සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය

මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප‍්‍රවේශය

මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා භාවිතයට ගත හැකි මෙවලමක් ලෙස පෙන්වා දිය  හැකිය. මහජන සම්බන්ධතාව විෂයක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ කිරීමට පෙර එනම් න්‍යායාත්මකව මහජන සම්බන්ධතාව පිළිබඳ හැදෑරීමට පෙර අනාදිමත් කාලයක සිට මහජන සම්බන්ධතා විධික‍්‍රම මානව සමාජය තුළ භාවිතයට ගෙන ඇති බව ඓතිහාසික මූලාශ‍්‍ර අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. ඒ අනුව නූතන රාජ්‍ය බිහිවීමට ප‍්‍රථම රජු කේන්ද්‍රකර ගනිමින් පැවති රාජාණ්ඩු පාලන ක‍්‍රමය තුළ ද මහජන සම්බන්ධතාව සමකාලීන සමාජය මෙහෙයවීමෙහිලා ප‍්‍රමුඛ මෙන්ම වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බව පැවසිය හැකිය.

රෝම අධිරාජ්‍යයා වූ ජුලියස් සීසර් ක‍්‍රි.පූ. 50 දී සිය චරිතාපදානය Caesar’s Gallic War නමින් රචනා කළේය. එමඟින් ඔහු සිය යුදමය දක්ෂතා රෝම ජනතාවට ඒත්තු ගැන්වීමට ක‍්‍රියා කළේය. මෙවැනි තත්ත්ව වර්තමාන දේශපාලන නායකයින් හා නිලධාරින් තුළින් ද දැක ගැනීමට හැකියාව ඇත. ක‍්‍රි.ව. 394 දී ශාන්ත ඔගස්ටීන් අලංකාර ශාස්ත‍්‍රය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස බටහිර රෝමානු අධිරාජ්‍යයේ අගනුවර වන මිලාන් නගරයේ සේවය කළේය. එහිදී ඔහු නිරන්තරයෙන් අධිරාජ්‍යයා පිළිබඳ ප‍්‍රශංසනාත්මක වර්ණනයන් ඉදිරිපත් කළේය. ඒ අනුව ශාන්ත ඔගස්ටීන් මහජන සම්බන්ධතා පිළිබඳ කාර්යාභාර නිලධාරීවරයා ලෙස කටයුතු කළ ලොව පළමු පුද්ගලයා විය. එය වර්තමානයේ ජනාධිපතිවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකුගේ හෝ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාවට සමාන වේ.

19 වන සියවසේ මැද භාගය වන විට මහජන සම්බන්ධතා සම්බන්ධයෙන් පී.ටී. බර්නම් නැමැති පුද්ගලයාගේ කාර්යභාරය කැපී පෙනේ. අයිව් ලීගේ මූලිකත්වයෙන් 1903 වසරේදී මහජන සම්බන්ධතා ක්ෂේත‍්‍රය වෘත්තියක් බවට පත්විය. පහත මූලිකාංග මඟින් ලී මහජන සම්බන්ධතාව වෘත්තීයභාවයට පත්කළේය.

  • සත්‍ය පැවසීම.
  • නිවැරදි කරුණු සැපයීම.
  • මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයාට ආයතනයක ඉහළ කළමනාකාරිත්වයට ප‍්‍රවේශ වීමට හැකියාව පැවතිය යුතු අතර තීරණවලට බලපෑම් කිරීමට ද ඔහුට හැකිවිය යුතුය.

අයිව් ලී සලකනු ලබන්නේ ලොව ප‍්‍රථම මහජන සම්බන්ධතා උපදේශකයා ලෙසයි.

මහජන සම්බන්ධතාව වඩාත් ඉහළ තත්ත්වයකට පත්වූයේ එඞ්වඞ් බර්නිස්ගේ  මැදිහත් වීම තුළිනි. එම නිසා මහජන සම්බන්ධතා ක්ෂේත‍්‍රයේ පියා ලෙස එඞ්වඞ් බර්නිස් හඳුන්වනු ලබයි. ඔහු 1923 වසරේදී Crystallizing Public Opinion නැමැති ග‍්‍රන්ථය රචනා කරමින් මහජන සම්බන්ධතා පිළිබඳ මූලධර්ම කිහිපයක් හඳුන්වා දුන්නේය. බර්නිස්  මහජන සම්බන්ධතාව විග‍්‍රහ කරනු ලැබුවේ පහත පරිදිය.

  • අනුග‍්‍රාහකයා ප‍්‍රවර්ධනය කිරීම හෙවත් අනුග‍්‍රාහකයා මහජනයාට හඳුන්වාදීම.
  • මහජනයාට අනුග‍්‍රාහකයා හඳුන්වාදීම හෙවත් මහජනයාගේ පිළිගැනීම ලබාගැනීම සඳහා ආයතනය මෙහෙයවීම.

බර්නිස්  විසින් තවදුරටත් මහජන සම්බන්ධතාව මෙසේ විග‍්‍රහ කළේය.

  • මහජන සම්බන්ධතා යනු මහජන සේවයයි.
  • නව අදහස් සහ ප‍්‍රගතිය මහජන සම්බන්ධතා ඔස්සේ ප‍්‍රවර්ධනය කළ යුතුයි.
  • මහජන සම්බන්ධතා මහජන හෘද සාක්ෂිය ගොඩනැංවිය යුතුයි.

ලන්ඩනයේ මහජන සම්බන්ධතා ආයතනය මහජන සම්බන්ධතාව මෙසේ අර්ථ දක්වයි. එනම් යම්කිසි සංවිධානයක් සහ එහි ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනඟනු පිණිස හා එය පවත්වාගෙන යෑම සඳහා සියුම් ලෙස සැලසුම් කළ අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතාව ලෙස නිර්වචනය කෙරේ. එම නිර්වචනය තුළ ප‍්‍රධාන පාර්ශව ද්විත්වයක සම්බන්ධතාව අවධාරණය කර ඇත. එනම් සංවිධාන සහ ජනතාව අතර පැවතිය යුතු සම්බන්ධතාවයි. එම පාර්ශව අතර සම්බන්ධතා යහපත් අන්දමින් ගොඩනඟා ගැනීමට හා එය පවත්වාගෙන යෑමට ක‍්‍රියාකිරීම මහජන සම්බන්ධතාව ලෙස එහි පැහැදිලි කරයි. ප‍්‍රචාරණය තුළ දැකිය හැකි දෘඩ ලක්ෂණයට වඩා මෘදු තත්ත්වයක් පිළිබඳව එමඟින් සාකච්ඡා කෙරේ.

මහජන සම්බන්ධතා ක‍්‍රියාවලියට අන්තර්ගත වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පහත පරිදි අවධානය යොමු කළ හැකිය.

  • ආයතනය අභ්‍යන්තරයේ සහ ආයතනයෙන් බාහිරව ආයතනය හා සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හා අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමට ගන්නා සියලූම පියවර මහජන සම්බන්ධතාව ලෙස හැඳින්විය හැකිය.
  • ආයතනයක් පිළිබඳව මහජනයාගේ සිත තුළ හැඟීමක් ඇති කිරීම සඳහා දෙනු ලබන උපදෙස් මහජන සම්බන්ධතාව ලෙස හැඳින්වේ.
  • ආයතනයක් පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිවීමේ හේතු සාධක සොයා ගැනීමටත් ඒවා ඉවත් කිරීමටත් ගන්නා ක‍්‍රියාමාර්ග මහජන සම්බන්ධතාවයි.
  • ප‍්‍රචාර, දැන්වීම්, ප‍්‍රදර්ශන, චිත‍්‍රපට ආදිය මඟින් ආයතනයක බලපෑම් සීමාව පුළුල් කිරීම මහජන සම්බන්ධතාවයේ දී සිදුවේ.
  • ජනතාව සහ ආයතනය අතර සන්නිවේදනය සෘජුවම වර්ධනය කිරීමට හේතුවන සියලූ දේ මහජන සම්බන්ධතාව ලෙස හඳුනාගැනේ.

ඒ අනුව ඉහත සඳහන් කරුණු අවධානය පිළිබඳ යොමුකිරීමේදී මහජන සම්බන්ධතාව ලෙස විග‍්‍රහ කරනු ලබන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවබෝධ කර ගත හැකිය.

මහජන සම්බන්ධතා ක්ෂේත‍්‍රයට ඇතුළත් නොවන දෑ ලෙස පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.

