මහා පෞරුෂ බිහිවූ භූමිය හෙවත් ජාතික ගුවන්විදුලිය තුළ මාගේ වසරක මතක

ජාතික ගුවන්විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා මා පැමිණ අදට වසරක් ගතවේ. ගුවන්විදුලියට පැමිණීමට මා තුළ බලවත් සිහිනයක් නොපැවතියත් ගතවූ වසරක කාලය එවැනි සිහිනයක් සාක්ෂාත් කර ගැනීමක් බඳු යැයි සිතේ. මන්ද යත් ජාතික ගුවන්විදුලිය නැමති මහා සන්නාමයේ සෙවන යට පැළවී රූස්ස වෘක්ෂ බවට පත්වූ ඉතිහාසගත මහා පුරුෂයින්ගේ නාමයන් මඟින් අප සිත් තුළ ගොඩනඟා තිබූ අභිමානය මෙම භූමියට අපව කැඳවීමට අවිඥානික ආරාධනාවක් සිදුකර ඇතැයි සිතෙන බැවිනි. ඒ කෙසේ වෙතත් මෙහි සේවය සඳහා තෝරා ගැනීමට පැවති සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව මෙම භූමියට පැමිණීම ජීවිතයේ තවත් එක් යුගයක ඇරඹුමක් නොව මුළු ජීවිතයම වෙනස් කළ යුගයක ඇරඹීමක් වූ බව පැවසීම වරදක් නැත.

ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ රැකියාවට පැමිණීමට පෙර පෞද්ගලික හිමිකාරිත්වය සහිත ජනමාධ්‍ය ආයතන ගණනාවක මම සේවය කළෙමි. එම ආයතනවල සේවකයින් අතර පැවති සම්බන්ධතාව සහ ජාතික ගුවන්විදුලියේ සේවකයින් අතර පවතින සම්බන්ධතාව අතර විශාල වෙනසක් ඇති බව මෙම ආයතනයට පැමිණ මාස කිහිපයක් ගතවන විට මම වටහා ගතිමි. එය එක් එක් පුද්ගලයින්ගේ ස්වභාවය අනුව ඇතිවන තත්ත්වයකට වඩා සමස්තයක් ලෙස ආයතනික සංස්කෘතිය විසින් ගොඩනංවා ඇති තත්ත්වයක් ලෙස විග්‍රහ කිරීම නිවැරදි යැයි සිතේ. විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ සේවකයින් සහ හිත්පිත් නොමැති යන්ත්‍ර බොහෝ දුරට සමාන යැයි සලකා කටයුතු කරන තත්ත්වය වෙනුවට මානුෂීය හැඟීම්වලින් හා බැඳීම්වලින් හෙබි සංවේදී මනුස්ස කොට්ඨාසයක් ජාතික ගුවන්විදුලියේදී මට මුණගැසුණි. ප්‍රශ්න දෙස මානුෂීයව බලන ඔවුන් සමඟ කටයුතු කිරීම පහසු කටයුත්තක් මෙන්ම මානසික අස්වැසිල්ලක් ද වේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙරට පැරණිම හා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයයි. ලෝකයේ ද පැරණිතම ගුවන්විදුලි ආයතනයක් වන බැවින් මෙම ආයතනයට මහා ඉතිහාසයක් මෙන්ම මහා සම්ප්‍රදායක් තිබේ. එය මෙරට සංස්කෘතියට අනුරූපය. එම මහා සම්ප්‍රදාය විසින් දශක ගණනාවක සිට පවත්වාගෙන එන ලාංකේය සමාජය මෙහෙයවීමේ ආධිපත්‍යය අදටත් අවලංගු වී නොමැත. යම් තොරතුරක් කවර මාධ්‍යයකින් පළවුවද එය නිල, සත්‍ය තොරතුරක් බව තහවුරු වන්නේ ජාතික ගුවන්විදුලියෙන් එය ප්‍රචාරය වුවහොත් පමණි. එබැවින් ජාතික ගුවන්විදුලිය පෞද්ගලික මාධ්‍ය ආයතන සමඟ තරඟකාරී ගමනක නොයෙදුණ ද ජනතා විශ්වාසය සපිරි ගමනක නිරත වෙයි. දැන් මා ද එම ගමනේ කොටස්කාරයෙකු බව හැඟීම අභිමානයක් බව පැවසිය යුතුය.

ජාතික ගුවන්විදුලියේ ස්වර්ණමය අවධිය අතීතකාමී අදහසක් පමණක් නොවේ. එය මෙරට ජනමාධ්‍ය වංශයේ ඓතිහාසික පරිච්ඡේදයකි. එසේම එය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සුභාවිත සම්ප්‍රදායේ පූර්වාදර්ශයයි. අතීතය සමඟ වර්තමානය සැසඳීම වෙනුවට දැන් කළ යුත්තේ ඒ ඒ තත්ත්ව ගොඩනැඟීමට බලපෑ ආර්ථික, සමාජීය හා දේශපාලනික සාධක ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. එනම් ඒ ඒ සන්දර්භයන් විශ්ලේෂණාත්මකව අධ්‍යයනයයි.

ගතවූ වසරක කාලය තුළ බොහෝ මිනිසුන් මට හමුවුණි. මෙහි ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ ගුවන්විදුලියේ බොහෝ අතීත මතක දරාගෙන මහා වෘක්ෂ මෙන් වර්තමානය දෙස උපේක්ෂා සහගතව බලා සිටිති. ඔවුන්ගේ තරුණ කාලය ගුවන්විදුලියට කැපකර කළ සේවය ජාතියක ගමන්මග සකස් කළේය. එවැනි නිහඬ උතුම් මිනිසුන්ගේ ඇසුර ලබන්නට හැකිවීම මා ලද භාග්‍යයක් සේ මම සලකමි. ඔවුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම් වෙනත් කිසිදු ආයතනයක සේවය කිරීමෙන් ලද නොහැකි බවට කිසිදු සැකයක් නොමැත. මෙම සටහන මා මෙතෙකින් අවසන් කළ ද ජාතික ගුවන්විදුලිය හෙවත් ඒ සොඳුරු මිනිස් ඇසුරේ අත්දැකීම් කිසිදා කියවා අවසන් කළ නොහැකි කෘතියක් වැනිය. එබැවින් ඔවුන් සමඟ ඇසුරට මම වඩවඩාත් ප්‍රිය කරමි. මන්ද එම අත්දැකීම් ජීවිතයේ අතලොස්සකට පමණක් ලැබෙන අතිදුර්ලභ අවස්ථාවක් වන බැවිනි.

Comments

comments