අනූෂා සිවලිංගම් සිංහලට නැඟූ “මතක වන්නිය” හෙවත් උතුරේ ශේෂ පත්‍රය

කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ මා තුළ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ කෘතියක් පිළිබඳ මෙසේ සටහනක් තැබිය යුතු බව සිතුනේ එම කෘතියේ අදහස් තවත් බොහෝ පාඨක පිරිසක් අතරට ගමන් කිරීම සඳහා ලබා දෙන උත්තේජනයක් වශයෙනි. මන්ද යත් එය ලාංකේය අප සැම අඩු වැඩි වශයෙන් අත්විඳි අපේම සහෝදර ජන පිරිසකගේ හදගැස්මට සමීප වීමක් වන නිසාවෙනි. එසේම එය නිස්සාර විනාශකාරී ක්‍රියාවලියක ප්‍රතිඵල ද අප හමුවේ පෙළ ගස්වයි. මෙම සටහන දමිළ බසින් රචනා වී සිංහල බසට පරිවර්තනය වූ ලංකා භූමියේ සශ්‍රීක අවධියක් පිළිබඳ කියෙවන මතක ආවර්ජනයක් පිළිබඳවයි.

ඒ කරුණාකරන් නැමති ප්‍රකට ලාංකේය දමිළ කවියාගේ “ඉප්පඩි ඔරු කාලම්” කෘතිය “මතක වන්නිය” ලෙස අනූෂා සිවලිංගම් සිංහල බසට කළ පරිවර්තනයයි. එය හුදු පරිවර්තනයකින් ඔබ්බට ගොස් සිංහල පාඨකයාගේ හදට වඩාත් දැනෙන හැඟෙන අයුරින් සමීප කර තිබේ. නිස්සාර යුද්ධය නන්දිකඩාල් කලපුවේ දී නාමිකව නිමා වූ බවට දකුණේ සිට සති ගණන් කිරිබත් කා යුද්ධයේ භෂ්මාවශේෂ නරඹන්නට බස් වෑන් පිටින් උතුරට ආ සියලු දෙනා ඇතුළු මුළුමහත් සමාජයට ආමන්ත්‍රණය කරන මෙම කෘතිය තුළින් ගතවූ තිස් වසර හා ඉන් මෙහාට නිමාවක් කිව නොහැකි කාලයක් පුරා දැනෙන යුද්ධයේ ගොදුරක් වූ මිනිසුන්ගේ වේදනාව දිගහැරේ.

යුද්ධයේ ගොදුරක් වන්නට පෙර සශ්‍රීකව වැජඹුණු කිලිනොච්චි නගරය ගැනත් දහවල නිඳා සිට රාත්‍රියේ අවදි වන කිලාලි නගරය ගැනත් කතුවරයා ඉදිරිපත් කරන මතකය වේදනාත්මකය. ඒ අතර කණ්ඩාවලෙයි, අක්කරායන්, වන්නේරිකුලම් හා ස්කන්ධපුරම් ආදී ප්‍රදේශ පිළිබඳව ද කතුවරයා සිය මතක සටහන් ඉදිරිපත් කරයි. එසේම චෙම්මණි නගරයත් නන්දිකඩාල් හා ඉයක්කච්චි ප්‍රදේශවලට ද කතුවරයා පාඨක අපව කැඳවාගෙන යනු ලබයි.

මතක වන්නිය පුරා දිගහැරෙන මෙම සියලු ප්‍රදේශ ද ඒවාට මායිම් වන ප්‍රදේශ පිළිබඳව ද කතුවරයා තම ජීවන අත්දැකීම් ඇසුරින් ඉදිරිපත් කරන මතක සටහන් සංවේදීජනකය. ඒවා තුළ උතුරේ සශ්‍රීකව පැවති ශිෂ්ටාචාරයක අතීත කතාව සටහන්ව ඇත. එසේම යුද්ධයට පෙර සතුටින් දිවිගෙවූ මිනිසුන්ගේ ජීවන අන්දරය සැඟවී ඇත. එපමණක් නොව යුද්ධය අතරතුරත් යුද්ධයෙන් පසුවත් එම ප්‍රදේශවල වැසියාගේ ජීවිත සෝදාපාළුවට ලක්කළ අකාල කුණාටුව විසින් ඉතිරි කළ වේදනාවත් පිරී ඇත.