  • මහජන සම්බන්ධතාව සත්‍ය සහ ජනතාව අතර වන බාධකයක් නොවන අතර එමඟින් සත්‍ය සැඟවීමට ද උත්සාහ නොකෙරේ.
  • මහජන සම්බන්ධතාව ආචාරධර්ම හා පොදුජන යහපත යනාදියට අනුකූල නොවන පරිදි සිදුකරන දෙයක් නොවේ.
  • වෙළෙඳාම හා අලෙවිකරණය සඳහා මහජන සම්බන්ධතාව මඟින් ප‍්‍රබල සහයක් හිමිවන නමුත් එය හුදෙක් අලෙවිය  ඉහළ නංවා ගැනීම සඳහා සෘජුවම ඉලක්ක කළ ප‍්‍රචාරයක් නොවේ.
  • මහජන සම්බන්ධතාව පුද්ගලයින් රැවටීමට ලක්කරන ක‍්‍රියාවලියක් නොවේ.
  • මහජන සම්බන්ධතාව මුදල් නොගෙවූ දැන්වීම් ක‍්‍රමයක් හෙවත් ප‍්‍රචාරණයක් නොවේ.
  • හුදෙක් එය ප‍්‍රවෘත්ති සම්බන්ධතාවයක් නොවේ. එහෙත් ප‍්‍රවෘත්ති සම්බන්ධතා කටයුතු බොහෝ මහජන සම්බන්ධතා වැඩසටහන්වල ඉතා වැදගත් කොටසක් වේ.
  • මධ්‍යම රජයේ සහ පළාත් ආණ්ඩුවල මහජන සම්බන්ධතාව දේශපාලනික වූවක් නොවේ.
  • මහජන සම්බන්ධතාව මුළුමනින්ම තොරතුරු සම්පාදනය ඔස්සේ සිදුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය කිරීමක් විනා කිසිදු ආකාරයක දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රචාරය කිරීමක් නොවේ.

ඒ අනුව සැලකීමේ දී මහජන සම්බන්ධතාව පුද්ගලයින්ගේ, ආයතන හෝ සංවිධානවල සාර්ථක පැවැත්ම කෙරෙහි අත්‍යවශ්‍ය වන සාධකයක් වන බව ප‍්‍රකාශ කළ හැකිය.

නව මාධ්‍ය බිහිවීම දක්වා සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය සහ විකාශනය

මානව පරිණාමයේ ආරම්භයේ සිටම සන්නිවේදනය ද ආරම්භ වූ බව සැලකිය හැකිය. මන්ද යත් මානව සමාජයීය විකාශනය කෙරෙහි සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනි. විශේෂයෙන්ම ප‍්‍රාථමික මානවයා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඔවුන්ට තම ජීවිතය පවත්වාගෙන යාම සඳහා මූලික අවශ්‍යතා ත‍්‍රිත්වයක් වැදගත් වූ බව පැවසිය හැකි අතර එම අවශ්‍යතා තෘප්ත කර ගැනීම සඳහා සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයක් වූ බව සඳහන් කළ හැකිය. එම මූලික අවශ්‍යතාවන් ලෙස ආහාර අවශ්‍යතාව, ආරක්ෂණ අවශ්‍යතාව සහ ලිංගික අවශ්‍යතාව දැක්විය හැකිවේ.

ප‍්‍රාථමික මානවයා සිය ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වනයට දඩයම් පිණිස යෑමේ දී ඔවුන්ට අභිමුඛ වන සිදුවීම් රාත‍්‍රියේ දී ගිනිමැලයක් වටා අනුකරණයෙන් ඉදිරිපත් කිරීමට පෙළඹීම මානව ඉතිහාසය තුළ සිදුවූ සන්නිවේදනයේ ආරම්භය ලෙස සැලකිය හැකිය. එහි දී ඔවුන් සතුන්ගේ ශබ්ද සහ හැසිරීම් රටාව අනුකරණය කිරීමට කටයුතු කිරීම තුළින් සන්නිවේදනයේ ප‍්‍රාථමික ස්වරූපය නිරූපණය කළ බව අවධානයට ලක්කළ හැකිය (ගමගේ, 1998).

ප‍්‍රාථමික මානවයා සතුන්ගේ ශබ්ද අනුකරණය කරමින් ගෙරවීම හා කෑගැසීම මඟින් විවිධ හැඟීම් ආදිය ප‍්‍රකාශ කිරීමට උත්සාහ දරා තිබේ. එනම් තරහව, සතුට, ක්‍රෝධය, බඩගින්න හා වේදනාව ආදිය ප‍්‍රකාශ කිරීම සඳහා විවිධ ඔවුන් ශබ්ද භාවිත කළ බව සඳහන් කළ හැකිය.

දැනට වසර ලක්ෂ දෙකකට පමණ පෙර කථාව හා භාෂාවක ලක්ෂණ මතුවීමත් සමඟ මානව සන්නිවේදනයේ විප්ලවයක් සිදුවිය. මෙම අදහස් හුවමාරු කර ගැනීමේ සංඥා හෝ සලකුණු වර්ධනය වීම ඇරඹෙන්නේ වසර 30,000 කට පෙර දී පමණ බව විශ්වාස කෙරේ. එසේම ලිවීමේ කලාව මානවයා දැනහඳුනා ගන්නේ වසර 7000 කට පමණ පෙරදීය (කටුගම්පොළ, 2012).

එහි දී මුල්ම මානවයා ශබ්ද මඟින් පමණක් සන්නිවේදනය කිරීම සඳහා කටයුතු කළ බව සැලකීම වඩා සාධාරණ වන අතර ක‍්‍රමක‍්‍රමයෙන් ඔවුන් ශාඛ කඳන් සහ ගල්ගුහා බිත්ති මත විවිධ සටහන් තැබීමට කටයුතු කිරීම මඟින් ලිඛිත සන්නිවේදනයේ මූලාරම්භය සිදුවූ බව විද්‍යාමාන වේ. මෙම සටහන් තැබීමේ ප‍්‍රාථමික ක‍්‍රමවේද පසුව ක‍්‍රමක‍්‍රමයෙන් අක්ෂර ලිවීමේ ක‍්‍රමවේදයක් දක්වා වර්ධනය වූ අතර එමඟින් නූතනයේ භාවිත වන දියුණු භාෂා සංවර්ධනය වීම සඳහා අවශ්‍ය පදනම සැකසුණු බව අධ්‍යයනය කළ හැකිවේ. විශේෂයෙන්ම සන්නිවේදන විකාශනය තුළ මානව භාෂාව විධිමත් සන්නිවේදන ක‍්‍රමවේදයක් ලෙස සංවර්ධනය වීම හා සාපේක්ෂව එයට පූර්වයේ සහ එයට සමකාලීනව මානව සමාජය තුළ සන්නිවේදන ක‍්‍රමවේද ගණනාවක් භාවිත වී ඇති බවට ඉතිහාසය විසින් සාක්ෂි දරයි.

කඩදාසි නිපදවීම එක්තරා දුරකට මානව සන්නිවේදන විකාශනයේ ප‍්‍රමුඛතම සොයාගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය. චීන ජාතික සායිලූන් ක‍්‍රි.ව. 105 දී කඩදාසි නිපදවීමට කටයුතු කළේය (Steinberg, 1961). එම සොයා ගැනීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය බිහිවීම සඳහා අවශ්‍ය පදනම සැකසුණු අතර එම මුද්‍රිත මාධ්‍ය අතර මානව සමාජය කෙරෙහි සුවිශාල බලපෑමක් සිදුකළ මාධ්‍යයක් වන පුවත්පතේ බිහිවීම ද සිදුවේ. පුවත්පත ඇතුළු මුද්‍රිත මාධ්‍ය බිහිවීම සඳහා කඩදාසිවලට අමතරව බලපාන ලද අනෙක් සාධකය වන්නේ මුද්‍රණ යන්ත‍්‍රයේ නිපදවීමය. ඒ අනුව සන්නිවේදන ක්ෂේත‍්‍රයට සුවිශාල බලපෑමක් ඇතිකරන ලද මුද්‍රණ යන්ත‍්‍රය නිපදවනු ලබන්නේ ක‍්‍රි.ව. 1440 දී පමණ ජර්මන් ජාතික ජොහාන් ගුටෙන්බර්ග් විසිනි.

පුවත්පතට පසුව මානව සමාජය අතික‍්‍රමණය කරනු ලබන මාධ්‍යය බවට පත්වන්නේ ගුවන්විදුලි මාධ්‍යයයි. ගුවන්විදුලිය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ගුග්ලිඑල්මෝ මාර්කෝනිටය. පොපෝප්ගේ සංඥා ග‍්‍රහණ ක‍්‍රමය සහ මෝර්ස් සංඥා ඇසුරු කර ගනිමින් මාර්කෝනි විසින් ගුවන්විදුලි යන්ත‍්‍රය නිපදවීමට කටයුතු කරනු ලබයි. මාර්කෝනිගේ මෙම සොයාගැනීම නාවික කටයුතු සඳහා ඉතා ප‍්‍රයෝජනවත් විය. විශේෂයෙන්ම 1912 – 1927 කාල සමයේ දී පෙරඅපර දෙදිග රටවල ගුවන්විදුලි මාධ්‍යයේ වර්ධනය වීමක් සිදුවිය (මහේන්ද්‍ර, 1997).

