ලාංකේය රුපවාහිනී වැඩසටහන් වර්ගීකරණයේ සුවිශේෂතා පිළිබඳ විමසුමක්

මානවයාගේ උපතේ සිට මරණය තෙක් ඔහුගේ ජීවිතය මෙහෙයවනු ලබන මූලික පදාර්ථය ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එය මානව ක්‍රියාකාරකම් සමඟ පවත්වනු ලබන ඓන්ද්‍රීය සම්බන්ධතාව ඔස්සේ පුද්ගල සිතුම් පැතුම් අරමුණු සහගතව හැසිරවීමෙන් මානවයාගේ සමාජයීය භූමිකාව වඩාත් අර්ථ සම්පන්න  කරනු ලැබේ.

“සන්නිවේදනයෙන් තොරව මානව කණ්ඩායම්හි හා මානව සමාජයන්හි පැවැත්මක් නොවන බව විල්බර් ශ්‍රාම් පවසයි”[1]. විල්බර් ශ්‍රාම්ගේ අදහස අනුව මානව සමාජයේ පැවැත්ම රඳා පවතින්නේ සන්නිවේදනය මඟිනි. එහි දී මානවයාගේ අවශ්‍යතා තෘප්ත කර ගනු පිණිස සාමූහිකව කටයුතු කිරීමේ දී සන්නිවේදනය ඔහුගේ මූලික මෙවලම බවට පත්වී ඇති බව ප්‍රකාශ කළ හැකිවේ.

පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වූ සාධක අනුව ආදිම මිනිසා මීට අවුරුදු හතලිස් දහසකට පමණ පෙර ජීවත් වී ඇත[2].  ගල්ගුහා මුල්ම වාසස්ථාන කර ගත් ඔවුහු දඩයම් කිරීමෙන් සිය ආහාර සපයා ගැනීමේ අවශ්‍යතාව සපුරා ගන්නට කටයුතු කළ අතර සන්නිවේදන ඉතිහාසය පරික්ෂා කිරීමේ දී මුල්ම මානවයා සිය සන්නිවේදන කාර්යය පිණිස භාවිත කළ ක්‍රමවේද මෙම ගල්ගුහා ආශ්‍රිතව වර්ධනය වූ බවට සාක්ෂි හමුවේ. එහි දී ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර වශයෙන් හඳුනාගන්නා මෙම ගුහා  චිත්‍ර ආදි මානවයා විසින් ගල් ගුහාවක බිත්තියේ මනා ලෙස සිතුවම් කළේ විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහාය. මෙහි මූලික අරමුණ වූයේ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ දඩයම සාර්ථක කර ගැනීමය[3]. කෙසේ වුවත් මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් ප්‍රකාශ කරන්නේ දඩයම් කටයුතු සඳහා සතුන් ගුහා තුළට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ගුහා තුළ සත්ව රූ සහිත සිතුවම් නිර්මාණය කරන්නට ඇති බවයි.

මානව සන්නිවේදනයේ මුල්ම හැරවුම් ලක්ෂ බවට පත්වන්නේ මානවයා විසින් ලේඛන ක්‍රමවේදය බිහිකර ගැනීමය. එනම් මානව පරිණාමය තුළ නියත වශයෙන් ලේඛන ක්‍රමයක අවශ්‍යතාව ඉස්මතු වූයේ මානවයා දඩයම් – එඬේර යුගයේ සිට ක්‍රමයෙන් කෘෂිකාර්මික ගොවි යුගය කරා සම්ප්‍රාප්ත වූ විටය[4]. එහි දී යම්කිසි අර්ථයක් ජනනය කළ සංකේත හෝ රූප භාවිතය තුළින් පළමුව චිත්‍රාක්ෂර නිර්මාණය වූ බව පෙනේ. ඉන්පසුව ඒවා තුළින් ශබ්ද විද්‍යාත්මක ස්වරූපය හා පද සංයෝජන විශ්ලේෂණ රටාව නිරූපණය කිරීම ඔස්සේ මානව සමාජය ලේඛන කලාවට අවතීර්ණ වූ බව ප්‍රත්‍යක්ෂ කළ හැකිය.

