4

ගැමි සිරියෙන් ගෙත්තම් කළ නුවන් ජේගේ ලොව දිනූ සිනමා වියමන

නුවන් ජේ හෙවත් නුවන් ජයතිලක මා හට මීට මාස කිහිපයකට පෙර මුණගැසෙන්නේ මාගේ බ්ලොග් සටහනකට පෙම් බැඳි රසිකයෙකු ලෙසිනි. ඉන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සමඟ ගොඩනැගෙන මිතුදම හේතුවෙන් පසුව ඔහු සිනමාකරුවෙකු බව මම දැනගතිමි. එහෙත් සිය මුල්ම සිනමා කෘතියෙන්ම ලෝකයේ අවධානය දිනා ගන්නට සමත් වන තරුණ සිනමාකරුවෙකු ලෙස ඔහුව හඳුනාගන්නට හැකිවීම මාව තිගැස්මට පත්කළේය. එබැවින් ඔහුගේ කුළුඳුල් සිනමා කෘතිය වන “සුළඟ අප රැගෙන යාවි” නිර්මාණය ප්‍රදර්ශන ඇරඹි වහාම නරඹන්නට ඇඟිලි ගනිමින් සිටියේ එම අපූරු නිර්මාණයේ නැවුම් සුවඳ විඳගන්නා තෙක් ඉස්පාසුවක් නොමැති වූ නිසාවෙනි.

කෙසේ වුවත් “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය අද නැරඹීමට මා හට ඇරයුමක් ලැබීම මා සිත තුළ වූ බලාපොරොත්තුව නොසිතූ මොහොතක සාක්ෂාත් වීමක් විය. එහෙයින් රැකියාව නිම කළ සැනින් ජාතික චිත්‍රපට සංස්ථාවට හැකි ඉක්මනින් මා පියනැඟුවේ චිත්‍රපටය පෙන්වනවා කියූ වේලාවට විනාඩි 15 ක කාලයක්වත් ඉතුරු නොවී තිබුණු බැවිනි.

මා නොඉවසිල්ලෙන් බලා සිටි මොහොත පුළුල් තිරය මත දර්ශනය වීම ඇරඹුනේ කොළඹ කර්කශ ජීවිතය විනාඩි කිහිපයකට සදහටම අමතක කරවමින් ග්‍රාමිය කඳුකර ප්‍රදේශයක ගිමන් හරින්නට නුවන් අපට අවස්ථාව උදාකර දීම සමඟිනි. සැබැවින්ම එය අපූරු අත්දැකීමකි. ගමෙන් පැමිණ ආගන්තුකයින් ලෙස නගරයේ දිවි ගෙවන සැමට හරිත වන සිරි මැද ඇළදොළවල පහසත් ගැමියන් සතා සිවුපාවුන් සමඟ ගෙවන දිවියේ සරලකමත් නුවන් කාව්‍යයක් ලෙස සිනමා තිරය මත චිත්‍රණය කර තිබුණි.

චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ ගවයින් දරුවන් සේ රැක බලා ගනිමින් උන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලක් වටාය. තවලම් ගෙන යෑම ජීවිකාව බවට පත්වූ ඔවුන් ණය බරින් පීඩිතව දුෂ්කර ජීවිතයක් ගත කළ ද එම ජීවතවල සුන්දර සරලකම පිරී තිබේ. නුවන් ඉදිරිපත් කරන මෙම කතාව නගරයේ ගැමියන් වූ අපට වඩාත් සමීප වන, අපට වඩාත් දැනෙන, අපටත් ජීවත් වන්නට පුළුවන් කතාවක් බවට පත් වන්නේ අප අවිඥානිකව එම ගැමි ජීවිතවලට ඇලුම් කරන නිසාවෙනි. ඒ ජීවිත හා සැසඳීමේදී අපේ ජීවිත කෙතරම් නිසරුදැයි නුවන් අපට නොකියා කියයි.

