“පුරාවිද්‍යා පර්යේෂණ ග්‍රන්ථවලට ප්‍රමුඛතාවක් දෙන්න” – ලංකාදීප පුවත්පතේ මාගේ සාකච්ඡාව

  1. ‘ශිලාලිපි සංඥාර්ථවේදය’ කෘතිය පිළිබ‍ඳව සරල හැඳින්වීමක් කරමු?

මෙම කෘතිය ජන සන්නිවේදනය, ඉතිහාසය සහ පුරාවිද්‍යාව නැමති විෂය ත්‍රිත්වයේම සංකලනයෙන් රචනා කළ කෘතියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙම කෘතියෙන් මම සාකච්ඡා කළේ මෙරට ඓතිහාසික තොරතුරු ගවේෂණය කිරීම සඳහා වැදගත් වන සුවිශේෂී මාධ්‍යයක් ලෙස අධ්‍යයනයට ලක්කළ හැකි ශිලාලිපි හෙවත් ශෛලමය ලේඛනවල අන්තර්ගත වන සංඥා සහ සංකේත සමකාලීන සමාජයේ දේශපාලන සහ ආගමික විඥානය හැඩගැස්වීම සඳහා බලපෑ ආකාරය විශ්ලේෂණයට ලක්කිරීමයි. එහිදී අනුරාධපුර අවධියේ සහ පොළොන්නරු අවධියේ පිහිටුවා ඇති ශිලාලිපි අතරින් තෝරාගනු ලැබූ ශිලාලිපි ගණනාවක් ඒවා ලියවී ඇති කාලය අනුව වර්ගීකරණයකට ලක්කරමින් ඒවා ඇසුරින් සිදුකරනු ලැබූ සංඥාර්ථ‍වේදී විග්‍රහයක් විදිහටයි මම එය ඉදිරිපත් කරන්නේ. මෙම කෘතිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය සඳහා මා විසින් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය ඇසුරින් රචනා කළ කෘතියක්.

  1. ඔබ රචනයට රුචි ක්ෂේත්‍රය ජනමාධ්‍ය සහ සන්නිවේදනයයි. ඓතිහාසික, සන්නිවේදන සහ භාෂාත්මක වශයෙන් වැදගත් වන මෙවන් කෘතියක් රචනා කිරීමට සිතුණේ ඇයි?

මට අවශ්‍ය වෙනවා ජන සන්නිවේදනය කියන විෂය ක්ෂේත්‍රය දැනට පවතින සීමාවලින් ඔබ්බට ගෙන යන්න. ඒ කියන්නේ වෙනත් විෂය ක්ෂේත්‍ර ඇතුළෙ ජන සන්නිවේදන මූලධර්ම කොහොමද යෙදෙන්නේ ඒවා කොහොමද අපිට භාවිත කරන්න පුළුවන් වෙන්නේ සහ ඒවා විශ්ලේෂණයට ලක්කරන්න පුළුවන් කොහොමද කියන කාරණා ජනමාධ්‍ය පර්යේෂකයෙක් විදිහට මට අධ්‍යයනය කරන්න අවශ්‍ය වුණා. ඒ අධ්‍යයන තුළින් නව දැනුමක් අපේ ඊළඟ පරපුරට ලබා දීමට මට අවශ්‍ය වුණා. ඒ අරමුණින් තමා මම ශිලාලිපි කියන මාධ්‍යය තෝරගෙන ශිලාලිපි මාධ්‍යය ඇතුළෙ ජන සන්නිවේදනය සහ සංඥාර්ථවේදය භාවිතා කළ හැක්කේ කොහොමද කියන දේ විග්‍රහ කිරීමේ අරමුණින් මේ කෘතිය රචනා කරන්නේ.

  1. ශිලා ලිපිවල භාවිත වන සංඥා සම්බන්ධයෙන් පවතින න්‍යායන් හැදෑරීම වත්මනට උපයෝගී වන්නේ කවර ආකාරයෙන්ද?

ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ශිලාලිපිවල අන්තර්ගත වන සංඥා අධ්‍යයනය කිරීම කියන්නේ අපි ඉතිහාසයට ඇතුළුවීමට යතුරක් සොයා ගැනීම වැනි දෙයක්. ඒ කියන්නේ සමකාලීන සංඥාවලින් වැදගත් ඓතිහාසික කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අවකාශය උදාවෙනවා. විශේෂයෙන්ම එම සංඥාව භාවිත කිරීමට බලපෑ හේතුව, එම සංඥාවෙන් පිළිබිඹු වන දේශපාලන හෝ ආගමික පසුබිම වගේම අදාළ සංඥාව භාවිත වූ සමාජ සන්දර්භය වැනි තොරතුරු රැසක් ඒ ඔස්සේ අධ්‍යයනයට ලක්කරන්න පුළුවන්. මෙම කාරණා සාහිත්‍ය මූලාශ්‍රගත තොරතුරු ඇසුරු කර ගෙන විශ්ලේෂණය කරමින් හෙළිදරව් කර ගත යුතුයි. එහිදී සියයට සියයක්ම එම කරුණු තහවුරු කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා අපට සිද්ධවෙන්නේ වඩාත් නිවැරදි අනුමාන කිරීමවලට යොමු වෙන්න. කොහොමත් ඉතිහාසය කියන්නේ අනුමාන කිරීම්වල සංකලනයක් මිසක් සියයට සියයක්ම තහවුරු වූ දෙයක් නෙවෙයි.

