සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම්

සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම

මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන  මානව ක‍්‍රියාකාරිත්වයන් ගොඩනඟනු හා මෙහෙයවනු ලැබූ සාධක හඳුනාගැනීමට හැකිය. මානව සමාජයේ මූලාරම්භක අවධියේ ප‍්‍රාථමික මානව සමාජ ආකෘතිය මිත්‍යා විශ්වාස පදනම් කර ගනිමින් ගොඩනැඟුණි. එහිදී එම සංකල්ප මත එම අවධියේ මානව ක‍්‍රියාකාරකම් මෙහෙයවුණු අතර සමාජ සාධක සියල්ල ගොඩනැඟුණේද ඒ අනුවය. විශේෂයෙන්ම මිත්‍යා විශ්වාස සමකාලීන මිනිසාට අවබෝධ කර ගැනීමට නොහැකි වූ විවිධ සංසිද්ධි අවබෝධ කර ගැනීම සඳහා ප‍්‍රවේශයෙක් වශයෙන් ඔවුන් විසින් භාවිත කළ අතර මරණයෙන් පසු ජීවිතයේ පැවැත්ම පිළිබඳ සංකල්පීය අදහසක් ගොඩනඟා ගැනීමට ද මෙම මිත්‍යා විශ්වාස ඔවුන්ගේ පරම මෙවලම බවට පත්වුණි.

ප‍්‍රාථමික මානව සමාජ අවධියේ ප‍්‍රචලිතව පැවති මෙම මිත්‍යා විශ්වාස සහ අවිධිමත් ඇදහීම් ක‍්‍රමයෙන් සංවර්ධිත තත්ත්වයට පත්ව විධිමත් ආගම් බිහිවීමට පදනම වැටුණි. ඉන්පසුව එම විධිමත් ආගම් මානව සමාජ පද්ධතියේ ආකෘතිය ගොඩනැඟූ අතර අද්‍යතනයේ පවා ඇතැම් රාජ්‍යයන් ආගම් මත පදනම්ව ක‍්‍රියාත්මක වන තත්ත්වයක් දක්නට ලැබුණ ද මීට සියවස් ගණනකට පෙර පැවති තත්ත්වය මෙන් ආගම් සමස්ත මානව ප‍්‍රජාව මෙහෙයවනු ලබන එකම බලවේගය නොවන බව ද සඳහන් කළ යුතුය.

ආගම් සර්ව බලධාරීව ආධිපත්‍යය දරූ අවධිය, ආගමික මූලධර්ම ප‍්‍රශ්න කරමින් වර්ධනය වූ විද්‍යාත්මක චින්තනය ම`ගින් විතැන් කිරීම සමඟ විද්‍යාව සහ තාක්ෂණය මානව සමාජ ක‍්‍රියාකාරිත්වය සහ ව්‍යුහය ගොඩනැංවීමේ ප‍්‍රධාන සාධකය බවට පත්වේ. ඒ සඳහා මූලික වශයෙන් සාධක හතරක බලපෑම අධ්‍යයනයට ලක්කළ හැකිවේ. එනම් පුනරුද ව්‍යාපාරය, කාර්මික විප්ලවය, නව ධනේශ්වර විප්ලව හා නව සොයා ගැනීම් ආගම සර්ව බලධාරී ආධිපත්‍යය දැරූ මානව සමාජ අවධියෙන් නූතන සමාජ අවධිය දක්වා සමාජ පරිවර්තනයෙහිලා පුරෝගාමී වන බව පැවසිය හැකිය. මෙම තත්ත්වය මානව සමාජ ක‍්‍රියාකාරිත්වය විද්‍යාත්මක පදනමකින් සහ චින්තනය මත මෙහෙයවීම දක්නට ලැබේ.

20 වැනි සියවස මානව සමාජයේ තවත් ප‍්‍රමුඛතම අවධියක ආරම්භය සනිටුහන් කළ යුගයක් ලෙස හඳුනාගත හැකිය. එනම් ප‍්‍රතිසම තාක්ෂණයෙන් (Analog) අංකිත තාක්ෂණයට (Dialog) යොමුවීමේ තාක්ෂණික විප්ලවය තුළ 21 වන සියවසේදී සමාජ මාධ්‍ය අවධිය වෙත මානව සමාජය යොමුවීමේ පදනම සකස් වෙයි. එම විප්ලවීය තාක්ෂණික පරිවර්තනයත් සමඟ නූතන පරිගණක බිහිවීමේ තාක්ෂණික පරිසරය සකස් වේ. 20 වැනි සියවසේ හයවැනි දශයේදී අන්තර්ජාලයේ මූලාරම්භය සනිටුහන් වීමත් සමඟ 21 වැනි සියවසේ මානව සමාජය මෙහෙයවීමේ ආධිපත්‍යය දරණ ප‍්‍රධාන සන්නිවේදන මෙවලම් බවට අන්තර්ජාලය පදනම් කර ගත් සන්නිවේදන විධික‍්‍රම පත්වේ.

1950 දශකයේ අග භාගයේ දී අමෙරිකාවේ ආරක්ෂක අවශ්‍යතාවක් මත මෙසේ බිහිවන අර්පානෙට් නමැති අන්තර්ජාලයේ මව් ජාලය 21 වැනි සියවසේ ආරම්භයත් සමඟ “අන්තර්ජාලය” නමින් පොදුජන භාවිතයක් ලෙස රූපාන්තරණයට ලක්වේ. මෙය එතැන් පටන් ක‍්‍රමයෙන් ගෝලීයව ප‍්‍රසාරණය වෙමින් මානව සමාජ විඥානය සහ චර්යාව සකස් කිරීමේ ප‍්‍රධාන සාධකය බවට පත්වේ. සමාජ මාධ්‍ය යනු මෙම අන්තර්ජාලය නමැති මහා සංස්කෘතිය තුළ වර්ධනය වූ උපසංස්කෘතියකි. එහෙත් මේ වන විට එහි උපසංස්කෘතික ලක්ෂණ ඉක්මවා ගොස් මහා සංස්කෘතියක සංලක්ෂ්‍ය ප‍්‍රකට කරමින් සුවිශේෂී සංස්කෘතික ධාරාවක් ලෙස මානව සමාජයේ සිය ආධිපත්‍යය තහවුරු කර ගෙන ඇත. “සමාජ මාධ්‍ය අවධිය” ලෙස අපට හඳුනාගැනීමට හැකි වන්නේ මෙම සුවිශේෂී සංස්කෘතික ලක්ෂණ තුළ බලපෑමට ලක්වූ මානව සමාජ විකාශනයේ නූතන අවධියයි.

