ශ්‍රී ලංකාවේ අසාර්ථක විද්‍යුත් ඉගෙනුම හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අර්බුදය

කොරෝනා වෛරසය හේතුවෙන් අනපේක්ෂිතව උද්ගත වූ තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු මුළුමනින්ම ඇනහිටියේය. ඒ අනුව පාසල්වලට පසු විශ්වවිද්‍යාල ද වසා දැමුණු අතර අමතර පංති පැවැත්වීම ද තාවකාලිකව නතර කළේය. මෙම පසුබිම තුළ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු විද්‍යුත් ක්‍රමයට (e-Learning) පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝව මඟින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් මාර්ගගතව සම්බන්ධ කර ගනිමින් පසුගියදා පවත්වන ලදි (එම සාකච්ඡාව පහතින් නරඹන්න). ඒ පිළිබඳව සහ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යුත් ඉගෙනුම් ක්‍රමවේදය භාවිතයට ගැනීම පිළිබඳ මෙම සටහනින් අවධානය යොමු කෙරේ.

විද්‍යුත් ඉගෙනුම පිළිබඳ ශ්‍රී ලංකාවේ මෙම ප්‍රවේශය හුදෙක් අනතුරකට පසු එළඹුණු හදිසි ක්‍රියාමාර්ගයක් බව මෙහිදී මුලින්ම පැවසිය යුතු කරුණයි. එනම් කිසිදු සූදානමක් හෝ විධිමත් ප්‍රවේශයක් නොමැතිව එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධ කිරීමට උත්සාහ දැරීම මේ වන විට මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවතින අර්බුදය තවදුරටත් ව්‍යාකූල කිරීමට හේතුවන බව පැවසිය යුතුය. ඒ පිළිබඳ තවදුරටත් මෙසේ අවධානය යොමු කළ හැකිය.

නව දැනුම උත්පාදනය කිරීමෙන් වැළකී පැරණි දැනුම පුනරුච්ඡාරණය කරන ‘නාමික උගතුන්’ පමණක් බිහිකරන ආයතන බවට ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය පත්ව තිබීම වර්තමානයේ දක්නට ලැබෙන අතිශය කණගාටුදායක තත්ත්වයකි. මෙම නාමික උගතුන් අතරින් විභාගවලට වැඩිම ලකුණු ලබාගන්නා පුද්ගලයන් පසුව විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය තනතුරුවලට බඳවා ගැනීම සිදුවන අතර විෂයන් සම්බන්ධයෙන් කටපාඩම් කළ තොරතුරු මිස වර්ධනය කර ගත් දැනුමක් ඔවුන් තුළ නොමැති බැවින් කටපාඩමේ පවතින තොරතුරු පුනරුච්ඡාරණය කරමින් ඒවා විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ට ලබාදීම ඔවුහු සිදුකරති. මාගේ ප්‍රථම උපාධිය වෙනුවෙන් මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර මේ වන විට වසර 4 ක් පමණ ගත වුව ද නිබන්ධන රචනා කිරීම ඇතුළු විවිධ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් මා සමඟ සම්බන්ධතා පවත්වන බැවින් දැනුමෙන් හිස් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් මා සමඟ බෙදා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මාගේ සරසවි අධ්‍යාපන අවදියේදී ද අත්දැකීම් රැසක් මා ලබා තිබේ.

