ගෝලීයකරණය හමුවේ ජනමාධ්‍ය සහ සංස්කෘතික ප්‍රවණතා

1. ගෝලීයකරණය පිළිබඳ සංකල්පීය ප‍්‍රවේශය

ගෝලීයකරණය ලෙස හඳුනාගත හැකි වන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය කලාපයක් ලෙස හැසිරීමට පටන් ගැනීමයි. ගෝලීයකරණය අද්‍යතන සමාජයේ වඩාත් පැතිරී පවතින නමුත් අතිශයින් තරගකාරී වූ ක‍්‍රියාවලි සහ වර්ධනයවීම් ලෙස පෙන්වා දිය හැකිය (MacGillivray, 2006). විශේෂයෙන්ම අංකිතකරණය (Digitalization) මඟින් තොරතුරු ව්‍යාප්තිය පුළුල් වීම සහ තොරතුරු තාක්ෂණය හෙවත් අන්තර්ජාලය ඔස්සේ එකම විද්‍යුත් රේඛාවක් වටා රොක්වී ලෝක වාසී ජනතාව පැය විසිහතර මුළුල්ලේ ටි‍්‍රලියන ගණනක දත්ත හුවමාරු කර ගනිමින් සිටිති. මෙම තත්ත්වය මත ජාතිකත්වය නැමැති සංකල්පය වියැකී යමින් ගෝලීය ප‍්‍රජාවක් බිහිවීමේ පදනම නිර්මාණය කර ඇති අතර එනිසා විද්‍යුත් ක‍්‍රමවේද මඟින් මුදල් ගනුදෙනු සහ භාණ්ඩ හුවමාරුව සිදු කිරීම ද දැකිය හැකිවේ.

ගෝලීයකරණය යනු ලෝක ව්‍යාප්ත සමාජ සම්බන්ධතාවල තීව‍්‍රකරණය හා දුරස්ථ ප‍්‍රදේශ සබැඳෙන එනම් ගව් ගණනක් ඈතින් සිදුවන දුරස්ථ ඉසව් මඟින් දේශීය සිදුවීම් හැඩගැස්වීමය (Giddens, 1990). ඒ අනුව ප‍්‍රාදේශීයව, දේශීයව ව්‍යාප්තව පැවති මානව සම්බන්ධතා ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්තීකරණයට ලක්වීම හා ඒවායේ තීව‍්‍රකරණය ලෙස ද ගෝලීයකරණය හඳුනාගත හැකිය. එමඟින් භෞතිකව සැතපුම් දස දහස් ගණනාවක් දුරින් පවත්නා ප‍්‍රදේශ අතර දුරස්ථතාව තාක්ෂණිකව අවමවීම තුළින් වේගවත්ව අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව උදාකර තිබේ. එහි තවත් එක් ප‍්‍රතිඵලයක් ලෙස දුරස්ථව සිදුවන සිදුවීම් මගින් දේශීය වශයෙන් සිදුවන සිදුවීම්වල ස්වරූපය හැඩගැස්වීම ද ගෝලීයකරණය ඔස්සේ සිදුවේ. එනම් ජාත්‍යන්තර වශයෙන් සිදුවන සමාජ, දේශපාලනික හා ආර්ථික සංසිද්ධීන්හි බලපෑම ගෝලීයකරණය ඔස්සේ දේශීය සිදුවීම් කෙරෙහි ඇති කෙරේ.

ගෝලීයකරණය අර්ථ දැක්වීමට ඉතා අපහසු යෙදුමකි. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය බොවෙන්ටුරා ද සූසා සැන්ටෝස් (Boaventura De Sousa Santos) ගෝලීයකරණය විග‍්‍රහකරනු ලබන්නේ එය අද්‍යතන සමාජයේ සමාජ, දේශපාලනික සහ ආර්ථික පැතිකඩ කෙරෙහි වඩාත් සංවේදී වන කරුණක් ලෙසයි. එම තත්ත්වය තුළ එකී සෑම අංශයක් කෙරෙහිම ගෝලීයකරණයේ ප‍්‍රබල බලපෑම සහ මැදිහත් වීම විද්‍යාමාන වේ.

ගෝලීයකරණය අන්තර්ජාතික වෙළෙඳාමේ වැදගත්කම ඉහළ යාම, අන්තර්ජාතික සම්බන්ධතා, ගිවිසුම් සහ සන්ධාන ආදී ලෙස දැක්විය හැකිය. ජාත්‍යන්තර යනු ජාතීන් අතර යන්නයි. මෙහි මූලික ඒකකය ලෙස ඇත්තේ ජාතිය වුවද අනෙකුත් ජාතීන් අතර සම්බන්ධතා වැඩි වශයෙන් අවශ්‍ය සහ වැදගත් වේ (Daly, 1999). එනම් ගෝලීයකරණය දේශීය වෙළෙඳ කටයුතු අන්තර්ජාතික බවට පත්වීම ලෙස ද අර්ථ දැක්විය හැක. ඒ අනුව යම්කිසි භූගෝලීය ප‍්‍රදේශයකට සීමා වී තිබූ වෙළෙඳ කටයුතු දේශසීමා ඉක්මවා යමින් ව්‍යාප්ත වීම ගෝලීයකරණයේ තවත් එක් ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. එමඟින් ගෝලීය වෙළෙඳාමක් පිළිබඳ අවධානය යොමුකළ හැකි වන අතර එහි පවත්නා වැදගත්කම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවේ.

ගෝලීය වෙළෙඳාමේ ප‍්‍රධාන අංගයක් බවට වෙළෙඳ ගිවිසුම් පත්වේ. ඒවා ද්වීපාර්ශවිකව හෝ බහුපාර්ශවිකව පොදු එකඟත්වයන් තුළින් ඇතිකර ගනු ලැබේ. අද්‍යතන ගෝලීය ආර්ථික සන්දර්භය තුළ ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන සාධකය ලෙස වෙළෙඳ ගිවිසුම් හඳුනාගත හැකිය. එනම් ගෝලීය ආර්ථිකය මෙහෙයවීම සඳහා වෙළෙඳ ගිවිසුම් තුළින් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බැවිනි. එය එක්තරා දුරකට නව යටත්විජිතවාදී ස්වරූපයෙන් ක‍්‍රියාත්මක වන බව ද අධ්‍යයනයට ලක්කළ හැකිය. එම තත්ත්වය විවිධ රටවල ආර්ථිකය සඳහා සාධනීය මෙන්ම නිශේධනීය ප‍්‍රතිඵල ඇති කර තිබේ.

ගෝලීයකරණය යනු ධනවාදයේ, සංවිධානවල, අදහස්වල, සංවාදවල, සහ මහජනයා අත්කර ගන්නා ලද ගෝලීය සහ පාරජාතික ආකෘතිවල සචලතාව හේතුවෙන් නිර්මාණය වී ඇති සංකීර්ණ, ආර්ථිකමය, දේශපාලනිකමය, සංස්කෘතිකමය සහ භූගෝලීය ක‍්‍රියාවලියකි (Moghadam, 1999). එනම් ගෝලීයකරණය තුළ කේන්ද්‍රවන ප‍්‍රධාන සංඝටක කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී විග‍්‍රහයට බඳුන්වේ. විශේෂයෙන්ම ධනවාදය ගෝලීයකරණ ක‍්‍රියාවලියේ ගාමක බලවේගයක් ලෙස හඳුනාගත හැකිය. මන්ද යත් ගෝලීයකරණයේ බිහිවීම සහ ව්‍යාප්තිය කෙරෙහි ධනවාදය විසින් ඇතිකරනු ලැබූ බලපෑම අතිවිශාල වන බැවිනි. එසේම ජාත්‍යන්තර සංවිධාන ද ගෝලීයකරණයේ ප‍්‍රබල පාර්ශවකරුවෙකු බවට පත්ව ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන ඔස්සේ විවිධ ජාතීන් කලාපීය හෝ අන්තර්ජාතික අරමුණු වෙනුවෙන් පොදු අභිලාශයක් හෝ අභිලාශ ගණනාවක් වෙනුවෙන් ඒකාරාශී කිරීම සිදුකරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනුබද්ධ සංවිධාන, පොදු රාජ්‍ය මණ්ඩලය, ඔපෙක් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන ගණනාවක් වර්තමානයේ ක‍්‍රියාත්මක වේ. මෙම සංවිධානවල ක‍්‍රියාකාරිත්වය ගෝලීය ආර්ථික හා දේශපාලන ව්‍යුහය හැඩගැස්වීමේ යාන්ත‍්‍රණයක් වශයෙන් ද ක‍්‍රියාත්මක වේ. විශේෂයෙන්ම කේන්ද්‍රයේ රාජ්‍යයන් විසින් පරිධියේ රාජ්‍යයන් වෙත මුදාහරින නව යටත්විජිතවාදී හස්තයේ දෘශ්‍ය ස්වරූපය මෙම සංවිධාන විසින් උසුලන බව ද පැවසිය හැකිය. එම තත්ත්වය ගෝලීයකරණ ක‍්‍රියාවලියේ උත්කර්ෂය තුළ ජනිත කර ඇති නිශේධනීය ප‍්‍රතිඵලයක් ලෙස ද පෙන්වා දිය හැකිය. ඒ අනුව සංවර්ධිත රාජ්‍යයන් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් කෙරෙහි ගෝලීයකරණයේ අනුහසින් සිය ආර්ථික, සමාජීය හා සංස්කෘතික පිළිවෙත් ප‍්‍රචලිත කිරීමට කටයුතු කරන බව පසක් වේ.

