අවසන් වසර චිත්‍රපට නිෂ්පාදනය Living without Life ගැන එරන්ද මහගමගේ Iranga.net සමඟ කතා කරයි…

2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන විද්‍යාර්ථින්ගේ අවසන් වසර නිෂ්පාදනය ලෙස මෙවර ඔවුන් නිෂ්පාදනය කරනු ලැබුවේ Living without Life නම් චිත්‍රපටයකි. විශේෂයෙන්ම සරසවි විද්‍යාර්ථින් කණ්ඩායමක් වශයෙන් නිර්මාණය කළ එම චිත්‍රපටය බොහෝ දෙනා අතර කතා බහට ලක්විය. මේ ඒ පිළිබඳව එම චිත්‍රපටයේ තිරපිටපත් රචක එරන්ද මහගමගේ සමඟ Iranga.net වෙබ් අඩවිය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකි.

  • චිත්‍රපට අධ්‍යයන විද්‍යාර්ථින් වශයෙන් මෙවැනි චිත්‍රපටයක් අවසන් වසර නිෂ්පාදනය ලෙස මීට පෙර මෙම සරසවිය තුළදී නිෂ්පාදනය කර තිබෙනවාද? නැත්නම් මේ පළමු උත්සාහයද?

අපේ සරසවියේ මීට කලින් චිත්‍රපටි කරලා තියෙනවා. කෙටි චිත්‍රපටි, වාර්තා චිත්‍රපටි, වාර්තා වැඩසටහන්, මියුසික් වීඩියෝ වගේ කරපු දේවල් මං දැකලා තියෙනවා. ඒත් ප්‍රශ්නෙ වෙන්නේ ඒක නෙමෙයි. අපිට කලින් සිනමා අධ්‍යයනය කියන විෂය ප්‍රධාන විෂය ධාරාව විදිහට අධ්‍යයනය කරපු පළවෙනි බැජ් එක ඔවුන්ගේ අවසාන නිෂ්පාදනය විදිහට චිත්‍රපටියක් කළේ නැහැ. ඒ අය ඩ්‍රාමා එක ඇතුළෙ වැඩ කරලා අවුට් වුණ එක තමා වුණේ. නමුත් ඊළඟ බැජ් එකේ අය අවසාන නිෂ්පාදනය විදිහට ලංකාවේ සිනමා ශාලාවල ඉතිහාසය ගැන වාර්තා චිත්‍රපටියක් නිෂ්පාදනය කළා. ඊට පස්සෙ එන බැජ් ඒක තමා අපි. එතකොට අවසන් වසර නිෂ්පාදනය විදිහට මේ චිත්‍රපටය ගැන කතා කරනවා නම් මම මේක නම් කරන්නෙ දිගු චිත්‍රපටයක් හැටියට. මොකද මේක කෙටි චිත්‍රපටයක් නෙමෙයි. ඒ වගේම දිගු සහ යම් කිසි ආකාරයක පර්යේෂණාත්මක චිත්‍රපටයක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. හැබැයි මේකට දිගු චිත්‍රපටයක් කියලා කියන්න බැහැ කියලා යෝජනා එන්නත් පුළුවන්. මගේ තර්කය තමා මේක ඇතුළෙ කෙටි චිත්‍රපටයක ලක්ෂණ නැහැ කියන එක. ඒ නිසා මේක පර්යේෂණාත්මක උත්සාහයක්. මීට පෙර නිෂ්පාදනය කරලා තියෙන වාර්තා චිත්‍රපටයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපිට අභිප්‍රේරණයක් ලැබුණා. නමුත් මම හිතන්නෙ ඒකත් ගොඩක් වෙනස්. ඒ නිසා මේක තමා පළවෙනිම පියවර චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධව තියන. ඒකට හේතුව තමා වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම ඇතුළෙත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී තියෙන නිර්මාණාත්මක භාවිතාව සීමා වීම. එතකොට චිත්‍රපටයක් කියන්නේ ඊට වඩා වෙනස්. චිත්‍රපටයකදී අපිට තිර රචනයක් ලියන්න වෙනවා. රඟපාන්න නළු නිළියෝ ඉන්නවා. නිෂ්පාදන පියවරවල් තියෙනවා. ඊට පස්සේ සංස්කරණ පියවරවල් තියෙනවා. එතකොට සාමූහිකත්වය, නිර්මාණාත්මකභාවය වගේම චිත්‍රපටියේ තේමාව කොච්චර දුරට චිත්‍රපටිය ඇතුළෙන් ගන්න දරණ උත්සාහය චිත්‍රපටිය ඇතුළෙ තියෙනවා. එතකොට ඒකෙන් අපිට සමාජය පිළිබඳ යම් කිසි කතිකාවක් ඇති කරන්නත් පුළුවන්. ඒ නිසා මේ චිත්‍රපටිය අපේ සරසවිය විතරක් නෙමෙයි ශ්‍රී ලංකේය විශ්වවිද්‍යාල පද්ධතියම තබපු දිගු පියවරක් විදිහට හඳුන්වන්න පුළුවන්.

  • මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන වියදම හොයා ගත්තෙ කොහොමද?

ඒ වියදම හොයා ගන්න එක නම් ඉතාම අසීරු වුණා. ඒකට එක හේතුවක් තමයි කලා නිර්මාණයකට උදව් කරන්න ලංකාවෙ ජනතාවට කිසිම උනන්දුවක් නැති එක. ව්‍යාපාරික පිරිසට අවශ්‍යතාවක් නැහැ කලාවට හා විශ්වවිද්‍යාල සිසුන්ට උදව් කරන්න. එක පැත්තකින් එයාලා ලාභයක් බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා වෙන රටවල්වල නම් එහෙම විශ්වවිද්‍යාලවලට උදව් කරපු පිරිස් ඉඳලා තියෙනවා.  අපි දන්නවා ලංකාවේ එහෙම හිටියා විල්මට් ඒ. පෙරේරා, ලයනල් වෙන්ඩ්ට් වගේ අය. නමුත් දැන් ඒ තත්වය ඉතාම පිරිහිලා තියෙන්නේ. රජයෙනුත් ඒ සඳහා දායකත්වයක් දක්වන්නේ නැහැ. සිනමා පටයක් කිව්වම කොහොමත් දායකත්වයක් දක්වන්නෙ නැති තත්වයක් තමා තියෙන්නේ. විශේෂයෙන්ම අපි බෑන්ගල් එකක් ප්‍රින්ට් කළා යුනිවර්සිටි ඔෆ් කලම්බෝ කියලා. නගරවල ඒක විකුණලා තමයි මේකට අවශ්‍ය වියදම හොයාගත්තෙ. යම් යම් කණ්ඩායම් අපිට මුදල්වලින් සහය දුන්නා. වාසනා බේකරි ආයතනයෙන් එහෙම යම් මුදලක් ලබා දුන්නා. විභාග කරන්න තියෙද්දි පොත්පත් කියවන්න තියෙද්දි තීසිස් ලියන්න තියෙද්දි එහෙම පාරට බැහැලා බෑන්ගල් විකුණනවා කියන එක විද්‍යාර්ථින් විදිහට ඉතාම අසීරු වැඩක්. නමුත් අපි එහෙම කළේ කෙසේ හෝ මෙම චිත්‍රපටය නිර්මාණය කළ යුතුයි කියන හැඟීමෙන් සහ අපෙන් පස්සේ එන ඉදිරි පරම්පරාවට මේ නිර්මාණය දැකලා මුදල් ලබා දෙන ආයතන මුදල් ලබාදෙන මිනිස්සු සහ පරිපාලනය ඇතුළු සියලු දෙනාගේ සහයෝගය ඔවුන්ට ලැබෙයි කියලා හිතාගෙන.

  • අලුත් අදහසක් නිර්මාණය සඳහා යොදා ගන්නේ නැතුව හැමෝම දන්න සිද්ධියක් මේ සඳහා පාදක කර ගත්තේ ඇයි?

