේ ආශිර්වාද මැදින් අලුත් කැදැල්ලක කුඩුවෙන්න ලැබේවා.

Please comment using your facebook account.