සමාජ මාධ්‍ය අවධිය හඳුනාගැනීම

1990 වැනි දශකයේ ආරම්භයත් සමඟ ටිම් බර්නර්ස් ලීගේ (Tim Berners-Lee) මූලිකත්වයෙන් අන්තර්ජාලයේ පොදු ජන භාවිතයේ ආරම්භය සිදුවුවද එම ප‍්‍රාථමික අවධිය තුළම සමාජ මාධ්‍යවල සම්භවය සිදුවන්නේ නැත. එනම් අන්තර්ජාලය තාක්ෂණික වශයෙන් අත්කර ගන්නා සංවර්ධනීය තත්ත්වය, නොඑසේනම් භෞතික සාධක සහ අන්තර්ජාලය විසින් පොදු ජන ජීවිතයට ඇතිකළ මැදිහත්වීම මානව සන්නිවේදනයේ මීළඟ අදියර වශයෙන් අධිභාවිතයට ලක්වීම ඔස්සේ ගොඩනැගෙන අභෞතික සාධක මත පදනම්ව සමාජ මාධ්‍ය අවධිය බිහිවීමට අවශ්‍ය සාධක සම්පූර්ණ වේ. ඒ අනුව මෙම සාධක පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කිරීම මඟින් මානව සමාජයේ නූතන අවධියේ ස්වභාවය වඩාත් පුළුල්ව හඳුනාගැනීම සඳහා අවකාශය උදාවේ.

සමාජ මාධ්‍ය අවධිය ගොඩනැගීමට බලපෑ භෞතික සාධක පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ සඳහා බලපෑ ප‍්‍රධාන සාධකය වශයෙන් තාක්ෂණික සාධක පෙන්වා දිය හැකිය. එනම් අන්තර්ජාලයේ වඩාත් ජනපි‍්‍රයම අංගය වන විශ්ව ව්‍යාප්ත ජාලයේ (World Wide Web) විවිධ සංස්කරණ ඇසුරින් මේ පිළිබඳ විග‍්‍රහ කළ හැකිවේ.

විශ්ව ව්‍යාප්ත ජාලයේ බිහිවීමෙන් පසු 2004 වර්ෂය පමණ වෙන තෙක් ගෙවී ගිය අවධිය එහි පළමු සංස්කරණය (Version 1.0) ලෙස සංකල්පීකරණය කෙරේ (Choudhury, 2014). අන්තර්ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී විසින් එම අවධිය  “read-only” Web හෙවත් කියවීමට පමණක් හැකි වෙබ්අඩවිවල යුගය ලෙස හඳුන්වාදී ඇත (Berners-Lee, 1998). මෙම වෙබ්අඩවිවල විශේෂත්වය වූයේ මේවා මඟින් රේඛීයව පමණක් තොරතුරු සන්නිවේදනය කළ හැකි නමුත් වර්තමාන වෙබ් තාක්ෂණය මෙන් පුළුල් ප‍්‍රතිපෝෂණ ඒවායේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලබාදීමට නොහැකි වීමයි. ඉතා සුළු අන්තර්ක‍්‍රියාකාරී තත්ත්වයක් මෙම අවධියේ වෙබ්අඩවි මඟින් විද්‍යමාන වුව ද අන්තර්ක‍්‍රියාකාරී වෙබ්අඩවි තාක්ෂණයේ අත්දැකීම පරිශීලකයින්ට ලබාගැනීමට නොහැකි විය. මෙම වෙබ්අඩවි සංවර්ධනය කිරීම සඳහා මූලික වශයෙන් HTML භාෂාව (Hyper Text Markup Language) පමණක් යොදාගැනුණි. එබැවින් ඒවා ස්ථිතික හෙවත් වෙනස් නොවන (static) අන්තර්ගතවලින් යුක්ත විය. වෙබ්අඩවිවල මෙම අන්තර්ගතය හේතුවෙන් පරිශීලකයින් සහ වෙබ්අඩවි අතර දුරස්ථ සම්බන්ධතාවක් පැවති අතර ඒවාට පරිශීලක ආකර්ෂණය හිමිවුණේ ද අවම වශයෙනි. ඒ අනුව සමාජ මාධ්‍ය අවධියක් බිහිවීම සඳහා පළමු පරම්පරාවේ විශ්ව ව්‍යාප්ත ජාලය තුළින් බලපෑමක් ඇති නොවුණි.

විශ්ව ව්‍යාප්ත ජාලයේ දෙවැනි සංස්කරණය (Version 2.0) ඇරඹෙන්නේ 2004 වර්ෂයෙන් පමණ පසුවය. 2016 වර්ෂය පමණ වන තෙක් විශ්ව ව්‍යාප්ත ජාලයේ මෙම අවධිය නියෝජනය කරන වෙබ්අඩවි භාවිත වෙයි. එම අවධිය  “read-write” Web හෙවත් කියවීමට හා ලිවීමට හැකි වෙබ්අඩවිවල යුගය ලෙස හඳුන්වාදී ඇත (Berners-Lee, 1998). මෙම වෙබ්අඩවිවල මූලික ලක්ෂණය වන්නේ අන්තර්ක‍්‍රියාකාරී ගතිලක්ෂණ නිරූපණය වීමයි. එනම් විශ්ව ව්‍යාප්ත ජාලයේ පළමු සංස්කරණ අවධියේ පැවති රේඛීයව පමණක් තොරතුරු සන්නිවේදනය කරන ආකෘතිය වෙනුවට, නොඑසේනම් වෙබ් පරිපාලක කේන්ද්‍රකර ගත් තොරතුරු ඉදිරිපත් කිරීමේ ක‍්‍රමය වෙනුවට පරිපාලක සහ පරිශීලක දෙපාර්ශ්වය අතර අන්තර්ක‍්‍රියාකාරී තොරතුරු සන්නිවේදන ක‍්‍රමයකට මෙමඟින් අවස්ථාව සලසා ඇත. එසේම පරිශීලකයා විටෙක පරිපාලකයෙකු බවටත් එනම් සන්නිවේදනයෙකු බවටත් රූපාන්තරණය වෙමින් සන්නිවේදන – ග‍්‍රාහක ද්විත්ව භූමිකාවක් නිරූපණය කිරීම සඳහා මෙම දෙවැනි සංස්කරණ අදියරේ වෙබ්අවකාශය මඟින් තාක්ෂණික පරිසරය ගොඩනඟා ඇත. මෙම තත්ත්වය තවදුරටත් මෙසේ විග‍්‍රහ කළ හැකිය.

