“සන්නාමික ඕපාදූප” හෙවත් හිරු ගොසිප් (ජනමාධ්‍ය කළමනාකරණය ලිපි)

මම කලක් ලෝටස් ටෙක්නොලොජීස් ආයතනයේ සේවය කළෙමි. හිරු මාධ්‍ය ආයතනයට අයත් වෙබ්අඩවි පවත්වාගෙන යනු ලබන්නේ මෙම ආයතනය විසිනි. මෙහිදී මා හට ජනමාධ්‍ය කළමනාකරණයට අදාළ වන නමුත් වැඩි අවධානයකින් සාකච්ඡා නොකෙරෙන අංශයක් පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමට හැකිවූ අතර ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳ මාගේ මෙම ලිපිය ඒ පිළිබඳවයි.

ජනමාධ්‍ය කළමනාකරණයේදී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්කරන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පිළිබඳ පමණි. එනම් රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා සහ පුවත්පත්වලට අදාළ කළමනාකරණය පිළිබඳවයි. එහෙත් මෙම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අමතරව ජනමාධ්‍ය කළමනාකරණයේදී අවධානය යොමුකළ හැකි මාධ්‍ය ප්‍රවර්ගයක් ලෙස ඕපාදූප මාධ්‍ය පෙන්වා දිය හැකිය. එනම් සරලව කිවහොත් ගොසිප් වෙබ්අඩවි වේ. මාගේ නිරීක්ෂණය සහ අත්දැකීම් අනුව ගොසිප් වෙබ් මාධ්‍යය ජනමාධ්‍ය කළමනාකරණය සඳහා වඩාත් විධිමත්ව සහ සාර්ථකව යොදා ගනු ලබන්නේ හිරු මාධ්‍ය ආයතනයයි.

ගොසිප් හෙවත් ඕපාදූප යැයි පැවසූ සැනින් බොහෝ දෙනෙකු තුළ ඇති වන්නේ නිශේධනීය අදහසකි. එනම් වගකීම් විරහිත හා ප්‍රමිතියක් නොමැති සන්දර්භයක් වශයෙනි. එහෙත් වර්තමානයේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතනවල උපඅංශයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන ගොසිප් වෙබ්අඩවි ඕපාදූප පිළිබඳ මෙම සම්ප්‍රදායික අර්ථකථනයෙන් වෙනස් වෙයි. ගොසිප් මාධ්‍යවලට අදාළව ඕපාදූප යන්න අර්ථදැක්විය හැක්කේ පහත අයුරිනි.

ඒ අනුව, ගොසිප් මාධ්‍ය යනු ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හෝ ප්‍රවෘත්තිවලින් ඉදිරිපත් කළ නොහැකි තොරතුරු ග්‍රාහකයින් වෙත ඉදිරිපත් කළ හැකි මාධ්‍ය ප්‍රභේදයකි. සම්ප්‍රදායික ඕපාදූපවල කර්තෘ පාර්ශ්වය අඥාත වුවද ගොසිප් මාධ්‍යවලදී තොරතුරුවල වගකීම දැරිය හැකි පාර්ශ්වයක් සිටියි. එසේම ඒවායේ තොරතුරු අසත්‍ය නොවන බැවින් ඒවා කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. විශේෂයෙන්ම මෙම මාධ්‍යවල ලක්ෂණය වන්නේ වැඩි ග්‍රාහක ආකර්ෂණයක් ලබාගත හැකි වන පරිදි ලිංගික කරුණු, ප්‍රචණ්ඩත්වය සහ මානව සංවේදී ලක්ෂණ වඩාත් ඉස්මතු වන පරිදි අන්තර්ගතයන් ගොඩනැංවීමයි. ප්‍රවෘත්ති අන්තර්ගතයක් තුළදී මෙම කරුණුවලට ලබාදිය හැකි ප්‍රමුඛත්වය සීමා සහගත තත්ත්වයක පවතින නමුත් ගොසිප් මාධ්‍ය තුළ මේ සඳහා පවතින අවස්ථාව අසීමිත වේ. එම නිසා එකම සිදුවීම වුව ද ප්‍රවෘත්ති මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවාට වඩා ගොසිප් මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේදී ඊට ලැබෙන ග්‍රාහක ප්‍රතිචාරය අතිමහත් වේ.