ගෝලීයකරණය පිළිබඳ තවදුරටත් අංශ ත‍්‍රිත්වයක් ඔස්සේ මෙසේ අවධානය යොමු කළ හැකිය. එනම් ගෝලීයකරණය,

  1.  දේශපාලනික හා සංස්කෘතික සීමා හරහා භාණ්ඩ, මුදල්, තාක්ෂණය, තොරතුරු, පුද්ගලයින් සහ සංස්කෘතික පුරුදු තීව‍්‍රකරණය කිරීමේ ක‍්‍රියාවලියයි.
  2. ලොව පුරා සියලූ සමාජ ක‍්‍රියාකාරකම් ගැඹුරින් අන්තර්සම්බන්ධ වීම මගින් විවිධ ජාතීන් සහ සංස්කෘතික අවකාශ වෙන්කිරීම ඔස්සේ ගොඩනැගෙන සමාජ ක‍්‍රීයාවලිවල අන්තර්පරායත්තතාවයි.
  3. ලෝකය තනි ස්ථානයක් ලෙසත් විශ්වදේශවාදය දැනුම්දීම ලෙස හා ආගම හෝ භූමි කේන්ද්‍රීය පරිසර විද්‍යාව සමඟ හඳුනාගැනීම පිළිබඳ මනෝභාවයයි.

යනාදී ලෙස දැක්විය හැකිය (Holton, 2005).

ගෝලීයකරණය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ සඳහා බලපෑ ප‍්‍රබල තාක්ෂණික සාධක ද්විත්වයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිවේ. එනම් අංකිතකරණය සහ අන්තර්ජාලයේ විශ්ව ව්‍යාප්තියයි. ඒ අතරින් අංකිතකරණය සැලකීමේ දී එමඟින් තොරතුරු සහ දත්ත හුවමාරුව වඩාත් පුළුල් සහ නම්‍යශීලි තත්ත්වයකට පත් කර තිබේ. එනම් අංකිතකරණයට පෙර ලෝකය තුළ භාවිත වූ ප‍්‍රතිසම (Analog) ක‍්‍රමවේදය තුළ එක් එක් උපාංග අතර දත්ත හුවමාරු කර ගැනීම සඳහා පොදු ක‍්‍රමවේදයක් නොතිබුණු අතර එනිසාම තොරතුරු හුවමාරුව පැවතියේ ඉතා මන්දගාමී තත්ත්වයකය. එහෙත් අංකිතකරණය සමඟ මෙම තත්ත්වය උඩුයටිකුරු වූ අතර පරිගණකයේ සිට අත් ඔරලෝසුව සහ රූපවාහිනිය දක්වා එහි බලපෑම ලැබී තිබේ. එනිසා අංකිත භාෂාව අවබෝධ කරගත හැකි සෑම උපාංගයක් අතරම එකම ස්වරූපයෙන් තොරතුරු ඉතා වේගවත්ව හුවමාරු කර ගැනීමට හැකියාව නිර්මාණය විය.

අංකිතකරණයේ දී සෑම උපාංගයකටම තේරුම් ගත හැකි වන්නේ සංඥා වර්ග ද්විත්වයකි. එනම් 1 සහ 0 පමණි. ඒ අනුව අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සෑම ප‍්‍රපංචයක්ම, එනම් රූප, ශබ්ද, දර්ශන, ගීත ආදී සියල්ලක්ම අංකිත උපාංග තුළ ගබඩා වී පවතින්නේ 1 සහ 0 සංඥාවලට පරිවර්තනය වීමෙනි. මෙය තවදුරටත් නිදසුනක් ඇසුරින් පැහැදිලි කරන්නේ නම් පරිගණකය තුළ අප යතුරුලියනය කරනු ලබන සෑම ඉංග‍්‍රීසි අක්ෂරයකටම 1 සහ 0 සංඥා මඟින් සකස් කරන ලද අපට නොතේරෙන එහෙත් අංකිත උපාංගවලට තේරුම් ගත හැකි ස්වරූපයක් තිබේ. එම ස්වරූපය සෑම අංකිත උපාංගයක් තුළම පොදුවේ භාවිතයට ගැනීම මගින් අප පරිගණකයෙන් යවන ලද විද්‍යුත් ලිපියක් වචනවල කිසිදු වෙනසකින් තොරව ජංගම දුරකථනය තුළත් වර්තමානයේ භාවිත වන අංකිත රූපවාහිනී තුළත් කියවීමට හැකියාව ලැබේ. එසේම මෙම තත්ත්වයම ගීත සහ රූප යනාදිය අංකිත උපාංග අතර හුවමාරු කර ගැනීමේදී ද දැකිය හැකිවේ. එමඟින් සෑම ගීතයක්ම සහ සෑම රූපයක්ම අංකිත භාෂාවට පරිවර්තනය වී අංකිත උපකරණ තුළ ගබඩා වී අපට අවශ්‍ය අවස්ථාවක අපට තේරුම් ගත හැකි වන පරිදි ඉදිරිපත් කෙරේ. මෙසේ බලන කල අංකිතකරණය හුදු තාක්ෂණික ක‍්‍රියාවලියක් පමණක් නොව තාක්ෂණයේ සිදුවූ දැවැන්ත විප්ලවයකි. එනිසා මෙම අංකිත විප්ලවය ලෝකය තුළ සිදු වූ තෙවන (හෝ සිවුවන) කාර්මික විප්ලවය ආදී ලෙස ඇගයීමට ලක්වේ.

එසේ සලකන කල අංකිතකරණයේ මෙම ලක්ෂණ ගෝලීයකරණය වඩාත් ඉක්මන් කිරීමට දායක වී ඇති බව පැවසිය හැකිය. මන්ද යත් සමස්ත ලෝකවාසී ජනයා අංකිත උපාංග භාවිතයට හුරුවීම මඟින් දේශ සීමා සලකුණු බොඳවීම වැළැක්විය නොහැකි වී ඇති බැවිනි. මෙම අංකිත තාක්ෂණය සමඟ ඒකාත්මික වී සිටින තොරතුරු තාක්ෂණය හෙවත් අන්තර්ජාල මාධ්‍යය ගෝලීයකරණයේ ප‍්‍රමුඛතම සන්නිවේදන මාධ්‍යය බවට පත් වී තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාලය මඟින් උපත ලද සමාජ මාධ්‍ය සංකල්පය, බ්ලොග්කරණය මෙන්ම විද්‍යුත් ලිපි හුවමාරුව, වාච්‍ය සහ දෘශ්‍ය ක‍්‍රමවේද මඟින් සිදුවන සංවාද ක‍්‍රමවේද මඟින් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීම අතිශය සරල තත්ත්වයකට පත් වී තිබේ. එමඟින් නිර්මාණය වී ඇති ගෝලීය සමාජය තුළ ගෝලීය ආර්ථික ක‍්‍රමවේද සහ ගෝලීය සංස්කෘතියක වර්ධනය ඔස්සේ අද්‍යතන මානව සමාජය ක‍්‍රියාත්මක වේ.

මෙහි දී ගෝලීයකරණයේ බලපෑම තුළ නිර්මාණය වී ඇති ගෝලීය සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ආහාර සංස්කෘතියේ වෙනස්වීම් කෙරෙහි ගෝලීය ආහාර සංස්කෘතියේ සංලක්ෂ්‍ය ආරෝපණය වී ඇති බව පැවසිය හැකිය. එනම් මැක්ඩොනල්ඞ්කරණය ලෙස සංකල්පගත කරනු ලබන ආහාර සංස්කෘතිය සහ එයට බද්ධ වී ඇති කෝලා පාන සංස්කෘතිය මඟින් අප රට වැනි පරිධියේ රටවල ආහාර රටාවන් සඳහා එල්ල කරනු ලබන බලපෑම සුළු පටු නොවේ. එමඟින් දේශීය ආහාර රටාව තුළින් ජනතාව ක‍්‍රමයෙන් දුරස්තීකරණය කිරීම ඔස්සේ ශරීරයට අහිතකර විවිධ රසායන ද්‍රව්‍යයන් සහිත ආහාර පානවලට ජනතාව හුරු කිරීම සිදුවේ. විශේෂයෙන්ම ආර්ථික ලාභ අපේක්ෂාවෙන් බහු ජාතික සමාගම් මඟින් ගෝලීයකරණයේ ශක්‍යතාවන් අධිභාවිතයට ගනිමින් සිදු කරන මෙම ක‍්‍රියාවලියේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ දේශීය ආර්ථිකය බිඳවැටීමට ලක්වීම සහ අවසාන වශයෙන් පිළිකා ආදී රෝගාබාධවලින් පෙළෙන ජනතාවක් රට තුළ නිර්මාණය වීම සඳහා අවකාශය සකස් වීමය.

එසේම ගෝලීයකරණයේ බලපෑම ද සහිතව සමස්ත ලෝකයම වෙලාගෙන සිටින ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය සංකල්පීකරණය කිරීම සඳහා ජනමාධ්‍ය අභිසරණය (Media Convergence) නැමැති න්‍යාය භාවිතයට ගත හැකිය. ඒ අනුව ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින මාධ්‍ය අභිසාරිතාවයේ ස්වභාවය සැලකීමේ දී ගෝලීය තොරතුරු ප‍්‍රවාහය දැවැන්ත සමාගම් හතක් විසින් පාලනය කිරීම ඔස්සේ අවවරප‍්‍රසාදිත සමාජ ස්ථර නියෝජනය කරනු බහුතරයකගේ සිතුම් පැතුම් අධිවරප‍්‍රසාදිත සුළුතරයක් මඟින් ධනවාදී අපේක්ෂා අනුව විචලනය කිරීම මාධ්‍ය අභිසාරිතාව ඔස්සේ උත්කර්ෂයට නැංවී ඇති නූතන ලෝකය හමුවේ පවතින දැවැන්තම අභියෝගය වශයෙන් පෙන්වා දිය හැකිය.