ඒ ප්‍රශ්නෙ යම් කිසි විදිහකට අසාධාරණයි. මේ චිත්‍රපටිය සම්බන්ධව එක පැත්තකින් නැඟෙන චෝදනාවක් තමා මේ චිත්‍රපටිය ඇතුළෙ හැමෝම දන්න කථාවක් තියෙනවා කියන චෝදනාව. අනිත් පැත්තෙන් අලුත් අදහසක් මේ චිත්‍රපටියෙන් ගේන්න තිබුණා කියන චෝදනාව. චිත්‍රපටයක් කියන්නෙ කලාත්මක ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටිය ඇතුළෙ අපි දන්න දේ තමා ලංකාවෙ වතුර ප්‍රශ්නය. ඒ වගේම ඒකට කරපු අරගල කිහිපයක්ම මේක ඇතුළෙ නිරූපණය වෙනවා. ලෝකයේ චිත්‍රපටි හදද්දි ඒවාට අනුභූතින් වන අවස්ථා ගණනාවක් තියෙනවා. උදාහරණ විදිහට කියනවා නම් යම් කිසි කෙනෙක්ගේ අත්දැකීමක් චිත්‍රපටියකට යොදා ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් නවකථාවක් වගේ සාහිත්‍ය කෘතියක් පදනම් කර ගෙන චිත්‍රපටි හැදෙන්න පුළුවන්. යම් කෙනෙක්ට ගොඩනඟලා ප්‍රබන්ධ කරලා චිත්‍රපටි හදන්න පුළුවන්. එතකොට මෙම චිත්‍රපටියේ තිරරචකයා විදිහට සහ විද්‍යාර්ථියෙක් විදිහටත්, අපි සමාජයට වග කියන පිරිසක් විදිහටත්, සමාජය පිළිබඳ විවේචනාත්මක අදහස් දරණ පිරිසක් විදිහටත් අපි හිතුවා ලංකාවේ තියෙන සමාජ ප්‍රශ්නයක් අළලා මේ නිර්මාණය කරමු කියලා. ඒ විදිහට තමා මේ පිටපත ලියවුණේ. ඒකත් එක්ක අපි බැලුවා චිත්‍රපටයක් හරහා කොහොමද සමාජ ප්‍රශ්නයකට මැදිහත් වෙන්නෙ හා ඒ පිළිබඳව සමාජ කතිකාවක් ඇති කරන්නෙ කොහොමද කියන කාරණය ගැන. අපි දන්න දෙයක් අපූර්ව විදිහට ගොඩනඟන්නෙ කොහොමද කියන එක ඇතුළෙ තමා ආර්ට් එක තියෙන්නෙ.

  • බොහෝ දෙනෙක් මතු කරන තර්කය තමා මේ චිත්‍රපටයේ කතා වස්තුව හා නිර්මාණාත්මකභාවය පිළිබඳ සාකච්ඡා කරනවාට වඩා මේක සාමූහික නිර්මාණයක් ලෙස අගය කිරීම වැදගත් බව. මේ ගැන ඔබ දක්වන අදහස මොකක්ද?

