යුග තුනක මා දුටු කොළඹ

රාජකාරී වැඩත් එක්ක ටික කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරි වුණ නිසා කොහොම හරි වෙලාවක් හොයාගෙන පහුගිය දවස් ටිකේ හිතේ කැකෑරුන දෙයක් බ්ලොග් එකේ ලියන්න කියලා හිතුවා. පහුගිය දවස්වල යන එන ගමන් හිතට දැනුණ, ආයෙත් කල්පනා කරලා බලද්දී මොකක්ද නොතේරෙන රහක් තියෙන, ආවම දුර පැත්තකට යන්න හිතෙන ඒත් දුර පැත්තක ඉද්දි කොහොම හරි එන්න හිතෙන ඒ අපූරු තැන ගැන ගැනයි අද මේ සටහන. තැන තමා “කොළඹ”. ඇතුවත් බැරි නැතුවත් බැරි විඳින විඳවන කොළඹ ගැනයි මේ අද හිතුවක්කාර සිතුවිලිවලින් මං ඉඩ හොයා ගන්නේ.

කොළඹ කියන්නේ මහේශාඛ්‍ය නගරයක්. මීට අවුරුදු 20 කට විතර කලින්, මං ඉස්කෝලේ හයේ පන්තියේ ඉද්දි තාත්තගේ අත අල්ලන් කොළඹ ආපු දවස්වල මට පෙනුනේ එහෙම. ඒ ආවේ රූපවාහිනි සංස්ථාවට, මුතුහර ළමා වැඩසටහනේ පටිගත කිරීම්වලට. එහෙම ආපු දවසක කැන්ටිමේදී හේම නලින් මහත්තයත් හම්බුණා. ඒ දවස්වල මාධ්‍ය රස්සාවක් කරන්න තුන්හිතක වත් නොතිබ්බට කාලයත් එක්ක එහෙම රස්සාවක් කරන්න සිද්ධවෙලා. ඒක තමයි කොළඹ ගැන මගේ ජීවිතේ තුන්වන සහ දීර්ඝතම ඒ වගේම තවමත් විඳිමින් ඉන්න අත්දැකීම. ඊට කලින් කොළඹත් එක්ක ඇයිහොඳැයිකම් පවත්වපු කාලෙකුත් තිබුණා. ඒ කාලේ තමා දැන් මං මේ කොළඹත් එක්ක කන නොපෑහෙන දීගයට අඩිතාලම වැටු‍ණේ. ඒ කියන්නේ කොළඹට ආදරේ කරන්න පටන් ගත්තේ මගේ ඒ දෙවැනි අත්දැකීම විඳින දවස්වල. කොහොමින් කොහොම හරි දාලා යන්න බැරි විදහට ඒ ආදර සම්බන්දේ කොළඹට මාව හිරකරලා තියන්න හේතුවක් වුණා.

අවුරුදු විස්සකට විතර කලින් දවස් දෙකක් තුනක් ඇවිත් ගියපු කොළඹ ගැන මගේ හිතේ තිබුණෙ භයංකාර හැඟිමක්. ගමෙන් එන ඕනම කෙනෙක් අතරමං කරන්න පුළුවන් විදිහේ මං මාවත් පිරුණ බොහොම සංකීර්ණ මහා නගරයක හැඟිමක් තමා මට ඒ දවස්වල කොළඹ ගැන දැනිලා තිබුණේ. ඒ නිසා තනියම කොළඹ ගිහින් එනවා කියන එක ගමක ඉන්න ලොකු මනුස්සයෙකුටත් කරන්න අමාරු, ඒ කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක්ට නම් කොහොමත් කරන්න බැරි වැඩක් විදිහටයි හිත ඇතුළෙ තැන්පත් වෙලා තිබුණේ. හිතේ තැන්පත් වෙලා තිබුණා කිව්වට ඒක මගේ හිතේ විතරක් තිබුණ දෙයක් නෙමෙයි. කොළඹ ගැන අහපු කියපු දේවල්වලින් කොළඹ ගැන හැඟීම හැදිලා තිබුණේ ඒ විදිහට. එක අතකින් ඒ කාලෙ හැටියට ඒකෙ ලොකු වැරැද්දක් පේන්නත් නෑ.

