අභිමානය යළි ඇතිකර ගැනීමට පමා නැති ස්වර්ණවාහිනිය

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයට අඳුරු මතකයක් ඉතිරි කරමින් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක ඇතිවූ අර්බුදයක් මත එහි ප්‍රවෘත්ති විකාශ ඇතුළු සියලු සජීවී වැඩසටහන් අත්හිටුවීමට සිදුවූ කණගාටුදායක සිද්ධියක් ඊයේ අසන්නට ලැබුණි. එම මාධ්‍ය ආයතනය වන්නේ මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් රූපවාහිනී වැඩසටහන් රැසක් දායාද කරමින් සන්නිවේදනයේ සොඳුරු සිත්තම් මැවූ ස්වර්ණවාහිනියයි. ලාංකේය ප්‍රේක්ෂක ප්‍රජාවට සුභාවිත නව්‍ය වැඩසටහන් රැසක අත්දැකීම් සමීප කළ ස්වර්ණවාහිනිය අතීතයේ ප්‍රකට කළ සිය නිර්මාණාත්මක වත්කම් ඉදිරියේදීත් දකින්නට කැමැත්තෙන් පසුවන ප්‍රේක්ෂකයෙකු ලෙස මෙන්ම ස්වර්ණවාහිනිය සමඟ ඊටත් එහාට ගිය සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු ලෙස මෙසේ සටහනක් තැබීමට අදහස් කළෙමි.

ස්වර්ණවාහිනී ආයතනය මාගේ මාධ්‍ය ජීවිතයට මෙන්ම මාගේ ලේඛන දිවියට ද ශක්තියක් වූ ආයතනයකි. කලක් එහි සේවය කිරීමට මා හට අවස්ථාව ලැබීම තුළින් ජනමාධ්‍ය පිළිබඳ මාගේ පරිචය පුළුල් කර ගැනීමට හැකිවූ බව මම සිහිපත් කරන්නේ අභිමානයෙනි. එසේම ඊටත් එහාට යමින් එහි වැඩසටහනක ආරාධිත ලේඛකයෙකු ලෙස මාගේ කෘති පාඨකයින් අතරට ගෙන යාමට ස්වර්ණවාහිනී ආයතනය මා හට අවස්ථාව ලබා දුන් බව ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරමි. පුද්ගලිකව ප්‍රේක්ෂකයෙකු ලෙස මෙන්ම එහි සේවකයෙකු ලෙස හා මා හට ශක්තියක් වූ ස්වර්ණවාහිනී ආයතනය සමඟ එසේ තුන් ආකාරයෙන්ම ගනුදෙනු කරන්නට හැකිවීම තුළ ස්වර්ණවාහිනිය මාගේ ජීවිතයට වඩාත් සමීප මාධ්‍ය ආයතනයක් බවට පත්වුණි.

කෙසේ වුවත් එම ආයතනය සම්බන්ධයෙන් ඊයේ අසන්නට ලැබුණු පුවත මා තුළ දැඩි කම්පනයක් ඇති කළේය. මන්ද යත් සිය මාධ්‍ය මෙහෙවරෙන් රටක් ශික්ෂණය කළ ආයතනයක් කවර හෝ හේතුවක් මත එසේ දිනක් දෙකක් හෝ අකර්මන්‍ය වීම කණගාටුවට කරුණක් වන බැවිනි. එසේම ජාතියකට මඟ කියමින් ජාතියක් දැනුමෙන් පුබුදු කළ මාධ්‍ය ආයතනයක ඉරණම කෙසේ වත් එසේ නොවිය යුතු බැවිනි.

ඉතිහාසය හා පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීමට මා හට පෙළඹවීමක් ඇති කළේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ජැක්සන් ඇන්තනි මහතා මෙහෙයවූ “මහා සිංහලේ වංසකතාව” සාකච්ඡාමය වැඩසටහනයි. එම වැඩසටහන විකාශය වූ සමයේ පොහෝ දිනය එළඹෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. එසේම ජැක්සන් ඇන්තනි මහතාගේම ගඟ දිගේ, රෝම පුරාණය සහ සලංහන්තේ යන වැඩසටහන් ද ඉතා ආශාවෙන් නැරඹූ වැඩසටහන් බව කිව යුතුය.

ස්වර්ණවාහිනිය මඟින් විකාශය කළ ටෙලි නාට්‍ය ගණනාවක් ද ඉතා ආශාවෙන් නැරඹූ වැඩසටහන් විය. සී රජ හා දස්කොන් වැනි ඓතිහාසික තේමා රැගත් ටෙලි නාට්‍ය ද නාන කාමරය, නයිට් ලර්නර්ස් වැනි විනෝදාත්මක ටෙලි නාට්‍ය මෙන්ම මෑතක දී විකාශය වූ හාරකෝටිය හා කෝටිපතියෝ ඇතුළු රසවත් ටෙලිනාට්‍ය රැසක මතක ස්වර්ණවාහිනිය සමඟ බැඳී ඇත. තව ද ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය ද ඉතා ආකර්ෂණීය වැඩසටහනක් විය.

ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙසේ නොමැකෙන සටහනක් තැබූ ස්වර්ණවාහිනිය ඉදිරියටත් සිය මාධ්‍ය මෙහෙවර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිළිණ කරනු දැකීම ස්වර්ණවාහිනියට ආදරය කරන සියලු ප්‍රේක්ෂකයින්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා මාධ්‍ය ආයතනයේ හදවත බඳු එහි සේවකයින්ගේ කැපවීම අත්‍යවශ්‍ය වන බැවින් සේවකයින් සමඟ ආයතනය පවත්වන සම්බන්ධය අතිශයින් වැදගත් වේ. විශේෂයෙන්ම දැනට වෙනත් මාධ්‍ය ආයතනවල සේවය කරන ස්වර්ණවාහිනිය තුළින් මාධ්‍ය ජීවිතය ජයගත් ප්‍රකට චරිත රැසක් ද ස්වර්ණවාහිනී ඉතිහාසය පිරික්සීමේ දී හමුවේ. එවැනි දක්ෂයින් බිහිකිරීමට තෝතැන්නක් වූ ස්වර්ණවාහිනිය ඉදිරියටත් දක්ෂයින්ට නිසි තැන ලබාදෙමින් හා දක්ෂයින්ගේ හැකියා ආයතනයේ දියුණුව සඳහා ඵලදායීව යොදා ගැනීමට ක්‍රියාකිරීම මේ මොහොතේ පවතින අවශ්‍යතාවයි.

ඒ අනුව ශ්‍රී ලාංකේය අභිමානය ලොවට කියා පෑ ස්වර්ණවාහිනියට යළිත් ඒ අභිමානය ගොඩනඟා ගැනීමට තවම කාලය ඇති බව මම හුදෙක්ම විශ්වාස කරමි. ඊට අවශ්‍ය වන්නේ එහි වත්මන් සේවක මණ්ඩලයේ සේවය ඊට නිසි ආකාරයෙන් යොදා ගැනීම සඳහා ආයතනය හා සේවක යන දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමයි. ඒ ඔස්සේ යළිත් මෙරට අංක එකේ නාලිකාව බවට පත්වීමට ස්වර්ණවාහිනියට හැකියාව ලැබෙනු නියතය.

Comments

comments