ගුවන්විදුලි මාධ්‍යයත් සමඟ දුරස්ථ ස්ථානයකට හඬ සන්නිවේදනය කිරීමට ලද තාක්ෂණික ශක්‍යතාව වඩාත් සංවර්ධිත තත්ත්වයකට රැගෙන එමින් රූපවාහිනී මාධ්‍යය නිපදවීමට ජෝන් ලොගී බෙයාර්ඞ් සමත්විය. රූප මාධ්‍යය කෙරෙහි පවත්නා ආකර්ෂණය හේතුවෙන් රූපවාහිනිය ඉතා ඉක්මනින් මානව සමාජය තුළ ජනප‍්‍රිය මාධ්‍යයක් බවට පත්වේ. ඒ අනුව 1920 වර්ෂයෙන් ඇරඹෙන දශකය තුළ රූපවාහිනිය ලොව ආරම්භ වෙයි.

නව මාධ්‍ය බිහිවීම සහ විකාශනය

රූපවාහිනියෙන් පසුව මානව සමාජය ආක‍්‍රමණය කරන මීළඟ සන්නිවේදන භාවිතය බවට පත්වන්නේ නව මාධ්‍යයි. නව මාධ්‍ය (New Media) ලෙස හඳුනාගත හැකි වන්නේ අන්තර්ජාලය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු සංඛ්‍යාංක (Digital) තාක්ෂණය පදනම් කර ගනිමින් බිහිවී ඇති සන්නිවේදන මාධ්‍ය ක‍්‍රමවේදයි. එය මානව සන්නිවේදන වංශයේ විප්ලවීය හැරවුම් ලක්ෂය බවට පත්වී ඇති අතර එතෙක් බිහිවූ සෑම ජනමාධ්‍යක්ම නව මාධ්‍ය තුළ සමෝධානය කළ හැකි වීම එහි සුවිශේෂතම ලක්ෂණය ලෙස පෙන්වා දිය හැකිය.

අන්තර්ජාලය නව මාධ්‍ය තුළ හඳුනාගත හැකි ප‍්‍රධානතම සහ වැදගත්ම සන්නිවේදන භාවිතයකි. අන්තර්ජාලයේ ආරම්භය 1960 දශකය දක්වා දිවයයි. එනම් මෙම අවධියේ දී ඇමරිකා එක්සත් ජනපදය විසින් තම යුද කටයුතු සඳහා පරිගණක තාක්ෂණය උපයෝගී කර ගැනීමට කටයුතු කරමින් සිටි අතර එම අවශ්‍යතාව අන්තර්ජාලය බිහිවීම සඳහා පදනම සකස් කරනු ලබයි. 1957 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Advanced Research Project Agency) පිහිටවූ අතර එමඟින් හමුදාමය කටයුතුවල දී අවශ්‍ය වන විද්‍යා හා තාක්ෂණික සහාය ඇමරිකා එක්සත් ජනපදයට ලබා දෙන ලදි. එම ඒජන්සිය මඟින් 1969 දී ARPANET ලෙස හඳුන්වනු ලැබූ ජාලය ස්ථාපිත කළ අතර එය අන්තර්ජාලයේ මව් ජාලය විය.

දුරස්ථව පිහිටි පරිගණක එකට යා කිරීම අන්තර්ජාලය ලෙස හැඳින්විය හැකි වුවත් පරිගණක ඔස්සේ අන්තර්ජාලයට ප‍්‍රවේශ වීම අතික‍්‍රමණය කරමින් ලෝකයට බිහිවූ ජංගම දුරකථන තාක්ෂණය සහ වර්තමානයේ දී එහි උත්කර්ෂය ලෙස පෙන්වා දිය හැකි සුහුරු (Smart) තාක්ෂණික ක‍්‍රමවේදය මඟින් පරිගණක සහ ජංගම දුරකතන පමණක් නොව රූපවාහිනිය හා ඇස් කණ්නාඩිය පවා අන්තර්ජාලය මඟින් සම්බන්ධිතව තිබේ.

අන්තර්ජාලය අනෙකුත් සියලූම සන්නිවේදන මාධ්‍යයන් සමෝධානය කළ මාධ්‍යයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එනම් අන්තර්ජාලය බිහිවිමට පෙර පුවත්පත, ගුවන්විදුලිය හා රූපවාහිනිය ආදී වූ මාධ්‍යයන් වෙන් වෙන් වශයෙන් ක‍්‍රියාත්මක වූ අතර ඒවායේ අතිච්ඡාදනයක් සිදුනොවී පැවතුණි. එහෙත් අන්තර්ජාල මාධ්‍යයේ ආගමනයත් සමඟ මෙම තත්ත්වය මුළුමනින්ම වෙනස් වූ අතර අනෙකුත් සෑම ජන සන්නිවේදන මාධ්‍යයකම සම්බන්ධීකාරකයා ලෙස වර්තමානයේදී අන්තර්ජාලය ක‍්‍රියාත්මක වීම දැකගත හැකිය. මෙම තත්ත්වය තෘතියික තොරතුරු යුගය ලෙස හඳුන්වා පෙන්වා දිය හැකිවේ.
මූලාශ්‍රය: සමාජ මාධ්‍ය සංස්කෘතිය (2016)

සමාජ මාධ්‍ය බිහිවීම සහ විකාශනය

අද්‍යතනය වන විට ලොව වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් දෛනිකව පිවිසෙන වඩාත් ජනප‍්‍රිය නව මාධ්‍ය සන්නිවේදන භාවිතයක් ලෙස සමාජ මාධ්‍ය වෙබ්අඩවි පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන පහසුකම් රාශියක් මෙම වෙබ්අඩවි තුළ අන්තර්ගත වීම මඟින් මෙම මාධ්‍ය විශේෂය අන්තර්ජාල පරිශීලකයින්ගේ ප‍්‍රබල ආකර්ෂණයට ලක්වූ භාවිතයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

Kalplan සහ Heanlein සමාජ මාධ්‍ය තුළ පවත්නා විවිධත්වය කොටස් 6 ක් යටතේ ප‍්‍රවර්ග ගත කරනු ලබයි.

  1. හවුල් ව්‍යාපෘති සහිත සමාජයීය මාධ්‍ය

මෙහි දී  ඕනෑම අයෙකුට ක්ෂේත‍්‍රයට දත්ත ඇතුළත් කිරීම සහ සංශෝධනය කිරීම සිදුකළ හැකිය.

නිද: Wikipedia

  1. Blogs සහ Micro Blogs මාධ්‍යය

මෙහි දී  ඕනෑම අයෙකුට නිර්මාණය වී ඇති Blog අයදුම්පතක් තමන්ට රිසි ලෙස නිර්මාණය කරමින් එය සමාජයීය ජාලයක් ලෙස භාවිත කළ හැකිය.

නිද: Twitter

  1. අන්තර්ගත කරුණු මත බිහි වූ සමාජයීය මාධ්‍ය (Content Communities)

මෙහි දී  ඕනෑම අයෙකුට කරුණු සහ දත්ත ඇතුළත් කිරීමට, ඒවා නැරඹීමට හා අදහස් ඉදිරිපත් කිරීමට හැකි අතර එම කරුණු මඟින් මෙවැනි සමාජයීය මාධ්‍යයන් ගොඩනැඟී තිබේ.

නිද: YouTube, Daily Motion

  1. සමාජයීය ජාල

මෙහි දී විවිධ සමාජ ඒකාබද්ධ කරනු ලබන පණිවිඩ හුවමාරු කරන මාධ්‍යයන් ලෙස මෙම ජාල පෙන්වා දිය හැකිය.

නිද: Facebook, LinkedIn

  1. පරිගණක ක‍්‍රීඩා සහිත සමාජයීය මාධ්‍ය (Virtual Game World)

ජාලවල විනෝද ක‍්‍රීඩා සඳහා ඒකරාශි වන පුද්ගලයන්ගෙන් බිහි වී මෙම සමාජයීය මාධ්‍ය නිර්මාණය වී තිබේ.

නිද: World of War Craft

  1. ලෝක පරිගණක සමාජය (Virtual Social World&

විවිධ සමාජයීය මාධ්‍ය ප‍්‍රවර්ග සංකලනය වී මෙම සමාජය ගොඩනැංවී තිබේ.

ඒ අනුව සැලකීමේ දී විවිධ ව්‍යාපාරික අරමුණු, විනෝදාස්වාදය, අධ්‍යාපනික අරමුණු හා මානුෂීය හැඟීම් වැනි සාධක මත පදනම්ව සමාජ මාධ්‍ය වෙබ්අඩවි ක‍්‍රියාත්මක වෙමින් පවත්නා බව ප‍්‍රකට වේ.

