මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්‍රබල උපකරණයක් බවට සමාජ මාධ්‍ය මේ වන විට පත්ව ඇත. 2015 මෙරට ජනාධිපතිවරණයට ද සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිකළ බලපෑම සුළු පටු නොවේ. සමාජ මාධ්‍ය සතුවන මෙම ශක්‍යතාව හේතුවෙන් විශේෂයෙන්ම මැතිවරණ සමයක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සුවිශේෂී සන්දර්භයක් ලෙස සලකා කටයුතු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස ඉස්මතු වී තිබේ. මේ මොහොතේ නැවතත් ජනාධිපතිවරණ මැතිවරණ වාතාවරණයක් උද්ගත වී තිබීම තුළ ප්‍රචාරණ කටයුතු ඇතුළු මැතිවරණ සමාජ ක්‍රියාකාරිත්වයකට රට මුහුණ දී ඇති බැවින් මැතිවරණ සමයක සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ කතිකා ගොඩනැඟීම වැදගත්ය. මේ ඒ වෙනුවෙන් තබන සටහනකි.

මැතිවරණ කාලසීමාව තුළදී සමාජ මාධ්‍ය ජාල හරහා සිදුකෙරෙන වෛරී ප්‍රකාශන නියාමනයන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩසටහනක් පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණි. මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය ආයතනවල වෙබ්අඩවිවල ප්‍රධානීන්, සමාජ ක්‍රියාකාරීන් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් ආදී කණ්ඩායම් සහභාගි වූ මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ ෆේස්බුක් ආයතනයේ සිංගප්පූරු හා ඉන්දියානු ශාඛාවල නියෝජිතයින් විසිනි. මා ද එම වැඩසටහනට සහභාගි වූ අතර එහිදී අවධානයට ලක්වූ කරුණු මෙම ලිපිය සඳහා පාදක වේ.

ෆේස්බුක් සමාජ මාධ්‍යය මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් මූලික වශයෙන් ආකාර 5 කින් ක්‍රියාත්මක වෙයි.

  1. ජාලයේ නරක හැසිරෙන්නන්ගේ කටයුතු කඩාකප්පල් කිරීම.
    2. ව්‍යාජ ගිණුම් බිඳ දැමීම.
    3. ප්‍රවර්ධන දැන්වීම්වල විනිවිදභාවය ඇති කිරීම.
    4. ව්‍යාජ පුවත් පැතිරීම අවම කිරීම.
    5. මැතිවරණයට අදාළ දැනුවත් කිරීම් සඳහා සහාය වීම.

මෙම එක් එක් කරුණ සම්බන්ධයෙන් පහත පරිදි විස්තරාත්මකව අවධානය යොමුකළ හැකිය.

  1. ජාලයේ නරක හැසිරෙන්නන්ගේ කටයුතු කඩාකප්පල් කිරීම.

ෆේස්බුක් සමාජ මාධ්‍යය පහත ආකාරයේ ප්‍රශ්න සහගත වන හැසිරීම් නිරීක්ෂණය කරනු ලබයි.

  • නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීම: ඡන්ද අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ හා ඡන්දය පළකිරීමේ ක්‍රියාවලිය ආදිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීම.
  • ගිණුම්වල ආරක්ෂාව: ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ තොරතුරු සොරා ගැනීම හෝ ඒවා බිඳ දැමීම.
  • කරදරකාරී හැසිරීම්: පුද්ගලයින්ගේ දේශපාලන අදහස් හේතුවෙන් ඔවුන් නිහඬ කිරීම සඳහා හිරිහැර කිරීම.
  • ප්‍රචණ්ඩත්වය: පුද්ගලයින් කුපිත කරවීමට, ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධාන කිරීමට හෝ ජාලයෙන් පිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සැමරීමට ෆේස්බුක් ජාලය යොදා ගැනීම.
  • ඡන්ද බලය අහෝසි කිරීම: පුද්ගලයින් නොමඟ යැවීමෙන් ඡන්දය පළකිරීම සඳහා ඔවුන් අධෛර්යමත් කිරීම.
  • සාවද්‍ය නිරූපණ: ව්‍යාජ ගිණුම්/වෙබ් ලිපින හරහා විශ්වසනීයත්වයට හානි කිරීම.
  • සාවද්‍ය විස්තාරණ: යම් මතයකට සහාය දැක්වීම හෝ අවවර්ධනය කිරීම මඟින් පොදු සංවාදය විකෘති කිරීම.
  1. ව්‍යාජ ගිණුම් බිඳ දැමීම.

ව්‍යාජ ගිණුම්වලට එරෙහිව ෆේස්බුක් ආයතනය නිරන්තරයෙන් පියවර ගනු ලබයි. එවැනි ගිණුම් හඳුනාගැනීම සඳහා කෘතිම බුද්ධි වැඩසටහන් ද භාවිතා කෙරේ. එසේම ව්‍යාජ ගිණුම් හෝ ව්‍යාජ ප්‍රවර්ධන පිටු පිළිබඳ වාර්තා කිරීමට ද පරිශීලකයින්ට අවස්ථාව සලසා ඇත.