ක්‍රි.ව.105දී චීන ජාතික සායි ලුන් විසින් මුල් වරට කඩදාසි සොයා ගනු ලැබිණි[5]. සායි ලුන්ගේ මෙම සොයාගැනීම ඔස්සේ මානව ශිෂ්ටාචාරයේ ප්‍රබලතම සන්නිවේදන මාධ්‍යය වන මුද්‍රිත මාධ්‍යයේ බිහිවීම කෙරෙහි පදනම සකස් කරනු ලැබිය. ඒ අනුව ජර්මන් ජාතික ගුටෙන්බර්ග් විසින් ක්‍රි.ව. 1439දී පමණ නිෂ්පාදනය කරනු ලබන මුද්‍රණ යන්ත්‍රය මානව ඉතිහාසය පුරාම සිය ආධිපත්‍යය පතුරවමින් විරාජ මාන වන පුවත්පත් මාධ්‍යයේ ඇරඹුම සනිටුහන් කරන ලදි.පුවත්පතෙන් පසුව 19 සියවස අග භාගයේ දී ගුග්ලිඑමෝ මාර්කෝනි විසින් සිදු කරන අතර ඒවායේ සාර්ථකත්වය හේතුවෙන් බිහිවන ගුවන්විදුලිය 20වන සියවස ආරම්භයේ පටන් මානව ජීවිතවල හැඩය තීරණය කරන සාධකය බවට පත්වේ. අනතුරුව ගුවන්විදුලි තාක්ෂණය ද භාවිත කරමින් ගුවන්විදුලියෙන් සිදුකළ ශ්‍රව්‍ය සන්නිවේදනය වෙනුවට ශ්‍රව්‍ය-දෘශ්‍ය නැමැති සන්නිවේදන ක්‍රම ද්වීආකාරයෙන්ම සමන්විත රූපවාහිනී මාධ්‍යය නිපදවන ලදි.

විශේෂයෙන්ම රුපවාහිනී මාධ්‍යයේ බිහිවීමෙන් පසු එය ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම ලබා ගැනීමට සමත් වූ මාධ්‍යය බවට පත්විය. මෙම මාධ්‍යයට සමාජය තුළ ඇති මෙම අධික ඉල්ලුම නිසාම කාලානුරූපව රුපවාහිනී නාලිකා ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ ගිය අතර එනිසාම ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඔස්සේ නිර්මාණය වූ තරඟකාරිත්වයක් ද ඇති විය. ඒ හේතුවෙන් විවිධ වැඩසටහන් ආකෘති ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීම මඟින් රූපවාහිනී මාධ්‍යය තුළ විවිධ වැඩසටහන් ආකෘති ගණනාවක් නිර්මාණය වන අතර ප්‍රේක්ෂක රස වින්දනය පිණිස ඒවා ඉදිරිපත් කිරීම රුපවාහිනී නාලිකාවල මූලික අභිප්‍රාය ලෙස ඉස්මතු වුවත් අද්‍යතනය වන විට එම රසවින්දනය ලබා දීම නැමැති අරමුණ යටපත් වෙමින් වාණිජමය අරමුණු මත සියල්ල තීරණය වන තත්ත්වයක් උදාවී ඇත.

කෙසේ වුවත් රුපවාහිනි මාධ්‍යය අධ්‍යයනයේ දී රුපවාහිනී වැඩසටහන් තර්කානුකුලව ප්‍රභේද ගත කිරීම ශෝනර (Genre) නැතහොත් ප්‍රවර්ග ලෙස ලෙස හැඳින්වේ. මෙසේ රුපවාහිනී මාධ්‍යය තුළ මෙකී ප්‍රවර්ග ගත කිරීම සාකච්ඡා කිරීමට පෙර විවිධ ප්‍රාසංගික කලා මාධ්‍යයන් තුළ ශෝනර  පිළිබඳ සාකච්ඡා කර තිබේ. එනිසා රූපවාහිනී මාධ්‍යයට අදාළව ශෝනර පිළිබඳ විග්‍රහ කිරීමට පෙර ශෝනර කලාවේ ඉතිහාසය පිළිබඳව මඳක් විමසා බැලීම වැදගත්ය.