සමාජ මාධ්‍ය වෙබ්අඩවි බිහිවීම අන්තර්ජාලය ලෝකය පුරා ජනප‍්‍රිය වීමත් සමඟ සිදුවූ බව ප‍්‍රකාශ කළ හැකිවේ. ඒ අනුව ලොව බිහිවූ මුල්ම සමාජ මාධ්‍ය සේවය ලෙස SixDegrees.com වෙබ්අඩවිය පෙන්වා දිය හැකිය. එය 1997 වර්ෂයේ දී ආරම්භ වූ අතර එහි නිර්මාතෘවරයා වන්නේ Andrew Weinreich ය. එසේම මුල් කාලයේ ප‍්‍රකට වූ සමාජ මාධ්‍ය සේවා කිහිපයක් ලෙස Geocities, Classmates වැනි සේවා පෙන්වා දිය හැකිය. වර්තමානයේදී වඩාත් ජනප‍්‍රිය සමාජ මාධ්‍ය සේවා ලෙස Facebook, Twitter,  YouTube, LinkdIn වැනි සේවා පෙන්වාදිය හැකිය. ඊට අමතරව බ්ලොග් අඩවි ද අන්තර්ජාලය තුළ අද්‍යතනයේ වඩාත් ප‍්‍රමුඛතම සන්නිවේදන භාවිතයක් ලෙස කැපී පෙනේ.

සමාජ මාධ්‍ය සේවා දහස් ගණනක් අන්තර්ජාලය තුළ සොයාගත හැකි වුව ද අද්‍යතනය වන විට මූලික වශයෙන්ම එසේ සමාජ ජාල සේවා කිහිපයක් අන්තර්ජාල පරිශීලකයින් අතර ප‍්‍රචලිත වීම සඳහා බලපා ඇති හේතුවක් වන්නේ එම සේවා ඔවුන්ගේ මිතුරු මිතුරියන් ද වැඩි වශයෙන්  භාවිත කිරීමට පෙළඹී ඇති නිසාය. තව ද පහසුවෙන් භාවිත කළ හැකිවීම හා ජංගම දුරකථනය ඔස්සේ පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකිවීම වැනි හේතු නිසා ද අන්තර්ජාල පරිශීලකයින්ගෙන් බහුතරයකගේ ප‍්‍රමුඛ ආකර්ෂණය සමාජ මාධ්‍ය සේවා කිහිපයක් වෙත යොමු වී ඇත. ඒ අනුව පරිශීලකයින් විශාල ප‍්‍රමාණයක් යොමුවී සිටින සමාජ මාධ්‍ය සේවා කිහිපයක් පහත අයුරින් පෙළගැස්විය හැකිය.

  1. Facebook – පරිශීලකයින් ප‍්‍රමාණය: මිලියන 1650 (https://newsroom.fb.com)
  2. Twitter – පරිශීලකයින් ප‍්‍රමාණය: මිලියන 310 (https://about.twitter.com)
  3. Google plus – පරිශීලකයින් ප‍්‍රමාණය: මිලියන 111 (http://www.forbes.com)
  4. You Tube – පරිශීලකයින් ප‍්‍රමාණය: මිලියන 1300 (http://fortunelords.com)
  5. Linked In – පරිශීලකයින් ප‍්‍රමාණය: මිලියන 106 (https://press.linkedin.com)

Facebook

ලොව ප‍්‍රමුඛතම සමාජ ජාල සේවය ලෙස Facebook පෙන්වා දිය හැකිය. මිලියන 1600 ඉක්මවූ පරිශීලකයින් ප‍්‍රමාණයක් වර්තමානයේ දී මෙම සේවය භාවිත කරමින් සිටියි. විශේෂයෙන්ම අන්තර්ජාලයේ වෙබ්අඩවි දර්ශක ගණනාවක Facebook වෙබ්අඩවිය ප‍්‍රමුඛස්ථානයේ පසුවේ. SimilarWeb වෙබ්අඩවියට අනුව ලෝකයේ පළමු ස්ථානයේ ද Alexa, Ranking.com හා  QuantCast වෙබ්අඩවිවලට අනුව Facebook වෙබ්අඩවිය ලෝකයේ 3 වන ස්ථානයේ ද පසුවේ. Facebook වෙබ්අඩවිය ආරම්භ කළ මුල් පැය 4 ඇතුළත පුද්ගලයින් 450 ක් පමණ එයට සම්බන්ධ වූ බව වාර්තා වේ.

Facebook වෙබ්අඩවිය ආරම්භ කරන ලද්දේ 2004 වර්ෂයේදීය. මෙම වෙබ්අඩවියේ නිර්මාතෘවරයා වන්නේ මාක් සකර්බර්ග්ය. වර්තමානයේ මෙහි ප‍්‍රධානීන් ලෙස මාක් සකර්බර්ග් හා ෂෙරිල් සෑන්ඞ්බර්ග් කටයුතු කරනු ලබයි.

Facebook සමාජ මාධ්‍ය සේවය මඟින් මිතුරු මිතුරියන් සමඟ සංවාද පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ගණනාවක් ලබා දී තිබේ. ඒ අනුව සාමාන්‍ය වාචික සංවාද ක‍්‍රමවේදයට අමතරව වීඩියෝ සංවාද පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ීනහචැ ආයතනය සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව ලබා දී තිබේ.

වර්තමානය වන විට Facebook සමඟ සම්බන්ධ වී සිටින පරිශීලකයින් ප‍්‍රමාණය මිලියන 1600 ඉක්මවා තිබේ. එහෙත් Facebook තුළ පවත්වාගෙන යනු ලබන ගිණුම් ප‍්‍රමාණය අතරින් 8.7% ක් තුළ සත්‍ය නොපවසන එම ආයතනය පවසයි. එය ආකාර කිහිපයකින් සිදුවේ.

  • තමන්ගේ ප‍්‍රධාන ගිණුමට අමතරව වෙනත් ගිණුම් පවත්වාගෙන යාම.
  • සමාජ සේවාව, විනෝදය සඳහා ගිණුම් පවත්වාගෙන යාම.
  • Spam හෝ එවැනි වෙනත් අරමුණු සහිතව ගිණුම් පවත්වාගෙන යාම.

කෙසේ වුවත් මෙසේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ගිණුම් Facebook ආයතනයේ ආදායම කෙරෙහි සෘජුව බලපෑම් කරයි. මන්ද යත්  මෙම වෙබ්අඩවිය සිය ආදායම් උපයන ප‍්‍රධානම ක‍්‍රමවේදය වන්නේ දැන්වීමේ අන්තර්ගතය අනුව තෝරාගත් පරිශීලකයින් ඉලක්ක කර වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම වන බැවිනි. එය Tagged Advertising ලෙස හදුන්වනු ලබයි.

Facebook සේවාව ආරම්භ වීමට පෙර අන්තර්ජාල පරිශීලකයින් බොහෝ පිරිසක් අතර ප‍්‍රචලිතව පැවති සමාජ මාධ්‍ය සේවය MySpace වූ අතර Facebook සේවාවේ ආගමනයත් සමඟ එම ජනප‍්‍රියතාව Facebook වෙත හිමිවූ බව අධ්‍යයනයට ලක්කළ හැකිවේ.

Twitter

2006 වර්ෂයේ දී ආරම්භ වන මෙම සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හඳුන්වනු ලැබේ. එසේම Micro Blog සේවයක් ලෙස ද මෙම සේවාව හඳුනාගැනේ. මෙම සේවය මඟින් එක් පරිශීලකයෙකු ප‍්‍රකාශයට පත් කරනු ලබන කෙටි පණිවිඩ වෙනත් පරිශීලකයින්ට කියවීමට අවස්ථාව ලැබේ. මෙහි දී දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ එසේ ප‍්‍රකාශයට පත්කළ හැකි එක් පණිවිඩයක අන්තර්ගත විය හැකි උපරිම අක්ෂර ප‍්‍රමාණය  140 කට සීමා වීමයි. කෙසේ වුවත් මෙම සමාජ මාධ්‍ය සේවය බිහිවීමෙන් පසුව මෙය ලෝකය පුරා ජනප‍්‍රිය වන අතර සාමාන්‍ය පුද්ගලයින්ගේ සිට දේශපාලනඥයන්, නළුනිළියන් සහ ක‍්‍රීඩකයින් ඇතුළු සමාජයේ ප‍්‍රභූ පුද්ගලයින් පවා මෙම සේවය සමඟ සම්බන්ධ වී තම අදහස් සමාජය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබයි.

