ස්වර්ණවාහිනියට මොකද වුණේ…? (ජනමාධ්‍ය කළමනාකරණය ලිපි)

ජනමාධ්‍ය ආයතනයක පරිපාලනය මූලික කොටස් ද්විත්වයකින් විග්‍රහ කළ හැකිය. එක් අංශයක් මූල්‍ය/සේවක කළමනාකරණය වන අතර අනෙක් අංශය වන්නේ ජනමාධ්‍ය සංදේශවල අන්තර්ගතය කළමනාකරණයයි. පුද්ගලික හෝ රාජ්‍ය ආදී වූ කවර හිමිකාරිත්වයක් යටතේ වුව ද මාධ්‍ය ආයතනයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ ඉහත සාධක ද්විත්වය කළමනාරණයට එහි පාලකයින් සතු දැනුම, අවබෝධය හා දක්ෂතාව මතයි. මෑත කාලයේ මෙරට සාර්ථක වූ මාධ්‍ය ආයතන මෙන්ම එක්තරා අවධියක ස්වර්ණමය යුගයේ පැවති ඇතැම් ආයතන කළමනාකරණ දුර්වලතා මත පරිහානියට පත්වීම ද දැකගත හැකිවේ. මේ පිළිබඳ මාගේ අත්දැකීම් සහ විග්‍රහයන් ලිපි පෙළක් මගින් මෙසේ ඉදිරිපත් කරමි.

ඒ අනුව මෙම සටහන් මාලාව ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ කළමනාකරණය සම්බන්ධයෙන් මා අත්විඳි අත්දැකීම් ඇසුරෙන් ආරම්භ කළ යුතු යැයි මම කල්පනා කළෙමි. ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාවේ අමරණීය යුගයක් ස්වර්ණවාහිනිය ඉදිරියේ සනිටුහන් වී ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. අප ළමා කාලයේ රස විඳි එහි වැඩසටහන් අපගේ විඥානයේ තවමත් ගැඹුරු ලෙස රැඳී පවතියි. එසේ වුවත් එය එක්තරා යුගයක් පමණක් නියෝජනය කළ තත්ත්වයක් ලෙස පෙන්වා දීම වඩාත් නිවැරදි යැයි සිතේ. ඒ වර්තමානයේ ස්වර්ණවාහිනිය යනු මීට දශකයකට එපිට දක්නට ලැබුණු ස්වර්ණවාහිනී භූමිකාවේ සංවර්ධනීය නොව අවවර්ධනීය අවධියක් ලෙස සංකල්පීකරණයට ලක්කළ බැවිනි. ඊට හේතු මෙම සටහනේ ඉදිරියේදී ඔබට දැනගත හැකිවනු ඇත.

මා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ සේවයට එක්වන්නේ 2018 වසරේ මැදභාගයේදී පමණය. එවිට එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අංශය ගොඩනැඟූ දැවැන්ත චරිතයක් ලෙස හඳුනාගත හැකි ෂෙහාන් බරණගේය. ප්‍රවෘත්ති කළමනාකරණයට ඔහු අතිදක්ෂයෙකු වුවත් ස්වර්ණවාහිනී නාලිකාව අරබයා කැපී පෙනෙන මෙහෙයක් ඔහුට ඉටුකිරීමට හැකිවූවා දැයි යන්න සැකසහිතය. මා විශ්වාස කරන්නේ සමකාලීන ස්වර්ණවාහිනී පාලනාධිකාරිය ඊට හේතු වූ බවයි. කෙසේ වුවත් ඔහු එම ආයතනයෙන් ඉවත් වීමෙන් පසුව ප්‍රවෘත්ති අංශයේ පාලනය පැවරෙන්නේ ස්වර්ණවාහිනියේම වසර ගණනාවක් සේවය කළ නමුත් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කිසිදු දක්ෂතාවක්, හැකියාවක් හෝ අත්දැකීමක් ප්‍රගුණ නොකළ අයෙකු වෙතය. ඔහු යටතේ මා ද කලක් සේවය කළ බැවින් කලක් රට අවදි කළ ජාතික නාලිකාවක ප්‍රවෘත්ති අංශය ඔහුගේ කළමනාකරණ දුර්වලතා මත වියවුල් පිරි තැනක් බවට පත්වූ අයුරු මාගේ අත්දැකීමෙන්ම මම දිටිමි.

ඔහුගේ මෙම පාලන අවධියේදී ස්වර්ණවාහිනියේ ඇතැම් සේවකයින්ට එරෙහිව පළිගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද දක්නට ලැබුණි. ප්‍රවෘත්ති නිවේදනයේ නිරත වූ ස්වර්ණවාහිනියේ ප්‍රවීණ නිවේදකයෙකු ද ඒ අනුව මෙම නිලධාරියාගේ අසාධාරණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් නිල නොවන අන්දමින් සේවයෙන් පහකර තිබුණි. එනම් එම ප්‍රවීණ නිවේදකයා රූපවාහිනී තිරය ඉදිරියේ පෙනීසිටීම අත්හිටුවා තිබූ අතර ප්‍රවෘත්ති අංශයේ වෙනත් කටයුතු සඳහා ඔහු යොදවනු ලැබ තිබුණි. එය ආයතන හිමිකාරිත්වයේ උපදෙස් අනුව සිදුවූ බව විශ්වාස කළ හැකිය. එම නිවේදකයා කෙරෙහි අදාළ නිලධාරියා තුළ පැවති විරෝධයේ තරම මා මුහුණ පෑ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් මෙසේ පැවසිය හැකිය.

