දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික රූපවාහිනියේ “ඇඟිලි සලකුණ” යොදාගැනීම (මිලේනියම් සිටි සිදුවීම) – ජනමාධ්‍ය කළමනාකරණය ලිපි

රාජ්‍ය මාධ්‍ය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ ස‍ඳහා බලපාන මූලික සාධක ත්‍රිත්වයක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් දේශපාලන බලපෑම්, මූල්‍ය/සේවක කළමනාකරණය හා අන්තර්ගත කළමනාකරණය යන්නයි. ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය, ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ ගුවන්විදුලි නාලිකාව රාජ්‍ය මාධ්‍ය ලෙස ක්‍රියාත්මක වන බැවින් එම ආයතන කළමනාකරණයේදී ඉහත සාධක හැසිරවීම මත ඇතිවූ ප්‍රතිඵල ගණනාවක් දැකිය හැකිය. මෙම තත්ත්වය “රාජ්‍ය මාධ්‍ය කළමනාකරණ අභියෝග ආකෘතිය” ලෙස මා විසින් සංකල්පීකරණය කරනු ලැබේ. පහත රූප සටහනෙන් දැක්වෙන්නේ එම අභියෝග හා ඒවායේ සංකලනයෙන් ඇතිවන ප්‍රතිඵල ඔස්සේ රාජ්‍ය මාධ්‍ය කළමනාකරණය ගොඩනැඟෙන ආකාරයයි.

මෙම සාධක මත මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතන කළමනාකරණයේදී උද්ගත වී ඇති අර්බුද සහ ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳ මෙම ලිපි මාලාව ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට මම අපේක්ෂා කරමි. ඒ අනුව එහි පළමු පියවර වශයෙන් දේශපාලන බලපෑම් මත ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදනය වීම පිළිබඳ එක් සිදුවීමක් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

2001 වසරේ දෙසැම්බර් මස 5 වැනිදා පැවති මහ මැතිරවණයෙන් පොදුජන එක්සත් පෙරමුණ පරාජය කර එක්සත් ජාතික පෙරමුණ ජය ලැබීය. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු ආසන 109 ක් ලැබූ අතර අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්විය. එහි දී පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත්තේ ආසන 77 ක් පමණි. එසේ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු බලය දරණ විට පොදුජන එක්සත් පෙරමුණ යටතේ ජය ලබා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරයේ කටයුතු කළාය. ඒ 1999 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ඇය දෙවැනි වතාවට ජනාධිපතිවරණයට පත්වීමත් සමඟිනි.

“ඇඟිලි සලකුණ” වැඩසටහන ආරම්භ කරනු ලබන්නේ 2001 වසරෙන් පසු එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණි සමයේ ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයේ කටයුතු කරන අවධියේය. සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා වැඩසටහනේ පිටපත ලියා එය අධ්‍යක්ෂණය කළේය. කෙසේ වෙතත් “ඇඟිලි සලකුණ” යන නමින් නොව වෙනත් නමකින් වැඩසටහන ආරම්භ කළ අතර පසුව එය “ඇඟිලි සලකුණ” ලෙස නම් කර ඇත. එය විවිධ වැඩසටහන් අංශය යටතේ නාට්‍ය ඒකකය මඟින් නිෂ්පාදනය කළේය.

2003 වසරේ නොවැම්බර් 04 වැනිදා ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු හා ජනමාධ්‍ය නැමති අමාත්‍යංශ ත්‍රිත්වය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමා යටතට පවරා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට හරීම් පීරිස් මහතා පත්කළ කර අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නිශාන්ත රණතුංග මහතා පත් කළේය. ඉන්පසු “මිලේනියම් සිටි සිද්ධිය හා බුද්ධි අංශ සාමාජිකයින් ඝාතනය” වීම පදනම් කර ගනිමින් “ඇගිලි සලකුණ” වැඩසටහනක් කිරීමට යෝජනා කෙරිණි. එය එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්ත්වයක් ඇති කරන බැවින් එම වැඩසටහන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂකවරයා වූ සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාට මානුෂීය ගැටළුවක් පැනනැඟුනේ ඔහුගේ සහෝදරයා වූ චන්දන සූරිය බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයේ නිරතව සිටීම හේතුවෙනි. එම නිසා ජාතික රූපවාහිනියේ කළමනාකරණය සමඟ ඇතිවූ විරසකය හේතුවෙන් මිලේනියම් සිටි සිදුවීම සම්බන්ධ මතභේදාත්මක “ඇඟිලි සලකුණ” වැඩසටහන නිර්මාණය කිරීමේ කාර්යය වෙනත් පුද්ගලයෙකුට පැවරුණි.