Google Plus (දැනට භාවිතයේ නොමැත)

බොහෝ සමාජ මාධ්‍ය සේවා මඟින් සපයනු ලබන සේවා ඒකරාශි වූ සමාජ මාධ්‍ය සේවයක් ලෙස මෙය හඳුනාගැනිණි. විශේෂයෙන්ම මෙම සමාජ මාධ්‍ය සේවය Google ආයතනයේ Gmail වැනි වෙනත් සේවා සමඟ සම්බන්ධ වී ක‍්‍රියාත්මක වන නිසා මෙම සේවය සඳහා විශාල ග‍්‍රාහකයින් ප‍්‍රමාණයකගේ ආකර්ෂණය හිමිවිය. මෙම සේවය ආරම්භ කළ 2011 ජූනි 28 වෙනි දින සිට ගතවූ මාස 6 ක කාලය තුළ මෙම සේවය වෙත ප‍්‍රවේශ වූ පරිශීලකයින් ප‍්‍රමාණය මිලියන 62 ක් වන බව පැවසේ. එනම් ලොව ප‍්‍රමුඛතම සමාජ මාධ්‍ය සේවා වන  Facebook සහ Twitter සේවාවලට පසුව Google Plus සේවය පරිශීලකයින් අතර වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව වූ බව දක්නට ලැබේ. මෙම සේවය තුළ අධ්‍යයනය කළ හැකි සුවිශේෂී පහසුකමක් වන්නේ මිතුරුමිතුරියන් විවිධ මාතෘකා යටතේ කාණ්ඩ ගත කර ගැනීමට හැකියාව ලැබීමයි. එම පහසුකම Plus Circle ලෙස හැඳින්වූ අතර එමඟින් විවිධ මාතෘකාවලට අදාළව මිතුරු මිතුරියන් සමඟ සංවාද ගොඩනඟා ගැනීමට හැකියාව ලැබුණි. කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය සේවය 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට නතර කර දමනු ලැබීය.

YouTube

මෙය වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. 2005 දී ආරම්භ වූ මෙම සේවය මඟින් ඉතා පහසුවෙන් වීඩියෝ උඩුගත (Upload) කිරීම සහ ඒවා මාර්ගගතව හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දෙයි. එසේම අන්තර්ජාලය තුළ සජීවී විකාශ පැවැත්වීම සඳහා ද මෙමඟින් අවස්ථාව ලබා දී තිබේ. වර්තමානය වන විට සෑම රූපවාහීනී නාලිකාවක්ම පාහේ සිය විකාශනය YouTube තුළ පවත්වාගෙන යෑම සිදුවේ. විශේෂයෙන්ම ගීත රූප රචනා, චිත‍්‍රපට ඇතුළු වීඩියෝ දර්ශන YouTube  ජාලය තුළ ප‍්‍රචාරය කිරීමට විනෝදාත්මක කර්මාන්තයේ නියැලී සිටින ලොව ප‍්‍රමුඛතම ආයතන සහ සංගීත නිර්මාණකරුවෝ, ගායකගායිකාවෝ සහ නළුනිළියෝ කටයුතු කරති.

Blogs

නව මාධ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී සාකච්ඡාවට බඳුන් කළ හැකි තවත් ප‍්‍රමුඛ සන්නිවේදන ක‍්‍රමවේදයක් වන්නේ බ්ලොග් අඩවි භාවිතයයි. Web හා Log නැමති වචන ද්විත්වයේ සංකලනයෙන් නිර්මාණය වී ඇති ඊකදට යන වචනයේ අර්ථය වන්නේ අන්තර්ජාලයේ දිනපොත් ලිවිම යන්නයි. මෙම ක‍්‍රමය ද වෙබ්අඩවි ක‍්‍රමයක්ම වුවත් වෙබ්අඩවියක් පවත්වාගෙන යාමේ දී ඇති සීමා හා ශක්‍යතාවලට වඩා මෙම ක‍්‍රමවේදය තුළ හිමිවන නිදහස උපරිම වේ. ඒ අනුව මෙම ක‍්‍රමවේදය යටතේ අන්තර්ජාලය භාවිත කරන  ඕනෑම අයෙකුට නිදහස්ව සිය අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ඉතා පහසුවෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යා හැකිය.

බ්ලොග් යනු භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස අන්තර්ජාලය ඔස්සේ සවිබල ගැන්වුණ ප‍්‍රධානම අවස්ථාවයි. මන්ද යත් පොතක්, පුවත්පතක් මඟින් ප‍්‍රකාශයට පත්කළ නොහැකි හෝ නීතිමය හෝ වෙනත් කවර හෝ ආකාරයකට සිමා කිරීමකට ලක් කිරීමට උත්සහ කරන  ඕනෑම අදහසක් බ්ලොග් ක‍්‍රමවේදය හරහා ඉතා පහසුවෙන් සමාජගත කළ හැකිය. එසේම අද්‍යතනය වන විට මෙම බ්ලොග් අඩවි වෙත විශාල පිරිසක් ආකර්ෂණය වී සිටින අතර සයිබර් සංස්කෘතියේ තවත් උපසංස්කෘතියක් ලෙස බ්ලොග් සංස්කෘතිය (Blog Culture) අද වන විට සංකල්පීකරණය කළ හැකිවේ.

මෙම බ්ලොග් අඩවි භාවිතය ද සන්නිවේදනයේ සීමා පුළුල් වීම සඳහා අන්තර්ජාලය තුළ අවකාශය විවර වී ඇති අවස්ථාවකි. මෙහි දී බ්ලොග් අඩවියකට අප යොමු කරන අදහසකට අදාළව එය පාඨනය කරන පාඨකයින්ට සිය මතවාද හා අදහස් (Comments) දැක්විය හැකිය. ඒවා ඔස්සේ සංවාද ප‍්‍රතිසංවාද ආදිය ගොඩනැංවිය හැකි අතර එය තථ්‍යාසන්න සමාජය (Virtual Society) තුළ සන්නිවේදන න්‍යායන්  ප‍්‍රයෝගිකව භාවිතයට යොමුවන වැදගත්ම අවස්ථාවක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

තව ද බ්ලොග් අඩවි ඔස්සේ ඉදිරිපත් වන අදහස්, මතවාද හා සංවාද Facebook වැනි ලොව ප‍්‍රමුඛ ගණයේ සමාජ මාධ්‍ය සේවා ඔස්සේ මිතුරන් අතර හුවමාරු කර ගැනීමට ද අවස්ථාව සලසා තිබේ. ඒ ඔස්සේ තථ්‍ය සමාජයේ (Real Society) අවධානය ලබා ගත හැකි වනවා මෙන්ම සමාජය තුළ විකල්ප බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ද එම අදහස්, මතවාද හා සංවාදය භාවිතයට ගැනීමට හැකිවේ.

වර්තමානයේදී නොමිලේ බ්ලොග් අඩවි පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සපයන ප‍්‍රධානතම වෙබ්අඩවිය ලෙස Alphabet ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන Blogger (www.blogger.com) බ්ලොග් අවඩි සේවය පෙන්වා දිය හැකිය. ඊට අමතරව WordPress (www.wordpress.com) නම් බ්ලොග් අඩවි සේවය ද ලොව ජනප‍්‍රියතම බ්ලොග් අඩවි සඳහා සේවා සපයන්නෙකු ලෙස ක‍්‍රියාත්මක වේ.

E-mail

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයට පැමිණීමට පෙර විද්‍යුත් තැපෑල අන්තර්ජාලය තුළ සන්නිවේදන කටයුතු සඳහා භාවිත වූ ප‍්‍රමුඛ සන්නිවේදන විධික‍්‍රමයයි. විද්‍යුත් තැපැල් (E-mail) සේවා යනු අන්තර්ජාලය ඔස්සේ පුද්ගල සබඳතා පැවැත්විය හැකි ප‍්‍රධානම ක‍්‍රමවේදයයි. එනම් පුද්ගලයින් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අන්තර්ජාලය තුළ මෙම තාක්ෂණික ක‍්‍රමවේදය භාවිතයට ගනියි. මෙය WordPress (http://www.wordpress.com) නැමති තාක්ෂණික සම්මුතිය මඟින් පාලනය වේ. ඒ අනුව විද්‍යුත් තැපැල් ක‍්‍රමවේදය තථ්‍ය ලෝකය හා ගනුදෙනු කළ හැකි තථ්‍යාසන්න ලෝකයේ  ප‍්‍රධානම මෙවලමක් ලෙස ද හඳුනාගැනීම සාවද්‍ය නොවේ.

මෙහි දී සිදුවන්නේ අන්තර්පුද්ගල සහ සමූහ සන්නිවේදන මෙවලමක් ලෙස විද්‍යුත් තැපෑල භාවිතයයි. එනම් මෙම ක‍්‍රමවේදය ඔස්සේ අන්තර්ජාලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් සමූහයක් වෙත වචන, රූප, ශබ්ද හා වීඩියෝ දර්ශන යනාදී වූ  ඕනෑම බහුමාධ්‍ය මාදිලියේ පණිවිඩයක් සන්නිවේදනය කළ හැකිය. සාමාන්‍ය ක‍්‍රමයට ලිපි යවනවාක් මෙන් යවන්නාට සහ ලබන්නාට වෙනස් ලිපින භාවිත වන අතර එම ලිපින යනු එක් පුද්ගලයෙකුගේ හෝ එක් ආයතනයක අනන්‍යතාවයේ සංකේතයකි. එබැවින් එක් විද්‍යුත් ලිපිනයකට හිමිකම් කිව හැක්කේ එක් පුද්ගලයෙකුට හෝ එක් ආයතනයකට පමණක් වන අතර ඒ ඔස්සේ අන්තර්ජාලය තුළ එම පුද්ගලයාගේ හෝ එම ආයතනයේ සමස්ත හැසිරීම කළමනාකරණය කරනු ලබයි.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත කළ හැකි විද්‍යුත් තැපැල් සන්නිවේදනය අද්‍යතනයේ පවතින අධිවේගීම සන්නිවේදන ක‍්‍රමවේදයක් ලෙස හඳුනාගත හැකිය. මෙහි දී ඉතා ක්ෂණිකව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ප‍්‍රවේශ වීම සිදුවේ. එමෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි ලෝකයේ  ඕනෑම ස්ථානයකින් තමාගේ විද්‍යුත් ලිපි වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව ද මෙමඟින් ලැබී තිබේ. එබැවින් මෙය සන්නිවේදන තාක්ෂණයේ පෙරළියක් සේම අද්‍යතන මානව සමාජය විශ්ව ගම්මානය වෙත ප‍්‍රවේශ කිරීමේ දී භාවිත වන මූලිකම උපක‍්‍රමයක් ලෙස ද අර්ථ දැක්විය හැකිය.

