කාන්තාවන්ට විශේෂ දුම්රිය මැදිරි අවශ්‍යද?

කාන්තාවන්ට දුම්රියවල වෙනම මැදිරි වෙන් කිරීම පිළිබඳ මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ විවිධ පුද්ගලයින් දක්වන අදහස් අතර එම නව ක්‍රියාමාර්ගය අගය කරමින් ද ඇතැම් අදහස් ඊට විරෝධය පළකරමින් ද ඉදිරිපත් වෙමින් පවතී. මේ ඒ පිළිබඳ මාගේ අදහස ඉදිරිපත් කිරීම ස‍දහා තබන සටහනකි.

බස් රථ සහ දුම්රියවලදී කාන්තාවන් පීඩාවලට ලක්කර ලිංගික තෘප්තියක් ලැබීම අපේ රටේ ලිංගික සංස්කෘතියේ කොටසකි. එනම් සාමාන්‍ය සිදුවීම් මෙන් ඒවා බහුල වශයෙන් පොදු ප්‍රවාහන සේවා තුළදී සිදුවීම සම්බන්ධයෙන් අපේ සමීපතමයින් විඳි අමිහිරි අත්දැකීම් නිතර අසන්නට දකින්නට තිබේ. එනම් විවිධ වයස්වල පසුවන ස්ත්‍රීන්ට පීඩාකර පොදු ප්‍රවාහන සේවා තුළදී ලිංගික සතුට ලැබීමට හුරු වී සිටින ප්‍රජාවක් බිහිවී සිටිති. මෙරට පොදු ප්‍රවාහනයේ පවතින පහසුකම් ‍මඳකම එම කාමාතුරයින් තම සුරාන්තයේ උත්කර්ෂය සඳහා භාවිත කරමින් පාසල් දැරියන්ගේ, තරුණියන්ගේ මෙන්ම දෛනිකව උදේ සවස රැකියාවලට යන එන වෙහෙස මහන්සි වන කාන්තාවන්ගේ එම ශාරීරික වෙහෙස පවා ලිංගික සතුටක් ලැබිය හැකි අවස්ථාවක් බවට පත්කර ගනිමින් පොදු ප්‍රවාහන සේවා ඔවුන් සිය විකෘති ලිංගික ආශා ඉටුකර ගන්නා පාරාදීස බවට පත්කර ගෙන ඇත.

එබැවින් මගේ අදහස නම් කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි පමණක් නොව වෙනම දුම්රිය හා බස්රථ පවා වෙන් කළ හැකි නම් එය ඉතා වැදගත් බවයි. එහෙත් එය ප්‍රායෝගික නොවන බැවින් ඇතැම් දුම්රිය තුළ හෝ කාන්තාවන්ට වෙනම මැදිරි වෙන් කිරීමට පියවර ගැනීම කාන්තාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ගත් සතුටුදායක ක්‍රියාමාර්ගයකි. ඉන් ඔවුන්ට සහනයක් ලැබී ඇති බව දෛනිකව දුම්රියේ යන එන කාන්තාවන් ඊට දක්වන යහපත් ප්‍රතිචාර අනුව පෙනී යයි.

එහෙත් එම ක්‍රියාමාර්ගය පමණක් කාමාතුරයින්ට එරෙහිව වැට බැඳීමට ප්‍රමාණවත් නොවන බැවින් පොදු ප්‍රවාහන සේවා තුළ ලිංග පිනවන කාමාතුරයින් නීතියේ රැහැනට කොටු කරමින් ඔවුන්ට දඩුවම් ලබා දීමට අවශ්‍ය නෛතික සංශෝධන සිදුකිරීම ද වැදගත් වේ. බස්රථවල කැමරා සවි කිරීමට වඩා ඒවාට ලබා දිය හැකි දඩුවම් දැඩි කිරීම මෙන්ම කාන්තාවන්ට ඒ පිළිබඳ සිය හඬ අවදි කිරීම සඳහා සමාජීය පරිසරයක් ගොඩනැංවීමට සහ නීතිය ක්‍රියාත්මක කරන, යුක්තිය පසිඳලන ආයතන තුළ පවා කාන්තාවන්ගේ පුද්ගලිකත්වය සුරැකෙන ආකාරයට ඒවා පිළිබඳ විභාග පැවැත්වීමට අවශ්‍ය තත්ත්ව නිර්මාණය කළ යුතුය. මන්ද යත් ලිංගික ලෙස පීඩාවකට ලක්වූ කාන්තාවක් ඒ පිළිබඳ නීතිය ඉදිරියට ගිය විට ඉන් ඇය තවදුරටත් පීඩාවට ලක්වන්නේ නම් කාමාතුරයින්ගේ පීඩා ඉවසා සිටීමට කාන්තාවන් පෙළඹීම පුදුමයක් නොවන බැවිනි. විශේෂයෙන්ම වර්තමානයේ මෙරට දක්නට ලැබෙන අතිශය අහිතකර තත්ත්වයක් වන ලිංගික අතවරයකට ලක්වූ කාන්තාවන් අපේ රටේ ජනමාධ්‍ය විසින් නැවත නැවතත් අතවරයට ලක්කිරීම ආදියට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම ද මෙහිදී වැදගත්ය.