ලංකාවෙ චිත්‍රපට අධ්‍යක්ෂකවරු ගත්තම දහයකට පහළවකට වඩා එහෙම හොයා ගන්න බැහැ. ඒ වගේම චිත්‍රපටි විදිහට කථා කරන්න පුළුවන් චිත්‍රපටි අවුරුද්දකට දහයකට පහළවකට එහා හැදෙන්නෙත් නැහැ. එතකොට එහෙම සමාජයක් කොහොමද විශ්වවිද්‍යාලයකට අභියෝග කරන්නෙ අපිට මෙහෙම චිත්‍රපටි හදන්න කියලා. චිත්‍රපටි සම්බන්ධයෙන් ඉන්න දෙවිවරයා කවුද? කවුද මෙහෙම චිත්‍රපට හදලා තියෙන්නෙ? ලංකාවෙ විශ්වවිද්‍යාලවල මීට කලින් ඒවාට උත්සාහ කරලා තියෙන්නෙ කවුද? මම හිතන්නෙ එහෙම දැවැන්ත විදිහට උත්සාහ කරලා තියෙනෙවා. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලවල ආදි ශිෂ්‍යයෝ හදපු චිත්‍රපටි අපිට බලපාලා තියෙනෙවා. ඒක හන්තානේ කතාවේ ඉඳන්ම වෙන්න පුළුවන්. මම හිතන්නෙ මේක එක අතකින් අගය කරන්න ඕනෙ මේකේ නිර්මාණාත්මක භාවිතාව අගය කිරීමක් විදිහට. මම යෝජනා කරන්නෙ මේක සාමූහික ප්‍රයත්නයක් දරපු උත්සාහයක් හා මෙච්චර ලංකාවෙ සිනමාව කඩා වැටිලා තියෙන යුගයක, කලාව පිළිබඳ අදහස නැත්තටම නැතිවෙලා යන යුගයක, වෙළෙඳපොළ කියන අදහස ඉතාම උත්කර්ෂයට නැංවිලා තියෙන මොහොතක, කලා විෂය ධාරාව පාසල්වලින් විශ්වවිද්‍යාලවලින් අයින් කරන්න ඕනෙ කියලා කතා කරන වෙලාවක, මානව ශාස්ත්‍රවලට කුඩම්මාගේ සැලකිලි දක්වන වෙලාවක, පාසල් ළමයි ආර්ට් කරලා කොහොමද සල්ලි හම්බ කරන්නෙ, ආර්ට් කරන මිනිස්සුන්ට කොහෙද රස්සා තියෙන්නෙ කියන යුගයක, චිත්‍රපටකාරයින්ට මොකක්ද තියෙන සමාජ සැලකිල්ල කියලා හිතන එකාකෘතික පැතලි මාදිලි අදහස් ගැවසිලා තියෙන සමාජයක විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථින් හත් දෙනෙක් එකතු වෙලා සුවිශේෂ වශයෙන් ගැහැණු ළමයි හය දෙනෙක් ඉඳලා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සාමූහික ප්‍රයත්න­­යක් විදිහට අගය කළ යුතුමයි.

  • ඇත්තටම මේ නිර්මාණය ඇතුළෙ තියෙන්නෙ මූලික වශයෙන්ම හත් දෙනෙකුගෙ උත්සාහයක්. කොහොමද ඔබට ඒ සහයෝගය දැනෙන්නෙ?

මේ චිත්‍රපටිය ඇතුළෙ හත් දෙනෙක්ගෙ උත්සාහයක් තියෙනවා වගේම චතුරිකා නිමලචන්ද්‍ර අපේ කථිකාචාර්යතුමිය, අපේ සරසවියේ අනෙකුත් වසරවල්වල සහෝදරත්වය, අපේ කැමරා ශිල්පියා කුලරුවන් ගමගේ, අපිව මෙහෙයවපු අජන්තා විජේවර්ධන, අපේ සංස්කරණ ශිල්පියා සංඛ ඇතුළු පිරිස අපිට ගොඩක් උදව් කළා. එතකොට ඒ හැමෝගෙම සහයෝගයත් එක්ක තමා මේ චිත්‍රපටිය නිෂ්පාදනය වුණේ. ඒ නිසා හත් දෙනෙක් කියන එක සාධාරණ නැහැ. මූලික වශයෙන් හත් දෙනා එකතු වෙලා යම් ආකාරයේ බිඳවැටීම් තිබුණත් මේ විභාග ලියන කාලයේ එකතු වෙලා මේ වැඩේට ෆෝකස් වීමම යම් ආකාරයකට සාධනීය තත්වයක්. මං කියන්නෙ සිනමා නිර්මාණයක් ඇතුළෙ අවසාන වශයෙන් තියෙන්නෙ සාමූහිකත්වය. මේ නිර්මාණයේ බැලූ බැල්මට සාමූහිකත්වය තියෙනවා. මං යෝජනා කරන්නෙ මේ චිත්‍රපටිය බලන්න කියලා. විශේෂයෙන්ම ස්ටුඩන්ට් ෆිල්ම් එකක් විදිහට ගත්තම මේකෙ තියෙන සාමූහිකත්වය ඉදිරි සහෝදරත්වයට ආදර්ශයක්.

  • මේ නිර්මාණය සරසවියකින් එළියට එන නිර්මාණයක්. ඒ නිසා අධ්‍යයන අවශ්‍යතා ඇතුළෙ මේ නිර්මාණයේ නිර්මාණාත්මක අවශ්‍යතා සීමාවට ලක්වුණාද?