කෙසේ වුවත් මෙම මාධ්‍ය අභිසාරිතාව ඔස්සේ ද උත්කර්ෂයට නැංවී ඇති ගෝලීයකරණ සංකල්පය ඇමරිකානුකරණය හෝ යුරෝපියකරණය ලෙස අර්ථදැක්වීම හෝ අවබෝධකර ගැනීම නිවැරදි නොවේ. මන්ද යත් ඇමරිකාව හා යුරෝපය මෙම ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ ප‍්‍රබල භූමිකාවක් ඉටුකරනු ලැබුව ද අද වන විට ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පාහේ මෙම ගෝලීයකරණ ක‍්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්ව සිටින නිසාවෙනි. එනම් නිදසුනක් ඇසුරෙන් පෙන්වා දිය හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේ සෑම රටක්ම භාණ්ඩ මිලදී ගැනීම සහ හුවමාරුව සිදු කිරීම ආදිය ගෝලීයකරණයේ ප‍්‍රතිඵල නිසා ඇතිවූ තත්ත්වයක් වන බවයි. ඒ අනුව සලකන කල අප රට ද ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ කිසියම් හෝ භූමිකාවක් ඉටු කරමින් සිටියි. එය වෙනත් ධනවාදී දැවැන්ත ආර්ථිකයන් හිමි රටවල් සමඟ ප‍්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සලකන කල සැලකිය යුතු  ප‍්‍රමාණයක දායකත්වයක් ලෙස සැලකීමට බොහෝ දෙනා උත්සුක නොවුණ ද එම තත්ත්වය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. එබැවින් කේන්ද්‍රයේ රාජ්‍යයන් මෙන්ම පරිධියේ රාජ්‍යයන් ද මෙම ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ බැහැර කළ නොහැකි බලවේග බවට පත්ව ඇති බව පැවසිය හැකිය.

බොහෝ දෙනා මෙම ගෝලීයකරණ ක‍්‍රියාවලිය ඇමරිකානු හෝ යුරෝපීය ක‍්‍රියාවලියක් ලෙස වරදවා වටහා ගැනීමට හේතුව ද මෙහි දී සාකච්ඡා කිරීම වැදගත්ය. එනම් අප රට වැනි පරිධියේ රාජ්‍යයන් ගෝලීයකරණය ලෙස අත්විඳිනු ලබන්නේ ඇමරිකාව හෝ යුරෝපීය රාජ්‍යයන්වලින් ලෝකයට මුදා හරිනු ලබන තාක්ෂණික භාවිතයන් සහ ආහාර සංස්කෘතිය ඇතුළු විවිධ සංස්කෘතික සාධක වීම එයට හේතුවයි. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ආහාර සංස්කෘතියට කෝලා බීම සංස්කෘතිය ආදේශ වීම ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ සිදුවන්නේ ඇමරිකාවේ මැදිහත්වීමෙනි. එසේම ගෝලීයකරණ ක‍්‍රියාවලිය විශ්ව ව්‍යාප්ත වීමේ ගාමක බලවේගය බවට පත්ව තිබෙන අංකිතකරණය ඇතුළු තාක්ෂණික ක‍්‍රමවේද සහ උපාංගයන් ද ලෝකයට මුදා හරිනු ලබන්නේ ඇමරිකාව හා යුරෝපීය රාජ්‍යයන්ගේ මැදිහත්වීමෙනි. එනිසා ඇතැමුන් මෙම ගෝලීයකරණ ක‍්‍රියාවලිය ඇමරිකානු හෝ යුරෝපීය රාජ්‍යයන් මඟින් අනුගමනය කරනු ලබන නව යටත්විජිතවාදයේ මෙවලම ලෙස අර්ථ දක්වනු ලබන අතර එම තර්කය ද එකහෙලාම බැහැර කළ නොහැකිය. එහෙත් සංකල්පීයව සහ ප‍්‍රායෝගිකව සැලකීමේ දී ගෝලීයකරණ ක‍්‍රියාවලිය සෑම රටක් තුළම ක‍්‍රියාත්මක වන බව ප‍්‍රකාශ කළ හැකි වුවත් එම ක‍්‍රියාවලිය මෙහෙය වීමේ යම්කිසි අධිකාරී බලයක් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රාජ්‍යයන් මඟින් උසුලනු ලබන බව පැවසිය යුතු වේ. එසේ වුව ද වර්තමානයේ දී චීනය ගෝලීය ආර්ථිකය තුළ ඇමරිකාව අභිබවා පෙරට පැමිණීම තුළ ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රාජ්‍යයන්වලට හිමි අධිකාරිය ඔවුන් වෙතින් ගිලිහී යමින් පවතින බව ද පැවසිය යුතුය.

මෙහි දී ගෝලීයකරණ ක්‍රියාවලියට අදාළව තර්ක දෙකක් ඉදිරිපත් කළ හැකිය. එනම් ගෝලීයකරණ ක‍්‍රියාවලියෙන් වියුක්තව කටයුතු කිරීමට අපට හැකියාවක් තිබේ ද යන්නයි. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රාජ්‍යයක් ලෙස සැලකෙන අප රට වැනි පරිධියේ රාජ්‍යයන්ට කිසිසේත් ගෝලීයකරණයෙන් මිදී කටයුතු කළ නොහැකි වේ. ඒ සඳහා එක් හේතුවක් වන්නේ විශේෂයෙන්ම අප රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ලෝක මට්ටමේ මුල්‍ය සමාගම් සමඟ ගිවිසුම්ගතව ණය මුදල් ලබාගෙන තිබීමයි. තව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර වශයෙන් ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන මඟින් මෙරට විවිධ ව්‍යාපෘති කිරීම සඳහා ණය ආධාර ලබා දීම තුළ ද අප රටට ගෝලීයකරණ ක‍්‍රියාවලියෙන් වියුක්තව කටයුතු කිරීමට ඇති අවස්ථා අහිමි කර තිබේ. එමෙන්ම ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපීය රාජ්‍යයන්වල න්‍යායපත‍්‍ර අනුව ක‍්‍රියාත්මක වන බටහිර ජනමාධ්‍ය ක‍්‍රියාවලිය තුළ විශේෂයෙන්ම අන්තර්ජාලය කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන Facebook වැනි වෙබ් අඩවි භාවිත කිරීමට අප රටේ තරුණ ප‍්‍රජාව බහුල වශයෙන් යොමු වී සිටීම තුළ ද මෙම තත්ත්වය නොවැළැක්විය හැකි වී තිබේ. එහෙත් චීනය වැනි රටවල් Facebook, Google හා Bing වැනි ඇමරිකානු වෙබ්අඩවි භාවිතය සිය රට තුළ තහනම් කොට ඇති අතර ඒ වෙනුවට චීනය විසින්ම පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවි භාවිතයට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව Facebook වෙනුවට QQ නැමැති සමාජ මාධ්‍ය වෙබ්අඩවිය සහ Google හා Bing වැනි අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍ර වෙනුවට Baidu නැමැති වෙබ්අඩවියත් චීනය තුළ භාවිත වේ. ඊට අමතරව ඇමරිකානු GPS චන්ද්‍රිකා පද්ධතිය භාවිත කිරීම වෙනුවට චීනය විසින්ම තනාගත් GPS චන්ද්‍රිකා පද්ධතියක් භාවිත කිරීමට ද චීනය කටයුතු කරමින් සිටියි.

ඒ අනුව සැලකීමේදී ගෝලීයකරණය අද්‍යතනයේ අත්විඳීමට සිදුවී ඇති අනිවාර්ය සමාජ ක‍්‍රියාවලියක් බව පැවසිය හැකිය. එය සෑම ක්ෂේත‍්‍රයක් කෙරෙහිම ප‍්‍රබල බලපෑමක් එල්ල කර ඇත.

2. ජනමාධ්‍ය සඳහා ගෝලීයකරණයේ බලපෑම

ගෝලීයකරණය සහ ජනමාධ්‍ය අතර ඉතා ප‍්‍රබල බැඳීමක් පවතී. ගෝලීයකරණයේ ව්‍යාප්තිය සඳහා මාධ්‍ය දක්වන දායකත්වය අතිවිශාලය. ගෝලීයකරණයට යන්ත‍්‍රයකි. ඉන්ධන වන්නේ ගෝලීය මාධ්‍යයයි. ජනමාධ්‍ය සහ නූතන තොරතුරු තාක්ෂණය රහිතව ගෝලීයකරණය යථාර්ථයක් නොවන්නට ඉඩ තිබුණි. ඒ අනුව ගෝලීයකරණයේ එක් දෘෂ්ටිකෝණයක් වන්නේ ජනමාධ්‍ය ගෝලීයකරණයයි. එබැවින් ජනමාධ්‍යවල පැවැත්ම ගෝලීයකරණයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත.

සංස්කෘතික වෙනස්වීම් සහ බහුවිධ තොරතුරු ගලනය සඳහා මෙන්ම රටවල් අතර ප‍්‍රතිරූප ගොඩනැංවීමට, ප‍්‍රවෘත්ති විකාශන, රූපවාහිනී වැඩසටහන්, නව තාක්ෂණය, චිත‍්‍රපට හා සංගීතය ඔස්සේ පහසුකම් සැලසීමට වර්තමානයේ ජනමාධ්‍ය කටයුතු කරමින් සිටී. 1990 වර්ෂයට පෙර බොහෝ රටවල ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ජාතික මට්ටමෙන් කටයුතු කළ අතර ඊට පසුව බොහෝ සන්නිවේදන මාධ්‍යවල භූමිකාව ගෝලීය වශයෙන් පැතිරෙන්නට විය.

ගෝලීයකරණයේ සංස්කෘතික පැතිකඩ සමස්ත ගෝලීයකරණ ක‍්‍රියාවලියට ඇතිකරනු ලබන බලපෑම සම්බන්ධයෙන් ගෝලීයකරණය පිළිබඳ න්‍යායාචාර්යවරුන් සාකච්ඡාවට ලක්කර ඇත. 18 සහ 19 වන සියවස්වලදී ක‍්‍රමයෙන් අත්කර ගනිමින් සිටි තාක්ෂණික දියුණුව  20 වන සියවසේදී වඩාත් දියුණු වෙමින් පසුව 21 වන සියවසේදී ගෝලීය සන්නිවේදනය ප‍්‍රබල දියුණුවක් අත්කර ගනු ලැබීය. එහි ආරම්භය සිදුවුණේ 1837 වසරේදී ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍රය නිර්මාණය කිරීමත් සමගිනි. තැපැල් සේවයේ වර්ධනය, රටවල් අතර දුරකථන සහ ගුවන්විදුලි සන්නිවේදනය ආරම්භ වීම තුළ සන්නිවේදන ගෝලීයකරණය ආරම්භ විය.

