එන්රික්ගේ ප්‍රසංගය හා නූතන ලාංකේය සංස්කෘතියේ නිරුවත…

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී මෙරටේ දී පැවැත්වූ ජනප්‍රිය පොප් ගායක එන්රික්ගේ ප්‍රසංගය පිළිබඳ ඇතිවූ කතා බහ තවමත් නිමාවට පත් වී නොමැත. ඒ ප්‍රසංගය අතරතුර සිදු වූවා යැයි පැවසෙන තරුණියක් සිය යට ඇඳුම ගලවා ගායකයාට විසි කිරීම හා වේදිකාව මත දී ගායකයා හා තරුණියක් අතර සිදු වූ දෙතොල් සිප ගැනීමට අදාළ සිද්ධි ද්විත්වය හේතුවෙනි. ඒ අතරින් තරුණියක් සිය යට ඇඳුම ගලවා ගායකයා වෙත විසි කළ සිද්ධිය මෙරට සමාජය තුළ බොහෝ කතා බහට ලක්වූ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වූ අතර රටේ ප්‍රථම පුරවැසියා පවා එම ප්‍රසංගය පිළිබඳව අදහස් දැක්වීම තෙක් එම සිදුවීම දුරදිග ගිය බව දක්නට ලැබුණි.

එන්රික්ගේ මෙම ප්‍රසංගය මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට අයත් සමාගමක් විසින් සංවිධානය කළ බව පසුව දැනගන්නට ලැබුණි. ඒ එම ප්‍රසංගයට අදාළව කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් අදාළ ආයතනය විසින් වංචා කර ඇති බවට නැඟුණු චෝදනා හේතුවෙනි. එහෙත් එම බදු මුදල් වංචාව පිළිබඳ සිදුවීමට වඩා සමාජය තුළ ප්‍රවෘත්තියක් නිර්මාණය කළේ ඉහතින් සඳහන් කළ තරුණියකගේ යට ඇඳුමේ සිද්ධිය මඟිනි. එම සිද්ධිය පදනම් කර ගනිමින් බොහෝ දෙනා මෙරටේ සංස්කෘතිය පිළිබඳව අදහස් පළ කරමින් සිටින අතර එනිසාම ඒ පිළිබඳව Iranga.net තුළ ද සටහනක් තැබීම වැදගත් බව සිතුවෙමි.

ඉකුත් වසරේ පැවති එන්රික්ගේ එම ප්‍රසංගය පදනම් කර ගනිමින් ලාංකේය සංස්කෘතියට එම ප්‍රසංගය මඟින් ඇති කළ බලපෑම සාකච්ඡාට බඳුන් කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බව මුලින්ම සඳහන් කළ යුතුය. මන්ද යත් එම ගායකයාට අදාළව ගොඩනැඟී ඇති සංස්කෘතිය තුළ මෙම සිදුවීම තවත් එක් සිදුවීමක් පමණක්ම වන නිසාවෙනි. එහෙත් එම සිදුවීම මෙරට තුළ සිදුවීම ඔස්සේ එය ලාංකේය සංස්කෘතියට එල්ල කළ දැවැන්ත පහරක් ලෙස ඉස්මතු කිරීම කිසිසේත් සාධාරණ නොවේ. එසේම තවත් අතකින් මෙවැනි ප්‍රසංග මෙරට තුළ සංවිධානය කිරීමට මෙම සිද්ධිය පාදක කර ගනිමින් අනාගතයේ දී ඉඩ නොතබන්නේ නම් එය ද එතරම් උචිත ක්‍රියාවක් නොවේ. ඒ මෙවැනි ප්‍රසංග සංවිධානය නොවූ පමණින් නූතන ලාංකේය සංස්කෘතිය ශීලාචාර එකක් වන බව පැවසිය නොහැකි බැවිනි.

විශේෂයෙන්ම මෙම සිදුවීම පිළිබඳ පසුගිය දින ගණනාව පුරා මාධ්‍ය මඟින් හා විවිධ තරාතිරම්වල පුද්ගලයින් විසින් සාකච්ඡාවට ලක් කළේ සැබවින්ම මෙරට සංස්කෘතිය තුළ සමාජගතවී සිදු වෙමින් පවතින සංස්කෘතික විරෝධී ක්‍රියාකාරකම් සිය ගණනක් දෛනිකව සිදුවන තත්වයක් තුළ බව ඔවුන්ට පෙරළා ප්‍රකාශ කළ යුතුය. එනම් වීදි ගණිකාවකගේ සිට සුපිරි ගණිකාවක් දක්වා ගණිකා ව්‍යාපාරය අතිඋත්කර්ෂයෙන් සිදුවන සමාජ වටපිටාවක් තුළ මෙන්ම කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් මඟින් පාලනය කළ නොහැකි පරිගණක හා ජංගම දුරකථන පදනම් කර ගත් අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ සිදුවන ලිංගික ක්‍රියාකාරකම් ද දහස් ගණනින් සිදුවන වටපිටාවක් තුළය. මෙම තත්ව තුළ වර්ධනය වූ නූතන ලාංකේය සංස්කෘතියේ නිරුවත දැනට දින කිහිපයකට පෙර මෙරට පොලීසිය විසින් පසුගිය වර්ෂය පදනම් කර ගනිමින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන වාර්තාවකින් ද හෙළිදරව් විය. ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසය තෙක් සිදුවූ 1800 කට අධික ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව අතරින් සිදුවීම් 1200 කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමුන් සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදුණු අවස්ථා ලෙස වාර්තා වීමයි. එනිසා මෙම ඛේදනීය තත්වය පිළිබඳව හෝ මෙරට සංස්කෘතියේ සුදු පිරුවටයට යටින් ජයටම සිදු කරන ගණිකා ව්‍යාපාරය පිළිබඳව හෝ අබමල් රේණුවක තරමටවත් අවධානය යොමු නොකරමින් ගලවා විසි කළ කාන්තා යට ඇඳුමක එල්ලී ලාංකේය සංස්කෘතිය පිළිබඳ අර්ථකතන සැපයීම සැබවින්ම විහිළු සහගතය.

