“රැස” හෙවත් ලාංකේය පුවත්පත් ඉතිහාසයේ මඟහැර යා නොහැකි සලකුණ

රැස පුවත්පත වසා දැමූ පුවත පසුගිය දිනක සන්ධ්‍යාවක මා හට දැන ගන්නට ලැබුණේ එහි සේවය කළ මාගේ මිතුරෙකු මගිනි. එම පුවත කන වැකීමත් සමඟ මා තුළ කම්පනයක් ඇතිවුණේ පුවත්පත ආරම්භයේ සිටම මා එහි පාඨකයෙක් වූ නිසාත් එහි සේවය කළ ජනමාධ්‍යවේදීන් සමඟ යම් යම් මට්ටමේ පෞද්ගලික හිතවත්කම් මා හට පැවතීමත් හේතුවෙනි. මෙම සටහන ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයනවල නිරතවන්නෙකු ලෙසත් ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙසත් මඟහැර යා නොහැකි ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැස තැබූ නොමැකෙන සලකුණ පිළිබඳවයි.

පුවත්පත් කර්මාන්තය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ද මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරමින් පවතී. එනම් අන්තර්ජාලය ප්‍රමුඛ ඩිජිටල් වැනි ක්‍රමවේද පදනම් කරගත් නව තාක්ෂණික ජනමාධ්‍ය ක්‍රියාවලිය මඟින් පුවත්පත් යම් සීමිත ග්‍රාහක පිරිසක් පමණක් ආකර්ෂණය වන මාධ්‍යයක් බවට පත්ව තිබීමත්, විශේෂයෙන්ම මෙම සමාජ මාධ්‍ය අවධිය තුළ පුවත්පත සම්ප්‍රදායිකව පරිශීලනයට යොමුවන පරම්පරාවක් උත්පාදනය නොවීමත් පුවත්පතේ ආයුෂ තීරණය කරන ප්‍රධාන සාධක ද්විත්වයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව සම්ප්‍රදායිකව මුද්‍රණය වන පුවත්පත්වලට නව පාඨකයින් ආකර්ෂණය කරගැනීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වී තිබේ. කෙසේ වුවත් මෙම අභියෝගය පුවත්පත ආරම්භයේ සිට යම් පමණකට හෝ ජයගැනීමට, නොඑසේනම් ලාංකේය පුවත්පත් කර්මාන්තයේ යම් උඩුගම් බලායෑමක යෙදීමට රැස පුවත්පතට හැකිවූ බව මාගේ අදහසයි.

රැස පුවත්පතේ තිඹිරිගෙය ලාංකේය පුවත්පත් වංශකථාවේ මහගෙදර වන ලේක්හවුස් ආයතනයයි. එනම් රජය සතුව පවතින මෙරට විශාලතම පුවත්පත් ආයතනයයි. ලේක්හවුස් පුවත්පත් කියූ සැනින් අපට ඇතිවන සරල ආකල්පය නම් එම පුවත්පත් සෑම විටම බලයේ සිටින ආණ්ඩුව උත්කර්ෂයට නංවන්නට, ආණ්ඩුවේ කටයුතු පිළිබඳ වර්ණනා සිදුකිරීමට පමණක් ක්‍රියාකරන බවයි. විශේෂයෙන්ම ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමට මෙම ලේක්හවුස් පුවත්පත් සෑම විටම සැදීපැහැදී සිටින බව ජනමාධ්‍ය පිළිබඳ විශේෂ දැනුමක් නොමැති වුවද සමාජයේ බොහෝ දෙනා තුළ පවතින අදහස වෙයි. මෙම ගතානුගතික අදහස ලේක්හවුස් ආයතනය තුළම හිඳිමින් යම් වෙනසකට ලක්කිරීමට රැස පුවත්පතට හැකිවූ බව පසුගිය දෙවසර තුළ දක්නට ලැබුණි. පුවත්පත අතට ගත් සැනින් මෙය කවර පාර්ශ්වයකට අයත්දැයි පූර්ව නිගමනවලට එළඹීමට නොහැකි වන තරමේ සුවිශේෂී අන්තර්ගතයක් රැස පුවත්පත සතුවීම ඊට හේතුව ලෙස මම දකිමි.