2.1 ගෝලීයකරණය සහ ජාත්‍යන්තර පුවත් ආයතන

සන්නිවේදනයේ ගෝලීයකරණය තුළ මහා පරිමාණ සන්නිවේදන ව්‍යාපාර බිහිවීම හා ඒවා මගින් ගෝලීය තොරතුරු ප‍්‍රවාහය හසුරවමින් සිටීම අද්‍යතනයේ අධ්‍යයනයට ලක්කළ හැකි තත්ත්වයකි. මුද්‍රිත මාධ්‍ය වඩාත් පරිණාමනයට ලක්වූ 19 වැනි සියවසේ දී ඒ සඳහා පදනම ඇති වන බව දැකිය හැකිය. ඒ අනුව 19 වැනි සියවසේ දී ජාත්‍යන්තර පුවත් ආයතන බිහිවීම සිදුවේ. 1835 දී ප‍්‍රංශ පුවත් සේවය, 1848 දී ඇසෝසියේටඞ් පුවත් ආයතනය හා 1851 දී රොයිටර්ස් පුවත් සේවය එසේ බිහිවීම තුළ සන්නිවේදනය, ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති කර්මාන්තය ඔස්සේ ගෝලීයකරණය උත්කර්ෂයට නැංවී තිබේ.

ගොලීයකරණය තුළ ජනමාධ්‍ය ඉටුකරනු ලබන භූමිකාව අතිසුවිශේෂී වේ. එම තත්ත්වය ගෝලීයකරණ ක‍්‍රියාවලිය මගින් ජනමාධ්‍ය කර්මාන්තයට සහ ජනමාධ්‍ය කර්මාන්තය තුළින් ගෝලීයකරණ ක‍්‍රියාවලියට යනාදී වශයෙන් අන්තර්පරායත්තව ක‍්‍රියාත්මක වේ. එනම් ගෝලීයකරණ ක‍්‍රියාවලිය සඳහා ජනමාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රබල දායකත්වය හිමිවන අතර ජනමාධ්‍ය කර්මාන්තයේ පැවැත්ම සඳහා ගෝලීයකරණයේ දායකත්වය ද නිසර්ගයෙන්ම හිමිවේ. මෙම තත්ත්ව අතිදැවැන්ත අන්දමින් ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් අද්‍යතනයේ ගෝලීය සංස්කෘතික, දේශපාලනික හා සමාජීය ව්‍යුහයේ ස්වභාවය තීරණය කරමින් සිටියි. ගෝලීයකරණය සහ ජනමාධ්‍ය කර්මාන්තය අතර පවත්නා සබඳතාව සම්බන්ධයෙන් පහත අයුරින් සටහනකින් අවධානය යොමුකළ හැකිය.

ඉහත රූප සටහන අනුව ගෝලීයකරණයේ සහ ජනමාධ්‍ය අතර පවත්නා අන්තර්පරායත්තතාව තුළ ගෝලීය ජනමාධ්‍ය කර්මාන්තය ප‍්‍රධාන සාධක ත‍්‍රිත්වයක් මත පදනම් වන බව අධ්‍යයනයට ලක්කළ හැකිය. ඒ අනුව ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ඒජන්සි, ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතන සහ නවීන තාක්ෂණය ඒ සඳහා බලපා ඇත. මෙම එක් එක් සාධක සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කිරීම තුළ ජනමාධ්‍ය සහ ගෝලීයකරණය පිළිබඳ පුළුල් අන්දමින් අවධානය යොමු කළ හැකිය.

ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ආයතන වර්තමාන ගෝලීය තොරතුරු ප‍්‍රචාරණ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛතම සාධකය ලෙස අධ්‍යයනයට බඳුන්කළ හැකිය. ලෝක ව්‍යාප්තව වාර්තාකරුවන්  මගින් තොරතුරු රැස් කිරීමත් ඒවා ලෝක ව්‍යාප්ත මට්ටමෙන් බෙදා හැරීමත් ඒ ඔස්සේ ලෝක ජනමතය හැසිරවීමත් ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් සිදුකරනු ලැබේ. ප‍්‍රවෘත්ති ඒජන්සි කටයුතු කරනු ලබන්නේ ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ තොරතුරු ගලනයේ නියාමකයා හා මෙහෙයවන්නා ලෙසිනි. ගෝලීයකරණය තුළ ගොඩනැංවෙන ගෝලීය සංස්කෘතිය තුළ නිෂ්පාදනය වන ප‍්‍රවෘත්ති බෙදාහැරීම මගින් ප‍්‍රවෘත්ති ඒජන්සි ගෝලීයකරණය තුළ ජාත්‍යන්තර මතවාද ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය මෙහෙයවන්නා බවට ද පත්ව සිටී.

ප‍්‍රවෘත්ති ඒජන්සි තුළින් බෙදාහැරෙන ප‍්‍රවෘත්ති මගින් විශේෂයෙන්ම ජාත්‍යන්තර ප‍්‍රවෘත්තිවල හැඩය, ආකෘතිය සහ අන්තර්ගතය සකස් වේ. ප‍්‍රවෘත්ති ඒජන්සි තුළ රැුකියාවල නිරත වන දහස් ගණනක් වන මාධ්‍යවේදීන් විසින් ලොව සෑම ස්ථානයකම සිදුවන නවතම සිදුවීම් එසැනින් වාර්තාකොට ඒවා ක්ෂණිකව ලොව පුරා බෙදා හරින්නට ක‍්‍රියා කිරීම තුළ කලින් කලට ලෝක සමාජය විවිධ සිදුවීම් කෙරෙහි පෙළඹවීමේ ශක්‍යතාව ප‍්‍රවෘත්ති ඒජන්සි සතු වීම ඒවායේ බල පරාක‍්‍රමය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි එක් ප‍්‍රධාන නිදසුනකි. කෙසේ වුවත් ප‍්‍රවෘත්ති වූ කලී නිෂ්පාදනයක් වන බැවින් යම් සිදුවීමක් තථ්‍ය ස්වරූපයෙන්ම ගෙනහැර දැක්වීමෙන් තොරව විවිධ දේශපාලන හා ආර්ථික න්‍යාය පත‍්‍ර අනුව ප‍්‍රවෘත්ති ගොඩනැංවීමට ප‍්‍රවෘත්ති ඒජන්සි විසින් කටයුතු කිරීම තුළ ගෝලීයකරණ ක‍්‍රියාවලියේ ශක්‍යතා අධිභාවිත කරමින් ප‍්‍රවෘත්තිවල අන්තර්ගතය ජාත්‍යන්තර දේශපාලනික සහ ආර්ථික අරමුණු අනුව ප‍්‍රචාරණය කිරීම ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් සිදුකරනු ලැබේ. එම තත්ත්වය මත යම් සිදුවීමක් සම්බන්ධයෙන් කෘතිම ලෝක ජනමතයක් ඊට පක්ෂව හෝ විපක්ෂ නිර්මාණය කිරීමට ද හැකියාව ලැබේ.

මෙසේ ගෝලීයකරණයේ ශක්‍යතාව හේතුවෙන් ප‍්‍රවෘත්තිවල අන්තර්ගතය සැලසුම් සහගතව වෙනස්වීම කරමින් ජාත්‍යන්තර මතවාදය එමගින් හැසිරමට කටයුතු කිරීම මගින් ප‍්‍රවෘත්තිවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ද විවිධ අර්බුදකාරී තත්ත්ව උද්ගතව තිබේ. එහිදී ප‍්‍රවෘත්ති තුළ ආරක්ෂා කළ යුතු මූලධාර්මික තත්ත්ව මෙන්ම ඇතැම් විට ආචාර ධාර්මික තත්ත්වද උල්ලංඝනය වීම මගින් ප‍්‍රවෘත්තිවල අන්තර්ගතය ඔස්සේ සමාජයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් වන අවධානය ද අවම වී ඇත. එසේම එය අතිශය හානිකර තත්ත්වයක් වන බව ද පැවසිය යුතුය.

සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත් සමග ප‍්‍රවෘත්ති ඒජන්සි සතුව තිබූ බලය ක‍්‍රමයෙන් වැඩිවීම මෙන්ම යම් තරමකට ඊට බලපෑමක් එල්ල වූ තත්ත්වයක් ද උද්ගත වූ බව පැවසිය හැකිය. එනම් අන්තර්ජාලය හා චන්ද්‍රකා තාක්ෂණය වැනි නවීන සන්නිවේදන ක‍්‍රමවේද ලොව පුරා අධිභාවිතයට පැමිණීමට පෙර ප‍්‍රවෘත්ති ඒජන්සි සතුව පැවති බල අධිකාරිය අතිශය ප‍්‍රබල වූ බව පැහැදිලි වන එක් කරුණක් වන්නේ යම් රටක් විදෙස් පුවත් ලබා ගැනීමට පමණක් නොව ඇතැම් විට නවතම දේශීය සිදුවීම් වල තොරතුරු දැන ගැනීමට ද නවීන සන්නිවේදන තාක්ෂණික උපාංග භාවිතයට පෙර අවධියේ දී කටයුතු කිරීමයි. මේ සඳහා එක් නිදසුනක් දේශීය වශයෙන් ද ඉදිරිපත් කළ හැකි අතර එනම් ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මුල් අවධියේදී මෙරට තුළ සිදුවන නවතම සිදුවීම්වල තොරතුුරු රොයිටර් පුවත් සේවය මගින් ලබා ගැනීම පෙන්වා දිය හැකිය. එනම් බෝම්බ පිපිරීමක් වැනි තොරතුරක් වාර්තා වූ විට ඒ පිළිබඳ ඉතා ක්ෂණික තොරතුරු ලබා ගන්නා ලද්දේ එම විදෙස් පුවත් ඒජන්සිය මගිනි. මෙම තත්ත්වය අන්තර්ජාලය පැමිණිමට පෙර ප‍්‍රවෘත්ති ඒජන්සි සතුවූ එක් සුවිශේෂී වැදගත්කමක් වුවත් අන්තර්ජාලයේ ආගමනයත් සමඟ එම අවශ්‍යතා සපුරාගැනීමට අන්තර්ජාලය භාවිත වන්නට විය.