ඒ අනුව දේශපාලන අවශ්‍යතාව මත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කළමනාකාරිත්වයට අවශ්‍ය පරිදි පිටපත ලියා වැඩසටහන නිෂ්පාදනය කෙරිණි. කෙසේ වුවත් 2004 මාර්තු 30 වැනිදා රාත්‍රියේ එම වැඩසටහන විකාශය වීමට නියමිත වූ නමුත් අප්‍රේල් 02 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත වූ බැවින් අදාළ වැඩසටහන විකාශය වුවහොත් ඉන් එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයේ දී අවාසියක් සිදුවන බවට එම පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් කොළඹ අලුත්කඩේ උසාවියෙන් වැඩසටහන විකාශය වීම අත්හිටුවමින් දින 14 ක් සඳහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කළේය. එහෙත් එම අත්හිටුවීමේ නියෝගය අයි.ටී.එන් හෙවත් ස්වාධීන රූපවාහිනී නාලිකාවට බලනොපෑ අතර එම නිසා ජාතික රූපවාහිනියෙන් එම වැඩසටහන රැගෙන ගොස් සිය දේශපාලන අරමුණ ඉටුකර ගැනීමේ අභිප්‍රායෙන් ඇඟිලි සලකුණ වෙනුවට වෙනත් නමක් යොදා අයි.ටී.එන් නාලිකාවේ එය විකාශය කළේය. මහ මැතිවරණයෙන් පසුව ජාතික රූපවාහිනියේ එම මතභේදාත්මක “ඇඟිලි සලකුණ” වැඩසටහන විකාශය කරනු ලැබීය.

මතභේදාත්මක ඇඟිලි සලකුණ වැඩසටහනට පදනම් වූ සිදුවීම

දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම හා එහි පසුබිම

1994 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රථම වරට ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇය ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාය. එම සමයේ යුද්ධයේ අවශ්‍යතාව මත බුද්ධි අංශය ක්‍රියාවලියක් පවත්වාගෙන යෑමට දිගුදුර විහිදුම් බලකාය (Long Range Reconnaissance Patrol – LRRP) නම් ඒකකයක් ස්ථාපිත කරන ලදි.

මෙම ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් වූ ඒකකයකි. එහි සංකල්පය හඳුන්වාදීමට මූලික වූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ කර්නල් රාජ් විජේසිරිය. මෙම ඒකකයේ මූලික අරමුණ වුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශ වෙත එල්.ටී.ටී.ඊ. නායකයින් සොයා ගොස් ඔවුන් ඝාතනය කර එම සංවිධානය දුර්වල කිරීමයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙමින් පවතින සමයේ එම අරමුණ ඉටු කර ගැනීමට මෙම බලකායට හැකිවිය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොට්ටු අම්මාන්ගේ රහස් ඔත්තු සේවාවට පවා සොයාගත නොහැකි වන පරිදි එම සංවිධානයේ නැගෙනහිර කොටි චර පුරුෂ නායක ලුතිනන් කර්නල් ලෙස හඳුන්වාගත් නිෂාන් හා ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරා වූ කර්නල් යැයි හඳුන්වා ගත් ශංකර් ද මෙම බලකාය විසින් ඉතා සුක්ෂමව ඝාතනයට ලක්කෙරුණි. ඒ අනුව මෙම බලකායේ ක්‍රියාකාරිත්වය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයින්ට දැඩි තර්ජනයක් වුවත් ඔවුන්ට ඊට එරෙහිව ක්රියා කිරීමට නොහැකිවුණි.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ අංක 844 දරණ ස්ථානයේ රහසිගතව ස්ථාන ගතවී හිඳිමින් මෙම බලකාය සිය මෙහෙයුම් පවත්වාගෙන ගියේය. ඊට ද්‍රවිඩ පුද්ගලයෝ ද ඇතුළත් වී සිටියහ. කෙසේ වෙතත් මෙම දිගුදුර විහිදුම් බලකායේ කටයුතු බිඳ වැටෙන්නේ මිලේනියම් සිටි සිදුවීම ලෙසත් ජාතියේ මහා පාවාදීම ලෙසත් ඇතමුන් හඳුන්වන සිදුවීමත් සමඟ මෙම බලකායේ තොරතුරු එල්.ටී.ටී.ඊ. සංවිධානය අතට පත්ව පසුව මෙම බලකායේ සාමාජිකයින් රැසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය ලක්කිරීම හේතුවෙනි. ඒ අනුව මෙම බලකායේ සේවය කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හා නිල නොලත් හමුදා සාමාජිකයින් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව ටොසි ලෙස හැඳින්වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ සාමාජිකයින්ගේ මෙහෙයවීමෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝලකරුවන් විසින් ඝාතනයට ලක්කරනු ලබයි.