ඒ අනුව ශෝනර පිළිබඳ සාකච්ඡා කිරීමේ දී විවිධ කලා මාධ්‍යයන්ට අදාළ ශෝනර නැතහොත් ප්‍රවර්ග ගත කිරීම් දැකිය හැකිවේ. එහි දී නිදසුන් වශයෙන් ගෙන පැහැදිලි කරන්නේ නම් ග්‍රීක යුගයේ පැවති නාට්‍ය කලාවේ සිට මෙම ප්‍රවර්ග ගත කිරීම් හඳුනා ගත හැකිය. එනම් ග්‍රීක නාට්‍ය කෘති සුඛාන්ත, ඛේදාන්ත සහ වීරයන් පිළිබඳ නිර්මාණය වූ නාට්‍ය ආදී ලෙස මෙම ප්‍රවර්ග ගත කිරීම් හඳුන්වා දීමට පුළුවන. තව ද චිත්‍රපට කලාවට අදාළව මෙම ශෝනර ගත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඓතිහාසික කථා තේමාවන් ඇතුළත් චිත්‍රපට, විකට චිත්‍රපට, පාතාල සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් පදනම් කර ගනු ලැබූ තේමා සහිත චිත්‍රපට ආදී වශයෙන් ප්‍රවර්ග ගත කිරීම් ගණනාවක් යටතේ චිත්‍රපට කලාව තුළ ශෝනර ගත කිරීම පෙන්වා දීමට හැකිය.

එහෙත් මෙම ශෝනර ගත කිරීම පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් ද සඳහන් කළ යුතුය. එනම් එක් එක් ශෝනර සඳහා යොදා ඇති නාමයන් ස්ථාවර නොවන බව සටහන් කර ගැනීම වැදගත්ය. එහි දී කෘතියක් යම් කිසි ශෝනරයකට වර්ග කරනවාට වඩා ඒ ඒ ශෝනරයට අයත් අංග ලක්ෂණ එම කෘතිය තුළ අන්තර්ගතව ඇති ආකාරය විස්තර කිරීම වැදගත් වේ[6]. ඒ අනුව පැවසිය හැකි වන්නේ ප්‍රවර්ග ගත කිරීම හෙවත් යම් කෘතියක් ශෝනර ගත කිරීම යනු අදාළ කෘතිය ස්ථිර වශයෙන්ම කාණ්ඩයකට ඇතුළත් කිරීම නොවන බවත් එකී කෘතියේ සංගෘහිත ලක්ෂණ පැහැදිලි කිරීම ප්‍රවර්ග ගත කිරීමට වඩා ඵලදායී වන බවත්ය.

රුපවාහිනී ශෝනර පිළිබඳ සාකච්ඡා කිරීමේ දී වැඩසටහන් ආකෘති වල ස්වභාවය මෙන්ම රුපවාහිනී වැඩසටහන්වල ඇතිවිය යුතු නීතිරීති සහ ගිවිසුම් පවා එයට අයත් වේ. එසේම රූපවාහිනී වැඩසටහන් ශෝනර ගත කිරීමේ දී රූපවාහිනිය ඉතා ප්‍රවේශමෙන් අවබෝධ කර ගත යුතු අතර ඇතැම් රූපවාහිනී වැඩසටහන් පහසුවෙන් අවබෝධ කර ගත හැකිවේ. තව ද ප්‍රචාරණ න්‍යාය පත්‍ර සැකසීමේ දී රූපවාහිනී සේවාවන් ශෝනර උපයෝගී කර ගන්නා අතර ඒ ඉලක්ක කරා එළඹීමට සහ ජනප්‍රියතාව රැකගැනීම සඳහා වේ.

රුපවාහිනී ශෝනර ගොඩනැඟීමේ දී මිශ්‍රවීම නැමැති සාධකය ද බලපායි. එනම් මූලික ශෝනර ද්විත්වයක් හෝ වැඩි ගණනක් මිශ්‍රණය වීමෙන් රූපවාහිනී ශෝනර නිර්මිත වේ. එසේම රුපවාහිනී සංස්කෘතියේ සිදුවන වෙනස්වීම් තුළ ද නව ශෝනර ආකෘති (New Generic Forms) නිර්මාණය වේ. එහි දී විකාශන කාලය පිරවීම සඳහා උදෑසන විකාශනයන් (Breakfast Television) සහ ප්‍රේක්ෂකයින්ගේ අඩු වැඩි වීම සමඟ සඟරාමය වැඩසටහන් නිර්මාණය වීමත් දැක ගත හැකි විය.

