ජාතික ගුවන්විදුලිය මොණරාගලට ගිය ගමනේ අපූරු මතක

ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ මෙන්ම ආසියාවේද පැරණිතම ගුවන්විදුලි ආයතනයක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. වර්තමානයේ බොහෝ පුද්ගලික ගුවන්විදුලි නාලිකා මුදල් පසුපස පමණක් හඹා ගියද ජාතික ගුවන්විදුලිය එම තරඟයට නොවැටී තවමත් සිය අභිමානය හා අනන්‍යතාව රැකගෙන වගකීමෙන් යුතුව ගුවන්විදුලි කලාවේ මහා සම්ප්‍රදාය ලෙසින් ක්‍රියාත්මක වේ. ඒ අනුව හරවත් හා ගුණාත්මක වැඩසටහන් ශ්‍රාවකයින්ට තිළිණ කිරීමේ පුරෝගාමී මෙහෙවර තුළ ජාතික ගුවන්විදුලිය තවමත් සිටින්නේ වාණිජ ගුවන්විදුලි රැල්ලට වඩා ඉදිරියෙනි. ශ්‍රාවකයා ඥානනය කරන එවැනි වැඩසටහන් මාලාවක එක් අදියරක් ඊයේ මොණරාගල ප්‍රදේශයේදී පටිගත කළේය. මෙම සටහන එහි අපූරු මතක සටහන් පිළිබඳවයි.

මම සහ ජාතික ගුවන්විදුලිය අතර ඇති සම්බන්ධතාව පිළිබඳව මෙම සටහන ආරම්භ කිරීමට පෙර පැවසිය යුතු යැයි සිතුනේ ජාතික ගුවන්විදුලිය පිළිබඳ මාගේ බ්ලොග් අඩවියේ මා තබන ප්‍රථම සටහන මෙය වන නිසාවෙනි. ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ රැකියාවකට මා සම්බන්ධ වී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී ඇත. ඊට පෙර පෞද්ගලික හිමිකාරිත්වය සහිත මාධ්‍ය ආයතන ගණනාවක මා සේවය කර තිබුණද එම ආයතන පිළිබඳ මා මෙසේ අදහස් පළකර ‍නොමැති බැවින් මාගේ සේවා ස්ථානයක් පිළිබඳ මා තබන මුල්ම සටහන ද මෙය වේ. එම නිසා මෙය සුවිශේෂී සටහනක් වෙතැයි මම සිතමි.

ඊයේ මොණරාගලදී පැවැත්වුණේ ජාතික ගුවන්විදුලියේ මා සේවය කරන ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශය මඟින් නිෂ්පාදනය කර ඉදිරිපත් කරන “සත්‍යේක්ෂණය” වැඩසටහන් මාලාවේ එක් අදියරකි. සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ පටිගත කෙරෙන මෙම වැඩසටහන මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පටිගත කෙරුණි. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහි ප්‍රධාන සම්පත්දායකයා විය. ඊට අමතරව ජේ.ජේ. රත්නසිරි, ඒ. ජගත් ඩයස් හා ඩී.එස්. පත්මකුලසූරිය යන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් වන මහත්ම මහත්මීන් මෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සේපාලිකා ජයමාන්න මහාචාර්යවරියද සෙසු සම්පත්දායකයින් වශයෙන් සහභාගි කර ගැනිණි. වැඩසටහනේ මෙවර මාතෘකාව වූයේ “අපේක්ෂිත රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයා තුළින් ඉටුවේද?” යන්නයි. වැඩසටහන ඊයේ පැය දෙකක පමණ කාලයක් පටිගත කළ ද ඒ වෙනුවෙන් මෙහි නිෂ්පාදන කණ්ඩායම දින ගණනාවක් වෙහෙස විය.

වැඩසටහනේ පූර්ව නිෂ්පාදන සහ සැලසුම් කටයුතු සති කිහිපයක් පුරා සිදුකළ අතර ඒ අනුව වැඩසටහනේ පටිගත කිරීම් සඳහා මා ඇතුළු මෙහි නිෂ්පාදන කණ්ඩායම ජාතික ගුවන්විදුලියෙන් පිටත්වුණේ වැඩසටහන පැවත්වීමට පෙර දිනයේය. ඊට අවශ්‍ය සියලු තාක්ෂණික මෙවලම් ද රැගෙන වෑන් රථයකින් ඉරිදා උදෑසනම කොළඹින් අපි මොණරාගල බලා ගමන් ඇරඹුවෙමු. අප මොණරාගලට කැඳවාගෙන ගියේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යතුමාගේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන ජාතික ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකයෙකු හා නිවේදකයෙකු ද වන අප හිතවත් ශාන්ත රෝහණ සහෝදරයායි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය පසුපස තිබුණේ ගමන ආරම්භයේ සිටම පැවති ඔහුගේ මනා සම්බන්ධීකරණ ක්‍රියාවලියයි.