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිදුවීම

මහනුවර පොලිස් සුනඛ අංශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ තවත් පොලිස් නිලධාරින් පිරිසක් සමඟ 2002 වසරේ ජනවාරි 2 වැනි දා රාත්‍රියේ අතුරුගිරියට පැමිණේ. ඔහු එසේ පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමකින් තොරව බව ද පැවසේ. එම මෙහෙයුමට උපපොලිස් පරීක්ෂක ධර්මරත්න හා සමරනායක සහ ගාමිණී, ජගත් යන කොස්තාපල්වරුන් ද උප කාන්තා පොලිස් කොස්තාපල් චම්පිකා ද එක්වී සිටියහ. ඊට අමතරව කලක් උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කළ මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු ද එම කණ්ඩායමට එක්වී සිටියේය. එම කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක රහසිගතව පවත්වාගෙන යමින් සිටි දිගුදුර මෙහෙයුම් බලකාය වටලා එහි සාමාජිකයින් අවිආයුධ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

ඒ අනුව දිගුදුර විහිදුම් බලකායේ අණදෙන නිලධාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු හා පැරා මිලිටරි සාමාජිකයෙකු ද, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණි. එම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ අධිකරණ නියෝගයක් හෝ වරෙන්තුවක් නොමැතිවයි. තව ද අවි ආයුධ සමඟ එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් 66 ක් ද පොලිස් භාරයට ගනු ලැබීය.

වටලනු ලැබූ මෙම ස්ථානය එවකට අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළ නායකයින් ඝාතනයට සැලසුම් කළ ස්ථානයක් වශයෙන් හුවා දක්වන ලදි. 2001 වසරේ නොවැම්බර් මස 10 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති චරිත රත්වත්තේ සහ උපසභාපති දයා පැල්පොල විසින් එවකට හමුදාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ගමන් ගන්නා ප්‍රචාරක බස් රථයට බෝම්බ ගැසීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇති බවයි. එය එසේ සිදුවුවහොත් එහි වගකීම හමුදාපතිවරයා භාරගත යුතු බව ද ඔවුන් පවසා ඇත. එම පැමිණිල්ලට එය යොමුකළ දිනයේම ප්‍රතිචාර දක්වමින් හමුදාපතිවරයා පවසා තිබුණේ එම පැමිණිල්ල කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බවයි. ඉන් මාස කිහිපකයට පසුව මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දිගුදුර මෙහෙයුම් බලකාය ස්ථානගතවී සිටි නිවාසය වැටලීම සිදුවේ. එම වැටලීම උඩතලවින්න ඝාතන නඩුවේ සැකකරුවෙකු සෙවීමේ මෙහෙයුමක් ලෙසත් අගමැතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ අවිආයුධ සමඟ නිවසක් සොයාගත් බවට ද මාධ්‍ය මඟින් අදාළ වැටලීම පිළිබඳ විවිධ කරුණු ජනතාව හමුවට ගෙන යාමට කටයුතු කර තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබූ දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයින් පළමුව කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගියේය. එම අවස්ථාවේ කුරුඳුවත්ත පොලිසිය තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්යවේදීහු පිරිසක් රැඳී සිටියහ. පොලිස් භාරයට ගත් අවිආයුධ එම මාධ්‍යවේදීන් විසින් ඡායාරූප හා වීඩියෝ ගත කරනු ලැබීය. ඉන්පසු එම බුද්ධි අංශ නිලධාරීන් කටුගස්තොට පොලිසියට ගෙන යන ලදි. ජනවාරි මස 3 වැනිදා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිපියක් ඉදිරිපත් කළ සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ සැකකරුවන් 6 දෙනෙකු 1979 අංක 48 දරණ පනතේ 7(1) වගන්තිය යටතේ විමර්ශනය කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඉන්පසු කුලසිරි උඩුගම්පොළ විසින් මහනුවර අධිකරණය හමුවේ යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන ලදි. කණිෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් හමුදාපතිවරයෙකුට එරෙහිව නඩු පැවරූ මුල්ම අවස්ථාව එය බව සඳහන් වේ.