කාන්තාවන්ට වෙනම මැදිරි වෙන්කිරීම පිළිබඳ ඇතමුන් දක්වන අදහස් පිළිබඳව ද මෙම සටහන අවසන් කිරීමට පෙර යමක් පැවසිය යුතුය. එහිදී පිරිමින්ට යාමට තිබූ දුම්රිය මැදිරි සංඛ්‍යාව අඩුවන නිසා ඒ හේතුවෙන් පිරිමින් පීඩාවට ලක්වන බවට එනම් දුම්රියවල මැදිරි සංඛ්‍යාව වැඩි නොකර කාන්තාවන්ට වෙනම මැදිරි වෙන් කිරීම පිළිබඳ විරෝධය දක්වන පිරිස් හා කාන්තාවන්ට වෙනම මැදිරි වෙන් කිරීම ගෝත්‍රිකවාදී අදහසක් ලෙස ඉස්මතු කරන සියලු දෙනා විසින් සිදුකරන්නේ කාන්තාවන් ලිංගික අතවරවලට ලක්කිරීම සඳහා වක්‍රාකාරයෙන් අනුබල දීමක් බව පැවසිය යුතුය. එනම් එසේ අදහස් දක්වන්නන් කාන්තාවන්ගෙන් පොදු ප්‍රවාහන සේවා තුළදී ලිංගික තෘප්තිය ලබන පුද්ගලයින් හෝ ඒවා දෙස බලමින් වින්දනයක් ලබන පුද්ගලයින් බව අමුතුවෙන් පැවසිය යුතු නැත. ඒ අනුව කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවා තුළදී අතවර කරන කාමාතුරයින්ට මෙන්ම එම කාමාතුරයින් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ට විරුද්ධව නැඟී සිටීම ද වැදගත්ය. මන්ද යත් කාමාතුරයින්ට රිසි සේ සිය විකෘති කාමාශාවන් පිනවීමට අවස්ථාව සැලසීම කාමාතුරයින්ගේ ක්‍රියාවලට කිසිසේත් නොදෙවෙනි අතිශය බරපතළ වැරැද්දක් වන බැවිනි.

Comments

comments

4 comments

  1. කාන්තාවන් වෙනුවෙන් මේ රටේ කල හැකි දෑ බොහෝ ය. රටේ ඇති කාන්තා හිංසනයට විරුද්ධව ඇති නීති කොතරම් ප්‍රාතමික තත්ත්වයක ඇත්දැයි නොරහසකි. එමෙන්ම ගෘහස්ථ හිංසනයට විරුද්ධව ඇති නීති ද ඉතා අකාර්යක්ෂම ය.

    නමුත් මෙම තත්ත්වය නීති මගින් පමණක් විසදාගත නොහැකිය. මෙහි ඇති විශාලම වරද අපේ රටේ නැති තරම් වූ ලිංගික අධ්‍යාපනයයි. මෙරට සිටින සාමාන්‍ය ජනතාව ලිංගික සාක්ශරතාව අතින් ඉතා දුර්වල තත්ත්වයක සිටී. ඔවුන් හට නිසි අධ්‍යාපනය නොලැබෙන විට ඔවුන් එය ලබා ගන්නේ සමාජයේ ඇති විකෘති මූලයන්ගෙනි. එවිට සමාජය මෙසේ පිරිහී යෑම පුදුමයක් වන්නේ කෙසේද? මෙරට ඇති විකාර විකෘති අතිවික්ටෝරියානු සංස්කෘතියෙන් මෙම තත්ත්වය තවත් දරුණු වේ.