ඔහු ද ඇතුළුව ගමනට එකතු වූ දිනුක, ඩිලාන්, සඳරුවන්, සංජය හා වැඩසටහනේ නිවේදක ගයාන් ද එකතු වූ තැන රස කතා සාගරයකි. මීට පෙර වැඩසටහන්වලදී සිදුවූ අපූරු සිදුවීම්, ගුවන්විදුලි ජීවිතය තුළ ඔවුන්ගේ අමතක නොවන සිදුවීම් ඇතුළු අප සැම සිනා සාගරයක ගිල්වූ කතා මැද වෙහෙසක් නොමැතිව සිනහවෙන් වෙහෙසට පත්වෙමින් අපි ගමන් කළෙමු.

මොණරාගල දක්වා යන අපේ ගමන් මඟ වැටී තිබුණේ කොළඹ සිට හොරණ, රත්නපුර, වැල්ලවාය හරහා මොණරාගලටයි. ගමන කෙතරම් දිගු වුව ද ගමන පුරාම අපි රසවත් මතක වින්දෙමු. අපේ ගමන් මාර්ගය උඩවලව හරහා වැටී තිබුණ බැවින් මාර්ගය අයිනේ වැට ආසන්නයට පැමිණ සිටි සද්දන්ත අලියෙකු සමීපයේ සිට ඡායාරූප ගැනීමට අපට හැකිවිය. එම මාර්ගයේ ගමන් කරන්නන්ට එය සුන්දර අත්දැකීමක් වුවත් අලි ඇතුන් පිළිබඳ මෑත කාලයේ අසන්නට ලැබුණු පුවත් කිසිවක් රසවත් නැත.

සැතපුම් ගණනාවක් ගෙවමින් පැය ගණනාවක් ගතකර මොණරාගලට ක්‍රමයෙන් අප සමීපවත්ම පරිසරයේ හරිත වර්ණය වෙනුවට වැඩියෙන්ම දක්නට ලැබුණේ කාෂ්ඨක හිරු රශ්මියෙන් වියළුණු පොළොව සහ ගස්කොළන්ය. එහෙත් දෛනිකව අප යනඑන අගනුවරින් බොහෝ ඈත ප්‍රදේශයක පරිසරයේ මෙම වියළි හා රළුකම කොළඹ කෘත්‍රිම නාගරික මානසිකත්වයෙන් අප විතැන් කර අපේ ලේවල හා හුස්මවල අවිඥානිකව මුසුවී ඇති ගැමි පරිසරයට ඇති ලැදියාව පිළිබඳ හැඟීම්වලින් අප වශීකළා යැයි කිව්වොත් නිවැරදිය. විෂ දුම් ආඝ්‍රාණය කරමින් කොළඹ අප ගෙවන හදවත් අහිමි කර ගත් ජීවිත වෙනුවට මේ කාෂ්ඨක පොළොවේ ජීවත් වන හැබෑ මිනිසුන්ගේ ජීවිතවල සුවඳ කෙතරම් අපූරුද?

පැය අටක පමණ කාලයකින් පසු අප මොණරාගල නගරයට කිලෝමීටර දහයකට පමණ මෙහායින් පිහිටි අපේ නවාතැන්පොළ වෙත අපි පැමිණියෙමු. එය රජයට අයත් නිවාඩු නිකේතනයකි. එහි ඉදිරිපස මිදුලේ ගෙඩිවලින් පිරුණු සරුවට වැවී තිබුණු දිවුල් ගසක් තිබුණි. නවාතැන්පළේ මඳක් ගිමන් හැර වැඩසටහන පැවැත්වෙන ශාලාව නැරඹීමට අප ගියේ ශාලාව තුළ වැඩසටහන පැවැත්වීමේ කටයුතු සැලසුම් කිරීම සඳහායි. මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්වැනි මහලේ සම්මන්ත්‍රණ ශාලාවේ වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබුණි. අප සමඟ ආ මිතුරෙකුගේ ඥාතීන් දෙදෙනෙකු එම ස්ථානයේ සේවය කරන බව ද එහිදී හඳුනාගන්නට අවස්ථාව සැලසුණි. එදින රාත්‍රියේ මොණරාගල පිහිටි ඔවුන්ගේ නිවසේ අප වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වුණි.

ශාලාව නිරීක්ෂණය කර එහි මයික්‍රොෆෝන රැඳවිය යුතු තැන්, සම්පත්දායකයින් ස්ථාන ගත කළ යුතු ස්ථාන සහ පරික්ෂාකළ යුතු වූ සියළු තාක්ෂණික මෙවලම් පරික්ෂාවට බඳුන් කර අප නැවතත් අපේ නවාතැන්පොළ කරා පැමිණියේ රාත්‍රී හත ආසන්න වන විටය. ඇඟපත සෝදා ගැනීමෙන් පසු රාත්‍රී ආහාරය ගන්නා වේලාව තෙක් මිතුරු සභාව නැවතත් රස කථා හා අනුකරණය කිරීම්වලින් රස ගැන්වුණි. එම කතා වඩාත් තාත්වික කිරීමට මධුවිත උගුරු කිහිපයකින් ලැබුණු දායකත්වය පිළිබඳ මෙහි සටහන් නොකළහොත් එය අඩුවක් වේයැයි සිතමි.