2018 වසරේදී මාගේ කෘති ද්විත්වයක් එළිදැක්වීම සඳහා උත්සවයක් සංවිධාන කර තිබූ අතර එහි නිවේදන කටයුතු සඳහා ඉහත කී ප්‍රවීණ නිවේදකයා සහභාගි කර ගැනීමට මම කථිකා කර ගෙන සිටියෙමි. එහෙත් මේ බව දැනගත් ප්‍රවෘත්ති අංශය පාලනය කළ අදාළ නිලධාරියා මා හට පැවසුවේ එම නිවේදකයා සහභාගි කරගත හොත් කෘති එළිදැක්වීමේ උත්සවය ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය කළ නොහැකි බවයි. එය මා හට යම් කම්පනයක් ඇති කළ ප්‍රකාශයක් වූ බැවින් අදාළ නිවේදකයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු යොදාගෙන එම උත්සවය පැවැත්වීමට මම පියවර ගත්තෙමි.

එදිරිසිංහ පවුලේ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වූ ස්වර්ණවාහිනී ආයතනය සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු ඇගේ දූ පුතුන් අතර ඇතිවූ බල අරගලයේ ගොදුරක් බවට පත්විය. ඔවුන් අතරින් එක් පුද්ගලයෙකුගේ බලය වඩාත් ප්‍රබල වූ බැවින් ඔහුගේ තීරණ ස්වර්ණවාහිනී ආයතනයේ අදූරදර්ශී පාලනය සඳහා හේතුවූ බව දක්නට ලැබේ. දීපා එදිරිසිංහ මහත්මිය කොළඹ මහනගර සභාවට තරඟ කළ බැවින් මීට පෙර සඳහන් කළ නිවේදකයාගේ මාර්ගයෙන් ඇගේ ඡන්ද ව්‍යාපාරයේ එක් අංශයකට සම්බන්ධ වීමට මා හට අවස්ථාව සැලසුණු අතර ඒ හේතුවෙන් කිහිප වතාවක් ඇය පෞද්ගලිකව හමුවීමට ද මට හැකිවිය. එහිදී විද්‍යාමාන වූයේ ස්වරණවාහිනියේ කටයුතුවලින් ඇයව පවා බැහැර කර තිබූ බවයි.

මෙම අවධියේ මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධූරය දැරුවේ මහේන් පෙරේරා නමැති පුද්ගලයාය. එදිරිසිංහ පවුල වෙතින් ස්වර්ණවාහිනියේ හිමිකම නව පාර්ශ්වයක් වෙත පැවරුණු විට ද මහේන් පෙරේරා මෙම තනතුරේම රැඳී සිටි අතර ඔහුගේ ක්‍රියාපිළිවෙත ද ස්වරණවාහිනී සේවකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබුණි. සේවක මර්දනය කිරීම් රිසි පරිදි ක්‍රියාවට නැංවීමට ද හෙතෙම ක්‍රියාකළ අතර අවසානයේ ඔහුව ආයතනයෙන් පන්නා දමන තෙක් සේවක විරෝධය උග්‍ර විය. එය සිදුවූයේ ඔහු ඉවත් කරන්නැයි පාලනාධිකාරියට බලකරමින් සේවකයින් වෘත්තියක් සමිතියක් ගොඩනැගීම හේතුවෙන් සේවකයින් 15 දෙනෙකු වැඩ තහනමට ලක්වීම පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙසය. එම වැඩ තහනමට විරෝධය පා සේවකයින් වැඩ වර්ජනයක් ද ආරම්භ කළ අතර ඒ හේතුවෙන් රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය අත්හිටුවීමට සිදුවීම මෙරට මාධ්‍ය වංශකතාවේ අඳුරු දිනයක් ලෙස සනිටුහන් විය. දින 2 ක් පමණ පැවති මෙම වැඩවර්ජනයෙන් පසු පාලනාධිකාරිය විසින් මහේන් පෙරේරාව ඉවත් කරන බව දැන්වීමෙන් පසු වර්ජනය අවසන් වූ අතර වැඩ තහනමට ලක්වූ සේවකයින්ද යළි සේවයේ පිහිටුවීම සිදුවිය.

මහේන් පෙරේරාගේ සමයේ ස්වර්ණවාහිනී නාලිකාවේ සිදුවූ තවත් සුවිශේෂී වෙනස්කමක් වන්නේ එහි ලාංඡනය වෙනස් කිරීමයි. එය ද සාර්ථක ප්‍රයත්නයක් නොවූ බව පැහැදිලි වූයේ සේවකයින්ගේ මැදිහත්වීමෙන් යළිත් පැරණි එහෙත් අභිමානය නිරූපණය කළ ලාංඡනයම භාවිත කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.

මෙසේ කළමනාකරණ දුර්වලතා මධ්‍යයේ ස්වර්ණවාහිනිය ග්‍රාහක සමීක්ෂණ අගයන්වලින් පහළට වැටී ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණයෙන් ගිලිහෙන නාලිකාවක් බවට පත්වීම ඛේදජනකය. මෙම දරුණු අර්බුදකාරී සමය පසුකරමින් නාලිකාව මේ වන විට ඉදිරියට ගමන් කරමින් ඇති නමුත් තවමත් එය සාර්ථක තත්ත්වයකට පත්ව ඇති බවක් දක්නට නොලැබේ. හිරු නාලිකාවේ සේවය කළ රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චිගේ ආගමනයෙන් පසු ස්වර්ණවාහිනියට යළිත් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ බැබලීමට හැකිවේදැයි අපි දෙනෙත් දල්වා බලා සිටිමු.

ආශ්‍රිත ලිපි
අභිමානය යළි ඇතිකර ගැනීමට පමා නැති ස්වර්ණවාහිනිය

Comments

comments