කිලිනොච්චිය කතුවරයාගේ මේ මතක සටහන් අතර සුවිශේෂිය. එය කලක් උතුරේ වැසියන්ගේ සශ්‍රීකත්වය සහ විනෝදය පිරි නගරය වීමත් කොටි සංවිධානයේ පරිපාලන නගරය වීම සහ සාම සාකච්ඡා ඇතුළු අන්තර්ජාතික මැදිහත් වීම් සඳහා පහසුකම් සැලසූ නගරය මෙන්ම පසුව යුද්ධය නිමා වීමෙන් පසු උතුර නැරඹීමට සංචාරකයින් ආ ගිය නගරයක් වීමත් ඔස්සේ විවිධ කාලවල කිලිනොච්චි නගරයේ භූමිකාව හා ඒ හා සබැඳුණු මතකයන් කතුවරයා ඉදිරිපත් කර තිබේ.

එකම රටක අයිතිය වෙනුවෙන් පැවති යුද්ධයකට පසු එක් පාර්ශවයක් තවත් පාර්ශවයක ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වීමේ ඛේදවාචකයත් මෙහිදී කතුවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්වේ.

“සමහරුන්ට යුධ විනාශයනුත් ප්‍රදර්ශන භාණ්ඩයන්ය. යුද ජයග්‍රණයන් ද පශ්චාත් යුධ කාලීන ප්‍රගතීන් ද පසුබෑම් ද ප්‍රදර්ශන භාණ්ඩයන්ය. ජනතාවගේ කඳුළුත්, වේදනාවනුත් ඔවුන්ට හුදු ප්‍රදර්ශන භාණ්ඩයන්ය…”
(මතක වන්නිය, පිටුව 31)

එම ප්‍රශ්නය අතිශය මානුෂික ප්‍රකාශනයක් මෙන්ම පශ්චාත් යුද කාලීන ලාංකේය සමාජ සන්දර්භයේ ගැඹුරුම විවරණයක් වන බව ද පැවසිය යුතුය. එකම රටක දෙපිරිසක ඉරණම්වල ගැටීම කෙතරම් ඛේදජනකද? හිත්පිත් නොමැති යුද්ධය මෙන්ම එය උත්කර්ෂයට නැංවූ දේශපාලන භාවිතය හා ජනමාධ්‍ය භාවිතය තුළ යුද්ධයේ වින්දිතයින් රූකඩ බවට පත්කොට ඇති බවට වෙන සාක්ෂි කුමකටද? ඔබ කිසිවෙකුගේ හෝ ප්‍රදර්ශන භාණ්ඩයක් වනවාට ඔබ කැමතිද? අප අපෙන්ම නැවත නැවතත් ඇසිය යුතු පැනය එයයි.

චෙම්මණි නගරය පිළිබඳ කතුවරයා ඉදිරිපත් කර ඇති මතක ආවර්ජනය පාඨක සිත් වඩාත් කම්පනයට පත් කරන සටහන බව පැවසීම වරදක් නැත. ඒ ක්‍රිෂාන්ති නම් දූෂණයට ලක්ව මරා දැමුණු දැරියගේ මරණාසන්න වේදනාකාරී විලාපය තවමත් චෙම්මණිය පුරා දෝංකාර දෙන බැවිනි. නගරවාසීන් මෙන්ම ක්‍රිෂාන්ති ගැන දන්නා කිසිවෙකුට මඟහැර යා නොහැකි ඇගේ වේදනාකාරී මරණයේ විලාපය මතක වන්නිය අත්විඳින පාඨකයාට ද එලෙසින්ම උරුමය. කතුවරයා ක්‍රිෂාන්ති පිළිබඳ මතකයෙන් පාඨක සිත් දවාලන්නේ මෙලෙසිනි.

“සුන්දර ක්‍රිෂාන්ති
සටන්කාමියක් නොවෙයි ඇය.
නමුත් අල්ලා ගත්හ ඔවුහු ඇයව
කෛතඩි ප්‍රදේශයෙහි පැතිරෙද්දී
ඇගේ මර ලතෝනි හඬ
කිහිපවරක්ම කෙළෙසූහ ඔවුහු ඇයව….”
(මතක වන්නිය, පිටුව 102)