එසේම රූපවාහිනියේ ඓතිහාසික වර්ධනයත් සමඟ මෙම ශෝනර වර්ධනය වීම පිළිබඳව අධ්‍යයනයේ දී විවිධ සමාජයීය හා සංස්කෘතික වෙනස්වීම්වලට අදාළව එම බලපෑම්වලට නතු වූ ශෝනර ආකෘතින් රූපවාහිනිය ඔස්සේ සමාජ ගත වීම ද විද්‍යාමාන විය. එනම් නිදසුනක් වශයෙන් සන්ධාන කරන්නේ නම් 1900 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය රූපවාහිනී නාට්‍ය සමාජ හා සංස්කෘතික වෙනස්වීම්වලට අදාළව කොටස් ද්විත්වයකට වර්ග කෙරේ. එයින් එක් වර්ගයක් Thirty- Something නාට්‍ය හෝ  ලිංගික චාරිත්‍ර වශයෙන් වර්ගීකරණයට ලක්වූ නාට්‍ය ශෝනරය හඳුනාගත හැකි වන අතර අනෙක් ශෝනර ප්‍රභේදය වන්නේ මිතුරු සමාජ ඇසුරෙන් ගොඩනැඟී ඇති ඔවුන් අතර පවතින සබඳතා විතර කරනු ලබන ශෝනර විශේෂයි. මෙම නව ශෝනර ප්‍රභේද ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ද වර්ගීකරණය කළ හැකි වන අතර නව ශෝනර වර්ග කිරීමක් ලෙස ඒවා අධ්‍යයනය කිරීමට හැකි වී තිබේ.

විශේෂයෙන්ම රූපවාහිනී ශෝනර වර්ග කිරීමේ දී ඒවා ප්‍රවේශ ත්‍රිත්වයක් යටතේ විග්‍රහ කළ හැකිය. එනම් කෘත්‍යයික – ප්‍රවාහාත්මක ප්‍රවේශය, විෂයික – තේමාත්මක ප්‍රවේශය හා කාලානුරූපක වැඩසටහන් වේ. මෙම එක් එක් ප්‍රවේශ වෙන් වෙන් වශයෙන් විග්‍රහ කිරීම වැදගත් වේ.

ඒ අනුව කෘත්‍යයික – ප්‍රවාහාත්මක ප්‍රවේශය ලෙස හඳුනාගත හැකි වන්නේ පොදු කෘත්‍යවාදී, කෘත්‍යවාදී, ප්‍රබුද්ධවාදී, කාලාත්මක විනෝදවාදී හා ජනමත හැඩගස්වන්නා වූ වැඩසටහන්ය. විශේෂයෙන්ම මෙම ශෝනර ප්‍රවර්ගයට අයත් වන වැඩසටහන් ගණනාවක් වර්තමාන ලාංකේය රූපවාහිනී මාධ්‍යය තුළ හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන අතර එම වැඩසටහන් මඟින් විවිධ මතවාද සමාජ ගත කිරීම සිදු කෙරේ. එහි දී ජනමත හැඩගස්වන්නා වූ වැඩසටහන් අතර දේශපාලන සන්දර්භයන් සහිත වැඩසටහන් බහුල වශයෙන් විකාශය කිරීමට කටයුතු කරනු ලබන අතර එම වැඩසටහන් සඳහා හිමි වී ඇති ජනතා ප්‍රතිචාර ද ඉහල මට්ටමක පවතී. මෙවැනි වැඩසටහන් සඳහා නිදසුන් ලෙස දෙඅරන රූපවාහිනී නාලිකාවේ වාද පිටිය වැඩසටහන, සිරස රූපවාහිනී නාලිකාවේ සටන වැඩසටන හා ස්වර්ණවාහිනී නාලිකාවේ රතුඉර ආදීවූ වැඩසටහන් පෙන්වා දිය හැකිය.