විභාග කියන්නෙම ළමයින්ගේ දැනුම සීමා කිරීමක්. නමුත් සිනමා හෝ වෙනත් කලා නිර්මාණයක් ඇතුළෙ මං හිතන්නෙ නැහැ ඒ තත්වය තියෙනවා කියලා. එත් මං හිතන්නෙ අපිට යම් යම් සීමාකම්වලට එන්න සිද්ධ වුණා. මේ චිත්‍රපටියේ මුල් තිරපිටපතේ තිබුණේ මීට වඩා වියළි ප්‍රදේශයක මේක රූගත කරන්න. ඒත් අපිට තිබුණ මුදල් ඇතුළු සියල්ල එක්ක අපිට ඒක ටිකක් වෙනස් කර ගන්න සිද්ධ වුණා. මේ නිර්මාණය ඇතුළෙත් ඒ දවස් ටිකේ තදබල විදිහට වහිනවා. ඒ වගේම මේකෙ කාල ප්‍රමාණය. මේක අපි හදන චිත්‍රපටියක් විදිහට හදන්න බෑ. අපිට විභාග තියෙනවා. ඒ විභාගවල දින ගණනාවත් එක්ක බලලා තමා අපි මේක කරන්න ඕනේ. විශේෂයෙන්ම අපිට තිබුණ මුදල් අනුව යම් යම් සීමා කිරීම්වලට එන්න සිදුවීම මං හිතනවා යම් කිසි ස්වයං වාරණයක් කියලා. ඒ කියන්නෙ මේ තත්ව ඇතුළෙ අපිට සිද්ධ වෙලා තියෙනවා වාරණය වෙන්න. ඒ සියල්ලටම උත්තරේ තමා  යම් කිසි ආකාරයකට නිදහස් අධ්‍යාපනය සහ නිදහසේ හිතන්න පතන්න දෙන ගමන් සමාජයක් විදිහට මිනිස්සු කලා නිර්මාණ අගය කිරීම සහ ඒවාට අනුග්‍රහ දැක්වීම් කළ යුතුයි කියන එක.

  • මේ චිත්‍රපටය සිනමා උළෙලවල් සඳහා රැගෙන යාමේ බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. එහෙම සිනමා උළෙලවල්වලට ඉරිරිපත් කරන්න සහ කොළඹ දී චිත්‍රපට දැක්මක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් තාම ඒ දේවල් සාකච්ඡා මට්ටමේ තියෙන්නෙ. ඒ වගේම විශ්වවිද්‍යාලවල විභාගවලට ඉදිරිපත් කළ චිත්‍රපටි උළෙලවල්වලට ඉදිරිපත් කරද්දි අවසර ගැනීම් එහෙම කරන්න වෙනවා. ඉදිරියේදී ඒ අවසරය ලැබෙනවා නම් මේක ලංකාවෙ විතරක් නෙමෙයි අවම තරමේ ඉන්දියාවටවත් මේක යවන්න පුළුවන්. මේක එහෙම යැව්වොත් ඒක සරසවියෙ නමටත් හොඳයි. ඒ වගේම අනෙකුත් විෂය මාලාවල කෙරුණු නිෂ්පාදනත් එක්ක ගත්තම සිනමා පටය එහෙම යවන්න පුළුවන් හොඳ මාධ්‍යයක්.

  • සරසවි විද්‍යාර්ථින් පිරිසක් විදිහට මේ තැබූ ආරම්භය ඔබ කොහොමද දකින්නේ?