  1. මෙම කෘතිය සඳහා ඔබ ආධාර කරගත් සෙල්ලිපි මොනවාද? පර්යේෂණ ක්ෂේත්‍රයේ සීමාව වශයෙන් යොදාගත්තේ කුමක්ද?

අනුරාධපුර සහ පොළොන්නරුව අවධිවල රචනා වුණ සෙල්ලිපි තමයි මගේ අධ්‍යයනය සඳහා යොදා ගත්තේ. එහිදී අධ්‍යයනයේ පහසුව පිණිස ක්‍රි.පූ 3 – ක්‍රි.ව. 1 සියවස් අතර අවධිය, ක්‍රි.ව. 1 – ක්‍රි. ව. 5 සියවස් අතර අවධිය, ක්‍රි.ව. 5 – ක්‍රි. ව. 10 සියවස් අතර අවධිය සහ ක්‍රි.ව. 10 – ක්‍රි. ව. 12 සියවස් අතර අවධිය වශයෙන් අවධි 4 කට බෙදාගෙන ඒ ඒ අවධිවල රචනා වුණු ශිලාලිපි යොදාගෙන තමයි මගේ මෙම පර්යේෂණය සිදුකළේ. එහිදී ඒ ඒ වකවානුවල සෙල්ලිපි අක්ෂර විකාශනය, භාෂාවේ සංවර්ධනය සහ ඒ ඒ අවධිවලට විශේෂිතව විවිධ සංකේත භාවිත කර ඇති ආකාරය පිළිබඳ සංඥාර්ථවේදී ප්‍රවේශයකින් අධ්‍යයනය කරන්න මට හැකියාව ලැබුණා.

  1. ශිලා ලිපි සම්බන්ධයෙන් කෙරෙන වත්මන් පර්යේෂණ හෝ භාෂා ග්‍රන්ථ ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?

ශිලාලිපි සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් පර්යේෂණ සහ ගවේෂණ රැසක් මේ වන විට සිදුවෙමින් පවතිනවා. එම පර්යේෂණ හා ගවේෂණවල ප්‍රතිඵල හේතුවෙන් ඉතිහාසයේ සැඟවී ඇති කරුණු බොහොමයක් අනාවරණය වෙමින් පවතිනවා. එය ඉතාම සාධනීය තත්ත්වයක්. ඒවා සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ, පර්යේෂණාත්මක ලිපි ආදිය ද රචනාවීම ඉතාම වැදගත්. එම දේවල් ප්‍රමාණවත් නැහැ කියන්න බැහැ. නමුත් මගේ අරමුණ වන්නේ පුරාවිද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයක දැනුම පවතින සීමාවලින් ඔබ්බට ගෙන ගොස් ඒ ඔස්සේ වඩාත් පුළුල් ශාස්ත්‍රීය කතිකාවතක් ගොඩනැංවීම සඳහා ප්‍රවේශය සකස් කිරීම. ඒ නිසා මගේ යෝජනාව තමයි පුරාවිද්‍යාව සහ ඉතිහාසය වැනි විෂයන් ජන සන්නිවේදනය, වාග් විද්‍යාව වැනි වෙනත් විෂය ක්ෂේත්‍රවල පවතින දැනුම සමඟ සංකලනය කරමින් එම සෑම විෂය ක්ෂේත්‍රයකම සීමා පුළුල් කළ යුතුයි කියන එක. විශේෂයෙන්ම ඒ ඔස්සේ සෑම විෂයකම සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට ගොස් වඩාත් ගැඹුරින් වගේම වඩාත් විශ්ලේෂණාත්මකව එම විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. එම නිසා ඒ සඳහා පර්යේෂණ සිදුකිරීම හා ඒ ඔස්සේ ශාස්ත්‍රීය ග්‍රන්ථ වැඩි වශයෙන් රචනා කළ යුතුයි.

සාකච්ඡාව: ඩිල්ෂානි චතුරිකා දාබරේ

Comments

comments

2 comments

Please comment using your facebook account.