එසේ වුවත් වඩාත් වගකීම් සහගතව තොරතුරු ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස පුවත් ඒජන්සි කෙරෙහි තබා විශ්වාසය අඩු නොවුණත් ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් ගොඩනගාගෙන තිබූ ඒකාධිකාරියට ගෝලීයකරණ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛතම මාධ්‍ය භාවිතයක් වන අන්තර්ජාලය මගින් බලපෑම් එල්ල විය. ඒ ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ලබා ගැනීමේ එකම මග ප‍්‍රවෘත්ති ඒජන්සි නොව එය තවත් එක් මගක් පමණක් බවට පත්වීම නිසාවෙනි. එම නව ප‍්‍රවණතාව එනම් අන්තර්ජාලය සහ චන්ද්‍රිකා තාක්ෂණය ප‍්‍රවෘත්ති ඒජන්සි තම තොරතුරු බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ද භාවිත කිරීම සිදුවිය. ඒ ඔස්සේ තම ආධිපත්‍යය ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් අඛණ්ඩව පවත්වාගෙන යාම ද සිදුවිය.

ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ආයතන බිහිවීම සහ ඒවායේ වර්ධනය ද ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී අවධානය යොමු කළ හැකි තවත් එක් ප‍්‍රමුඛ සාධකයකි. ප‍්‍රවෘත්ති ඒජන්සි මඟින් තොරතුරු රැස්කර බෙදා හැරීම මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය විශේෂයෙන්ම ප‍්‍රවෘත්ති විකාශනයට මූලිකත්වය දෙමින් කටයුතු කරන ආයතනවලට ගෝලීයකරණය මගින් වඩාත් පුළුල් ව්‍යාප්තියක් සහිතව ප‍්‍රවෘත්ති ගෝලීය වශයෙන් ප‍්‍රචාරය කිරීමට අවකාශය උදා වී ඇත.

2.2 ගෝලීයකරණය, ජනමාධ්‍ය සහ අන්තර්ජාලය

ජාත්‍යන්තර සන්නිවේදන මාධ්‍ය තම මූලික මාධ්‍ය ලෙස රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත්වලට අමතරව ගෝලීය වශයෙන් තොරතුරු ප‍්‍රචාරණය සඳහා විශේෂයෙන්ම වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් වර්තමානයේ දී භාවිත කරනු ලබයි. ඊට සම්බන්ධිතව සමාජ මාධ්‍ය මගින් ප‍්‍රවෘත්ති ප‍්‍රචාරණය සඳහා වැඩි වශයෙන් යොමු වී ඇති බව ද අධ්‍යයනයට ලක්කළ හැකිය. මෙම සෑම සන්නිවේදන භාවිතයක් මගින්ම ගෝලීයකරණය තුළ ප‍්‍රවෘත්ති මහජනයාට වඩාත් සමීප මාධ්‍යයක් බවට පත්කර තිබේ.

ජනමාධ්‍ය අන්තර්ජාලයට ගොනු වීම සහ ගෝලීය සමාජ පරිසරය තුළ එය මගහැරිය නොහැකි තත්ත්වයක් බවට පත්වීම හේතුවෙන් සියලූ ජනමාධ්‍ය වේදිකාවලට අන්තර්ජාලය නැමැති නව තාක්ෂණික මෙන්ම නව චින්තන සමාජයට සාම්ප‍්‍රදායික මාධ්‍යවල සිට ආධිපත්‍යය අකමැත්තෙන් වුවත් භාරදෙන්නට සිදුවිය. එනම් පාඨකයා, ශ‍්‍රාවකයා සහ නරඹන්නා ලෙසට මාධ්‍යයේ විශේෂත්වය අනුව ප‍්‍රභේද වී තිබූ ග‍්‍රාහක සමූහයා අන්තර්ජාලයේ ආගමනයත් සමඟ ග‍්‍රාහකයින් සහ පරිශීලකයින් පිරිසක් බවට පත්විය. එවිට තවදුරටත් රූපවාහිනිය හෝ ගුවන්විදුලිය ඉදිරිපිට අසුන්ගෙන වැඩසටහන් නරඹන හෝ වැඩසටහන්වලට සවන්දෙන පිරිසක් මෙන්ම පුවත්පත් කියවන පුද්ගලයින් පිරිසක් වෙනුවට ඒ සෑම අවශ්‍යතාවක්ම අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් ලබා ගන්නට අවස්ථාව උදාවී ඇත. එම තත්ත්වය මානව ඉතිහාසය තුළ ජනමාධ්‍ය විසින් අත්කරගෙන තිබූ එක් එක් මාධ්‍යවලට අනන්‍යව පැවති පැවැත්ම සහ අනන්‍යතාව මුළුමනින්ම අහෝසිකර දමමින් ඒ සියල්ල අන්තර්ජාලයට පවරා දීමක් බඳු විය.

පුවත්පත, රූපවාහිනිය සහ ගුවන්විදුලි මාධ්‍යය මානව සමාජ ප‍්‍රගමනයත් සමග සංවර්ධනය වෙමින් ආවේ ඒ සෑම එකකටම අනන්‍ය වූ අනන්‍යතා ගොඩනඟා ගැනීම මගිනි. පුවත්පත මානව සමාජයේ මුල්ම නූතන ජනමාධ්‍යය බවට පත්වන්නේ දෛනික කියවීම් මාධ්‍යයක් ලෙස හා එදිනෙදා වැදගත් නිවේදන මහජනයාට දැනුම්දීමේ මාධ්‍යයක් වශයෙනි. එය මානව සමාජයේ පෙරළියක් ඇතිකිරීමට මෙන්ම මානව සමාජයේ නව හැරවුම් ලක්ෂයක් බවට පත්විය. විශේෂයෙන්ම පුවත්පතක යමක් පළවීම තුළ එම තොරතුර සමාජයේ වඩාත් විශ්වසනීය තොරතුරක් ලෙස ඊට ලැබුණු පිළිගැනීමත් මුද්‍රිත මාධ්‍යයෙන් ප‍්‍රකාශයට පත්වීම තුළ යම් නිල බලයක් පුවත්පත වටා ගොනුවීම හේතුවෙන් පුවත්පතේ බිහිවීම නූතන මානව සමාජයේ සංවර්ධනයේ සුවිශේෂී අවස්ථාවක් විය. එනිසා පුවත්පතේ ආගමනයෙන් සියවස් ගණනාවක් ගතව තිබුණ ද ඊට පසු කවර ජනමාධ්‍ය ප‍්‍රවර්ග සහ තාක්ෂණික ක‍්‍රමවේද බිහිවුවත් පුවත්පතට හිමි වැදගත්කම හෝ වටිනාකම මුළුමනින්ම අහෝසි නොවී වර්තමානය දක්වාම එහි පැවැත්ම රැු`දී තිබේ. පුවත්පත මුලින්ම අක්ෂර භාවිතයෙන් පමණක් පළවුවද පසුව ඡුායාරූපය එයට අනන්‍ය වූ අංගයක් ලෙස එක්විය. ඒ හේතුවෙන් අක්ෂර භාවිතයෙන් යමක් ප‍්‍රකාශ කිරීම සහ ඊට ඔබ්බෙන් වඩාත් පුළුල් අර්ථ ඉදිරිපත් කිරීමටත් ඡායාරූප පුවත්පත් තුළ අධිභාවිතයට ලක්විය. එසේම කාටුන් චිත‍්‍ර වැනි නිර්මාණාත්මක සන්නිවේදන උපක‍්‍රම ද පුවත්පත ඇසුරින් සංවර්ධනයට ලක්වීම තුළ පුවත්පත ඊටම ආවේණික වූ අනන්‍යතා ලක්ෂණ රැසක් සහිතව මානව සමාජය තුළ සිය භූමිකාව ඉටු කරන්නට විය. පුවත්පතේ එම සමාජීය භූමිකාව මානව සමාජයේ චින්තනය ගොඩනැංවීම සඳහා ද ඉටුකළ මෙහෙය අතිවිශාලය. තව ද පුවත්පතක් තුළ පළවූ යමක් එක් වරකට වඩා කියවීමට එනම් පරිශීලනය කිරීමට හැකිවීමද පුවත්පත් මාධ්‍යය තුළ පැවති අනන්‍ය ලක්ෂණයක් ලෙස ඉස්මතු විය. නමුත්ඊට පසුව බිහිවූ ගුවන්විදුලිය සහ රූපවාහිනී මාධ්‍ය තුළ අන්තර්ජාලය ඇතුළු තාක්ෂණික ක‍්‍රමවේද භාවිත වන්නට පෙර ඒවායින් ප‍්‍රචාරය කළ සංදේශයක් අවශ්‍ය ශ‍්‍රාවකයාට හෝ පේ‍්‍රක්ෂකයාට අවශ්‍ය  ඕනෑම මොහොතක නැවත සවන්දීමේ හෝ නැරඹීමේ ශක්‍යතාව නොමැති වීම තුළ ද පුවත්පත සතුවූ සන්දේශ නැවත අවශ්‍ය  ඕනෑම මොහොතක කියවීමට හැකි ශක්‍යතාව සුවිශේෂී වැදගත්කමක් ලෙස විශේෂයෙන්ම යමකට සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට හැකිවීම හේතුවෙන් පුවත්පතේ වටිනාකම ඉහළ තත්ත්වයක පැවැතීමට හේතුවක් බවට පත්විය. මෙසේ පැවති පුවත්පතේ අනන්‍යතාවට බලපෑමක් ඇති නොවී මානව සමාජයේ මීළඟ නූතන සන්නිවේදන මාධ්‍ය ප‍්‍රවර්ගය වන ගුවන්විදුලිය බිහිවේ.