රැස පුවත්පතේ මෙම ආකෘතිය මා නම් කරන්නේ “රාජ්‍ය-පෞද්ගලික අර්ධ ආකෘතියක්” ලෙසයි. එනම් රාජ්‍ය හිමිකාරිත්වය සහිත පුවත්පතක ආකෘතියේත් පෞද්ගලික හිමිකාරිත්වය සහිත පුවත්පතක ආකෘතියේත් සංකලනයකින් මෙම අන්තර්ගතයන් අතර අන්‍යෝන්‍ය සමබරතාවක් පවත්වාගෙන යාමට රැස කටයුතු කළේය. මෙම ආකෘතික ස්වභාවය ලාංකේය පුවත්පත් කර්මාන්තයට අලුත්ය. එය නැවුම් වෙනසකි. එම වෙනස වසර දෙකක් මෙරට පාඨක ප්‍රජාව සබුද්ධිකව ඥානනය කරමින් ජන මනස පුබුදු කළේය. ඔවුන් දැනුමෙන් ආකල්පවලින් පුරවාලීය. විශේෂයෙන්ම ජනමාධ්‍ය විද්‍යාර්ථීන්ගේ, විශ්ලේෂකයින්ගේ සහ පර්යේෂකයින්ගේ චින්තනයට රැස සැපයූ පර්යේෂණාත්මක අනුභූතියේ වැදගත්කම සුළු පටු නොවේ. රැස වසා දැමුවත් ඒ පිළිබඳ අධ්‍යයන, පර්යේෂණ, කථිකා, සංවාද ඉදිරියටත් සිදුවිය යුතු බව මාගේ අදහසයි.

දිනපතා පුවත්පතක සාමාන්‍යයෙන් අන්තර්ගත වන දේශපාලන, අපරාධ, අනතුරු වැනි තොරතුරු හැරුණු කල රැස පුවත්පත සාහිත්‍ය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට වැඩි ප්‍රමුඛත්වයක් දී තිබුණි. ඒ සම්බන්ධයෙන් හරවත් සංවාද සහ සාකච්ඡාවලට ද රැස පුවත්පතේ අන්තර්ගතයේ වැඩි ඉඩකඩක් නිරතුරුව වෙන් විය. පාඨකයින් හෙම්බත් කරන නීරස දේශපාලන සාකච්ඡා වෙනුවට පාඨකයින්ගේ සිතුවිලි ඉම පුළුල් කරන අන්තර්ගතයන්වලින් සැමවිටම රැස පිටු පිරුණි. විවිධ රචකයින්ගේ තීරු ලිපි ගණනාවක් ද රැස පෝෂණය කළේය. රැසේ පිටු සංඛ්‍යාව සීමිත වීම තුළ ආකර්ෂණීය අන්තර්ගතයක් පවත්වාගෙන යාමට සංස්කාරකවරුන් දැක්වූ දක්ෂතාව විශිෂ්ටය.

රැස මෙසේ වසා දැමීම තුළ ඒ වටා රොද බැඳ සිටි මා ඇතුළු පාඨක ප්‍රජාවගේ බුද්ධිමය අවකාශයට ඇතිවන හිඩැස වසාලීම අපහසු බව මම විශ්වාස කරමි. එමෙන්ම ඉන් මෙරට ජනමාධ්‍ය කර්මාන්තයට ඇතිකළ නව්‍ය වෙනස තුළ පුවත්පත් කර්මාන්තයේ අනාගත අභිවෘද්ධියට යම් මාවතක් පෙන්වා ඇතැයි සිතමි. පුවත්පතක් ලෙස නාමිකව පමණක් ඉතිහාසයට එක්නොවී වසර දෙකක ආයු කාලයකින් වුවත් රැස තැබූ මතකය සුවිශේෂී බව අවසාන වශයෙන් සඳහන් කරමි.

Comments

comments