කොහොම වුණත් කොළඹ ගැන මගේ දෙවෙනි අත්දැකීමේ රහ මට විඳින්න ලැබෙනවත් එක්කම කොළඹ ලෝකයට ඇතුළු වෙන්න අවශ්‍ය මානසික වටපිටාව මට ගොඩනැගුණා. ඒ අත්දැකීම් මට ලැබෙන්නේ සරසවි ජීවිතයත් එක්ක. මගේ සරසවිය තිබුණේ කොළඹ නෙවෙයි. ඒත් කොළඹට බස් එකේ එන්න පැය දෙකක් විතර යන හොරණ ශ්‍රී පාලි මණ්ඩපය තමා මගේ සරසවිය. මං සරසවියෙ ඉගෙන ගත්ත ඒ අවුරුදු හතරෙදි නිතරම නැතත් ගොඩක් සැරයක් කොළඹට යන්න එන්න සිද්ධ වුණා. ඒ නිසා ටිකෙන් ටික කොළඹට තිබුණ බය ඇරිලා කොළඹ ජීවිතේ ගැන ආදරයක් හිතේ මෝදු වෙන්න පටන් ගත්තා. ඒත් ඒ දවස්වල මං දැක්කේ කොළඹ ජීවිතේ මතුපිට විතරයි. ඒ නිසාම තමයි ඒ ජීවිතේට ආදරයක් හිතෙන්න ඇත්තේ. ඒත් මං දැන් විඳින කොළඹ ගැන මගේ තුන්වැනි අත්දැකීමෙදි මගේ පළමු සහ දෙවැනි අත්දැකීම්වල කොළඹ ගැන මගේ තිබුණු හැඟීම සුනුවිසුණු වෙලා ගිහින් කොළඹ ගැන වෙනම පැත්තකින් හිතෙන්න දැනෙන්න පටන් අරන්.

කොළඹ කියන්නේ ජීවය අහිමිවුණු නගරයක්. ප්‍රාර්ථනාවලට හුස්ම පිඹින්න කොළඹ අහස යටින් වරම් ගන්න ගම්වල ඉඳන් එන බහුතරයකගේ හීනවලට තියෙන්නේ සාපේක්ෂ පැවැත්මක් විතරයි. ඒ කියන්නේ හම්බ කරනවා, ඒක වියදම් කරන් ජීවත් වෙනවා, අයෙත් හම්බ කරනවා… ඔහොම චක්‍රයක් විදිහට යනවා මිසක් ඒ චක්‍රෙන් පිට පැනලා කොළඹදි හම්බ කරන් ඒවා ඉතුරු කරගෙන ගමට ගිහින් ජීවත් වෙනවා වගේ දේවල් නවකතාවක ඇරෙන්න හැබෑ කොළඹදි තියෙන්න විදිහක් නෑ කියලයි මට හිතෙන්නේ. මං මේ කියන්නේ කොළඹට ඇවිත් බෝඩිංවල ජීවත් වෙලා කොළඹත් එක්ක හැප්පෙන ජීවිත කොළඹ එක්කම දියවෙලා යනවා මිසක් එහෙම ජීවිත කොළඹ ඇතුළෙදි දියුණු වෙනවයි කියන එක ගම්වල ඉඳන් කොළඹ ගැන හිතෙන හිතලුවක් මිස යථාර්ථයෙන් ගොඩක් ඈතයි කියන එක. අපි කොළඹ ජීවත් වෙද්දී අපේ සිතුවිලිවලටත් වියදමක් යනවා. ඒ නිසා සාමාන්‍ය පඩියක් අරන් කොළඹ ජීවත් වෙනවා කියන එකේ නියම අර්ථය තමා සාමාන්‍ය පඩියකින් කොළඹ ඉන්නවා කියන එක. ජීවත් වෙනවා කියන එකයි ඉන්නවා කියන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.

දැන් මට කොළඹ ගැන තියෙන්නේ අන්න ඒ වගේ අදහසක්. එක පැත්තකින් මිනිස්සු ජීවත් වෙන්න පුදුම අරගලයක්, සටනක් කරන තැනක්. අනික් පැත්තෙන් මිනිස්සු ජීවිතේ විඳින, සතුට හොයාගෙන යන, සංගීත සංදර්ශන, සැනකෙළි ‍වෙළෙඳ ප්‍රදර්ශන තියෙන විනෝදාස්වාදය රමණය කරන්න පුළුවන් තැනක්. සල්ලි නැති කෙනාට විඳවන්නයි ඇති කෙනාට ඇති තරම් විඳින්නයි ඕනෑ තරම් අවස්ථා හදලා දෙන තැනක්. ඒ නිසා කොළඹ ජීවිතේ හැම සතුටක්ම දෙයාකාරකින් විදින්න අවස්ථා සලසලා තියෙනවා. තමන්ට සල්ලි තියෙන විදිහට ඒ සතුට මිලදී ගන්න පුළුවන්. ඒ කාරණය හැම නගරයකම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒත් කොළඹ කියන්නේ ඒ දේවල්වල පරමාදර්ශී ආගම විදිහටයි මං දකින්නේ.