මං හිතන්නෙ මේක ඉතාම කේන්ද්‍රීය පියවරක්. සාධනීය පියවරක්. එහෙම කියන්න එක හේතුවක් තමා අපි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නෙ මෙරට සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත කඩා වැටීමක් තියෙන මොහොතක වීම. ඒ  වගේම පාසල් ළමුන් චිත්‍රපට නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දැනුම ලබා ගැනීමට ඒවා ගැන හැදෑරීමට කිසිදු අදහසක් නැහැ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් සතුවත් ඉස්සර වගේ චිත්‍රපට බලන චිත්‍රපට උළෙලවල් පවත්වන අදහසක් නැහැ. සමස්තයක් විදිහට ලංකාවේ ප්‍රේක්ෂකාගාරයත් අතිශය බැරෑරුම් විදිහට කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මොහොතක විශ්වවිද්‍යාලයක් විදිහට දිගු චිත්‍රපටයකට ආරම්භයක් තියනවා කියන එක සරල නැහැ. එතකොට ඒක සමාජ ප්‍රශ්නයක් කතා කරන යම් කිසි පර්යේෂණාත්මක සිනමා භාවිතාවක් ආශ්‍රය කරගෙන කරනවා කියන එක කොහොමත් සරල දෙයක් වෙන්නෙ නැහැ. ඒ නිසා මං හිතනවා ලෝකෙ වෙනස් කළේ විශ්වවිද්‍යාල, සමාජයේ විශාල බුද්ධිමතුන් පිරිසක් බිහි කළේ විශ්වවිද්‍යාල, එතකොට ලෝකේ දැනට බිහි වෙලා ඉන්න දාර්ශනිකයෝ බිහි වුණේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව. ඒ සංස්කෘතිය නැවත ගෙන ආ යුතුයි. ඒ වගේම චිත්‍ර නැටුම් සංගීතය වගේ විෂයන් ශාස්ත්‍රාලීය වශයෙන් වර්ධනය වුණේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව. ප්‍රංශයේ ගත්තම සිනමා පාසලක් තියෙනවා. ඒත් ලංකාවෙ එහෙම නැහැ. විශ්වවිද්‍යාලයක් විදිහට සිනමාව උගන්වන එකම විශ්වවිද්‍යාලය අපේ මේ මණ්ඩපය විතරයි. එතකොට චිත්‍රපට නිෂ්පාදනය, ඒවා ගැන ශාස්ත්‍රීය සාකච්ඡා පැවැත්වීම අතුළු සියලු දේ මේ සරසවිය ඇතුළට එන්න ඕනේ. ඒ සඳහා තබපු ප්‍රයෝගික පියවරක් තමා මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරීම. ඒ පියවරම පියවර කිහිපයක් ඉදිරියෙන් තියවුණා. ඒක රැක ගැනීම හා වර්ධනය කිරීම ඉදිරි විද්‍යාර්ථයින් විසින් කළ යුතුයි. ඒ සඳහා හැමෝම දායකත්වය දක්වයි කියලා මං බලාපොරොත්තු වෙනවා.

  • මේ චිත්‍රපටය සඳහා සරසවියෙන් ලැබුණ දායකත්වය කොහොමද?

අපි දැනටමත් දන්නවා මේ වගේ දේවල් කරන්න විශ්වවිද්‍යාලයක් විදිහට විශාල මුදල් කන්දරාවක් නැහැ. ඒ වගේම සිනමාව සම්බන්ධව විශ්වවිද්‍යාලයේ ගැඹුරු කියවිමකුත් නැහැ. විශ්වවිද්‍යාලයෙන් පිටතත් ඒ තත්වයේ ලොකු වෙනසක් නැහැ. එහෙම බලද්දි අපිට හැම පැත්තෙන්ම ලොකු දායකත්වයක් ලැබුණා. යම් යම් බාධාත් එල්ල වුණා. එහෙම නැහැ කියන්ටම බැහැ. ඒත් සමස්තයක් විදිහට ගත්තම අපි සාර්ථකයි කියලා හිතනවා. මං ඉල්ලා සිටින්නෙ මින් ඉදිරියේදී මීට වඩා සහයෝගයක් ලබා දෙයි කියලා. එතකොට විශ්වවිද්‍යාලයක පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ඒ සඳහා සහයෝගය දිය යුතුයි. උදාහරණයක් විදිහට ලියුමක් ගන්න යද්දි විනාඩි දහයක් ගත වෙනවා නම් ඒක විනාඩි පහකින් දෙනවා නම් ඒක ලොකු සහයෝගයක්. ඒ සඳහා විශ්වවිද්‍යාලයක සියලු දෙනා වැඩ කළ යුතුයි. ඒ දේ තමා එදිරිවීර සරච්චන්ද්‍ර යුගයේදීත් සිද්ධ වුණේ. ඒ කාලෙ විශ්වවිද්‍යාලෙ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පවා නාට්‍ය නිෂ්පාදනය වුණා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ වැඩක් වෙද්දි අනධ්‍යයන සේවකයාගේ සිට විද්‍යාර්ථයින්, ආචාර්යවරුන්, පරිපාලන නිලධාරීන් ඇතුළු සියල්ලන්ගේම සහයෝගය ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ලැබුණු දායකත්වයට වඩා වැඩි දායකත්වයක් ඉදිරි නිර්මාණවලදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