වර්තමානය තුළ අන්තර්ජාලය භාවිතයේ දී ඉතා ප‍්‍රචලිතව භාවිත වන මෙම විද්‍යුත් තැපෑල භාවිත ක‍්‍රමවේදය අනුව ද්විත්වරූපී වේ. එනම්,

  1. විද්‍යුත් ලිපි සේවාව සපයන වෙබ්අඩවියකට ප‍්‍රවේශ වී මෙම සේවාව භාවිත කිරිම.
  2. පරිගණකයකට හෝ ජංගම දුරකථනයට ස්ථාපනය කර ගනු ලබන මෘදුකාංගයක් මඟින් විද්‍යුත් ලිපි සේවාව භාවිත කිරීම.

මෙම ක‍්‍රම ද්වය අතරින් මෙහි පළමු ක‍්‍රමවේදය අන්තර්ජාලය හරහා විද්‍යුත් ලිපි සේවාව භාවිත කිරීමේ ජනප‍්‍රියතම ක‍්‍රමවේදය වේ. මෙම සේවාව සපයන ලොව ජනප‍්‍රියතම සේවාවන් ලෙස Yahoo ආයතනයේ Yahoo Mail සේවාව හා Microsoft ආයතනයේ Hotmail සේවාව ආදී සේවාවන් පෙන්වා දිය හැකිය. මෙහි දී අදාළ සේවාව සපයන වෙබ් අඩවියට ලොව  ඕනෑම ස්ථානයකින් ප‍්‍රවේශ වී තම පරිශීලක නාමය (Username) හා මුරපදය (Password) ලබා දී විද්‍යුත් තැපැල් සේවාවේ පහසුකම් අත්විඳිය හැකිය.

එමෙන්ම විද්‍යුත් ලිපි භාවිතයේ දී අද්‍යතනයේ දක්නට ඇති නව ප‍්‍රවණතාව වන්නේ අදාළ විද්‍යුත් ලිපි සේවාව මඟින් සපයන ජංගම යෙදුම් මෘදුකාංගය (Mobile Applications) ජංගම දුරකතනයට හෝ ටැබ් මාදිලියේ පරිගණකයට ස්ථාපනය කොට ගෙන ඒ ඔස්සේ වෙබ්අඩවිය වෙත ප‍්‍රවේශ නොවී විද්‍යුත් තැපැල් සේවාව භාවිත කළ හැකිවීමයි. එහිදී ඉතා පහසුවෙන් තමා භාවිත කරන විද්‍යුත් තැපැල් සේවාවේ පහසුකම් අත්විඳිය හැකි අතර මුරපදය හා පරිශීලක නාමය එම මෘදුකාංගයේ තැන්පත් කොට තබා භාවිත කළ හැකිවීම මෙහි ඇති සුවිශේෂතම ලක්ෂණයයි. එනම් නිරන්තරයෙන් වෙබ්අඩවියට ප‍්‍රවේශ වී තම පරිශීලක නාමය හා මුරපදය ලබාදීමේ දී ගතවන කාලය වැයවීම හා මුරපදය වෙනත් පුද්ගලයන් අතට පත්වීමේ අවදානම මෙම ක‍්‍රමවේදය ඔස්සේ වළකාගත හැකිය.

ඒ අනුව නව මාධ්‍ය පිළිබඳ ඉහත ආකාරයට සාකච්ඡා කළ හැකිය. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ එහි විවිධ භාවිතයන් මගින් සන්නිවේදන ක්ෂේත‍්‍රය තුළ පෙරළියක් ඇති වී ඇති අතර මහජන සම්බන්ධතාව ඇතුළු බොහෝ ක්ෂේත‍්‍ර එහි බලපෑමට ලක්වී ඇති බව ද ප‍්‍රකාශ කළ යුතුය.

නව මාධ්‍ය සහ මහජන සම්බන්ධතාව

නව මාධ්‍ය මඟින් අන්තර්ජාලය ඔස්සේ ගොඩනංවා ඇති තථ්‍යාසන්න සමාජ අවකාශය (Virtual Society) තුළ මහජන සම්බන්ධතාව සඳහා සුවිශේෂී අවස්ථා රැසක් නිර්මාණය වී ඇත. තොරතුරු රැස් කිරීම, මහජන මතය නිරීක්ෂණය කිරීම, මහජනයා සමඟ සෘජු සංවාදවල නියැලීමට අවස්ථාව සැලසීම ඒ අතරින් ප‍්‍රධාන වේ. එසේම විවිධ ආයතනවලට සමාජ මාධ්‍ය තුළින් මහජනතාව සොයන්නේ සිය කුමන නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් දැයි දැන ගැනීමට ද එමඟින් අවකාශය උදාවේ. නව මාධ්‍ය මහජන සම්බන්ධතා සඳහා යොදා ගැනීම තුළින් ආයතනවල කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද හැකිවන අතර එම කාර්යයන් වඩා වේගවත්ව සිදුකිරීමට හැකියාව ලැබීම තුළින් වියදම් අවම කර ගැනීමට ද අවස්ථාව සැලසේ.

ආයතනයක් සිය ප‍්‍රතිරූපය තවදුරටත් ගොඩනැංවීම සඳහා සිදුකරන ප‍්‍රචාරණ ව්‍යාපෘතියක් නව මාධ්‍ය භාවිතයෙන් වඩාත් පහසුවෙන් සාර්ථකව සිදුකළ හැකිය. එහිදී වෙබ්අඩවි ඒ සඳහා වඩාත් පහසුවෙන් හා ඵලදායීව උපයෝගී කර ගැනීමට හැකිවේ. ආයතනවලට සිය ප‍්‍රවර්ධන කටයුතු සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන් පවත්වන විවිධ තරඟ සහ දිනුම් ඇදීම් පිළිබඳ නව මාධ්‍ය තුළින් එනම් YouTube වැනි වෙබ්අඩවි මඟින් දැනුවත් කිරීමට අවස්ථාව ලැබී ඇත. එසේම නව මාධ්‍ය භාවිතයෙන් විවිධ තරඟ සංවිධානය කිරීම, ඒවා පිළිබඳ ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීමට ද හැකිය.

තව ද නව මාධ්‍ය තුළ මහජන සම්බන්ධතාව සඳහා යොදාගත හැකි ඵලදායී ක‍්‍රමවේද ලෙස විද්‍යුත් තැපෑල, ආයතනික හෝ සංවිධානවල වෙබ්අඩවි මෙන්ම බ්ලොග් අඩවි ද පෙන්වා දිය හැකිය.

ඒ අනුව නව මාධ්‍ය තුළ විද්‍යුත් තැපැල් ක‍්‍රමවේදය ඔස්සේ ගොඩනැෙඟන මහජන සම්බන්ධතාව පිළිබඳව මෙසේ අවධානය යොමුකළ හැකිය. එය පහත ආකාරයට සටහනකින් නිරුපණය කළ හැකිය.

මූලාශ්‍රය: සමාජ මාධ්‍ය සංස්කෘතිය (2016)

ආයතනයකට හෝ පුද්ගලයෙකුට මහජන සම්බන්ධතාව වර්ධනය කර ගැනීම සඳහා විද්‍යුත් තැපෑල ඉතා සාර්ථක ක‍්‍රමවේදයකි. එමඟින් ඉතා පහසුවෙන් ආයතනික නිවේදන දැනුම්දීම් ආදිය පාරිභෝගිකයින්ට ලබාදිය හැකිය. විශේෂයෙන්ම නව නිෂ්පාදන පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට මෙන්ම ඒවා සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබා ගැනීම විද්‍යුත් තැපෑල ඔස්සේ පහසුවෙන් සිදුකළ හැකිය. එමඟින් වඩාත් කාර්යක්ෂමව දෙපාර්ශවය අතර සම්බන්ධතාවක් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. ආයතනික වශයෙන් ද විද්‍යුත් තැපෑල භාවිතය අවම වියදමක් වැයවෙන ක‍්‍රමවේදයක් වීම ද මෙම ක‍්‍රමයේ දැකිය හැකි තවත් එක් වාසිදායක තත්ත්වයකි. එසේම දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයින්ට ද විද්‍යුත් තැපෑල මඟින් ආමන්ත‍්‍රණය කළ හැකිය. එමඟින් දේශ සීමා අභිබවා මහජන සම්බන්ධතා ගොඩනැඟීමටත් ඒවා ප‍්‍රවර්ධනය කිරීමටත් අවස්ථාව ලැබී ඇත.