ගැමි පවුලේ පණනල රැක දුන් ගවයා මස් පිණිස අලෙවි කිරීමට සොරකම් කරගෙනු ලබයි. එසේ පාපකාරී ක්‍රියාවල නිරත වෙමින් කුරුල්ලන් නිදහස් කර ඔවුහු සිතේ සහනය පතති. මෙවැනි චරිත ගම්වල මෙන්ම නගරය තුළ ද සුලබය. නුවන් තම කතාවෙන් එවැනි දෙබිඩි චරිතවල නිරුවත ද හෙළිකරයි.

තව පවුලේ සාමාජිකයෙකු බඳු සුද්දා නැමති එම ගවයා සොයා පවුලේ බාලම දරුවා කොළඹට එයි. ඉන්පසු ඔහුට මුහුණදීමට සිදුවන බාධක රැසකි. එම දරුවාට ඒවා ජය ගෙන සුද්දා සොයා ගැනීමට හැකිවේද? “සුළඟ අප රැගෙන යාවි” නොබැලූ ඔබ හමුවේ මා ඉතිරි කරන පැනය එයයි.

කසුන් නැමති එම චරිතයට පණ පොවන සුදම් කටුකිතුල ළමා නළුවාගේ රංගනය චිත්‍රපටයට සාධාරණයක් කර ඇති බව පැවසිය හැකිය. එසේම අනෙක් කුඩා දරුවා වන ප්‍රවීන් කටුකිතුල ද චිත්‍රපටයේ රිද්මය නොබිඳ නුවන්ගේ කතාව අපට කියයි. ළමා ගායක හිමාෂ මනුප්‍රිය ගායනා කරන පසුබිම් ගීතය තුළ හිමාෂගේ ගායන හැකියාව අපූරුවට විදහා දැක්වේ. මෙම ළමා කලා ශිල්පීන් ඇතුළු සෙසු නළුනිළියන් ද නුවන්ගේ කතාවේ අර්ථයට උචිතය. එමෙන්ම මනරම් රූප රාමු, භූමි දර්ශන ඇතුළු අපූරු ගැමි පරිසරය නුවන් සිනමාවට සිත්තම් කර ඇති දක්ෂතාව පිළිබඳ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමට අප චිත්‍රපටයට ඇඳබැඳ තබා ගන්නා ගෙත්තමකි. එබැවින් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹි වහාම එය නරඹන්නට පැමිණෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

නුවන් ජයතිලක ලාංකේය සිනමා කර්මාන්තයේ අනාගතයට නව සොයා ගැනීමකි. ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සිය පළමු නිර්මාණය වන මෙම චිත්‍රපටය ඇගයීමට ලක්වීම ඊට කදිම සාක්ෂියකි. එබැවින් නුවන් වැනි සිනමාකරුවන් අප රැක ගත යුතුය. මන්ද සිනමාවට ඔවුන් තුළ ඇති අසීමිත ආශාව ප්‍රමිතියෙන් උසස් නව නිර්මාණ බිහිකිරීමට පදනම සපයන නිසාවෙනි. චිත්‍රපටය ආරම්භයට පෙර නුවන් සිදුකළ කතාව ඔහු නිමා කළ තැනින් මෙම සටහන ද නිමා කිරීම සුදුසු බව මම සිතමි. ඊට පෙර නුවන් ඔබට සුබ පතමි. තවත් මෙවැනි නිර්මාණ ඔබ වැනි පිරිස් විසින් අපේ රටේ සිනමා ක්ෂේත්‍රයට දායක කළ යුතුය. ඒ අපේ රටේ සිනමාවේ අනාගතය රැඳී ඇත්තේ එම නිර්මාණ මත පමණක් වන නිසාවෙනි.

අනාගත නිර්මාණකරුවන්ට ජයවේවා…!

 1,234 total views,  3 views today

Comments

comments