මෙම අවධිය මූලික ලක්ෂණ තුනක් ප‍්‍ර‍්‍රකට කරයි. එනම් සහභාගී ක‍්‍රියාකාරිත්වය, සහයෝගී දායකත්වය සහ අන්තර්ගතයන් නිපදවීමට ඇති හැකියාවයි. මෙම ලක්ෂණ මත පදනම්ව සමාජ මාධ්‍ය වෙබ්අඩවි නිර්මාණය වී තීබේ. ඒ අනුව එම වෙබ්අඩවි පසුව ජංගම දුරකථන යෙදුම් දක්වා පරිවර්තනය විය.

සමාජ මාධ්‍ය බිහිවීම සහ විකාශනය

සමාජ මාධ්‍ය වෙබ්අඩවි බිහිවීම අන්තර්ජාලය ලෝකය පුරා ජනප‍්‍රිය වීමත් සමඟ සිදුවිය. ඒ අනුව මුල් අවධියේ බිහිවූ සමාජ මාධ්‍ය වෙබ්අඩවියක් ලෙස SixDegrees.com වෙබ්අඩවිය හඳුනාගත හැකිවේ. 1997 වර්ෂයේ දී ආරම්භ වූ එහි නිර්මාතෘවරයා වන්නේ Andrew Weinreich ය. එසේම මුල් කාලයේ ප‍්‍රකට වූ සමාජ මාධ්‍ය වෙබ්අඩවි කිහිපයක් ලෙස Geocities හා Classmates වැනි වෙබ්අඩවි පෙන්වා දිය හැකිය.

ඒ අනුව 1994 වර්ෂයේ දී ආරම්භ කරන ලද Geocities නමැති වෙබ්අඩවිය තුළ මෙසේ සමාජ මාධ්‍ය වෙබ්අඩවිවල අන්තර්ගත වන ලක්ෂණ හඳුනාගැනීමට හැකිවිණි. අන්තර්ජාලය භාවිත කරන්නන්ට එම වෙබ්අඩවිය ඔස්සේ රිසි ලෙස තම වෙබ් පිටු නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදා විය. එසේම වර්තමානයේ දී සමාජ මාධ්‍ය වෙබ්අඩවි තුළ අඩංගු පුද්ගලික තොරතුරු අන්තර්ගත කළ හැකි පිටු නිර්මාණය කිරීම සඳහා ලබා දී ඇති පහසුකම මඟින් ඉතා පහසුවෙන් පරිශීලකයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ.

සමාජ මාධ්‍ය වෙබ්අඩවි තුළ අන්තර්ගත වන එම භාවිතයට අමතරව ප‍්‍රධාන වශයෙන් ආකාර අටක් ඔස්සේ මෙම සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවි භාවිතයට ගත හැකිය. එහිදී මේවායේ ප‍්‍රාථමිකම භාවිතය වන්නේ පරිශිලකයින් අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට (Messaging) අවකාශය සැලසීමයි. ඒ අනුව එම වෙබ්අඩවිය ඔස්සේ සම්බන්ධතා ගොඩන`ගා ගන්නා පරිශීලකයින් අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට අවකාශය සැලසේ.

තව ද  සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවිවල ජනප‍්‍රියම භාවිතයක් ලෙස මාර්ගගත සංවාද (Online Chatting) සඳහා මේවායේ සපයා ඇති පහසුකම් පෙන්වා දිය හැකිය. එහිදී සබඳතා ඇතිකර ගත් පුද්ගලයින් හා සංවාදයේ යෙදීමට අවකාශය සැලසෙන අතර ඒ ඔස්සේ වඩාත් සක‍්‍රියව අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට අවස්ථාව උදා වේ.

එසේම මෙම වෙබ්අඩවිවල තවත් භාවිතයක් ලෙස වෙනත් වෙබ්අඩවිවල අන්තර්ගතයන් සබඳතා ආකාරයෙන් (Links) හුවමාරු කර ගැනීමට (Sharing) ඉඩ සැලසීම පෙන්වා දිය හැකිය. ඒ ඔස්සේ විවිධ තොරතුරු පරිශීලකයින් අතර බෙදා ගැනීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම අන්තර්ජාල සමාජ ජාලකරණය පිළිබඳ එක් වැදගත් සංකල්පයක් වන්නේ ඒවා තුළින් අන් අය සමඟ ජීවිතය බෙදා ගැනීමට ඉඩ සැලසීම යන්නයි. එහි දී තමන් සිතන පතන දෑ (Ideas), ඡුායාරූප හා වීඩියෝ දර්ශන යනාදිය තම මිතුරු මිතුරියන් හා හුවමාරු කර ගැනීමට පහසුවෙන් අවකාශය හිමිවේ. ඒ අනුව මෙම ක‍්‍රමවේදය ද සමාජ මාධ්‍ය වෙබ්අඩවිවල ප‍්‍රධානම පහසුකමක් වන අතර එය සමාජ මාධ්‍ය සංකල්පයේ මූලික අනන්‍යතාව විද්‍යාමාන කරන ලක්ෂණයක් ද වේ.

අද්‍යතනයේ සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවිවල දැකිය හැකි වඩාත් ප‍්‍රචලිත අංගයක් වනුයේ ප‍්‍රතිරූප ප‍්‍රවර්ධනය සඳහා එම වෙබ්අඩවි සාර්ථකව භාවිත කළ හැකි වීමයි. ඒ සඳහා ඒවා තුළ සපයා ඇති සුවිශේෂී ප‍්‍රවර්ධන පහසුකම් භාවිත කළ හැකි අතර ඒවාට ග‍්‍රාහක ප‍්‍රතිචාර ලබා ගැනීම ඔස්සේ ඒවායේ ජනප‍්‍රියතාව ඉහළ නැංවිය හැකිය. විශේෂයන්ම දේශපාලඥයින්, නළුනිළියන්, ගායකගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල පුද්ගලයින් අද වන විට මෙම සමාජ මාධ්‍ය ක‍්‍රමවේදය ඔස්සේ සිය ජනප‍්‍රියතාව වැඩි කර ගැනීමට කටයුතු කරයි.