පුවත්පතෙන් පසුව මානව සමාජ ආගමනය සිදුවන ගුවන්විදුලි මාධ්‍යයේ සුවිශේෂත්වය වූයේ දුරස්ථ ස්ථාන කරා සංදේශ සන්නිවේදනය කිරීමට තිබූ ශක්‍යතාවයි. එය සන්නිවේදනයේදී කාලය හා දුර ජයගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජය තුළ සම්භවය වූ මාධ්‍යයකි. ගුවන්විදුලිය මුළුමනින්ම ශබ්දය පදනම් කර ගනු ලැබූ මාධ්‍යයකි. එනම් යම් කිසි සන්දේශයක් ජනගත කිරීම සඳහා ගුවන්විදුලිය තුළ භාවිත කළ හැකිවූ එකම මෙවලම වූයේ ශබ්දයයි. එම නිසා සන්නිවේදනය කරනු ලබන සංදේශය ශ‍්‍රාවකයාට වඩාත් සාර්ථකව ග‍්‍රහණය කර ගැනීමට හැකිවන පරිදි හඬ භාවිත කරමින් ඉදිරිපත් කිරීම සිදුවිය. ඒ අනුව හඬ භාවිත කිරීමේ සුවිශේෂිතාවය හේතුවෙන් ගුවන්විදුලි මාධ්‍යයට ඊටම විශේෂිත වූ අනන්‍යතාවක් ගොඩනැගුණු අතර එය ගුවන්විදුලි මාධ්‍යයේ සුවිශේෂත්වය ලෙස වර්ධනය විය.  කෙසේ වෙතත් පුවත්පත මෙන් නොව ගුවන්විදුලි මාධ්‍යය සැලකුණේ යමක් ඉදිරිපත් කළ මොහොතේ පමණක් එය ශ‍්‍රාවකයාට ලබා ගත හැකි මාධ්‍යයක් වශයෙනි.  එනම් නූතන තාක්ෂණික ක‍්‍රමවේද භාවිතයට පැමිණීමට පෙර ගුවන්විදුලියෙන් යමක් ප‍්‍රචාරය වූ විට එය නැවත ශ‍්‍රවණය කිරීමට නොහැකි වීම තුළ එය ගුවන්විදුලියේ අනන්‍යතාව සංවර්ධනය වීම සඳහා හේතුවක් බවට පත්විය. තව ද පුවත්පතක ප‍්‍රකාශන ක‍්‍රියාවලියේදී සෝදුපත් බැලීමේ ක‍්‍රියාවලියක් පැවතුණද ගුවන්විදුලියේ සජීවී වැඩසටහනකදී සන්නිවේදකයෙකු විසින් යමක් ප‍්‍රකාශ කළ පසු එය එසැනින් ග‍්‍රාහකගත වීමත් තුළ ගුවන්විදුලි සන්නිවේදකයාගේ භූමිකාව වඩාත් වගකීම් සහගතව ඉටුකළ යුතු භූමිකාවක් ලෙස ද ගොඩනැගෙන්නට විය. මන්ද යත් ගුවන්විදුලියෙන් යමක් එසැනින් ප‍්‍රවාරය වූ සැනින් එය නැවත ආපසු හැරවිය නොහැකි සංසිද්ධියක් බවට පත්වන නිසාවෙනි. ඒ අනුව මෙකී සෑම තත්ත්වයක් ඔස්සේම ගුවන්විදුලිය ඊටම අනන්‍ය වූ අනන්‍යතා ලක්ෂණ රැුසක් සමඟ මානව සමාජය තුළ සිය පැවැත්ම තහවුරු කර ගන්නට සමත් විය.

ගුවන්විදුලියේ පැවති හඬ පමණක් සන්නිවේදනය කිරීමේ ශක්‍යතාව තාක්ෂණිකව තවදුරටත් සංවර්ධනය කරමින් රූපවාහිනී මාධ්‍යය නිපදවූ අතර ඒ අනුව හඬ සමග රූපය ද දුරස්ථ ස්ථාන කරා සන්නිවේදනය කිරීමට එමඟින් හැකිවිය. එම තත්ත්වය ද මානව සමාජයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වූ අතර දුරස්ථව සිට යමක් නැරඹීමේ ශක්‍යතාව එමගින් මානව සමාජයට අත්වීම තුළ යම් මධ්‍ය සංදේශයක් වඩාත් සජීවීව වඩාත් පුළුල් තොරතුරු සහිතව ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව මානව සමාජයට අත්පත් කර ගැනීමටත් හැකියාව ලැබුණි. මෙම තත්ත්වය තුළ ද ගුවන්විදුලි මාධ්‍යයේ දී මෙන් නැවත නැවතත් රූපවාහිනී මාධ්‍ය සංදේශ නැරඹීමේ හැකියාව නවීන තාක්ෂණික ක‍්‍රමවේද පැමිණෙන තෙක් ග‍්‍රාහකයාට නොමැති විය. එබැවින් රූපවාහිනී සන්නිවේදන ක‍්‍රමවේදය තුළ ද ක්ෂණිකව යම් සන්දේශයක් විකාශය වීමෙන් පසු එය ග‍්‍රාහක ගත වූ අතර එය නැවත නිවැරදි කිරීමේ හෝ ඊට පෙර සංශෝධනය කිරීමේ හෝ හැකියාවක් විශේෂයෙන්ම සජීවී රූපවාහිනී ඉදිරිපත් කිරීම් තුළ දී නොමැති විය. තව ද හඬ සමග රූපය සන්නිවේදනය කිරීමට හැකිවීම තුළ ඒ සඳහා වඩාත් සංකීර්ණ තාක්ෂණික මෙන්ම නිර්මාණාත්මක භාවිතයන්ද අනුගමනය කිරීමට සිදුවිය. ඒ අනුව රූපවාහිනිය ද ඊට විශේෂිත අනන්‍යතා සමග මානව සමාජය තුළ ගොඩනැගුණු මාධ්‍යයක් බවට පත්විය.

කෙසේ වුවත් ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ අන්තර්ජාලයේ ආගමනයත් සමග මෙම සෑම මාධ්‍ය ප‍්‍රවර්ගයක්ම අන්තර්ජාලයට ගොනුවීමෙන් එතෙක් එම මාධ්‍ය විසින් ගොඩනංවාගෙන තිබූ අනන්‍යතා ලක්ෂණ අහිමිවන තත්ත්වයක් උද්ගත වුණි. පුවත්පත් මාධ්‍යය වර්තමානයේදී මුද්‍රිත ස්වරූපයෙන් පළවුව ද එම සාම්ප‍්‍රදායික පුවත්පත පරිශීලනය කරනු ලබන පාඨක ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතී. එම නිසා සෑම පුවත්පතක්ම පාහේ එහි අන්තර්ජාල සංස්කරණයක් නිකුත් කරන්නට පියවර ගෙන තිබේ. එමගින් සාම්ප‍්‍රදායික පාඨක සමාජයට වඩා පුළුල් පාඨක ප‍්‍රජාවක් වෙතට ආමන්ත‍්‍රණය කිරීමට හැකිවී ඇති අතර සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රමය බවට පත්වූ ජනමාධ්‍ය වෙතින් පාඨකයාට තොරතුරු ඉදිරිපත් කිරීම පමණක් සිදුවූ සන්නිවේදන ක‍්‍රමය වෙනුවට පාඨකයාට අදාළ තොරතුරු සම්බන්ධයෙන් අදහස්ද ඉදිරිපත් කිරීමට අවස්ථාව පුවත්පත අන්තර්ජාල මාධ්‍යයට ගොනුවීම තුළ ඇතිවූ සාධනීය තත්ත්වයකි. එනම් සාම්ප‍්‍රදායිකව ඒක පාර්ශවීයව කළ තොරතුරු සන්නිවේදනය වෙනුවට ඒවාට ප‍්‍රතිපෝෂණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව පාඨකයාට හිමිවීම වඩාත් සංවර්ධිත සමාජයක මාධ්‍ය භාවිතයේ සුවිශේෂී ලක්ෂණයකි. ගෝලීයකරණය තුළ උත්කර්ෂයට නැංවෙන ගෝලීය සමාජය තුළ එම තත්ත්වය ඇතිවී තිබේ.

එසේම පුවත්පත තුළ සාම්ප‍්‍රදායිකව අන්තර්ගත වූ වචන, වාක්‍ය, ඡේද මෙන්ම ජායාරූප සහ කාටුන් චිත‍්‍ර වෙනුවට පුවත්පතක අන්තර්ජාල සංස්කරණයක් තුළ දර්ශන හා හඬපට යනාදිය ද පරිශීලනය කිරීමට පාඨකයාට අවස්ථාව උදාවේ. මෙම තත්ත්වය පුවත්පතේ අනන්‍යතාව අහිමිවීමට හේතුවන තත්ත්වයක් වන නමුත් නූතන පුවත්පතක පැවැත්ම යනු හුදු සාම්ප‍්‍රදායික තොරතුරු සන්නිවේදනය නොවන බව පසක් කිරීමට එය හේතුවක් බවට පත්වේ. ඒ අනුව යම් කිසි තොරතුරක් සම්බන්ධයෙන් එක් දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් වන තොරතුරක් වෙනුවට දෘෂ්ටිකෝණ ගණනාවකින් තොරතුුරු සොයා බැලීමට එම බහුමාධ්‍ය ක‍්‍රමවේද ඔස්සේ අවස්ථාව ලැබේ.