කෘත්‍යයික නැතහොත්  ප්‍රවාහාත්මක ප්‍රවේශය අයත්වන කලාත්මක හා විනෝදවාදී වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමේදී අද්‍යතන ලාංකේය රූපවාහිනී වැඩසටහන් අතරින් බහුතරයක් මෙම ශෝනර ප්‍රභේදය අනුව නිර්මාණය හා විකාශය වන වැඩසටහන් ලෙස පෙන්වා දිය හැකි වේ. ඒ සඳහා විශේෂයෙන්ම හේතු වී ඇති කාරණය ලෙස වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මෙම වැඩසටහන් සඳහා හිමිවීම හේතුවෙන් අනුග්‍රාහකයින් ඔස්සේ ලැබෙන වෙළෙඳ දැන්වීම් වැඩි ප්‍රමාණයක් මෙම විනෝදාත්මක වැඩසටහන් අතරතුර විකාශයට අවකාශය ලබා ගත හැකි වීමයි. ඒ අනුව විවිධ සංගීත වැඩසටහන්, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ආදිය මෙම ප්‍රවර්ගය යටතේ හඳුනා ගැනීමට හැකිවේ. එහි දී මෙම කලාත්මක සහ විනෝදාත්මක ශෝනර නිරූපණය කරනු ලබන විවිධාකාරයේ වැඩසටහන් දැකිය හැකි වන අතර අද්‍යතනයේ ලාංකේය රුපවාහිනී මාධ්‍යය තුළ ඇති වී ඇති ජනප්‍රිය ප්‍රවණතාව වන්නේ හඬ කවන ලද කොරියානු ටෙලිනාට්‍ය හා ඉන්දියානු ටෙලිනාට්‍ය වැඩි වශයෙන් විකාශය කිරීමට පෙළඹීමයි. නිදසුන් වශයෙන් ජාතික රූපවාහිනියේ සූරිය දියණිය, සිරස රූපවාහිනියේ අනන්තයෙන් ආ තරු කුමරා සහ දෙරණ රූපවාහිනියේ මෙලඩි ඔෆ් ලව් ආදී වූ කොරියානු ටෙලි නාට්‍ය පෙන්වා දිය හැකි වන අතර සිරස රූපවාහිනියේ මේ ආදරයයි, ස්වප්නා, දෙරණ රූපවාහිනියේ  සදහටම ඔබ මගේ වැනි ටෙලිනාට්‍ය හඬකවන ලද ඉන්දියානු වැඩසටහන් ලෙස ද පෙන්වා දිය හැකිය.

මෙම රූපවාහිනී ශෝනර ප්‍රවර්ගයට අයත් වන්නා වූ වර්තමානයේ දී ප්‍රේක්ෂකයාගේ අවධානය වැඩි වශයෙන් හිමි වී ඇති වැඩසටහන් ප්‍රවර්ගයක් ලෙස ජ්‍යෝතිෂ්‍ය වැඩසටහන් පෙන්වා දිය හැකිය. එහි දී විශේෂයෙන්ම බොහෝ රුපවාහිනී නාලිකාවල උදෑසන මෙම ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනු ලබන පුද්ගලයෙක් ගේනවා ජ්‍යෝතිෂ්‍ය විද්‍යානුකුලව විවිධ උපදෙස් ලබා දීම සිදු කරයි. ඒ ඔස්සේ ජන මතය හැඩගැස්වීම සඳහා මෙම වැඩසටහන් විසින් ප්‍රබල බලපෑමක් ඇති කිරීම සිදු වේ. හිරු රුපවාහිනී නාලිකාවේ විකාශය වන පාර කියන තාරුකා වැඩසටහන මෙවැනි වැඩසටහනක් සඳහා නිදසුනකි. තව ද ජනමතය හැඩගැස්වීම සඳහා ඉදිරිපත් කරනු ලබන එක්තරා දුරකට ජ්‍යෝතිෂ්‍ය විද්‍යාත්මක අන්තර්ගතයක්ද සහිත එහෙත් ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව ප්‍රශ්න ගත කරමින් එහි සත්‍යාසත්‍යතාව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන නව ආකෘතියක වැඩසටහන් ප්‍රවර්ගයක් ද වර්තමානයේ දී මෙරට රුපවාහිනී නාලිකා තුළ හඳුනාගත හැකිය. එවැනි වැඩසටහන් අතර ජනප්‍රියතම වැඩසටහන ලෙස දෙරණ රූපවාහිනී නාලිකාවේ නොපෙනෙන මානය වැඩසටහන පෙන්වා දිය හැකි වන අතර එමඟින් නව ආකාරයක ජන මත  සකස් කිරීමක් සිදුවන බව පෙන්වා දිය හැකිවේ.