පුද්ගල ප‍්‍රතිරූප ප‍්‍රවර්ධනය සඳහා මෙන්ම ආයතනික ප‍්‍රතිරූප ප‍්‍රවර්ධනයට හා විවිධ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කිරීම උදෙසා ද මෙම ක‍්‍රමවේදය ඔස්සේ ග‍්‍රාහක ආකර්ෂණය ලබා ගැනීමට සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවි මඟින් අවස්ථාව සැලසේ. ඊට අමතරව විවිධ ප‍්‍රවර්ධන වැඩසටහන්, දේශපාලන ව්‍යාපාර ඇතුළු  ඕනෑම ආකාරයක ප‍්‍රවර්ධනය කිරීමක්, මතවාද බෙදාහැරීමක් හෝ මතවාද නිර්මාණය කිරීමක් උදෙසා මෙම ක‍්‍රමවේදයේ භාවිතය අද්‍යතනයේ ජනප‍්‍රිය විලාසිතාවක් බවට පත්ව තිබේ.

සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවිවල තවත් ප‍්‍රකට භාවිතයක් ලෙස ඒවා තුළ විවිධ කාරණා පදනම් කර ගනිමින් කණ්ඩායම් (Groups) නිර්මාණය කිරීමට හැකිවීම දැක්විය හැකිය. නිදසුන් ලෙස විවිධ දේශපාලන මත සහිත කණ්ඩායම්, විවිධ නිර්මාණශීලි භාවිතයන් සඳහා කණ්ඩායම් (පොත්, කවි හා ගීත යනාදී වූ), විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන කණ්ඩායම් හා විවිධ වෘත්තිකයන් සඳහා වන කණ්ඩායම් ආදී ලෙස අවශ්‍යතාව පරිදි කණ්ඩායම් නිර්මාණය කර ගැනීමට මෙම වෙබ්අඩවි තුළ ඉඩ සැලසී තිබේ. අනතුරුව එම කණ්ඩායම් සඳහා පරිශීලකයින්ට සම්බන්ධ වී සිය දැනුම, අදහස් හා තොරතුරු බෙදා ගත හැකි අතර අද වන විට වඩාත් ඵලදායක ලෙස මෙම ක‍්‍රමවේදය භාවිත කරමින් හරවත් සමාජ කතිකාවතක් ඒවා ඔස්සේ ගොඩනඟා ගත හැකිය.

තව ද ඉහතින් සඳහන් කරන ලද භාවිත සියල්ලම මඟින් සමාජ මාධ්‍ය සේවා වෙබ්අඩවි සම්බන්ධීකාරක ලෙස නැතහොත් සමායෝජක ලෙස භාවිතයට ගත හැකිය. එනම් පුද්ගලයින් එකිනෙකා සමඟ සම්බන්ධ වීම සඳහා භාවිත කරනු ලබන මාධ්‍යයක් වශයෙන් ද මෙම වෙබ්අඩවි වැදගත් වේ. එහි දී තථ්‍ය සමාජයේ පුද්ගල සම්බන්ධවීම් සඳහා තථ්‍යාසන්න සමාජය හරහා සම්බන්ධීකරණය කිරීම සිදුකළ හැකිය.

අද්‍යතනය වන විට මූලික වශයෙන්ම මෙම භාවිතයන් සහිත සමාජ මාධ්‍ය වෙබ්අඩවි කිහිපයක් අන්තර්ජාල පරිශීලකයින් අතර ප‍්‍රචලිත වී තිබේ. සමාජ ජාලකරණය සඳහා පහසුකම් සපයනු ලබන වෙබ්අඩවි දහස් ගණනක් අන්තර්ජාලය තුළ සොයාගත හැකි වුව ද වෙබ්අඩවි කිහිපයක් වෙත පමණක් දෛනිකව පුද්ගලයින් ප‍්‍රවේශ වීම සිදුවන්නේ එම වෙබ්අඩවි ඔවුන්ගේ මිතුරු මිතුරියන් ද වැඩි වශයෙන්  භාවිත කිරීමට පෙළඹී ඇති නිසාය. තව ද පහසුවෙන් භාවිත කළ හැකිවීම හා ජංගම දුරකථනය ඔස්සේ පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකිවීම වැනි හේතු නිසා ද අන්තර්ජාල පරිශීලකයින්ගෙන් බහුතරයකගේ ප‍්‍රමුඛ ආකර්ෂණය සමාජ මාධ්‍ය වෙබ්අඩවි කිහිපයක් වෙත යොමු වී ඇත. ඒ අනුව පරිශීලකයින් විශාල ප‍්‍රමාණයක් යොමුවී සිටින සමාජ මාධ්‍ය වෙබ්අඩවි හා සමාජ මාධ්‍ය සේවා කිහිපයක් පහත අයුරින් පෙළගැස්විය හැකිය.

  1. Facebook – පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 2410
  2. Twitter – පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 330
  3. LinkedIn – පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 660
  4. YouTube – පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 1900
  5. WhatsApp- පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 1500
  6. Instagram – පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 1000
  7. Viber – පරිශීලකයින් සංඛ්‍යාව: මිලියන 260

සමාජ මාධ්‍ය අවධියේ බිහිවීම

අන්තර්ජාලය මානව ශිෂ්ටාචාරයේ සන්නිවේදන ශක්‍යතාව විස්තීර්ණ කළ ප‍්‍රමුඛතම තාක්ෂණික මෙවලම බවට අවිවාදිතය. ගෝලීය අන්තර්ජාල පරිශීලක ප‍්‍රජාව ප‍්‍රථම වරට ලෝක ජනගහනයෙන් අඩක් ඉක්මවූ බව ජගත් සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේය (International Telecommunication Union, 2018). ඒ අනුව මේ වන විට ලෝක ප‍්‍රජාවෙන් අඩකට වඩා වැඩි පිරිසක් අන්තර්ජාලයට සම්බන්ධ වී මාර්ගගත ජීවන අත්දැකීම් විඳිමින් සිටිති. මෙම සුවිශේෂී තත්ත්වය ඇතිවූයේ විශ්ව ව්‍යාප්ත ජාලය ටිම් බර්නර්ස් ලී විසින් ආරම්භ කර දශක තුනක් සම්පූර්ණ වීමට මාස කිහිපයකට පෙරාතුවය. එනම් 1989 මාර්තු 12 වැනිදා ආරම්භ වූ විශ්ව ව්‍යාප්ත ජාලය  (A Little History of the World Wide Web, 1995) ගෝලීය වශයෙන් බහුතර මානව ප‍්‍රජාවක් භාවිත කරන මෙවලමක් බවට ඉන් දශක තුනක් ගතවන මොහොතේ පත්වුණි. ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසය වන විට ලෝක ජනගහනය බිලියන 7.676 ක් වූ අතර ගෝලීය අන්තර්ජාල පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 4.388 ක් විය. මේ අතරින් සමාජ මාධ්‍යවල ක‍්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.484 ක් විය (Hootsuite and We Are Social, 2019).

