“Living without Life” හෙවත් නව සරසවි සිනමා වංශයක ඇරඹුම…

මෙම සරසවියේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ 2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින් විසින් තම අවසන් වසර නිෂ්පාදනය ලෙස “Living without Life” නමින් සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කර ඊයේ එය සරසවියේ අරුන්දතී ශාලාවේ දී ප්‍රදර්ශනය කරන ලදි. සරසවි විද්‍යාර්ථින් වශයෙන් සිනමා නිෂ්පාදනයක් සිදු කිරීම හා අනාගතයේ දී ගුණාත්මක සිනමා නිර්මාණ මෙම සරසවියෙන් බිහි කිරීම සඳහා තැබූ ආරම්භක පියවරක් ලෙස මෙම නිර්මාණයට සුවිශාල වැදගත්කමක් හිමිවේ. එනිසා ඔවුන්ගේ මෙම නිර්මාණාත්මක ප්‍රවේශය පිළිබඳව මෙසේ සටහනක් තබමි.

මෙහි කථාව වන්නේ කර්මාන්ත ශාලාවක් නිසා ගමකට මුහුණ පෑමට සිදුවන ජල අර්බුදයකි. එය මෑතකදී වඩාත් කතාබහට ලක්වූ රතුපස්වල සිදුවීම හා සමාන සිදුවීමකි. එහි දී ගම්මුන්ට පානීය ජලය හිඟවීම හා කුඹුරු ජලය අපවිත්‍ර වීම ඔස්සේ ඇතිවන පාරිසරික දූෂණය වැනි තත්ව මෙම නිර්මාණයේ මතුපිට තලය තුළ සාකච්ඡාවට බඳුන් කරයි. එහෙත් ඊට වඩා සංකීර්ණ සමාජ හා දේශපාලනික යථාර්ථයක් මෙහි යටි පෙළ හෙවත් අධෝ තලය තුළ ඉස්මතු කරයි. එනම් දේශපාලන බලාධිකාරිය ඔස්සේ මෙවැනි සිදුවීම් ඇතිවීම කෙරෙහි මැදිහත් වී ඇති ආකාරය හා. අවසානයේ රාජ්‍ය බලය මඟින් වෙඩි උණ්ඩයට ජනතා ප්‍රශ්න යටපත් කිරීමට දරණ උත්සාහය ඛේදවාචකයක් බවට පත්වී ඇති ආකාරය මෙය තුළ අවධානයට බඳුන්කරවීමට කටයුතු කර ඇති බව පෙනේ.

මෙම නිර්මාණය තුළ රූපරාමු හෙවත් විවිධ අවස්ථා එකකට එකක් ගැළපීම මඟින් මෙහි පිටපත් රචකයා පොදු සිදුවීමක් නිර්මාණාත්මකව හා ප්‍රේක්ෂක කුතුහලය ඇතිවන අයුරින් ඉදිරිපත් කිරීමට උත්සහ දරා තිබේ. එමඟින් මෙම සිනමා නිර්මාණය වාර්තා ස්වරූපයෙන් ඔබ්බට ගෙන ගොස් වෘතාන්ත සිනමා නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබේ. එම නිසා තමා දන්නා සිදුවීමක් වුවත් නව අත්දැකීමක් ලෙස විඳ ගැනීමට ප්‍රේක්ෂකයාට හැකි වූ බව පැවසිය යුතුය.

කෙසේ වුවත් මෙම නිර්මාණය ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වූ තරමට ප්‍රේක්ෂක සිත්තුළ තිගැස්මක් ඇතිකළා ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් බොහෝ දෙනා දැනුවත් සිදුවීමක් මෙම නිර්මාණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කර ඇති බැවිනි. එහෙත් එසේ කළ පමණින් මෙම නිර්මාණ කාර්යය හා මෙය නිර්මාණය කිරීම සඳහා කැපවූ විද්‍යාර්ථින්ගේ උත්සාහය කිසිසේත් අවප්‍රමාණ කොට සැලකිය නොහැකිය. එයට හේතුව නම් මෙම නිර්මාණයේ අන්තර්ගතය අභිබවා ඔවුන්ගේ සාමූහික උත්සාහයේ වැදගත්කම මෙහි දී ඉස්මතු වන බැවිනි. එනිසා මාගේ අදහස වන්නේ “Living without Life” නිර්මාණයක් වශයෙන් සලකා අගය කිරීමකට වඩා එය සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් හා අධ්‍යයන පරිසරයක් තුළ නිර්මාණයක් සමාජගත කිරීමේ උත්සහයක් වශයෙන් ඇගයීමට ලක්කිරීම වඩා වැදගත් බවයි.

ඒ අනුව අවසාන වශයෙන් ප්‍රකාශ කළ හැකි වන්නේ මෙම සිනමා නිර්මාණය හුදු නිර්මාණයක් ලෙස සැලකීම පමණක් සාධාරණ නොවන බවයි. එසේම දින ගණනක කැපවීමකින් හා වෙහෙසවීමක් තුළ පණ ලද මෙම නිර්මාණය සරසවි විද්‍යාර්ථින් පිරිසක් වශයෙන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ද පෙන්වා දීම සාවද්‍ය නොවේ. මන්ද යත් අතිවිශාල පිරිසක් මෙහෙයවමින් තම නිර්මාණයට ඔවුන්ගේ දායකත්වය උපරිම අයුරින් ලබා ගැනීමට කටයුතු කිරීම හා පූර්ව නිෂ්පාදන අවස්ථාවේ සිට පසු නිෂ්පාදන අවස්ථාව දක්වා නිෂ්පාදන කාර්යයක අත්දැකීම ලබා ගැනීමට මෙය නිර්මාණය කළ විද්‍යාර්ථින්ට අවස්ථාව ලැබීම ඔස්සේ ඔවුන් තම අධ්‍යයන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පියවර ගණනාවක් ඉදිරියට තබා ඇති බැවිනි. එනිසා “Living without Life” සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස සලකමින් මෙම සරසවියෙන් මෙවැනි තවත් බොහෝ නිර්මාණ අනාගතයේ දකින්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම සටහන අවසන් කරමි.

Comments

comments