ගෝලීයකරණය තුළ පුවත්පතේ අනන්‍යතාව අහිමිවීම සිදුවුව ද එම නව තාක්ෂණික ක‍්‍රමවේද තුළ පුවත්පත අහෝසි නොවී පවත්වාගෙන යාම සඳහා හේතුවන අවස්ථා ද අන්තර්ජාලය තුළින් උදාවී තිබේ. එනම් යම් කිසි පුවත්පතක් දෛනිකව හෝ සතිපතා ප‍්‍රකාශයට පත්වන විට අදාළ පුවත්පතේ ප‍්‍රකාශන දෙකක් අතරතුර කාල අවකාශයේ සිදුවන වැදගත් සිදුවීමක් පිළිබඳ තොරතුරක් පාඨකයාට ක්ෂණිකව සන්නිවේදනය කිරීම සඳහා අන්තර්ජාල මාධ්‍යය තුළින් අවස්ථාව ලැබී තිබේ.  ඒ අනුව මොහොතින් මොහොත නව සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වන සමාජයක පුවත්පතකට එම කාර්යභාරය ඉටුකිරීමට නොහැකි වන ප‍්‍රායෝගික හේතු අන්තර්ජාලය තුළින් මගහැරීමට අවස්ථාව ලැබී තිබේ. එහිදී නැවතත් පුවත්පත පළවන තෙක් පාඨකයා පුවත්පත කෙරෙහි ආකර්ෂණය කර ගැනීම තුළින් පුවත්පතේ ජනප‍්‍රියතාව අඩුනොවී පවත්වා ගැනීමටත් එමගින් හැකියාව ලැබී ඇත.

පුවත්පත් මාධ්‍යය අන්තර්ජාලකරණය වීමේ විශේෂතා අතර වඩාත් සුවිශේෂී වන තවත් එක් ප‍්‍රමුඛතම හේතුවක් වන්නේ එතෙක් පුවත්පත පැවති ජාතික මට්ටමෙන් ඔබ්බට ගොස් එනම් දේශසීමාවලින් ඔබ්බට ගොස් ගෝලීය පාඨක සමාජයක් ආමන්ත‍්‍රණය කිරීම සඳහා එමගින් අවස්ථාව ලැබීමයි. එනම් යම් ප‍්‍රදේශයකට හෝ රටකට සීමා වී තිබූ පුවත්පත ජාත්‍යන්තර වශයෙන් තොරතුරු ප‍්‍රචාරය කරන මාධ්‍යයක් බවට පත්වීම සිදුවිය. මෙම තත්ත්වය තුළ පුවත්පතක පාඨක සංඛ්‍යාව අතිවිශාල සංඛ්‍යාවක් බවට පත්වූ අතර පුවත්පත් මාධ්‍යය මානව සමාජය තුළ අත්කරගෙන තිබූ භූගෝලීය සීමා තුළ පාඨකයින් ආමන්ත‍්‍රණය කිරීමේ සාම්ප‍්‍රදායික භූමිකාව ද එමගින් මුළුමනින්ම අහෝසි විය.

මෙම තත්ත්වය තුළ පුවත්පතට අත්වූ සුවිශේෂී වාසිය වූයේ මුද්‍රණයෙන් පාඨකයින් අතට පත්වන සීමා සහිත පුවත්පත් ප‍්‍රමාණය තුළ යම් කිසි තොරතුරකට ලබාදෙන සීමා සහිත ප‍්‍රචාරයත් විශේෂයෙන්ම ජාතික මට්ටමේ පුවත්පතක් නම් එම පුවත්පත තුළින් ලබා දෙන ජාතික මට්ටමේ තොරතුරු එම තොරතුරු ලබා ගැනීමට ප‍්‍රියකරන විදේශීය රටක ජීවත්වන පිරිසකට ලබා දීමට එමගින් හැකියාව ලැබීමයි. එනම් නිදසුනක් වශයෙන් විදෙස්ගත ශ‍්‍රමිකයින් හා වෙනත් රටවල ස්ථිර වාසය සදහා ගොස් සිටින පුරවැසියන්ට තොරතුරු ලබා දීමේ මාධ්‍යයක් වශයෙන් ඒ ඔස්සේ ක‍්‍රියාත්මක වීමට පුවත්පතට හැකිවිය. එනම් ජාතික මාධ්‍යයක් ලෙස සිය අනන්‍යතාව රැුකගෙන කටයුතු කිරීම තුළ එසේ ජාතික වශයෙන් වැදගත්කමක් දරණ තොරතුරු වෙනත් රටවල වාසය කරන පුද්ගලයින්ට ලබා දීම තුළ ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීමට වඩාත් පුළුල් අන්දමින් මතවාද ප‍්‍රචාරය කිරීමට ද අවස්ථාව උදාවේ.

එසේ පුවත්පත අන්තර්ජාලයකරණයට ලක්වූ ආකාරයටම ගුවන්විදුලි මාධ්‍යයටත් සිය අනාගත පැවැත්ම උදෙසා ගෝලීයකරණය තුළ අන්තර්ජාල වේදිකාව මත තම භූමිකාව ගොඩනගා ගන්නට සිදුවිය. ඒ අනුව ජාතික වශයෙන් ගුවන්විදුලි තරංග ඔස්සේ ප‍්‍රචාරය කළ ගුවන්විදුලි නාලිකා අන්තර්ජාලය මගින් විකාශය කරමින් ජාතික මට්ටමේ ප‍්‍රජාවක් වෙනුවට අන්තර්ජාතික එනම් ගෝලීය ප‍්‍රජාවකට ආමන්ත‍්‍රණය කිරීමට අවස්ථාව උදාවී තිබේ. මෙම තත්ත්වය ද ගුවන්විදුලිය එතෙක් මානව සමාජය තුළ පවත්වාගෙන ආ අනන්‍යතාවට යම් කිසි දුරකට බලපෑමක් ඇතිවන තත්ත්වයක් වන නමුත් සාම්ප‍්‍රදායිකව ගුවන්විදුලි යන්ත‍්‍ර ඉදිරිපිට අසුන්ගෙන ගුවන්විදුලියට සවන්දෙන ශ‍්‍රාවක ප‍්‍රජාවට වඩා විශාල පාඨක පිරිසකට එමගින් අමන්ත‍්‍රණය කිරීමට අවස්ථාව උදාවී ඇත.

එසේම ගුවන්විදුලි මාධ්‍යය තුළ එතෙක් නොපැවති තත්ත්වයක් වූ නැවත නැවතත් ගුවන්විදුලි වැඩසටහන්වලට සවන්දීමේ ශක්‍යතාව පූරණය කර ගැනීමට ද මෙසේ අන්තර්ජාලය තුළින් ශ‍්‍රාවකයාට හැකිවිය. ඒ අනුව ගුවන්විදුලි වැඩසටහන් අන්තර්ජාලය තුළ ගබඩා කර තබා ඒවාට අවශ්‍ය අවස්ථාවලදී සවන්දීමට ගුවන්විදුලි මාධ්‍ය ආයතන විසින් අවකාශය උදාකර දී ඇති අතර බොහෝ ගුවන්විදුලි වැඩසටහන් ශදමඔමඉැ වැනි වීඩියෝ නැරඹීමට පහසුකම් ලබාදෙන වෙබ්අඩවි තුළින් ප‍්‍රචාරය කිරීමට කටයුතු කිරීමත් අද්‍යතනයේ දැකිය හැකි නව්‍ය ප‍්‍රවණතාවක් ලෙස සඳහන් කළ හැකිය.

එසේම ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහන්වලට ද පාඨක ප‍්‍රතිපෝෂණ ලබා දීමේ සුවිශේෂී අවස්ථාව අන්තර්ජාලය මගින් හිමිවී ඇති අතර එය ද ගුවන්විදුලි මාධ්‍යයේ ප‍්‍රගමනය සඳහා හේතුවී ඇති කරුණක් ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම තවදුරටත් ගුවන්විදුලිය සාම්ප‍්‍රදායික රාමුකට සීමා නොවී වැඩි ග‍්‍රාහකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනිමින් පශ්චාත් නූතන සමාජ ක‍්‍රමය තුළ සිය අනන්‍යතාව ගොඩනගා ගැනීමට අන්තර්ජාලය සහ ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ හැකිවී ඇත. එසේම දේශසීමා අභිබවමින් ගෝලීය සමාජයක් ඉලක්ක කර සන්නිවේදන කටයුතු මෙහෙයවීමටත් ගෝලීයකරණ ක‍්‍රියාවලිය වඩාත් ඵලදායීව පවත්වාගෙන යෑමටත් ගුවන්විදුලියේ මෙම නව ප‍්‍රවේශය හේතුවක් බවට පත්ව තිබේ.

පුවත්පතට ගුවන්විදුලියට මෙන්ම රූපවාහිනී මාධ්‍යයටත් අන්තර්ජාලය හේතුවෙන් නූතන සමාජය සමග සම්බන්ධ වීමේ වාසිදායක අවස්ථා රැසක් උදාවී ඇති බව සඳහන් කළ යුතුය. එනම් රූපවාහිනිය ද තවදුටත් දේශසීමාවක් තුළ වෙසෙන ප‍්‍රජාවක් ආමන්ත‍්‍රණය කරන මාධ්‍යයක් නොව ගෝලීය මාධ්‍යයක් ලෙස සංවර්ධනය වීම සඳහා අවශ්‍ය ශක්‍යතා අන්තර්ජාලය මගින් ලැබී තිබේ. ඒ අනුව රූපවාහිනී වැඩසටහන් ද ලෝකයේ  ඕනෑම රටක වෙසෙන පුද්ගලයෙකුට නැරඹීමට හැකිවන අයුරින් අන්තර්ජාලය තුළින් විකාශය කිරීමටත් ඒවා නැවත නැවතත් නැරඹිය හැකි අයුරින් ගබඩා කර ගැනීමටත් හැකියාව ලැබී තිබේ. එසේම රූපවාහිනී යන්ත‍්‍රයක් ඉදිරිපිට රූපවාහිනිය නරඹන සාම්ප‍්‍රදායික රූපවාහිනී පේ‍්‍රක්ෂකයාට මෙන් නොව අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනිය නරඹන පේ‍්‍රක්ෂකයාට එම වැඩසටහන් සම්බන්ධයෙන් ප‍්‍රතිපෝෂණ ලබා දීමේ අවස්ථාව ද උදාවී ඇත.