මෙම තත්ත්වය තුළ ගෝලීය වශයෙන් අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීම සඳහා පහසුකම් සලසන ප‍්‍රධානතම සන්නිවේදන භාවිතය බවට සමාජ මාධ්‍ය මේ වන විට පත්ව තිබීම තුළ අන්තර්ජාලය පදනම් කර ගෙන බිහිවූ සමාජ මාධ්‍ය අවධියක් (Social Media Age) වෙත මානව සමාජය අවතීර්ණ වී සිටියි. පහත සංඛ්‍යාලේඛන දත්ත ඔස්සේ මේ පිළිබඳ තවදුරටත් අවබෝධකර ගත හැකිය.

2019 ජනවාරි මාසය වන විට ලෝක ජනගහනය පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත

වර්ෂය             ලෝක ජනගහනය (මිලියන)

2015       –              7343

2016       –              7428

2017       –              7511

2018       –              7593

2019       –              7676

2019 ජනවාරි මාසය වන විට ගෝලීය අන්තර්ජාල පරිශීලකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත

වර්ෂය             ගෝලීය අන්තර්ජාල පරිශීලකයින් සංඛ්‍යාව (මිලියන)

2015       –              3008

2016       –              3429

2017       –              3773

2018       –              4021

2019       –              4388

2019 ජනවාරි මාසය වන විට ගෝලීය සමාජ මාධ්‍ය පරිශීලකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත

වර්ෂය             ගෝලීය සමාජ මාධ්‍ය පරිශීලකයින් සංඛ්‍යාව (මිලියන)

2015       –              2078

2016       –              2307

2017       –              2796

2018       –              3196

2019       –              3484

ඒ අනුව අන්තර්ජාලය බිහිවී ගතවූ දශක තුනෙන් දශක දෙකක් පමණ සමාජ මාධ්‍ය භාවිතයට මානව ප‍්‍රජාව යොමුවුව ද ඒ අතරින් වඩාත්ම සක‍්‍රීය දශකය 2010 වර්ෂයෙන් ඇරඹෙන දශකය බව ප‍්‍රකාශ කළ හැකිය.

පහත දැක්වෙන සටහන ඔස්සේ සමාජ මාධ්‍ය අවධියේ ස්ථාපිත වීම ඉතා පැහැදිලිව අවබෝධ කර ගත හැකිය.

සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ ක‍්‍රියාකාරිත්වය

සමාජ මාධ්‍ය අවධිය එතෙක් භාවිතයේ පැවති සියලූ සන්නිවේදන මාධ්‍යවල ආකෘතිය සහ ව්‍යුහය ප‍්‍රබල වෙනස්වීම්වලට ලක්කළේය. මුද්‍රිත ජනමාධ්‍ය මෙන්ම විද්‍යුත් ජනමාධ්‍ය ද මෙම තත්ත්වය තුළ සුවිශේෂී වෙනස්කම්වලට බඳුන් විය. ඒ අනුව මානව සමාජ ප‍්‍රගමනය තුළ ප‍්‍රථම වරට විද්‍යුත් මාධ්‍යයක් වශයෙන් සමාජයට අතිමහත් බලපෑමක් ඇතිකළ ගුවන්විදුලි මාධ්‍යය ද සමාජ මාධ්‍ය අවධිය තුළ වෙනස්වීම් රැසකට බඳුන්වී තිබේ. මෙම තත්ත්වය මූලිකවම න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම් වශයෙන් අවධානයට ලක්කළ හැකිය.

ගුවන්විදුලි මාධ්‍යය අප විසින් හඳුනාගනු ලබන්නේ “හඬ” මූලික කර ගත් ජනමාධ්‍ය ප‍්‍රවර්ගයක් වශයෙනි. එනම් ශ‍්‍රව්‍ය ගුණය පදනම් කරගත් ජනමාධ්‍යයක් ලෙස ගුවන්විදුලි ජනමාධ්‍යයේ ආකෘතිය සකස්වී ඇත. කෙසේ වුවත් ගුවන්විදුලියේ පැවැති මෙම ප‍්‍රාථමික ව්‍යවහාරික තත්ත්වය අද්‍යතනයේ අප ගතකරමින් ඉන්නා මෙම සමාජ මාධ්‍ය අවධිය තුළ වෙනසකට බඳුන්වී ඇති බව අධ්‍යයනයට ලක්කළ හැකිය. ඒ කෙසේද යත් ශ‍්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පමණක් පැවති ගුවන්විදුලි සන්නිවේදනයට දෘෂ්‍ය ක‍්‍රමවේද ද සංකලනය කරමින් විකාශන කටයුතු සිදුකිරීමට ජාත්‍යන්තර මෙන්ම දේශීය ගුවන්විදුලි මාධ්‍ය ආයතන ක‍්‍රියාකරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ අවධානය යොමු කළ හැකිය.

