පරපීඩක මානසික රෝගීන්ගෙන් සරසවි මුදාගැනීමට රුහුණු සරසවි සිසුවාගේ මඟ ගැනීම

රුහුණු සරසවියේ සිසුවෙකු තමාට මුහුණපෑමට සිදුවූ අමානුෂික නවකවද සිදුවීමක් මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීම හේතුවෙන් සරසවි නවකවදය පිළිබඳ මේ දිනවල නැවතත් කතාබහක් ඇතිවී තිබේ. බාහිරින් එම සිදුවීම දෙස බලන ඕනෑම අයෙකුට එම සිසුවා හෙළිකරන කටුක සත්‍යය චිත්‍රපටයක දර්ශනයක් සේ තිරපිටපතක ලියවුණු දෙයක් මෙන් පෙනුණ ද එවැනි නවකවද සිදුවීම් සරසවි උපසංස්කෘතිය තුළින් බාහිර සමාජයට විසරණය නොවන අවස්ථා ඕනෑ තරම් තිබේ. වසර හතරක සරසවි ජීවිතයක් ගතකළ මා ද අමානුෂික සරසවි නවකවදය පිළිබඳ අමිහිරි අත්දැකීම් රැසක් ලබා ඇති හෙයින් රුහුණු සරසවි සිසුවා මුහුණ පෑ එම සිදුවීම මෙරට සරසවි පද්ධතිය තුළ කිසිසේත් සිදුනොවන ප්‍රබන්ධ ලෙස සලකා බැහැර කිරීමට හැකියාවක් නොමැත. එබැවින් මෙම සටහන තබන්නේ රුහුණු සරසවියේ එම නවකවද සිදුවීම ආදර්ශයක් කර ගනිමින් අමානුෂික නවකවද ක්‍රියාවලිය සරසවි තුළින් සදහටම තුරන් කිරීමට සියලු වගකිව යුත්තන්ගේ අවධානය යොමුවෙතැයි අපේක්ෂාවෙනි.

සරසවි නවකවදය පිළිබඳ මා තබා ඇති පළමු හෝ එකම සටහන මෙය නොවේ. මුලින් මාගේ මෙම බ්ලොග් අඩවියේ ලියා පළකර ඉන්පසු මාගේ “ජනමාධ්‍ය සහ සමාජ විචාර” කෘතියේ පළකළ “දැඩි දඬුවම් ලබාදිය යුතු සාහසික සරසවි නවකවදය” නැමති ලිපිය නවකවදය සම්බන්ධයෙන් මා සහ මාගේ සමීපතමයින් විඳි සත්‍ය අත්දැකීම් ඇසුරින් ලියන ලද්දකි. බොහෝ දෙමව්පියන්ගේ දහසක් සිහින සුනුවිසුණු කරන අමානුෂික නවකවදය ඊනියා සිසු සංවිධාන සරසවි තුළ සිය බලය පවත්වා ගැනීම සඳහා භාවිතා කරන බැවින් නවකවද සිදුවීම් සම්බන්ධයෙන් එම සංවිධානවල නියෝජිතයෝ අන්ධයෝ ලෙස හැසිරෙති. එම සංවිධානවල නිරුවත ද මා ඉහතින් සඳහන් කළ ලිපිය තුළ පෙන්වා දී ඇත.

රුහුණු සරසවි සිසුවාගේ සිදුවීම අවඥාවෙන් බැහැර කරන බොහෝ දෙනා මේ මොහොතේ සිදුකරමින් ඉන්නේ එම ඊනියා සිසු සංවිධානවල පටු අරමුණු ඉටුකිරීමක් වන අතර එය තවත් අතකින් දහසක් දෙමව්පියන්ගේ සිහින සුනුවිසුණු කිරීමට උඩගෙඩි දීමකි. සරසවි තුළ සිටිමින් නවකවදය සරසවි උපසංස්කෘතිය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක් බවට උදම් අනනා පිරිස් සිදුකරන්නේ ද බාහිර පිරිස් සිදුකරන දෙයම මිස වෙනකක් නොවේ. දහතුන් වසරක පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය ලබා අනාගත බලාපොරොත්තු ඉටුකර ගැනීමට බොහෝ කැපවීම් කර සරසවි අධ්‍යාපනයට පිවිසීමට වරම් ලබන අතළොස්සකගේ ජීවිත පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන මානසික රෝගීන් පිරිසකට ගොදුරු කර ගැනීමට ඉඩ සැලසීම බරපතළ ඛේදවාචකයක් නොවන්නේද?

ඊනියා ජ්‍යෙෂ්ඨත්වයෙන් හිස උදුම්මාගෙන පරපීඩක කාමුක හැඟීම් සන්තර්පණය කර ගැනීම සඳහා නවකවදය ක්‍රියාත්මක කළ මානසික රෝගීන් රැසක් මාගේ සරසවි කාලය තුළ ද මට මුණගැසී තිබේ. උපසංස්කෘතිය හා ඊනියා සාමූහිකත්වය පිළිබඳ වැදිබණ දෙසමින් නවකයින් අතර වීරයින් වන්නට තැත්කළ ඔවුන්ගේ දෙබිඩි ජීවිත මම විනිවිද දැක ඇත්තෙමි. එම මස්වැද්දන්ගේ පරම්පරාවේ නූතන අතකොළු මේ වන විටත් නවක සරසවි සිසු ජීවිත බිල්ලට ගැනීමට ඉව අල්ලමින් සිටියි.

එබැවින් මෙම අමානුෂික නවකවද ක්‍රියාවලියට එරෙහිව නැගීසිටීම මේ වන විට අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව ඇති බව අවධාරණය කළ යුතුය. මානසික රෝගීන් සිටිය යුත්තේ රෝහල්වල මිස සරසවිවල නොවේ. රටේ ජනතාවගේ බදු මුදල්වලින් පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන මානසික රෝගීන් නඩත්තු කිරීමට එරෙහිව පුළුල් හඬක් නැගිය යුතු අවස්ථාව දැන් එළඹී ඇත. රුහුණු සරසවි සිසුවා එහි පළමු වෙඩිමුරය තබා තිබේ. තමා විඳි නවකවද අත්දැකීම් පිළිබඳ විවෘතව පැවසීමට ඕනෑම සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට දැන් එම විවෘත වේදිකාව යොදාගත හැකිය. ඒ ඔවුන්ගේ ජීවිතවල හෙට දවස උදෙසා පමණක් නොව ඔවුන්ගෙන් පසුව සරසවි පිවිසීමට වරම් ලබන දහස් ගණනක් සිසුසිසුවියන්ට නිදහසේ සිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවීම සඳහා සරසවි භූමිය මානසික රෝගීන් තොර කලාපයක් බවට පත්කළ යුතු නිසාවෙනි.

Comments

comments