රුපවාහිනී වැඩසටහන් ප්‍රවර්ග ගත කරනු ලබන තවත් ප්‍රමුඛතම ශෝනර ප්‍රවර්ගයක් ලෙස විෂයික හෙවත් තේමාත්මක ප්‍රවේශය පෙන්වා දිය හැකිය. ඒ අනුව දේශපාලනික, ආර්ථික, සමාජ, ආගමික, ක්‍රීඩා, ඉතිහාසය, සංස්කෘතික ආදී ක්ෂේත්‍ර පිළිබඳ වැඩසටහන් වාර්තාමය කලාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම දැක ගත හැකිය. විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන් සඳහා ලාංකේය රූපවාහිනී මාධ්‍යය තුළ හිමි වී ඇති අවකාශය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙවැනි අන්තර්ගතයන් සහිත විවධ ආකාරවල වැඩසටහන් ගණනාවක් හඳුනා ගැනීමට අවකාශය ලැබේ. එහි දී දේශපාලන අන්තර්ගතයන් සහිත වැඩසටහන් ගණනාවක් රුපවාහිනී මාධ්‍යය තුළින් විකාශය වුව ද ඒ හා සාපේක්ෂව ඉතිහාසය නැමැති ක්ෂේත්‍රය හා සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් හඳුනාගත හැකි වන්නේ ඉතා අවම ප්‍රමාණයකි. එහි දී නිදසුන් වශයෙන් කලකට ඉහත දී ස්වර්ණවාහිනී නාලිකාව කේන්ද්‍ර කර ගනිමින් ජැක්සන් ඇන්තනි මහතා විසින් මෙහෙයවනු ලැබූ මහා සිංහලේ වංශකතාව, මහා සිංහලේ යටත්විජිත වංශකතාව පෙන්වා දිය හැකිය. තව ද සතිපතා සිරස රූපවාහිනී නාලිකාව තුළින් විකාශය වන පුරාවත වැඩසටහන ඉතිහාසය පිළිබඳ තොරතුරු අන්තර්ගත වන වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකිවේ. ඉතිහාස වැඩසටහන් නැමැති ප්‍රවර්ගයට අමතරව ක්‍රීඩා පිළිබඳ අන්තර්ගත වන් වැඩසටහන් ද මෙරට රුපවාහිනී නාලිකා තුළ දැකිය හැකිවේ. ඒ අනුව ජාතික රූපවාහිනියේ ක්‍රීඩා විසිතුරු වැඩසටහන සහ ස්වර්ණවාහිනී නාලිකාවේ Sports Hits වැඩසටහන් එවැනි ක්‍රීඩා පිළිබඳ අන්තර්ගත වන වැඩසටහන් ලෙස පෙන්වා දිය හැකිවේ. මෙම වැඩසටහන් ප්‍රවර්ගවලට අමතරව ආර්ථික,සමාජ, ආගමික සහ සංස්කෘතික අන්තර්ගතයන් සහිත වැඩසටහන් ගණනාවක් මෙරට රූපවාහිනී නාලිකා තුළ විකාශය වන බව පෙන්වා දිය හැකිය.

ප්‍රවාහාත්මක ප්‍රවේශය හා තේමාත්මක ප්‍රවේශය නැමැති මූලික ප්‍රවර්ග ද්විත්වයට අමතරව කාලානුරූප ප්‍රවේශය පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එහි දී කාලානුරූපව විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීම අධ්‍යයනයට ලක් කළ හැකිය. ඒ ඔස්සේ ලාංකේය රුපවාහිනී මාධ්‍යය තුළ උදෑසන කාලය තුළ විශේෂයෙන් ගෘහනියන් ඉලක්ක කර ගනිමින් විකාශය වන සඟරාමය වැඩසටහන් ගණනාවක් දැකිය හැකිය. නිදසුන් ලෙස ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන සහ ස්වර්ණවාහිනී නාලිකාවේ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන පෙන්වා දිය හැකිය. මෙම උදෑසන වැඩසටහන් තුළ රූපලාවන්‍යය, ඉවුම් පිහුම් කටයුතු, විලාසිතා, වෛද්‍ය උපදෙස් ලබාදීම ආදිය අන්තර්ගත වන බව දැකිය හැකිවේ. එසේම  කාලානුරූප වැඩසටහන් ප්‍රවර්ගයට අන්තර්ගත වන වැඩසටහන් විශේෂයක් ලෙස  උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහන් පෙන්වා දිය හැකිය. ඒ සඳහා නිදසුන් ලෙස දෙරණ රූපවාහිනී නාලිකාවේ දෙරණ අරුණ, ස්වර්ණවාහිනී නාලිකාවේ මුල් පිටුව සහ හිරු රුපවාහිනී නාලිකාවේ පත්තරේ විස්තරේ යන වැඩසටහන් පෙන්වා දිය හැකිය.