අන්තර්ජාලය ආරම්භ වීමෙන් පසු 1990 දශකයේදී එය පොදුජන භාවිතයක් බවට පරිවර්තනය වීමෙන් අනතුරුව ගුවන්විදුලිය ද අන්තර්ජාලයේ ශක්‍යතා භාවිතයට ගනිමින් ක‍්‍රියාත්මක වන්නට විය. 2010 වර්ෂයෙන් පසුව ඇරඹෙන අවධිය මෙම තත්ත්වය වඩාත් උත්කර්ෂයට පත්වූ යුගය වශයෙන් හඳුනාගත හැකි වන්නේ සමාජ මාධ්‍ය භාවිතය ද එම අවධියේදී ගෝලීය බහු ජන මෙවලමක් ලෙස වඩාත් ප‍්‍රචලිත මාධ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වීම හේතුවෙනි.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ වර්ධනය වන අන්තර්ජාලයේ නූතන ශක්‍යතා ගුවන්විදුලි මාධ්‍යය සිය අනාගත පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා භාවිත කරන්නට විය. එහිදී සමාජ මාධ්‍ය වේදිකාවල නූතනයේ වඩාත් ප‍්‍රචලිත භාවිතයක් බවට පත්ව ඇති සජීවී විකාශන සිදුකිරීම ගුවන්විදුලි නාලිකා ද සිය වැඩසටහන් ප‍්‍රවර්ධනය සඳහා භාවිත කිරීම දක්නට ලැබේ. විශේෂයෙන් එෆ්.එම්. තරංග ඔස්සේ සිදුකරන සම්ප‍්‍රදායික ගුවන්විදුලි විකාශනවලට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ එවා ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය  සජීවී වැඩසටහන් ලෙස විකාශය කිරීම ද දක්නට ලැබේ. තව ද පටිගත කර පසුව විකාශය කරන වැඩසටහන් වුවද වීඩියෝ ගතකර ශදමඔමඉැ වැනි සමාජ මාධ්‍ය වෙත මුදාහරින නව ප‍්‍රවණතාවක් ද සමාජ මාධ්‍ය අවධිය තුළ ගුවන්විදුලි ක‍්‍රියාකාරිත්වයේ නව්‍ය අංගයක් ලෙස භාවිත වෙමින් පවතී. ෂඔභ ත්‍ඵ නාලිකාවේ “හීන් සැරේ” වැඩසටහන මෙවැනි ස්වරූපයෙන් ශ‍්‍රාවකයින්ට නැරඹිය හැකි වැඩසටහනක් සඳහා නිදසුනකි. ඒ අනුව ශ‍්‍රී ලාංකේය ගුවන්විදුලි ක්ෂේත‍්‍රය තුළ මෙම නව සංකල්පීය භාවිත දක්නට ලැබීම ගුවන්විදුලි කර්මාන්තයේ සාධනීය තත්ත්වයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

මෙම තත්ත්වය එක්තරා අතකින් ගුවන්විදුලිය සිය ශ‍්‍රාවක පරාසය පුළුල් කර ගැනීමේ උපක‍්‍රමයකි. මන්ද යත් ගුවන්විදුලි යන්ත‍්‍රවලින් ගුවන්විදුලි නාලිකාවලට සවන්දෙන සාම්ප‍්‍රදායික ශ‍්‍රාවකත්වය මෙම සමාජ මාධ්‍ය ශක්‍යතාව ඔස්සේ අතික‍්‍රමණය කරන බැවිනි. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය පරම්පරාව ගුවන්විදුලිය කෙරෙහි ආකර්ෂණය කර ගනිමින් නව ශ‍්‍රාවක පිරිසක් ගුවන්විදුලි නාලිකා වටා ඒකරාශී කර ගැනීමට ද හැකියාව ලැබී ඇත. එම`ගින් සම්ප‍්‍රදායික ගුවන්විදුලි යන්ත‍්‍රය වෙනුවට  ඕනෑම ඩිජිටල් උපාංගයක් ගුවන්විදුලි වැඩසටහන් ශ‍්‍රවණය කිරීමට සහ නැරඹීමට යොදාගත හැකිය.

ගුවන්විදුලි වැඩසටහන් මෙසේ නැරඹීමට අවස්ථාව ලැබීම ම`ගින් ගුවන්විදුලි ශිල්පීන්ට ද සමාජ මාධ්‍ය තුළ සිය ප‍්‍රතිරූප ගොඩනඟා ගැනීමට හැකියාව ලැබී පවතී. සමාජ මාධ්‍ය අවධියට පෙර මෙම අවස්ථාව රූපවාහිනිය මඟින් හිමිවුණේ ගුවන්විදුලි ශිල්පීන් අතළොස්සකට පමණි. එහෙත් ගුවන්විදුලි ශිල්පීන්ව හඬින් පමණක් හඳුනාගැනීමට තිබූ අවස්ථාව මෙම සමාජ මාධ්‍ය යුගයේදී අහෝසි විය. ඒ අනුව ඔවුන්ට සිය ශ‍්‍රාවකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමට හැකි මාර්ගයක් සමාජ මාධ්‍ය ඔස්සේ විවෘත වන අතර තවදුරටත් ගුවන්විදුලි ශිල්පීන්ගේ හඬ පමණක් ශ‍්‍රාවකයින් ආකර්ෂණය වන එකම මාර්ගය බවට පත්නොවේ.

සමාජ මාධ්‍ය අවධියට පෙර පැවති සම්ප‍්‍රදායික ගුවන්විදුලි සන්නිවේදනයේ දක්නට ලැබුණු තත්ත්වයක් වූයේ ගුවන්විදුලියෙන් වැඩසටහනක් ප‍්‍රචාරය වූ අවස්ථාවේ එය ශ‍්‍රවණය කිරීමට නොහැකි වූවා නම් නැවත එය ශ‍්‍රවණය කිරීමට අවස්ථාවක් ශ‍්‍රාවකයින්ට නොමැති වීමයි. එනම් පුවත්පත් සන්නිවේදනයේ දී මෙන් ගුවන්විදුලි මාධ්‍ය සංදේශ යළි යළිත් භාවිතයට ගැනීමට හැකියාවක් නොතිබුණි. එහෙත් අන්තර්ජාලයේ ආගමනයත් සමඟ බිහිවන සමාජ මාධ්‍ය අවධිය තුළ මෙම ගැටලූවට විසඳුම් සැපයෙන අතර, සමාජ මාධ්‍ය අවකාශයේ දෘශ්‍යකරණයට ලක්වූ ගුවන්විදුලි වැඩසටහන් ඉතා පහසුවෙන් තැන්පත් කර තැබීමට හැකිවිය. මෙම තත්ත්වය ද ගුවන්විදුලි සන්නිවේදනයේ සම්ප‍්‍රදායික ව්‍යවහාරික ස්වරූපය සුවිශේෂී පරිවර්තනයකට ලක්කළ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිවේ.