එසේම වර්තමානය වනවිට චන්ද්‍රිකා තාක්ෂණය මගින් විකාශය කරන ගෝලීය සහ කලාපීය රූපවාහිනී නාලිකා බිහිවී තිබීම ද ගෝලීයකරණ තුළ දක්නට ලැබෙන නව්‍ය ප‍්‍රවණතාවකි. ඒවා ගෝලීය සහ කලාපීය අරමුණු උදෙසා ජනමතය හැසිරවීමට යොදා ගැනීමට හැකිවීම තුළ වර්තමානයේ අතිප‍්‍රබල සන්නිවේදන මාධ්‍ය ප‍්‍රවර්ගයක් බවට ද පත්ව ඇත. ඒවා මගින් විශේෂයෙන් ප‍්‍රචාරය කරනු ලබන ආර්ථික, සමාජීය සහ සංස්කෘතික මතවාද සම්බන්ධයෙන් ද පුළුල් අන්දමින් අවධානය යොමු කළ යුතුය.

ගෝලීයකරණය තුළ අන්තර්ජාල මාධ්‍ය උත්කර්ෂයට නැංවීම තුළ එතෙක් පැවති සන්නිවේදන රටාව ද මුළුමනින්ම වෙනස්වීමට බඳුන්වී ඇත. එනම් Broadcasting ලෙස එක පණිවිඩයක් විශාල ග‍්‍රාහකයින් සංඛ්‍යාවක් වෙත රැගෙන යනු ලැබූ ක‍්‍රමය වෙනුවට තොරාගත් හා සීමිත පිරිසක් වෙතට පණිඩිඩයක් රැගෙන යන Narrowcasting ක‍්‍රමවේදය භාවිත වෙමින් තිබේ. මෙම තත්ත්වය ගෝලීයකරණය මගින් ජනමාධ්‍ය තුළ ඇති කරනු ලැබූ සුවිශේෂී තත්ත්වයක් වශයෙන් ද අර්ථ දැක්විය හැකිය. විශේෂයෙන්ම පොදුවේ ග‍්‍රාහකයින් විශාල සංඛ්‍යාවක් එක වැඩසටහනක් නරඹනවාට වඩා ග‍්‍රාහකයින්ට අවශ්‍ය වේලාවක අවශ්‍ය වැඩසටහනක් තොරාගෙන නැරඹීමට මෙමගින් හැකියාව ලැබී තිබේ.

2.3 ගෝලීයකරණය, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය

අන්තර්ජාලයේ උප ප‍්‍රවර්ගයක් වශයෙන් බිහිවී ඇති සමාජ මාධ්‍ය ක‍්‍රියාවලිය ද ගෝලීයකරණය තුළ ජනමාධ්‍ය සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති නව තාක්ෂණික ක‍්‍රියාවලියක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ ඔස්සේ සෑම මාධ්‍ය සංදේශයක්ම සමාජ මාධ්‍ය තුළින් ප‍්‍රචාරය කිරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට අවස්ථාව ලැබීම තුළ වඩාත් වැඩි ග‍්‍රාහකයින් පිරිසකට සන්නිවේදනය කිරීමට මෙන්ම එමගින් වැඩි ඵලදායිතාවක් අත්කර ගැනීමට ද අවකාශය උදාවී ඇත.

වර්තමානයේ සෑම ජනමාධ්‍ය ප‍්‍රවර්ගයකටම මෙම සමාජ මාධ්‍ය සතු ශක්‍යතා භාවිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. මන්ද යත් අන්තර්ජාලය තුළ වඩාත්ම ජනප‍්‍රිය අංගයක් බවට සමාජ මාධ්‍ය පත්ව තිබීම සහ නිතිපතා පරිශීලකයින් අතිවිශාල සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින් තම දෛනික ජීවිතය ඒ ඔස්සේ බෙදා ගැනීමට කටයුතු කරන බැවිනි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ඉතා පහසුවෙන්  ඕනෑම ප‍්‍රවර්ධන කාර්යයක් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබීම හේතුවෙන් වින්දනාත්මක කාර්යයන්වල සිට අලෙවිකරණ කාර්යයන් දක්වාත් ඉන් ඔබ්බට මැතිවරණ වැනි දේශපාලන කටයුතු මෙහෙයවීම ආදිය සඳහාත් සමාජ මාධ්‍ය භාවිතය අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

ලොව ප‍්‍රකට සමාජ මාධ්‍ය වශයෙන් මේ වන විට Facebook, Twitter, Youtube වැනි සේවා භාවිත වේ. ඒවා තුළ නිරන්තරයෙන් අදහස් සංවාද සංසරණය වෙමින් පවතී. ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයට එකී සමාජ මාධ්‍ය සංවාද මෙන්ම මාධ්‍ය වැඩසටහන් ප‍්‍රවර්ධනය සඳහා ග‍්‍රාහක ආකර්ෂණය ද ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇත. ඒ හේතුවෙන් ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ ජනමාධ්‍ය භූමිකාවට සමාජ මාධ්‍යවල ක‍්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

2.4 ගෝලීයකරණය, ජනමාධ්‍ය සහ සංස්කෘතික විසරණය

ගෝලීයකරණ ක‍්‍රියාවලිය තුළ ජනමාධ්‍ය සමාජීය හා සංස්කෘතික ප‍්‍රවණතා වාහකයෙක් ලෙස  ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද අධ්‍යයනයට ලක්කළ හැකිය. මෙම තත්ත්වය ගෝලීයකරණය තුළ ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රමුඛතම භූමිකාවක් වන බව ද පැවසිය හැකිය. විශේෂයෙන්ම විවිධ රටවල සංස්කෘතින් ඒ ඔස්සේ මිශ‍්‍ර වීමට අවස්ථාව සැලසීම තුළ ගෝලීය සමාජයක් හා ගෝලීය සංස්කෘතියක් නිර්මාණය වීමට අවස්ථාව උදාවේ. එම තත්ත්වය තුළ කේන්ද්‍රීය රටවල සංස්කෘතිය පරිධියේ රටවල් කරා විසරණය වීම සම්බන්ධයෙන් ද විශේෂයෙන් අවධානයට ලක්කළ හැකි අතර එමෙන්ම බටහිර රටවල සංස්කෘතික ප‍්‍රවණතා පෙරදිග රටවල සංස්කෘතික ප‍්‍රවණතා ලෙස රූපාන්තරණය වීමද මෙහිදී සිදුවේ.

ගෝලීයකරණය තුළ ජනමාධ්‍ය ඔස්සේ මූලික වශයෙන්ම පරිධියේ රාජ්‍යයන්හි ආහාර සංස්කෘතිය කෙරෙහි ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් සිදුකර ඇති බලපෑම පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් කොකා කෝලා සහ පෙප්සි වැනි කෝලා පාන වර්ග සඳහා පරිධියේ රාජ්‍යයන්වල ජනතාව හුරු කිරීම මේ යටතේ සිදුවී තිබේ. එමඟින් කෘත‍්‍රිම පාන සංස්කෘතිය සහ මැක්ඩොනල්ඞ්කරණය නම් ක්ෂණික ආහාර සංස්කෘතිය ද සංස්කෘතික නව යටත්විජිතවාදයේ ස්වරූපයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මෙම ආහාර සංස්කෘතිය මඟින් බටහිර රටවල බහුජාතික සමාගම්වලට පරිධියේ රාජ්‍යයන්වල ධනය ගලා යාම පමණක් නොව පිළිකා ආදී වූ බෝ නොවන රෝගවලට පරිධියේ රටවල පුරවැසියන් ගොදුරු වීම ද දැවැන්ත සමාජ අර්බුදයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. මෙම තත්ත්වය තුළ සංස්කෘතික නව යටත්විජිතවාදයේ ස්වරූපයක් ලෙස ව්‍යාප්ත කරන ලද ආහාර සංස්කෘතිය ඉදිරි වසර ගණනාවක කාලය තුළ පරිධියේ රටවලට මුහුණ දීමට සිදු වන ප‍්‍රමුඛතම සෞඛ්‍ය ගැටලූවලට හේතුවක් බවට පත් වී ඇති බව ද පැවසිය හැකිය.

මෙම තත්ත්වය තුළ ගෝලීය ආහාර සංස්කෘතිය විසින් දේශීය ආහාර සංස්කෘතිය අතික‍්‍රමණය කරමින් කටයුතු කරන ආකාරය ද අධ්‍යයනයට ලක්කළ හැකිය. ඒ හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට ගෝලීය නිෂ්පාදන සමඟ තරගයක යෙදීමට ද සිදුව ඇති අතර ගෝලීය සමාගම් විවිධ රටවල තම සමාගම්වල ශාඛා විශාල ප‍්‍රමාණයක් විවෘත කිරීම තුළ මෙම තත්ත්වය විශේෂයෙන් උද්ගතවී තිබේ.

ඒ අනුව සැලකීමේදී ගෝලීයකරණයේ බලපෑම හේතුවෙන් ජනමාධ්‍යවල භූමිකාව ප‍්‍රබල වෙනස්වීම් රැසකට බඳුන් වී ඇති අතර ඒ ඔස්සේ ගෝලීය වශයෙන් ඇති කර ඇති බලපෑමද අතිවිශාල වේ.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර ලැයිස්තුව

Daly, H. (1999). Globalization versus Internationalization: Some Implications, Global Policy Forum USA. <http://www.globalpolicy.org/globaliz/econ/herman2.htm>

Giddens, A. (2004). Sociology. (4th Ed). U.K, Black Well Printing Press Ltd.

Holton, R. (2005). Making Globalization. New York, Palgrave Macmillan.

MacGillivray, A. (2006). A Brief  History of Globalization: The Untold Story of our Shrinking Planet. London, Constable and Robinson.

Moghadam, Valentine M. (1999). Gender and Globalization: Female Labor and Women’s Mobilization. Journal of World Systems Research 2, pp. 367-388.

Comments

comments