ක්‍රිෂාන්තිට උරුම වූ ඛේදවාචකය උතුරට පමණක් සීමා වූවක් නොවේ. දකුණේ ද ක්‍රිෂාන්තිලා මියයති. එසේම යාපනයේ විද්‍යා දැරියගේ විලාපය ද ක්‍රිෂාන්තිගේ විලාපයට නොදෙවෙනි වූ බවට සැකයක් නොමැත. කාලය ඒ සියල්ල මත ඇතිරූ පලස මතුපිට සුන්දර ලෝකයක් තනා ඇත. චෙම්මණියේ තත්ත්වය ද එලෙසය. චෙම්මණි නගරය වාණිජ නගරයක් බවට පත්ව වෙළෙඳ නාම පුවරු නගරය පුරා ප්‍රදර්ශනය වන්නේ පහසුවෙන් අමතක කළ නොහැකි මතක ගොන්නක් මත ඇලවූ පැලැස්තරයක් ලෙසිනි. එමෙන්ම යුද්ධයට බිලිවූ ජීවිත සිය ගණනක සිරුරු මිහිදන් කළ සොහොනක් ලෙස ද චෙම්මණිය ගැන මතකය අතීත මතක සටහන් අතරට එක්වී තිබේ. වසර හතළිහකට පෙර සුන්දර වෙල් යායක් සේ දිස්වුණ චෙම්මණියේ වර්තමාන ස්වරූපය සැබැවින්ම විශ්මයජනකය. කතුවරයා නැවත නැවතත් පවසන සත්‍යය එයයි.

චෙම්මණිය මෙන්ම උතුරේ බොහෝ ප්‍රදේශ ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතුවලින් සශ්‍රීකව පැවතුණු පෙදෙස් බවට වන මතක සාක්ෂිද කතුවරයා මතක වන්නිය තුළ ගෙන එයි. කණ්ඩාවලෙයි, අක්කරායන්, කෙප්පාපුලවු, ඉයක්කච්චිය ආදී වූ ප්‍රදේශ රැසක් පිළිබඳ තතු ද ඒවා අතර වේ. ඒ අතීත මතක නැවුම්ය. සුන්දරය. එහෙත් කාලය විසින් ඒවාට උරුම කර දෙන ලද පරිවර්තනය අතිශය දුක්ඛදායකය.

මෙසේ “ඉප්පඩි ඔරු කාලම්” කෘතිය පුරා කරුණාකරන් දිගහරින සිය මතකය “මතක වන්නිය” ලෙස අනූෂා සිවලිංගම් කළ සිංහල පරිවර්තනය පාඨක මනස කැලඹීමට සමත් වේ. කරුණාකරන් අතින් ලියවුණු ඔහුගේ මතක පත්‍රය අනූෂා අතින් මෙසේ සිංහල පාඨක සමාජයට තිළිණ වීම අතිශයින්ම ප්‍රශංසාවට බඳුන් විය යුතු ක්‍රියාවක් වන්නේ කරුණාකරන්ගේ මතකය උතුරේ වැසියන්ගේ කතාව පමණක් නොව එකම කාසියේ දෙපැත්ත මෙන් එයින් පරාවර්තනය වන අනෙක් කතාව සමස්ත ලාංකීයයන්ගේ ද කතාව වන බැවිනි. මාගේ සමකාලීන සරසවි මිතුරියක වන අනූෂා සිවලිංගම්ගේ මේ උත්සාහය සැබැවින්ම අමිල මෙහෙවරක් ලෙස ඇගයිය හැකි වන්නේ ඒ හේතුවෙනි.

එබැවින් මතක වන්නිය ඔබ සැම කියවිය යුතු කෘතියක් ලෙස සඳහන් කිරීම වැදගත්ය. එය සිංහල පාඨක විඥානය තුළ ගොඩනැංවී ඇති යුද්ධයේ ප්‍රතිබිම්බය නව මානයකට යොමු කිරීමට සමත් වනු නියතය. ඒ නිස්සාර යුද්ධයකට මානසික සහයෝගය ගොඩනඟමින් යුද්ධය බිහිකළ අවජාතක වීරයින් සාහිත්‍යය තුළින් උත්කර්ෂයට නංවා වේදනාත්මක මතක පමණක් හිමි මිනිසුන් පිරිසක් අනාගතයේ දී මේ බිම මත නැවතත් බිහිවීම වැළැක්වීමට දායක විය හැකි එකම මඟ එය පමණක් වන නිසාවෙනි.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.

වෙනත් ග්‍රන්ථ විචාර
යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව
“හඳ පළුව තනි තරුව” හෙවත් එදා කියූ අදට ගැළපෙන කතාව
බටුවන්ගල රාහුල හිමිගේ “රන්කරඬුව” මෙතරම් වටින්නේ ඇයි?

Comments

comments

2 comments

Please comment using your facebook account.