    කෝච්චි මැදිරි වෙන්කිරීම නම් මා හට හැගෙන්නේ, සැබෑ ලෙසම “ගොන් වැඩක්” ලෙසයි. උදේ වූවත් සවස වූවත් බොහෝ දෙනා කෝච්චියට නගින්නේ ගමනාන්තයට යෑමට ය. මේ නීතිය ආ පසු දුම්රිය දික් වී නැත. වී ඇත්තේ උදේ වැඩට යන අහිංසකයන් තවතවත් ෆුට්බෝඩයට තල්ලුවීමයි. තවද කාන්තාවන්ට වෙන් වූ මැදිරි තිබෙන මුත් අනිත් මැදිරි පිරිමින් ට වෙන් වී නැත. ඒවායේ ඕනෑ තරම් ගැහැණුත් යයි. ඔවුන් හට යමක් වුවහොත් ඔවුන් එය වුවමනාවෙන් කරගත් දෙයක් වන්නේද? නැත.
    මෙතන සැබැවින්ම ප්‍රශ්නයක් ඇත. එය විසදිය හැක්කේ කාන්තාවන් වීදුරු කාමර තුල දමා නම් නොවේ. එය විය යුත්තේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී, රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් තුලිනි. නැතිනම් සදහටම මෙවැනි සුදු අලි පෙන්වා දේශපාලකයන් මෙම ප්‍රශ්නයට පැලැස්තර අලවනු ඇත.

  2. දුම්රිය බස්රිය වෙන් කරනව කියන එක ඔය එක ප්‍රශ්නයකටවත් දීර්ඝ කාලින විසඳුමක් නෙමේ. අතීතෙත් තිබුනනේ කාන්තා දුම්රිය මැදිරි.කාන්තාවෝ ඉන්නේ මේ සමාජයේමයි. ගමනෙන් කොටසකදී වෙනම ගියත් ආයේ පිවිසෙන්නේ ඔය අසහනකාරයෝ ඉන්න සමජයටමයි. ඉහත කමෙන්ටුවට එකඟයි

  3. දැන් ටිකකට කලින් එක ගෘප් එකක කෙනෙක් අහපු ප්‍රශ්නයක් දැක්කාම හිතුනා අපේ ලන්කාවෙ සමහර තරුණ අය මනස විකෘති වුණු අය කියලා . ගෙදරින් පටන් ගන්න ඕන සමාජයට කරදරයක් නැති පුද්ගලයෙක් බිහි කරන එක

  4. ඇත්තෝ පහසුවෙන්ද, නැත්තෝ අපහසුවෙන්ද යන අතරම,
    වඩාත් සුව පහසුවෙන් ගමනාන්තය දක්වා යාමට අකමැත්තෝ කවුරැන්ද?
    පොදු පුවාහනය තුළ කායික, මානසික පීඩාවන්ට පත් නොවන්නේ කවුරැන්ද?
    නෝනා,මහතා ලෙසින්,නිවසින් පිටවන බොහෝ දෙනා ගමනාන්තයේදී, පෙටිටියෙන් එලියට ගත් මිනියක් සේ පෙනෙන අවස්ථා නොදැක්කේද?
    මාලය, ජංගම දුරකථනය, මුදල් පසුමිබිය, ඩැහැගන්නේ ⁣පොදු පුවාහනය තුළ නොවන්නේද?
    කිරට හඩන බිලිදු පුතා ඇත සහ ගින්නේ..
    පමා නොවී ගෙදරට යන මවිවරැන්ගෙන් කුක්කු බොන්නට සැරසෙන උක්කුමි පුතාලා සිටින්නේත් මෙවැනි තැන්වල නොවෙීද?
    ලැම පමණක් දකින ලය නොපෙනෙන, සලෙලුන් ගැවසෙන්නේ මෙවැනි තැන්වල නොවෙීද?
    සුවද දැනී..දැනී..දැනෙන, දෙතොල් නාදලු වන් කරගෙන,
    මිනිස් පුලුටක රහ බලන්නට ආ මෝහිනියන් නොසිටින්නේද?
    “තලතුනා” හා “බබාලැත්තෝ” පෙු්ම ජවනිකා නොතිබෙන තැනක් නොවන්නේද?
    තැන නොතැන නොතේරෙන,
    අපි අපේම ලොවක් තනා ගන්නා. කුරැලු කිරිල්ලන් පටිට ආතල් ගන්නේ මෙතැන නොවෙීද?
    මෙකී නොකී..සියල්ලෝම
    තම තම නැණ පමණින් දැන
    පොදුවෙී හෝ පුද්ගලිකව හෝ ගමන් ගනිත්වා!
    අපහසුවට,හිංසනයට,අපයෝජනයට,අසීරැවට පත් නොවෙත්වා!

Please comment using your facebook account.