සමාජ මාධ්‍ය අවකාශය තුළ ගුවන්විදුලි වැඩසටහන් විකාශය වන්නේ ඒවායේ ශිල්පී චර්යා වීඩියෝ දර්ශන ලෙස ඉදිරිපත් වීමෙන් පමණක් නොවන බව ද මෙහිදී සඳහන් කළ යුතුය. එනම් ගුවන්විදුලි වැඩසටහන් හඬින් පමණක් ශ‍්‍රවණය කළ හැකි පරිදි වීඩියෝ ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාල පරිශීලකයින්ට ශ‍්‍රවණය කිරීමට අවස්ථා සලසා තිබීම ද සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ තවත් සුවිශේෂී ව්‍යවහාරික ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. අද්‍යතන ලාංකේය ගුවන්විදුලි නාලිකාවල ක‍්‍රියාකාරිත්වය තුළද මෙසේ ශ‍්‍රවක ගතවූ වැඩසටහන් ගණනාවක් පෙන්වා දිය හැකි අතර FM දෙරණ නාලිකාවේ විකාශය වූ  “හීන ඇහි`දින යාළුවෝ”, සිත FM නාලිකාවේ ”මතක පද” හා සියත FM නාලිකාවේ ”DJ අරා සහ පැස්බරා”, ITN FM නාලිකාවේ “ටාසන් බාප්පා” වැනි වැඩසටහන් මෙසේ ශ‍්‍රාවකයින් අතර ජනප‍්‍රියත්වයට පත්වූ වැඩසටහන් කිහිපයකි.

ගුවන්විදුලි මාධ්‍ය මෙසේ ඩිජිටල් සන්නිවේදන මෙවලම් ඔස්සේ ජනප‍්‍රියත්වයට පත්වීම ජනමාධ්‍ය කර්මාන්තයේ ව්‍යවහාරික ස්වරූපය වෙනස්වීම්වලට ලක්කිරීමට ද හේතුවිය. එනම් ජනමාධ්‍ය අභිසරණ ක‍්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ගුවන්විදුලියේ මෙම ව්‍යවහාරික වෙනස්වීම් හේතුවී ඇත. අභිසරණය යනු පොදු අරමුණක් හෝ අභිලාශයක් ඉටුකර ගැනීම සඳහා එක්ව ක‍්‍රියාකිරීමයි. ඒ අනුව දේශපාලන හෝ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් නමැති ත්‍රෛ ස්වරූපීය ජනමාධ්‍ය ඒකාබද්ධව ක‍්‍රියාත්මක වීම දක්නට ලැබේ. මෙම ස්වභාවය තුළ විද්‍යුත් ස්වරූපීය ජනමාධ්‍ය ප‍්‍රවර්ගයක් වන ගුවන්විදුලිය සමාජ මාධ්‍ය අවධිය තුළ ඩිජිටල් ස්වරූපයට රූපාන්තරණයට ලක්ව ක‍්‍රියාත්මක වීම ඔස්සේ ජනමාධ්‍ය අභිසරණ ක‍්‍රියාවලිය වේගවත් හා අධිවේගී තත්ත්වයකට පත්වී තිබේ.

මෙම තත්ත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. යම් කිසි ජනමාධ්‍ය ආයතනයක ව්‍යාපාරික අරමුණක් ඉටුකර ගැනීම සඳහා පාරිභෝගිකයා පොළඹවන දැන්වීම් එම ජනමාධ්‍ය ආයතනයට අයත් මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් යන සියලූ ස්වරූපවල ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත හැකිය. එහිදී ගුවන්විදුලියේ සම්ප‍්‍රදායික ස්වරූපයෙන් පමණක් එය ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස් ගුවන්විදුලිය අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය අවකාශ තුළ ගොඩනඟා ගෙන ඇති නව්‍ය සන්නිවේදන භාවිතයන් ද ඊට යොදාගැනීමෙන් පාරිභෝගිකයින් රැසක් කරා අදාළ ව්‍යාපාරික පණිවිඩය ගෙනයාමට අවස්ථාව සැලසී තිබේ. සමාජ මාධ්‍යවල නූතනයේ වඩාත් ප‍්‍රචලිත භාවිතය වන සුහුරු ජංගම දුරකථන යෙදුම් (Mobile Applications) ඔස්සේ සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ ක‍්‍රමවේදය තුළ ජනමාධ්‍ය අභිසරණය සඳහා සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලි ජනමාධ්‍යයේ ශක්‍යතා අධිභාවිතයට ගත හැකිය.

ඒ අනුව සැලකීමේ දී සමාජ මාධ්‍ය අවධිය තුළ ව්‍යවහාරික වශයෙන් ගුවන්විදුලියේ ක‍්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමේදී සුවිශේෂී තත්ත්ව ගණනාවක් පෙන්වා දිය හැකිවේ. එම තත්ත්ව ආර්ථික, සමාජීය හා සංස්කෘතික සාධක කෙරෙහිද ප‍්‍රබල බලපෑමක් ඇති කරමින් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මෙහිදී අපට එළඹිය හැකි නිගමනය වෙයි.

සමාජ මාධ්‍ය අවධිය තුළ ගුවන්විදුලිය න්‍යායික වශයෙන් ද සුවිශේෂතාවලට බඳුන් වී ඇති බව අධ්‍යයනයට ලක්කළ හැකිවේ. විශේෂයෙන්ම සන්නිවේදන ආකෘති ඇසුරෙන් ගුවන්විදුලි සන්නිවේදනය විග‍්‍රහ කිරීමේදී ගුවන්විදුලියේ සම්ප‍්‍රදායික සන්නිවේදන රටාව, එනම් සමාජ මාධ්‍ය අවධියට පෙර ගුවන්විදුලි සන්නිවේදනයේ ස්වරූපය රේඛීය ආකෘතිමය ස්වරූපයක් ඉසිලීය. එය හුදෙක්ම සන්නිවේදකයාගේ සිට ශ‍්‍රවකයා දක්වා පමණක් ගමන් කෙරිණ.