  • අවසාන වශයෙන් මෙම චිත්‍රපටය සම්බන්ධව ඔබට කියන්න තියෙන්නෙ මොනවාද?

වසර හතරක් සිනමාව පිළිබඳව ශාස්ත්‍රීයව අධ්‍යයනය කරපු උපාධියක් හැදෑරීමෙන් පසුව ඒ ඉගෙන ගත්ත න්‍යායාත්මක කරුණු ප්‍රයෝගිකව යොදවලා මෙම නිර්මාණය කිරීමට හැකිවීම ගැන අවසාන වශයෙන් ගත්තම මට යම් සතුටක් තියෙනවා. ඒ වගේම ඒකත් යම් පර්යේෂණාත්මක භාවිතාවක් විදිහට තිරරචනයක් සහිතව නිෂ්පාදනය කිරීම අසීරු කටයුත්තක්. නමුත් අවසන් සංස්කරණය දැක්කම ඒක අපි සාර්ථකව කරගෙන තියෙනවා කියලා හිතෙනවා. ඒ නිසා සතුටින් අපිට සරසවියෙන් නික්මිලා යන්න පුළුවන්. අපි සරසවියේ ඉන්න කාලය තුළ විශ්වවිද්‍යාලවලට චිත්‍රපටි හදන්න පුළුවන් යම් කිසි ප්‍රයෝගික තැනක් තියෙනවා කියලා සමාජයට සහ විශ්වවිද්‍යාල පද්ධතියටම අපි ආදර්ශයක් පෙන්නුවා. ඒ වගේම ඒ සඳහා විද්‍යාර්ථින්ට මැදිහත් වෙන්න පුළුවන් කියන දේත් අපි පෙන්නුවා. අවසාන වශයෙන් අපේ මණ්ඩපය චිත්‍රපටයක් නිෂ්පාදනය කළා කියන දේ ඉතිහාසයට එකතු වෙනවා. ඒක දිහා බලලා යම් කිසි කෙනෙකුට නිර්මාණයක් කරන්න පුළුවන්. මීට පෙර මෙම සරසවියේ නිර්මාණ කරපු ආදි සහෝදරයින්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි අවසානයේදී ඉරබටු තරුව දැක්කා. ඒ කියන්නෙ අවසානයේදී අපි සාර්ථකත්වයට ළඟා වුණා කියන හැඟීම අපි හත් දෙනාගේම හදවත් තුළ තියෙනවා.

මෙසේ Iranga.net සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ එරන්ද මහගමගේට Iranga.net වෙබ් අඩවියේ ස්තුතිය පළ කර සිටින අතර ඔහු ඇතුළු 2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සිනමා අධ්‍යයන විද්‍යාර්ථින්ගේ මෙම ප්‍රයත්නය සරසවියේ අනාගත විද්‍යාර්ථින් සඳහා මහඟු ආදර්ශයක් ප්‍රකට කළ කාර්යයක් වන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම
12246911_1654462971467491_1560014588163274771_n

ආශ්‍රිත ලිපි
“Living without Life” හෙවත් නව සරසවි සිනමා වංශයක ඇරඹුම…

Comments

comments

One comment

  1. my dear friend , . I wish you, young man, your good work, but why did you say, this is your final year work,when you need to do film production, you have to start your first year, I think your bad point, or academic mistake . I wish your this good work. I like to watch your film .when you need third eye. Your must think, i have third eye. your are creative man. cut or action

    mahendra wijayakoon
    lecturer
    media unit- NIE

Please comment using your facebook account.