එසේම සන්ධ්‍යා කාලයේදී සෑම රූපවාහිනී නාලිකාවකම පාහේ ළමා වැඩසටහන් විකාශය සඳහා අවකාශය වෙන් කර ඇති බව පෙනේ. ඒ අනුව සිරස රූපවාහිනී නාලිකාවේ ටින් ටින්, ඩක් ඩොජර්ස්, ජස්ටින් සහ ටෙස්ටින් මෙන්ම හිරු රූපවාහිනියේ  බෙන් ටෙන් ආදී ළමා වැඩසටහන් පෙන්වා දිය හැකිවේ. එමඟින් ළමා ප්‍රේක්ෂකයින් සිය වැඩසටහන් කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට රුපවාහිනී නාලිකා උත්සාහ දැරීම දැකිය හැකිය.

තව ද පස්වරු හතේ සිට රාත්‍රී දහය වන තෙක් සෑම රූපවාහිනී නාලිකාවකම ටෙලිනාට්‍ය විකාශය කරනු ලබන අතර වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මෙම කාලයේ දී රූපවාහිනී නාලිකා වටා එකතුවන බවක් දැකිය හැකිය. එනිසා එක් එක් නාලිකා මෙම ගුවන් කාලය තම රුපවාහිනී නාලිකාවේ වාණිජ අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිත කරන බවක් දැකිය හැකි වේ. ඒ ඔස්සේ විවිධ වර්ගයේ හඬ කවන ලද ඉන්දියානු ටෙලිනාට්‍ය සහ දේශීය ටෙලිනාට්‍ය විකාශය කිරීම සිදු කරනු දක්නට ලැබේ.

එමෙන්ම කාලානුරූප ප්‍රවර්ගය යටතේ මෙරට රූපවාහිනී නාලිකා තුළ විකාශය කරනු ලබන දේශපාලන සාකච්ඡා යනාදිය රාත්‍රී දහයෙන් පසුව විකාශය කරනු ලබන බව හඳුනා ගත හැකිය. එමඟින් දේශපාලන අන්තර්ගතයන් සහිත වැඩසටහන් නැරඹීමට රුචිකත්වයක් දක්වන  ප්‍රේක්ෂකයා එම වැඩසටහන් නැරඹීමට තමන්ගේ කාලය වෙන් කරනු ලබන බව පෙනේ. මේ අනුව කාලානුරූප ප්‍රවර්ගය යටතේ  මෙරට රූපවාහිනී මාධ්‍යය තුළ විකාශය වන වැඩසටහන් විශේෂීකරණය වන බව හඳුනා ගත හැකිවේ.

ඒ අනුව සමස්තයක් වශයෙන් ගෙන සලකන කල ඉහතින් විස්තර කළ ආකාරයට සමකාලීන සංහතික මාධ්‍ය ශෝනරකරණයේ සුවිශේෂතා මෙරට රුපවාහිනී නාලිකාවන්ට අදාළව පැහැදිලි කළ හැකිවේ. එසේම එකී ශෝනරකරණයේ සුවිශේෂතා අනුව මෙරට ප්‍රේක්ෂකයාගේ චර්යාත්මක සාධක කෙරෙහි විවිධ බලපෑම් එල්ල වී ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය.

ආශ්‍රිත මූලාශ්‍ර

[1]Shram.W.Mass Communication (In Psychology and Communication) Forum Series.
[2]වඩුගේ, අජිත් ප්‍රියන්ත. (2008). යුරෝපා චිත්‍ර හා මූර්ති කලාවේ ඉතිහාසය, අකුර පොත් ප්‍රකාශකයෝ, මීගමුව.
[3]එම.
[4]එම.
[5]විජේකෝන්, චන්දන. (2007). පුවත්පතේ කතන්දරේ, ඇස්. ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ 10.
[6]Jill, Marshall and Angel, Werndly. (2005). The Language of Television, New York.

Comments

comments