මෙසේ ගොසිප් මාධ්‍ය තුළින් මෙසේ ඉදිරිපත් වන අන්තර්ගතයන් එක් නාමකරණයක් යටතට ගෙන හඳුන්වන්නේ නම් එය නම් කළ හැක්කේ “සන්නාමික ඕපාදූප” හෙවත් Branded Gossip යනුවෙනි. එනම් මෙහිදී ඕපාදූප යම් සන්නාමයක් යටතේ ගොඩනගා ඉදිරිපත් කරනු ලැබේ. හිරු ගොසිප්, නෙත් ගොසිප් ආදී වශයෙන් එසේ විවිධ සන්නාම යටතේ ඉදිරිපත් වන ගොසිප් දැකගත හැකිය. ඒවා ගොඩනංවන්නේ ආයතනික හා හිමිකාරිත්වයේ දේශපාලන, ආර්ථික සහ වෙනත් අරමුණු අනුවය. හිරු මාධ්‍ය ආයතනයේ හිරු ගොසිප් සන්නාමය ඒ සඳහා පෙන්වා දිය හැකි වඩාත් හොඳම උදාහරණය වේ.

හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වැඩසටහන්, විශේෂයෙන් රියැලිටි වර්ගයේ වැඩසටහන් ආර්ථික වශයෙන් මාධ්‍ය නාලිකාවේ පැවැත්මට දක්වන දායකත්වය ඉහළ බැවින් එම ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම සඳහා ගොසිප් මාධ්‍ය තුළ එම වැඩසටහන් වැඩි වශයෙන් ප්‍රචාරය කිරීම ද සිදුවේ. යම් රියැලිටි වැඩසටහනක් සතිඅන්ත දිනවල රාත්‍රියේ විකාශය වන්නේ නම් ඊට පෙර එම වැඩසටහන රූගත කිරීමේදී ලබාගත් ඡායාරූප ගොසිප් වෙබ්අඩවියේ පළකර ඊට ග්‍රාහක ආකර්ෂණයක් ලබා ගැනීමට කටයුතු කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අන්තර්ගතයන් කළමනාකරණයට ගොසිප් මාධ්‍ය සාර්ථකව භාවිතා කරන අවස්ථාවක් ලෙස එය පෙන්වා දිය හැකිය.

හිරු මාධ්‍ය ආයතනයේ හිමිකරු වන්නේ රෙනෝ සිල්වාය. ඔහුගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනැඟීම සඳහා හිරු ගොසිප් මාධ්‍යය අධිභාවිතයට ගැනීම සිදුවේ. එනම් පොහොය දිනවල ඔහු සහභාගි වන විවිධ පින්කම්වලදී විශේෂයෙන් යොදවන ලද ඡායාරූප ශිල්පියෙකු මඟින් ලබා ගන්නා ඡායාරූප හිරු ගොසිප් වෙබ්අඩවියේ පළකර යම් ජනප්‍රියත්වයක් ලබාගැනීමට කටයුතු කරයි. ජනමාධ්‍ය කළමනාකරණයේදී ආයතනික හිමිකරුවෙකුගේ ප්‍රතිරූපය පවත්වාගෙන යාමට ගොසිප් මාධ්‍ය මෙසේ යොදාගැනීම එක්තරා දුරකට සාර්ථක උපක්‍රමයකි. මේ අනුව වෙනත් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සමාජය ඉදිරියේ නිතර පෙනී සිටීමෙන් වළකින විට රෙනෝ සිල්වා ඊට හාත්පසින්ම වෙනස් වෙමින් ඔහුගේ මාධ්‍ය ආයතනය තුළින්ම ඔහුට ප්‍රසිද්ධිය ලබාගැනීමට උත්සාහ දැරීම සරලව බැහැර කළ නොහැක්කකි.