එදින රාත්‍රී ආහාරයෙන් පසු නින්දට ගිය අප පසුදා උදෑසනම අවදි වී තේ පානයෙන් පසුව එක කාමරයක් තුළට රැස්වුණේ අපේ වැඩසටහනේ අවසන් සැලසුම් සකස් කිරීම සඳහාය. නිෂ්පාදන කණ්ඩායමේ එක් එක් සාමාජිකයාට පැවරුන වගකීම් හා කාර්යයන් එහිදී වඩාත් නිරවුල්ව පැහැදිලි කරමින් වැඩසටහන සාර්ථක කර ගත යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරුණි.

වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ පස්වරු දෙකටය. එහෙත් අදාළ ශාලාවේ එදින පැවැත්වුණු වෙනත් රැස්වීමක් හේතුවෙන් උද්ගත වූ ප්‍රායෝගික තත්ත්ව මත නියමිත වූ වේලාවට විනාඩි හතළිස් පහක් පමණ ප්‍රමාද වී වැඩසටහන ආරම්භ කිරීමට සිදුවිය. පැය දෙකක් පමණ පැවති වැඩසටහනේ දෙවැනි අර්ධයේදී අමාත්‍යතුමා ඇතුළු ‍වැඩසටහනට පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් වෙතින් ප්‍රශ්න නැගීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දෙන ලදි.

සාර්ථක වැඩසටහනක් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පටිගත කිරීමෙන් පසුව අප නැවතත් අපේ නවාතැන්පොළ වෙත පැමිණියෙමු. වැඩසටහන පිළිබඳව සහ එහි සාර්ථකත්වය ගැන අප කතාබහ කළේ පෙර දිනයට වඩා සැහැල්ලු මනසකිනි. ඒ වැඩසටහන සැලසුම්කළ පරිදි නිමා කිරීමට හැකිවීම පිළිබඳ අප විඳි සතුට හා සැහැල්ලුව නිසාය. එම කථා අවසානයේ ගීත බවටත් ඉන්පසු ඇතමුන්ගේ නර්තන බවටත් පරිවර්තනය වූයේ මධුවිතවලට පින්සිදුවන්නටය.

පසුදා උදෑසනම අපි නැවත කොළඹ බලා ගමන් ඇරඹුවෙමු. අපේම රටේ තවත් කෙළවරකට ගොස් දින කිහිපයක් හෝ වෙනත් ලෝකයකට පිවිසුණා මෙන් සැහැල්ලුවත් සතුටත් අප වින්දේ වැඩසටහනේ සාර්ථකත්වය නිසා පමණක් නොවේ. අප සිත් නිවා සුවපත් කළ මොණරාගල පරිසරයත් එහි මිනිසුන්ගේ ජීවිතවල ඇති අපේ ජීවිතවල නැති අපූර්වත්වයත් ඊට හේතුවකි. එය අපේ නිස්සාර ජීවිත පිළිබඳ යළි සිතා බලන්නට අපට කළ පෙළඹවීමක් විය. මෙම මොණරාගල ගමන මගේ ජීවිතයේ කිසිදා නොමැකෙන මතක සටහනක් වන්නේ කොළඹට එන විට යළි කැඳවාගෙන එන්නට නොහැකි වූ මාගේ සිත එම පරිසරයේ නැවතුන බැවිනි.

(මෙම වැඩසටහන අගෝස්තු 03 වැනිදා පස්වරු 4.00 ට “City FM” නාලිකාවෙන් – FM 89.6, FM 89.8 හා අගෝස්තු 05 වැනිදා පස්වරු 4.00 ට “සිංහල ස්වදේශීය සේවයෙන්” – FM 91.7, FM 91.9 විකාශය කෙරේ.)

Comments

comments

4 comments

  1. ලස්සනට අකුරු ගලපා ඇති ලිපියක්….. ඉරංග ස්තූතියි ඔබට.!!

  2. ලාංකීය සිතුවිලි වලට යළි පන දෙන්න ගිය වැඩේට මොකද උනේ?

    • බොහොම ස්තූතියි ඒ වැඩේ ගැන නිතරම මගෙන් විමසන එක ගැන. රැකියාවත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා නිසා සහ වෙනත් පුද්ගලික ශාස්ත්‍රීය වැඩත් එක්ක ලාංකීය සිතුවිලි වැඩේට හිත යොදවන්න කාලයක් හොයාගන්න අපහසුයි. ඒත් වැඩේ සම්පූර්ණයෙන්ම හිතෙන් අත්ඇරලා නෑ. බොහොම ඉක්මනින් ඒක කරන්න තමා හිතන් ඉන්නේ.

Please comment using your facebook account.