සුරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා එළිදුටු “සමාජ මාධ්‍ය ප්‍රකාශනය”

සමාජ මාධ්‍ය වේදිකා අද වන විට වැඩිම පිරිසක් අන්තර්ක්‍රියාකාරී වී සිටින මාධ්‍ය අවකාශයයි. ලෝකයේ මෙන්ම ලංකාවේ තත්ත්වය ද එසේමය. එබැවින් එම අවකාශය වඩාත් සුරක්ෂිත හා වගකීම් සහගත අවකාශයක් බවට පත්කිරීම මේ මොහොතේ පවතින දැවැන්තම අභියෝගයයි. ඊට පෙළඹවීමක් ඇතිකිරීම ස‍ඳහා විකල්ප වෙබ් අඩවියේ මූලිකත්වයෙන් සකස් කළ “සමාජ මාධ්‍ය ප්‍රකාශනය – කොළඹ 2019” පසුගියදා එළිදක්වනු ලැබීය. මේ ඒ පිළිබඳ තබන සටහනකි.

වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා ප්‍රජාව පෙළඹවීම මෙම ප්‍රකාශනයේ මූලික අරමුණකි. ඒ අනුව එමඟින් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා කර ඇති කරුණු අතර ඩිජිටල් අයිතිවාසිකම මානව අයිතියක් ලෙස පිළිගැනීම, මාධ්‍ය සාක්ෂරතාව හා තොරතුරු සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලිකත්වයට ඇති අයිතියට ගරු කිරීම මෙන්ම සමාජ මාධ්‍ය තුළ නිවැරදි තොරතුරු ප්‍රචාරය කිරීම ප්‍රවර්ධනය කිරීම ද වැදගත් වේ. තව ද කාන්තාවන් ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩත්වය සමාජ මාධ්‍ය තුළින් බැහැර කිරීම ද ප්‍රවර්ධනය කෙරේ.

මෙම ප්‍රකාශනය තුළ යහපත් සමාජ මාධ්‍ය භාවිතයක් උදෙසා ප්‍රධාන පාර්ශව හතරක වගකීම් අවධාරණය කර ඇත. ආණ්ඩුව, සමාජ මාධ්‍ය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන එම පාර්ශව වේ. එම එක් එක් පාර්ශව සිය සාධනීය දායකත්වය සමාජ මාධ්‍ය තුළ ප්‍රකට කිරීම මඟින් සමාජ මාධ්‍ය අවකාශයේ ක්‍රියාකාරිත්වය තුළ වඩාත් හිතකර සමාජීය පරිසරයක් ගොඩනැංවීමට අවස්ථාව ලැබේ.

ඒ අනුව ආණ්ඩුවට පැවරී ඇති වගකීම් අතර පරිශීලකයින්ගේ පුද්ගලික දත්තවල ආරක්ෂාව සඳහා නීති පැනවීම, අදහස් පළකිරීමේ නිදහස සුරක්ෂිත කිරීම, වෛරය හා ප්‍රචණ්ඩත්වය පතුරන හා සාවද්‍ය අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවලට පවත්නා බැඳීම වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම, අන්තර්ජාලය භාවිත කිරීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකර ඇත. සමාජ මාධ්‍ය වේදිකාවලට පවත්නා වගකීම් අතර ඒවායේ භාෂා ධාරිතාව ඉහළ නැංවීම, ශ්‍රී ලාංකික අන්තර්ගතයන් සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලිවලට විසඳුම් සැපයීම කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රතිපත්ති උපරිමයෙන් දේශීය භාෂාවලින් ප්‍රසිද්ධ කිරීම, තාක්ෂණික සමාගම්වලට වෘත්තීය මට්ටමෙන් හා පොදුවේ යොදාගත හැකි ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීම ආදිය කැපී පෙනේ. එසේම මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය සතු වගකීම් ලෙස ඩිජිටල් ක්ෂේත්‍ර තුළ සෑම ප්‍රජාවගේම අයිතිවාසිකම් තහවුරු කිරීමට ආණ්ඩුව දිරි ගැන්වීම, ඩිජිටල් සාක්ෂරතාව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට ඇතුළත් කිරීමට ආණ්ඩුවට බල කිරීම, සමාජ මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන ව්‍යාජ තොරතුරු අනාවරණය කිරීම හා වෛරී කථනවලට එරෙහිව කටයුතු කිරීම සඳහා ව්‍යාපාර බිහිකිරීමට මූලිකත්වය ගැනීම ආදිය වැදගත් වේ.

සමාජ මාධ්‍ය ප්‍රකාශනය සකස් කිරීම සඳහා විකල්ප වෙබ් අවකාශය ඇතුළු එහි ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය වෙබ් අවකාශද සහිතව සිවිල් සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශව 19 ක් දායක වීම සම්බන්ධයෙන් වඩා හිතකර ජනමාධ්‍ය භාවිතයක් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ කෘතඥතාව එම පාර්ශවවලට හිමිවිය යුතුය. කෙසේ වෙතත් ඒ සඳහා බුද්ධිමය පෙළඹවීම ඇති කිරීමට පෙරමුණ ගතයුතු මෙරට විශ්වවිද්‍යාල නිද්‍රාජනක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කණගාටුවට කරුණකි. එනම් මෙරට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය උපාධි හුදෙක් න්‍යායන් වනපොත් කරන ඒවා පමණක් වන බැවින් එම උපාධි තුළින් සාධනීය ප්‍රායෝගික ජනමාධ්‍ය භාවිතයක් සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරයි. විද්‍යුත් මාධ්‍යවලට මෙන්ම සමාජ මාධ්‍යවලට ද එම තත්ත්වයේ වෙනසක් නැත. එමනිසා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමෙන් මෙවැනි සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් එළිදැක්වීම කාලෝචිත ප්‍රයත්නයක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

“සමාජ මාධ්‍ය ප්‍රකාශනය – කොළඹ 2019” භාෂා ත්‍රිත්වයෙන් පහත සබැඳිවලින් භාගත කර ගත හැකිය.
සිංහල
දෙමළ
ඉංග්‍රීසි

Comments

comments