තව ද ජනප්‍රිය පුද්ගලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සංගීත කණ්ඩායම්, දේශපාලඥයන්, මාධ්‍යවේදීන් සහ නිර්මාණකරුවන් පිළිබඳ ගිණුම් හා ප්‍රවර්ධන පිටු එම සැබෑ පුද්ගලයින් විසින් පවත්වාගෙන යන බවට ෆේස්බුක් ආයතනය විසින් තහවුරු කර ඇත්දැයි අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ ස‍ඳහා එහි ඒවායේ නම අගට නිල් පැහැති සලකුණක් දක්වා ඇත.

  1. ප්‍රවර්ධන දැන්වීම්වල විනිවිදභාවය ඇති කිරීම.

ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රවර්ධන පිටුවල පළකරන දැන්වීම්වල විනිවිදභාවය ඇතිකිරීම සඳහා ඒවා පිළිබඳ තොරතුරු ඕනෑම අයෙකුට දැනගත හැකි පරිදි Ad Library තුළ ඇතුළත් කර ඇත. ප්‍රවර්ධන පිටුව නිර්මාණය කළ දිනය, එහි නම වෙනස් කර ඇති වාර ගණන පිළිබඳ තොරතුරු එහි දැක්වේ. එසේම අදාළ පිටුව මෙහෙයවන ස්ථාන පිළිබඳව හා මේ වන විට එම පිටුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතින දැන්වීම් පිළිබඳ තොරතුරු ද ඇතුළත් වේ.

  1. ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම අවම කිරීම.

ව්‍යාජ පුවත් හඳුනාගත හැකි ආකාර ගණනාවක් ෆේස්බුක් ආයතනය පෙන්වා දෙයි.

  • මූලාශ්‍රය පිළිබඳ විමර්ශනය කිරීම.
  • පුවතට අදාළ සාක්ෂි පිළිබඳ අවධානය යොමු කිරීම.
  • වෙබ්ලිපිනය පරික්ෂා කිරීම.
  • පුවත සම්බන්ධයෙන් වන වෙනත් වාර්තා අධ්‍යයනය කිරීම.
  • පුවතට අදාළ ඡායාරූප පිළිබඳ අවධානය යොමු කිරීම.
  • පුවතට සම්බන්ධ දින වකවානු පිළිබඳ සැලකිලිමත් වීම.
  • පුවතට ආදාළව පළකර ඇති අදහස් දැක්වීම් (Comments) පිළිබඳ සැලකිල්ලක් දැක්වීම.

යම්කිසි පුවතක් ව්‍යාජ පුවතක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ෆේස්බුක් ආයතනය තුන්වන පාර්ශවවල  සහාය ලබාගනී. ඒ.එෆ්.පී. පුවත් ආයතනයේ සහාය ඒ සඳහා යොදාගැනේ.

  1. මැතිවරණයට අදාළ දැනුවත් කිරීම් සඳහා සහාය වීම.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය අවස්ථා 4 කදී මැතිවරණ සඳහා වන මහජන දැනුවත් කිරීම්වලට සහාය පළකරයි.

  • ඕනෑම අවස්ථාවක: ඊළඟ මැතිවරණය කවදාදැයි සොයාබැලීම – ඡන්දයට ලියාපදිංචි කිරීම
  • පූර්ව මැතිවරණ අවස්ථාව: ඡන්ද අපේක්ෂකයින් හඳුනාගැනීම – ඡන්ද අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ආස්ථානයන් පිළිබඳ අවබෝධ කර ගැනීම.
  • මැතිවරණ දිනය: ඡන්දය පළ කිරීම හා මිතුරන්ටද එසේ කරන ලෙස දැන්වීම – මැතිවරණ ප්‍රතිඵල බැලීම.
  • පශ්චාත් මැතිවරණ අවස්ථාව: අභිනව නියෝජිතයින් සමඟ සම්බන්ධ වීම – ඡන්දයෙන් තෝරාගත් නිලධාරීන්ගේ කාර්යාල කටයුතු පිළිබඳ තොරතුරුවලින් යාවත්කාලීන වීම.

ඒ අනුව මැතිවරණයකට අදාළව හා පොදුවේ ෆේස්බුක් ආයතනය ෆේස්බුක් සමාජ ජාලයේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා ඉහත පියවර අනුගමනය කරනු ලබයි. තවද ඉන්දීය හා ඉන්දුනීසියානු මැතිවරණවලදී ෆේස්බුක් සමාජ ජාලය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අත්දැකීම් ඔස්සේ මෙවර ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කොමිසම ෆේස්බුක් ආයතනය සමඟ එක්ව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරනු ඇත.

Comments

comments