රෙනෝ සිල්වාගේ සහෝදරයා වන දැනට සිරගතව පසුවන දුමින්ද සිල්වා පිළිබඳ මහජන මතය ගොඩනැංවීමට ද හිරු ගොසිප් මාධ්‍යය සන්නාමික ඕපාදූප අන්තර්ගතයන් යොදාගත්තේය. ඒ අනුව දුමින්ද සිල්වා සම්බන්ධයෙන් විභාග වූ නඩුවලදී ඔහුට වාසිදායක ලෙස ඉදිරිපත් වූ කරුණු ඉස්මතු කර පළකරන ලදි. එසේම ඒ සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ ලිපි ද හිරු ගොසිප් ඔස්සේ පළකරමින් එම මතය ජනගත කිරීමට උත්සාහ දැරීය. ඒවා ගොසිප් වෙබ්අඩවියේ ඉහළින් නිතරම දර්ශනය වන ලෙස ස්ථාන ගතකර ගොසිප් අන්තර්ගතයන් නැරඹීමට වෙබ්අඩවියට පැමිණෙන ග්‍රාහකයින්ට එම තොරතුරු බලහත්කාරයෙන් පෙන්වීමට ද කටයුතු කළේය. ගොසිප් මාධ්‍යයට පවතින ග්‍රාහක ආකර්ෂණය නමැති බලය ආයතනික හිමිකාරිත්වයේ අරමුණු වෙනුවෙන් යොදා ගත්තේ ඒ අයුරිනි.

ගොසිප් වෙබ්අඩවිවල දැකිය හැකි ජනප්‍රිය අංගයක් වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ඉදිරිපත් වූ විවිධ නිර්මාණාත්මක සහ හාස්‍යජනක පළකිරීම් එකතු කර සතියකට වරක් හෝ යම් විශේෂිත සිදුවීමකට අදාළව ගොසිප් වෙබ්අඩවියේ පළකිරීමය. මෙම පළකිරීම් ආයතනයේ දේශපාලනික අරමුණ විද්‍යාමාන වන ලෙස ඉදිරිපත් කිරීම ද ගොසිප් මාධ්‍ය ජනමාධ්‍ය කළමනාකරණය සඳහා යොදාගන්නා අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. එම සමාජ මාධ්‍ය පළකිරීම් තුළින් යම් හාස්‍යජනක අදහසක් ඉදිරිපත් වුව ද ඒවායේ අන්තර්ගතයන් යම් දේශපාලන අදහසක් නිරූපණය කිරීමට වක්‍රාකාරයෙන් හෝ යොමුවී පවතී නම් ගොසිප් මාධ්‍ය එය සිය හිමිකාරිත්වයේ දේශපාලන මතය සඳහා භාවිතා කිරීම මෙහිදී සිදුවේ.

මෙසේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඔබ්බෙහි පවතින මාධ්‍ය අන්තර්ගතයක් ලෙස ගොසිප් මාධ්‍ය තුළ ඉදිරිපත් කරන සන්නාමික ඕපාදූප වර්තමානයේදී ජනමාධ්‍ය කළමනාකරණය තුළ වැදගත් භූමිකාවක් ඉටුකරන බව ප්‍රකාශ කළ හැකිය. මෙම භූමිකාව අදෘශ්‍යමානව පවතින බැවින් සහ ගොසිප් මාධ්‍ය සඳහා වැඩි ග්‍රාහක ආකර්ෂණයක් පවතින බැවින් ඉන් සිදුවන බලපෑම ද ඉහළ මට්ටමක පවතින බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Comments

comments