බහුමාධ්‍ය භාවිතයෙන් වඩාත් ඵලදායීව මහජන සම්බන්ධතා පැවැත්වීමට ද විද්‍යුත් තැපෑල භාවිතයට ගත හැකිය. එනම් සාම්ප‍්‍රදායිකව යමක් ලේඛන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස් වීඩියෝ, ඡායාරූප, හඬපට ආදිය විද්‍යුත් තැපෑල තුළ භාවිත කරමින් මහජන සම්බන්ධතා කටයුතු සඳහා භාවිත කළ හැකිය. එය වඩාත් සාර්ථක ක‍්‍රමවේදයක් වන අතර එක් භාෂාවකට හෝ භාෂා කිහිපයකට සීමා වී පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් ඔබ්බට ගොස් රූප ඇසුරෙන් අදහසක් සන්නිවේදනය කිරීම මඟින් අදහස් සමූහයක් නිර්මාණාත්මකව පුද්ගලයින් රැසකට ග‍්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කළ හැකිය. මහජන සම්බන්ධතාව සඳහා එය අත්‍යවශ්‍ය සාධකයකි. YouTube වෙබ්අඩවිය ඊට පහසුකම් සපයන ප‍්‍රමුඛතම වෙබ්අඩවියකි.

ජනමාධ්‍ය ආයතන සමඟ වඩා ඵලදායී මහජන සම්බන්ධතාවක් පවත්වාගෙන යාම සඳහා ද විද්‍යුත් තැපෑල ඉතා සාර්ථක මෙන්ම ඵලදායී භාවිතයකි. එනම් වර්තමානයේදී ජනමාධ්‍ය සමඟ සම්බන්ධතා පැවැත්වීමට විද්‍යුත් තැපෑල අත්‍යවශ්‍ය භාවිතයක් බවට පත්ව ඇත. නිදසුන් ලෙස මාධ්‍ය නිවේදන ජනමාධ්‍ය ආයතන සඳහා යොමුකිරීම සහ මාධ්‍ය සාකච්ඡා පිළිබඳ දැනුවත් කිරීම ආදිය විද්‍යුත් තැපෑල මඟින් සිදුකිරීම පෙන්වා දිය හැකිය. ඒ ඔස්සේ ජනමාධ්‍ය ආයතන සමඟත් එමඟින් මහජනතාව සමඟත් වඩා සාර්ථක මහජන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබේ.

නව මාධ්‍ය තුළ ප‍්‍රමුඛතම සන්නිවේදන භාවිතයක් වන සමාජ මාධ්‍ය සේවා තුළ අන්තර්ගත වන පහසුකම් ආකාර ගණනාවක් ඔස්සේ මහජන සම්බන්ධතා කටයුතු සඳහා භාවිතයට ගත හැකිය. ඒ අනුව ඒවායේ ප‍්‍රාථමිකම භාවිතය වන්නේ පරිශීලකයින් අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට (Messaging) අවකාශය සැලසීමයි. එහිදී සමාජ මාධ්‍ය සේවා මඟින් ආයතනයකට සිය පාරිභෝගිකයින් සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් මහජන සම්බන්ධතාව වඩාත් ඵලදායීව ප‍්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් නිදසුන් ඇසුරෙන් මෙසේ අවධානය යොමු කළ හැකිය. එනම් විවිධ සේවා හෝ භාණ්ඩ පාරිභෝගිකයින්ට සපයන සමාගමකට සමාජ මාධ්‍ය ඔස්සේ එම භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප‍්‍රතිපෝෂණ ලබා ගත හැකිය. ඒ අනුව එම ප‍්‍රතිපෝෂණවලට අදාළව භාණ්ඩවල හෝ සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කළ හැකිය. විශේෂයෙන්ම ඉතා පහසුවෙන් සමාජ මාධ්‍ය මඟින් පණිවිඩ හුවමාරු කර ගැනීමට හැකිවීමේ ක‍්‍රමවේදය තුළ මහජන සම්බන්ධතා කටයුතු වඩා වේගවත්ව සහ කාර්යක්ෂමව සිදුකිරීමට අවස්ථාව ලැබේ. ඒ ඔස්සේ අන්තර්ක‍්‍රියාකාරීව මහජන සම්බන්ධතා පවත්වා ගැනීමට හැකියාව උදාවේ.

සමාජ මාධ්‍ය සේවා වෙබ් අඩවිවල ජනප‍්‍රියම භාවිතයක් ලෙස මාර්ගගත සංවාද (Online Chatting) පහසුකම පෙන්වා දිය හැකිය. එහි දී පුද්ගලයින් සමඟ මාර්ගගතව සංවාදයේ යෙදීමට අවකාශය සැලසෙන අතර ඒ ඔස්සේ වඩාත් සක‍්‍රියව අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට අවස්ථාව උදාවේ. එනම් නිදසුනක් ලෙස යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් අදාළ ආයතනයේ නියෝජිතයෙකු සමඟ මාර්ගගතව සම්බන්ධ වී තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. භාණ්ඩයේ තාක්ෂණික දෝෂ සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට මෙන්ම භාණ්ඩය සම්බන්ධ වෙනත් තොරතුරු ද ඒ ඔස්සේ පාරිභෝගිකයින්ට ලබා දෙමින් භාණ්ඩය අලෙවියෙන් පසුවත් පාරිභෝගිකයා සමඟ ඵලදායී මහජන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට අවස්ථාව උදාවේ.

සමාජ මාධ්‍ය තුළින් මාර්ගගත සංවාද පැවැත්වීම මෙන්ම ආයතනික සහ සංවිධානවල වෙබ්අඩවි මඟින්ද ආයතනයේ හෝ සංවිධානයේ නියෝජිතයෙකු ඉතා පහසුවෙන් ආමන්ත‍්‍රණය කිරීමට අවස්ථාව ලබා දී තිබීම මහජන සම්බන්ධතාව වර්ධනය කරගැනීම සඳහා වර්තමානයේ බහුලව භාවිතා වන ඉතා සාර්ථක ක‍්‍රමයකි. එමඟින් ආයතනයේ නියෝජිතයෙක් නිරන්තරයෙන් ආයතනික වෙබ්අඩවිය ඔස්සේ මාර්ගගතව සම්බන්ධ වී සිටින අතර මුල්වරට වෙබ්අඩවියට පිවිසෙන පුද්ගලයින්ට මෙන්ම ආදාළ ආයතනයෙන් හෝ සංවිධානයෙන් කිසියම් සේවාවක් ලබා ඇති පුද්ගලයින්ට ද ඊට අදාළව තොරතුරු ලබාදීමට මෙම ක‍්‍රමවේදය සාර්ථකව භාවිතයට ගත හැකිය. විශේෂයෙන්ම ආයතනික ප‍්‍රතිරූපය ඉහළ නංවාගැනීමටත් ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගිකයා තුළ ඉහළ විශ්වාසයක් ගොඩනැංවීමත් මෙමඟින් කටයුතු කළ හැකිය.

අද්‍යතනයේ සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවිවල දැකිය හැකි වඩාත් ප‍්‍රචලිත අංගයක් වනුයේ ප‍්‍රතිරූප ප‍්‍රවර්ධනය සඳහා එම වෙබ්අඩවි සාර්ථකව භාවිත කළ හැකිවීමයි. ඒ සඳහා ප‍්‍රවර්ධන පිටු (Pages) නිර්මාණය කළ හැකි අතර ඒවාට ග‍්‍රාහක ප‍්‍රතිචාර ලබා ගැනීම ඔස්සේ ඒවායේ ජනප‍්‍රියතාව ඉහළ නැංවිය හැකිය. විශේෂයන්ම දේශපාලනඥයින්, නළුනිළියන්, ගායකගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල පුද්ගලයින් අද්‍යතනය වන විට මෙම සමාජ ජාල ක‍්‍රමවේදය ඔස්සේ සිය ජනප‍්‍රියතාව වැඩි කර ගැනීමට කටයුතු කරයි.