මෙම මූලික රේඛීය සන්නිවේදන ආකෘතිය ග‍්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කළ ඇරිස්ටෝටල් සන්නිවේදන ආකෘතිය ලෙස ද හඳුන්වනු ලැබේ. සමාජ මාධ්‍ය අවධියට පෙර ගුවන්විදුලියේ සන්නිවේදන ක‍්‍රමවේදය මෙම ආකෘතිය මත පදනම් විය. එනම් ගුවන්විදුලි නිවේදකයා විසින් ඉදිරිපත් කරන මාධ්‍ය සංදේශය රේඛීයව ග‍්‍රාහකගත වීම සිදුවිය. මෙහිදී ග‍්‍රාහකයාට ඒ සම්බන්ධයෙන් සෘජුව ප‍්‍රතිපෝෂණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් හිමිනොවුණි. මෙම තත්ත්වය තුළ ගුවන්විදුලි සන්නිවේදකයාගේ ක‍්‍රියාකාරිත්වය සිය සන්නිවේදන භූමිකාව තුළ යම්කිසි අධිපතිවාදී ස්වරූපයකින් ඉස්මතු වූ අතර සමාජයට බලපෑම් කිරීම සඳහා ගුවන්විදුලි සන්නිවේදකයා සතුවූ බලය ඉතා ප‍්‍රබල මට්ටමක ද පැවතුණි. ඒ අනුව සන්නිවේදනයේ ප‍්‍රධාන ස්ථානය සන්නිවේදකයා විසින් දරණ මෙම සන්නිවේදන ආකෘතිය සන්නිවේදක කේන්ද්‍රීය සන්නිවේදන ආකෘතියක් ලෙස පෙන්වා දිය හැකිය. සම්ප‍්‍රදායික ගුවන්විදුලි සන්නිවේදන ආකෘතිය ගොඩනැගී තිබුණේ මෙම සන්නිවේදක කේන්ද්‍රීය ආකෘතිය මත පදනම් වෙමිනි.

ඒ අනුව සම්ප‍්‍රදායික ගුවන්විදුලි සන්නිවේදනය තුළ භාවිත වූ මෙම රේඛීය සන්නිවේදන ක‍්‍රියාවලිය ම`ගින් ජන මනස යම් ආකෘතිගත ස්වරූපයකින් හැඩගස්වමින් සමාජයේ පාලක පන්තියේ අදහස ජනගත කිරීමට ගුවන්විදුලිය අධිභාවිතයට ලක්වුණි. සමාජයට ඒ සඳහා බලපෑම් එල්ල කළ නොහැකි වූ නිසා මතවාද ගොඩනැංවීමේ ප‍්‍රමුඛ කාර්යභාරයක් ගුවන්විදුලිය ඉටුකළේය. ගුවන්විදුලිය සතුවූ මෙම සුවිශේෂී ශක්‍යතාව සමාජ මාධ්‍ය අවධියේදී වෙනස්වීමට බඳුන්වන්නේ සමාජ මාධ්‍ය සතුවූ සන්නිවේදක-පරිශීලක අන්තර්ක‍්‍රියාකාරී ශක්‍යතා ඔස්සේ අන්තර්සම්බන්ධතාවෙන් ක‍්‍රියාත්මක වන ගුවන්විදුලි භාවිතයක් ගොඩනැගීමත් සමඟිනි.

සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලි සන්නිවේදනයේ ස්වභාවය පහත සටහන තුළින් දැක්වේ.

මුල් අවධියේ ගුවන්විදුලි සන්නිවේදනයේ පැවති රේඛීය සන්නිවේදන ආකෘතිය සමාජ මාධ්‍ය අවධියේදී චක‍්‍රීය ස්වභාවයකට පත්වේ. මෙම තත්ත්වය සමාජ මාධ්‍යවල බලපෑමට ලක්වූ සෑම විද්‍යුත් මාධ්‍ය සන්දර්භයකම අධ්‍යයනය කළ හැකි තත්ත්වයකි. ගුවන්විදුලියේ මෙම න්‍යායික වෙනස්වීම එතෙක් පැවති ගුවන්විදුලි සංස්කෘතිය ද මුළුමනින්ම වෙනසකට බඳුන් කළේය. විශේෂයෙන්ම මෙම ග‍්‍රාහක ප‍්‍රතිපෝෂණ ගුවන්විදුලි වැඩසටහන් අන්තර්ගතය පෝෂණය කිරීමට හේතුවිය. මෙම තත්ත්වය තුළ ගුවන්විදුලි සන්නිවේදකයා ද දෛනික තොරතුරුවලින් නිරන්තරයෙන් යාවත්කාලීන වන පුද්ගලයෙකු බවට පත්වීම අත්‍යවශ්‍ය වූ අතර සමාජ මාධ්‍ය අවධියේ සන්නිවේදකයාගේ පැවැත්ම කෙරෙහි එය මූලික සාධකයක් ලෙස ඉස්මතු විය.

ඒ අනුව සමාජ මාධ්‍ය අවධිය තුළ ගුවන්විදුලිය මෙසේ න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම් ගණනාවකට ලක්ව ඇති බව නිගමනය කළ හැකිවේ. එය සමාජ මාධ්‍ය අවධියේ ශක්‍යතා මගින් සම්ප‍්‍රදායික ජනමාධ්‍ය ව්‍යුහයේ ඇතිකළ අනිවාර්ය වෙනස්වීම් ලෙස පෙන්වාදීම වඩාත් සාධාරණය. ඒ ඔස්සේ විද්‍යුත් ජනමාධ්‍යවල අනාගත පැවැත්ම යම් තාක් දුරකට තහවුරු කර ඇති නමුත් ඒවායේ සම්ප‍්‍රදායික ආකෘති තවදුරටත් වලංගු වේ යැයි අපේක්ෂා කළ නොහැකිය. එබැවින් සමාජ මාධ්‍ය අවධියේ විද්‍යුත් ජනමාධ්‍ය ඩිජිටල් තාක්ෂණික පරිසරයේ විභවතාවලට අවශෝෂණය වීම ප‍්‍රවණතාවක් වශයෙන් නොව සමාජ අවශ්‍යතාවක් ලෙස පෙන්වාදීම යුක්ති යුක්තය.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර

  1. Choudhury, N. (2014). World Wide Web and Its Journey from Web 1.0 to Web 4.0. International Journal of Computer Science and Information Technologies, 5 (6), 8096-8100.
  2. Tim Berners-Lee. (1998). “The World Wide Web: A very short personal history”, Retrieved from http://www.w3.org/People/Berners-Lee/ShortHistory.html
  3. International Telecommunication Union. (2018). For the first time, more than half of the world’s population isusing the Internet [Press release]. Retrieved from https://www.itu.int/en/mediacentre/Pages/2018-PR40.aspx
  4. A Little History of the World Wide Web. (1995). Retrieved from https://www.w3.org/History.html
  5. Hootsuite and We Are Social. (2019). Global Digital Report. Retrieved from https://wearesocial.com/global-digital-report-2019
  6. https://investor.fb.com
  7. https://news.linkedin.com/about-us

ආශ‍්‍රිත ලිපි

ගුවන්විදුලි ප්‍රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම්
සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය

Comments

comments