වර්තමානයේ බොහෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඔවුන්ට නියමිත දේශනය පරිගණකය ඇසුරින් නිර්මාණය කරගත් ඉදිරිපත් කිරීමක් (Presentation) ඇසුරින් සිදු කිරීමට පෙළඹී සිටීම සහ එම ඉදිරිපත් කිරීමට ඔබ්බෙන් කිසිදු විග්‍රහයක් සිදුකිරීමට ඔවුන් අපොහොසත් වීම වර්තමානයේ දක්නට ලැබෙන ඉතා සුලබ තත්ත්වයකි. ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීමට කිසියම් සිසුවෙකු පෙළඹුණහොත් කුමක් හෝ පිළිතුරක් දී එම අවස්ථාව මඟහරිනවා විනා විෂය කරුණුවලට අදාළ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් හෝ ඊට සම්බන්ධ වෙනත් කරුණක් පිළිබඳ සමගාමී විග්‍රහයක යෙදීමට ඔවුන්ට නොහැකි වීම ඉතා කණගාටුදායකය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් යනු විෂය කරුණුවලින් ඔබ්බට ගොස් ඒවාට අදාළ ඕනෑම දෙයක් පිළිබඳ ස්වයං අර්ථකථනයක් හා විග්‍රහයක් ඉදිරිපත් කිරීමට හැකියාව පැවතිය යුතු තැනැත්තන් වුවත් වර්තමාන බොහෝ කථිකාචාර්යවරුන් තුළ එම දැනුම හීනකම සමස්ත විශ්විද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය කඩාවැටීමට හේතුවක් බවට පත්වී ඇත. මෙම දැනුම හීන පිරිස මගින් විද්‍යුත් ඉගෙනුම ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ දැනුම දරිද්‍රතාව තීව්‍ර කිරීමට තවදුරටත් හේතුවක් බවට පත්වනවා විනා ඉන් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන යහපතක් නොමැත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු විද්‍යාර්ථියා සහ කථිකාචාර්යවරයා අතර නිරන්තර සංවාද මඟින් ගොඩනැංවිය යුතු ක්‍රියාවලියකි. එය කිසි විටෙකත් රේඛීය සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් නොවිය යුතුය. යම් විෂයකට අදාළ තොරතුරු, මූලධර්ම යනාදිය රේඛීය සන්නිවේදන මාදිලියෙන් ඉදිරිපත් කළ හැකි වුව ද තොරතුරු දැනුම බවට පරිවර්තනය කිරීම තොරතුරු ලබාදීමෙන් පමණක් සිදුකළ නොහැක. මෙරට උපාධි පාඨමාලාවල අධ්‍යාපනය ලබාදීමේ ආකෘතිය මෙම රේඛීය ආකෘතිය මත ක්‍රියාත්මක වුවත් එය නිවැරදි ක්‍රමය නොවන බව මෙරට විශ්වවිද්‍යාල ප්‍රජාව තේරුම්ගත යුතුය. මෙම තත්ත්වය තුළ විද්‍යුත් ඉගෙනුම මෙරට විශ්විද්‍යාල අධ්‍යාපනයට යොදා ගැනීම ඔස්සේ අධ්‍යාපනය හුදෙක්ම තොරතුරු අත්පත් කර ගැනීම බවට යළි යළිත් තහවුරු කරමින් සහතිකයකට පමණක් සීමා වූ නාමික උගතුන් සමූහයක් බිහිකිරීම සිදුවේ. පරිගණක ඉදිරිපත් කිරීමකට පමණක් සීමාවන කථීකාචාර්යවරුන්ට එම ඉදිරිපත් කිරීම හෝ ඔවුන්ගේ දේශන සටහන් විද්‍යුත් මාර්ගයෙන් සිසුන් වෙතට පත්කොට දුරස්ථ කථිකාචාර්ය භූමිකාවක නිරතවීමට අවස්ථාව ලැබෙන බැවින් ඔවුන් විසින් දේශන ශාලාවේදී මඟහරින ලද කථිකාචාර්යවරයාගේ තර්කානුකූල සහ සංවාදාත්මක භූමිකාව විද්‍යුත් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ කිසිසේත් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් බව ප්‍රකාශ කිරීම වැදගත්ය.

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යුත් ඉගෙනුම ක්‍රියාත්මක කිරීම අසාර්ථක වීමට බලපාන තවත් හේතුවක් ලෙස මාර්ගගත මූලාශ්‍ර (Online references) භාවිත කිරීමේදී ඇතිවන ගැටලු පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම මාර්ගගත මූලාශ්‍ර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශිත ග්‍රන්ථ පරිශීලනයේදී භාෂා දැනුම මඳකම හේතුවෙන් බොහෝ සිසු සිසුවියන් දුෂ්කරතාවලට පත්වේ. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව බැහැර කළ නොහැකි කරුණක් වුවත් මෙරට විශ්වවිද්‍යාල සිසු සිසුවියන් බොහෝ පිරිසක් සිංහල භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරන බැවින් ඔවුන්ට අවශ්‍ය ශාස්ත්‍රීය ග්‍රන්ථ විද්‍යුත් ඉගෙනුම වැනි ක්‍රමවේදයක් තුළ පවා භාවිත කිරීමට හැකි අවස්ථා සකස් වී තිබිය යුතුය.