මෙම කාරණා පිළිබඳව තවදුරටත් අවධානය යොමු කිරීමේ දී පැවසිය යුතු වන්නේ සියල්ලෝම කතා කරන්නේ තරුණියක් ගලවා විසි කළ යට ඇඳුම පිළිබඳ පමණක්ය යන්නයි. එනම් දෛනිකව ගණිකාවන් වෙත යමින් සිය මන දොළ සපුරා ගන්නා පාසල් සිසුවාගේ සිට විවාහක  පුරුෂයා තෙක් වූ සමාජ විරෝධී හැසිරීම හෝ ගණිකා ව්‍යාපාරය වෙත යොමු වන වීදි දැරිවියගේ සිට සුඛෝපභෝගී ජීවිත ගත කරන වායු සමනය කළ රථවලින් ගමන්බිමන් යන සුපිරි ගණිකාවන්ගේ හැසිරීම පිළිබඳ කිසිවෙකුත් කතා කරන්නේ නැත. එසේම ගණිකාවන් ලෙස සමාජය ඉදිරියේ පෙනී නොසිටින නමුත් මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් පිරිමින් වෙත ලිංගික ආශ්වාදය සපයන ඇතැම් පාසල් සිසුවියන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුවියන් හා අනෙකුත් කාන්තා පාර්ශවයේ හැසිරීම පිළිබඳව ද කිසිවෙකුත් කතා නොකරති. තව ද විශේෂයෙන්ම පැවසිය යුතු කරුණක් වන්නේ Skype ඔස්සේ තම පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ කැමරාව ඉදිරියේ නිරුවත් වන හා Viber ඇතුළු මාර්ගගතව (Online) සංවාද පවත්වන මෘදුකාංග මඟින් හෝ MMS භාවිතයෙන් සිය නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරූප පිරිමින් වෙත යවන පාසල් වයසේ පසුවන යෞවනියන්, විශ්වවිද්‍යාල තරුණියන් ඇතුළු විවිධ මට්ටමේ රැකියා කරන අවිවාහක තරුණියන්ගේ හා විවාහක කාන්තාවන්ගේ හැසිරීම පිළිබඳව ඔවුන්ගේ මිතුරු මිතුරියන්, දෙමව්පියන්, පෙම්වතුන් හා ස්වාමිපුරුෂන් ඇතුළු ඔවුන්ගේ ජීවිත ගැන වග කියන හා ඒවා පිළිබඳ සමාජයේ වගකිව යුතු පුද්ගලයන් කිසිවෙකුත් අවධානය යොමු නොකිරීමයි. මේ එන්රික් වෙතට විසි කළ කාන්තා යට ඇඳුමට වැසී ඇති නූතන සැබෑ ලාංකේය සංස්කෘතියේ නග්නත්වයයි.

එසේ නම් මෙවැනි තත්ව පිළිබඳ වචනයකුදු නොදොඩන සමාජයක් විසින් තරුණියකගේ යට ඇඳුමක් ගලවා විසි කිරීමක් ගැන කුතුහලයෙන් කථා කිරීම හාස්‍යජනකය. එය දැවැන්ත හස්තියෙකු දෑතින් වැසීමට ගන්නා නිරර්ථක උත්සහයක් හා සමාන වන බව මෙම සිදුවීම හෙළා දකිමින් අදහස් පළ කරන සියලු දෙනා සිහි තබා ගත යුතුය. එසේම අනාගතයේ දී මෙරට තුළ පවත්වන මෙවැනි ප්‍රසංගයක් අතරතුර තරුණියක් සිය ඇඳුම් උනා දැමූ බවට ප්‍රවෘත්තියක් වාර්තා වුවහොත් අප කලබල විය යුතු නැත. මන්ද යත් එවැනි දෙයක් සිදු කිරීමට ඕනෑම අයෙකුට නිදහස ඇති සේම බටහිර සංස්කෘතියට සාපේක්ෂව වඩා යහපත් යැයි උදම් අනන නූතන ලාංකේය සංස්කෘතිය තුළ එවැනි සිදුවීම් අප්‍රකටව ඕනෑ තරම් සිදුවන නිසාවෙනි. එබැවින් අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ තරුණියකගේ යට ඇඳුමක එල්ලී ලාංකේය සංස්කෘතිය පිළිබඳව නන් දෙඩවීම නතර කොට ඊට වඩා දහස් ගුණයකින් ලාංකේය සමාජය තුළ සිදුවන සංස්කෘතික විරෝධී ක්‍රියා දෙස ඇස් ඇර බලා එවැනි දෑ සිදු නොවීමට වග බලා ගැනීම මෙරටේ ප්‍රථම පුරවැසියාගේ පටන් සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වන බවය.

Comments

comments