කොළඹදි සල්ලිවලට හෙට්ටු වෙන ඒ සතුට අතරෙ සල්ලිවලට සාපේක්ෂ නොවන සතුටක් විඳින ජීවිතත් නැත්තෙ නෑ. විහාරමහාදේවී පාක් එක වගේ තැන්වල බොහොම නිදහසේ සතුට විඳින පෙම්වතුන් ඇතුළු නිවාඩු දිනවල එතෙන්ට සතුට හොයා ගෙන එන ගොඩක් අය ඉන්නවා. කොළඹ ඒ අයටත් තමන්ගේ සතුට විඳින්න අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි උඩ කොළඹ ගතවෙන ජීවිත අතරේ සල්ලි ඇතත් නැතත් සතුට විඳින ජීවිතවලටත් කොළඹ පාරාදීසයක් වෙලා.

දැන් මං කොළඹ ගෙවන ජීවිතය නීරස සුවපහසු නැති එකක් වුණත් කොළඹදි මං දිනපු ලෝකය කවදාවත් අමතක කළ නොහැකියි. එක පැත්තකින් ජයග්‍රහණ. යාළු මිත්‍රකම්, ඉහළ උගත් සමාජ සම්බන්ධතා. මේ හැම එකකම ගෞරවයත් කොළඹට අයිතියි. ඒත් ඒ කිසිම දෙයක් නිසා සදාකාලිකවම කොළඹ වැසියෙක් විදිහට ජීවත් වෙන්න මං කිසිම දිනක ප්‍රාර්ථනා කරන්නේ නෑ. මොකද මං හැම මොහොතකම හිතන්නේ ඉක්මනින්ම කොළඹට සමුදෙන දවස ගැන. ඊට පස්සේ ආයෙත් ඈත පැත්තක ඉඳන් කොළඹ ගැන හීන දකින්න මට පුළුවන්.

Comments

comments

6 comments

  1. //ඔහොම චක්‍රයක් විදිහට යනවා මිසක් ඒ චක්‍රෙන් පිට පැනලා කොළඹදි හම්බ කරන් ඒවා ඉතුරු කරගෙන ගමට ගිහින් ජීවත් වෙනවා වගේ දේවල් නවකතාවක ඇරෙන්න හැබෑ කොළඹදි තියෙන්න විදිහක් නෑ කියලයි මට හිතෙන්නේ. //ඒක ඇත්ත. මම කොළඹ අවුරුදු 8 ජිවත් වුනා මට වයස 19ම වෙනකන්. අමතක නොවෙන නගරයක්.

    • ස්තූතියි අයියා. කොළඹ ගැන ඔබේ මතකයත් අවදි කළාට.

  2. කොළඹ කියන්නේ නිකං බිහිවු නගරයක් නොවන බවත් එහි ඇති දීර්ඝ ඉතිහාසයේ යටත්විජිත යුග තුනකට අයිති වෙනස්විම් එක්ක ඇතිවුන සංස්කෘතික වෙනසකුත් තියෙනවා. හැබැයි කොළඹ ඉන්නේ වැඩිහරියක් කොළඹ උපන් නාගරිකයෝ නොවන බව දැන ගන්නට සිංහල අවුරුදු දවස් වලට පාලුවට යන කොළොම්පුරයෙන් බලාගන්න පුලුවන්.
    ලබන්නාවු 2019 නව වසර ඔබට නිරෝගිමත් වාසනාවන්ත වසරක් වේවායි පතන්නෙමි.

  3. කොළඹ විතරක් නෙවෙයි, කොහේ හිටියත් මිනිසුන්ගේ ජීවිත ගෙවෙන්නේ එකම රිද්මෙකට කියලයි මට හිතෙන්නේ. මං අවුරුදු දොළහේදී කොළඹ පේව්මන්ට් එකෙන් රස්සාවල් කරන්න පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට වැරදුණේ නැහැ.

Please comment using your facebook account.