විශේෂයෙන්ම මහජන සම්බන්ධතාව තුළ අතිශය වැදගත් වන පුද්ගල ප‍්‍රතිරූප ප‍්‍රවර්ධනය සඳහා මෙන්ම ආයතනික ප‍්‍රතිරූප ප‍්‍රවර්ධනයට හා විවිධ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කිරීම උදෙසා ද ප‍්‍රවර්ධන පිටු ක‍්‍රමවේදය ඔස්සේ පාරිභෝගික හා ග‍්‍රාහක ආකර්ෂණය ලබා ගැනීමට සමාජ මාධ්‍ය මඟින් අවස්ථාව සැලසේ. සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධන පිටු වර්තමානයේදී දේශපාලකයින් සහ මහජනතාව අතර සම්බන්ධතාව වර්ධනය කිරීම පිණිස බහුලව භාවිතයට ගැනීම සිදුවේ. විශේෂයෙන්ම මැතිවරණ සමයකදී එම තත්ත්වය දේශපාලන මහජන සම්බන්ධතාව වර්ධනය කිරීමේ ප‍්‍රබල මෙවලමක් ලෙස භාවිත වේ. මහජනතාව වෙත විවිධ අදහස් ඉදිරිපත් කිරීම එනම් විශේෂයෙන් විවිධ සමාජ, දේශපාලන සහ සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීමට මෙම සමාජ මාධ්‍ය අවකාශය භාවිතය ගත හැකිය. නිදසුන් වශයෙන් වෙසක් දිනය, නත්තල් දිනය වැනි ආගමික උත්සව සමරන දිනවලදී දේශපාලන නායකයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පණිවිඩ නිකුත් කරන අතර එය මහජන සම්බන්ධතාව පවත්වාගෙන යාමෙහිලා වැදගත් වේ. එහිදී එම නිවේදන මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට නව මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ විවර වී ඇති අවකාශය භාවිතයට ගැනීම ඉතා ඵලදායී වේ. තව ද පසුගිය දිනවල මහනුවර ඇතැම් ප‍්‍රදේශවල වාර්ගික ස්වරූපයෙන් උද්ගත වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් මහජනතාව ආමන්ත‍්‍රණය කිරීමටත් ඒවා ප‍්‍රචණ්ඩකාරී ස්වරූපයෙන් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව සමඟ මනා මහජන සම්බන්ධතාවයක් පැවැත්වීමටත් සමාජ මාධ්‍ය අවකාශයේ මෙම ප‍්‍රවර්ධන අවකාශය භාවිත කළ හැකිවිය.

විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට සහ ඒවා සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබා ගැනීමට ද සමාජ මාධ්‍යවල ප‍්‍රවර්ධන පිටු භාවිත කළ හැකිය. එමඟින් නව මාධ්‍ය අවකාශය වඩා ඵලදායීව භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවීය හැකිය. මහජනතාව අතර වඩා අර්ථවත් සම්බන්ධයක් ගොඩනැංවීම මඟින් සංවර්ධන ව්‍යාපෘති තුළින් අත්වන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් දේශපාලනික ප‍්‍රතිරූපය ගොඩනැංවීමට ද කටයුතු කළ හැකිය.

සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත වන ප‍්‍රවර්ධන පිටු පහසුකම භාවිත කරමින් වර්තමානයේ බොහෝ දේශපාලනඥයින් ජනතාව වෙතින් ප‍්‍රශ්න ලබා ගැනීමේ ක‍්‍රමවේද අනුගමනය කිරීම ද දක්නට ලැබේ. ඒ ඔස්සේ වඩා සාර්ථක මහජන සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට දේශපාලනඥයින්ට අවස්ථාව ලැබෙන අතර දේශපාලනඥයින් හමුවීමට වැයකළ යුතු ජනතාවගේ කාලය හා ධනය ද අපතේ යාම සිදු නොවේ. එමඟින් ජනතාවට සෘජුවම තම ගැටළු දේශපාලනඥයාට යොමු කිරීමට ද අවස්ථාව ලැබෙන අතර වෙනත් පාර්ශව ගැටළුවලට මැදිහත්වීමෙන් ගැටළුවේ සැබෑ ස්වභාවය යටපත් වීම ද ඒ ඔස්සේ වැළකේ.  ඒ අනුව වඩාත් අර්ථවත් හා ඵලදායී මහජන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට සහ එය පවත්වාගෙන යෑම සඳහා සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධන පිටු ඉතා ඵලදායී අන්දමින් භාවිත  කළ හැකිය.

නව මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය සේවාවල තවත් ප‍්‍රකට භාවිතයක් ලෙස ඒවා තුළ විවිධ කාරණා පදනම් කර ගනිමින් කණ්ඩායම් (Groups) හෙවත් සමූහ නිර්මාණය කිරීමට හැකිවීම දැක්විය හැකිය. නිදසුන් ලෙස විවිධ දේශපාලන මත සහිත කණ්ඩායම්, විවිධ නිර්මාණශීලි භාවිතයන් සඳහා කණ්ඩායම් (පොත්, කවි හා ගීත යනාදී වූ), විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන කණ්ඩායම් හා විවිධ වෘත්තිකයන් සඳහා වන කණ්ඩායම් ආදී ලෙස විවිධ පාර්ශවවල අවශ්‍යතාව පරිදි කණ්ඩායම් නිර්මාණය කර ගැනීමට එහිදී අවස්ථාව සැලසී ඇත. පරිශීලකයින්ට එම කණ්ඩායම්වලට සම්බන්ධ වී දැනුම, අදහස් හා තොරතුරු බෙදා ගත හැකි අතර අද්‍යතනය වන විට වඩාත් ඵලදායක ලෙස මෙම ක‍්‍රමවේදය භාවිත කරමින් හරවත් සමාජ කතිකා ඒවා ඔස්සේ ගොඩනඟා ගත් අවස්ථා දක්නට ලැබේ. ඒ අනුව මෙම පහසුකම ද මහජන සම්බන්ධතාව ගොඩනැංවීමෙහිලා සහ පවත්වාගෙන යාමෙහිලා වඩාත් ඵලදායීව භාවිතයට ගත හැකිය. එනම් ආයතනයක හෝ සංවිධානයක භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම ක‍්‍රමවේදය මඟින් අවස්ථාව ලැබී තිබේ. නිදසුනක් ලෙස යම්කිසි ජංගම දුරකථන වර්ගයක් භාවිත කරන පාරිභෝගිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම් ගතවී අදාළ භාණ්ඩය පිළිබඳ අදහස්, අත්දැකීම් ආදිය හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ. එම කණ්ඩායම තුළ එම භාණ්ඩයේ නිෂ්පාදන සමාගම නියෝජනය කරන පුද්ගලයින්ට ද ජංගම දුරකථනය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට හැකි අතර එමඟින් එය භාවිතයේදී උද්ගතවන තාක්ෂණික ගැටළුවලට විසඳුම් ලබාගැනීමට එම කණ්ඩායම තුළදී කටයුතු කළ හැකිය. එහිදී නිරන්තරයෙන් පාරිභෝගිකයින් සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් නිෂ්පාදන හෝ සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ලබා දීම සඳහා කටයුතු කළ හැකිය. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය කණ්ඩායම් මහජන සම්බන්ධතාව ප‍්‍රවර්ධනය කිරීමේ අන්තර්ක‍්‍රියාකාරී වේදිකා ලෙස භාවිත කළ හැකිය.

ඒ අනුව සැලකීමේදී මහජන සම්බන්ධතාව සඳහා නව මාධ්‍ය සහ එහි අන්තර්ගත වන පහසුකම් ආකාර රැසකික් භාවිතයට ගත හැකිය. ඒ ඔස්සේ වඩා සාර්ථක සහ ඵලදායී මහජන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමටත් දීර්ඝ කාලීනව ඒවා පවත්වාගෙන යාමටත් අවස්ථාව උදාවී ඇති බව ප‍්‍රකාශ කළ හැකිය.

පද විවරණය

  • තථ්‍යාසන්න සමාජය (Virtual Society) – පරිගණක ඇතුළු සංඛ්‍යාංක උපාංග (Digital devices) ඇසුරෙන් ගොඩනඟා ඇති අන්තර්ජාලය හා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ක‍්‍රියා සිදු කරන සමාජය.
  • තථ්‍ය සමාජය (Real Society) – සජීවී මානව සාධකවලින් සැදුම්ලත් අප ජිවත් වන සැබෑ සමාජය. එනම් අන්තර්පුද්ගල සම්බන්ධතාවන්වල ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනැඟුණු සමාජයීය සාධක සමූහයේ සාදෘශ්‍ය කුලකය.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර

ඉරංග, එස්. (2016). සමාජ මාධ්‍ය සංස්කෘතිය. කොළඹ: ගොඩගේ ප්‍රකාශන.
කටුගම්පොළ, ආර්. (2012). ජනසන්නිවේදන ඉතිහාසය. කර්තෘ ප‍්‍රකාශන.
ගමගේ, නිමල් ජේ. (1998). ගැමි සන්නිවේදනය. කර්තෘ ප‍්‍රකාශන
මහේන්ද්‍ර, එස්. (1997). ජනමාධ්‍යයේ නැඟීම. රාජගිරිය: මහින්ද මුද්‍රණාලය.
Steinberg, H.S. (1961). Five Hundred Years of Printing. Pelican Books.

Comments

comments

2 comments

  1. හොඳ ලිපියක්. හැම පැත්තක් (සන්නිවේදන හා සමාජ ජාල ) ගැනම කතා කරලා තිබෙනවා.

Please comment using your facebook account.