කෙසේ වුවත් මේ වන විට සිංහල භාෂාවෙන් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ මාර්ගගත මූලාශ්‍ර ලෙස භාවිත කිරීමට හැකි කිසිදු විධිමත් ක්‍රමවේදයක් මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් සතුව නොමැති අතර මා සරසවි අධ්‍යාපනය ලබන අවදියේදී ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රංජන් මහතාගේ සංකල්පයක් අනුව එතුමාගේ කෘති සහ ශ්‍රී පාලි මණ්ඩපයේ මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය (CMR) විසින් ප්‍රකාශිත කෘති මාර්ගගතව භාවිත කළ හැකි ලෙස මා විසින් සකස් කරනු ලැබීය. විශාල කාලයක් වැයකොට මහත් වෙහෙසක් දරා මා මෙම කෘති සකස් කළ ද මාධ්‍ය පර්යේෂණ ඒකකයට වෙනමම වෙබ්අඩවියක් පවත්වාගෙන යාමට හැකියාව නොමැති බවට ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මාර්ගගතව මෙම කෘති පරිශීලනය කිරීමට සිසු සිසුවියන්ට තිබූ අවස්ථාව අහිමි වුණි. එදා එම අවස්ථාව හිමිවූවා නම් සිසු සිසුවියන්ට සිය අධ්‍යයන අවශ්‍යතා මාර්ගගතව සපුරා ගැනීමට එම කෘති මගින් මහත් පිටිවහලක් ලැබෙන බව නොඅනුමානය. විද්‍යුත් ඉගෙනුම වැනි ක්‍රමවේද භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමුකිරීමේදී ඒ සඳහා වැදගත් වන මෙවැනි පහසුකම් ඇතිකිරීම පිළිබඳව ද අවධානය යොමුකිරීම වැදගත් බව අවධාරණය කළ යුතුය.

ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යුත් ඉගෙනුම යොදාගැනීම අසාර්ථක බව පෙන්වාදිය හැකිය. එනම් විද්‍යුත් උපංග හා අන්තර්ජාල සම්බන්ධතා වැනි විද්‍යුත් ඉගෙනුම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් පැවතීම පමණක් විද්‍යුත් ඉගෙනුම සාර්ථක කර ගැනීමට හැකි එකම මාර්ගය නොවන බව අවධාරණය කළ යුතුය. පසුගියදා කැම්පස් රේඩියෝව සංවිධාන කළ සාකච්ඡාව මගින් විද්‍යුත් ඉගෙනීම මෙරටේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ සංවාදයකට ප්‍රවේශයක් සැපයීම වැදගත් බව මෙහිදී සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම රටක අනාගතය තීරණය කරන අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වගකිවයුත්තන් විසින් තීරණ ගැනීමේදී එය වඩාත් පුළුල් අවබෝධයකින් යුතුව සිදුකිරීම අතිශය වැදගත් බව මෙහිදී අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝව මගින් පැවැත්වූ විද්‍යුත් ඉගෙනුම පිළිබඳ විශේෂ සාකච්ඡාව

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් පහතින් හෝ මාගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්න.

 

Comments

comments

One comment

  1. Dear, do you know that mode of instruction for most of the academic programs in English and the students are being given a plethora of opportunities for them to improve their English and IT during campus life? They are granted a computer loan also. Hence it is their fault not to learn English even just to read some online sources. Then why should we expect the sources or the referencing journals to be translated for a mere backward request from a small community? And also what you think about the usage of LMS by university academics (especially in the areas of humanities, arts, etc)?
    P.S. I have to type in English as I’m not facilitated enough now to type in Sinhala.

Please comment using your facebook account.