කපිතාන් නිලාම් ඇතුළු බුද්ධි අංශ නිලධාරින් පිරිස මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගතවී සිටියේ නීත්‍යනුකූලව යැයි එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශ ද පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ විසින් පිළිගත්තේ නැත. අත්අඩංගුවට ගත් පසු එම කණ්ඩායම සතු යුද්ධ අවිවල නීත්‍යනුකූලභාවය යුද්ධ හමුදාව විසින් නීත්‍යනුකූලව සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මනින් නිදහස් කරන බවට කුලසිරි උඩුගම්පොළ පවසා තිබුණ ද යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කර තිබූ ලියවිල්ල ඔහු සලකා බලා නොතිබුණි.

එසේම පොලිස් වැටලීමෙන් පසු පොලීසියට තත්ත්වය පහදා දීමට හා හමුදාව සම්බන්ධයෙන් ඇති වෙමින් පැවති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා හමුදා බුද්ධි අධීක්ෂක බ්‍රිගේඩියර් කපිල හැන්දවිතාන පොලිස් පරීක්ෂක ජෙනරාල් ලකී කොඩිතුවක්කු හමුවී පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොලගේ විමර්ශන ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර ජෙනරාල් ලකී කොඩිතුවක්කු උඩුගම්පොල වෙත දන්වා සිටියේ හමුදාවේ එම ඉල්ලීම පිළිබදව අවධානය යොමුකරන ලෙසයි. කෙසේ වෙතත් උඩුගම්පොල විසින් එවකට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධූරය දැරූ ජෝන් අමරතුංග මහතාට තත්ත්වය දන්වා යවන ලදි. ඇමතිවරයා සිද්ධිය පොලිස් ඩී.අයි.ජී. ලාල් රත්නායක මහතාට පැවරීමට ද කටයුතු කරන ලදි. එහෙත් පොලිස් අධිකාරී උඩුගම්පොළ හමුදා නිලදාරීන් රැඳවුම්භාරයට හා භාරයට ගත් ආයුධ නාරාහේන්පිට පොලිස් මූලස්ථානයට යැවීමටත් ක්‍රියා කළේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතන රැල්ලක ආරම්භය

මෙම අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සියලු බුද්ධි අංශ සාමාජිකයින්ගේ අනන්‍යතාව හෙළි වූ අතර එම තොරතුරු එල්.ටී.ටී.ඊ. සංවිධානය අතට පත්වුණි. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරින් සොයා පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලදී බුද්ධි අංශ නිලධාරීන් රැසකගේ ජීවිත බිලිගනු ලැබීය.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් දින 18 කට පසු තම ඉලක්ක සොයා යන එල්.ටී.ටී.ඊ. පිස්තෝලකරුවන් 2002 වසරේ ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිතිව ඝාතනය කරනු ලබයි. අනතුරුව පෙබරවාරි 9 වන දින ක්ලාරි හෙවත් ගඩාපි ද ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන් ද අගෝස්තු 14 වන දින දේවදාස් ද දෙසැම්බර් 02 වන දින අයිස් ද දෙසැම්බර් 11 වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජා ද ඝාතනය කෙරේ. 2003 වසරේ ජනවාරි 03 වැනි දින කැෂියර් හෙවත් පුලේන්ද්රරාසා ද මාර්තු 18 දින රගුපති හෙවත් රගු ද අප්‍රේල් 13 දින රංජන් හෙවත් වර්ධන් ද අප්‍රේල් 26 දින අශෝක් දේවරාජා ද 2003 මැයි 21 මාස්ටර් හෙවත් කුමාර් පෙරුමාල් ද ඝාතනය කිරීම සිදුවේ. ඉන් නොනැවතී 2003 වසරේ අප්‍රේල් 23 දින යශෝධරන් ද මැයි 19 දින සූරියන් ද අගෝස්තු 03 දින රිල්වාන් ද අගෝස්තු 08 වන දින ශන්මුගරාසා ද සැප්තැම්බර් 14 දින සබාරත්නම් ද ඝාතනයට ලක් කෙරේ. 2004 වසරේ ජනවාරි 31 වන දින යෝගරාසාද එසේ ඝාතනයට ලක්වන තවත් නිලධාරියෙකි. මේ අතර බුද්ධි අංශයේ ප්‍රබලයන් වූ කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීම ද මෙම ඝාතන රැල්ලේ තවත් එක් ප්‍රතිඵලයකි. තව ද දෙහිවල පොලිසියේදී සුනිල් තාබෲ නැමති බුද්ධි අංශ නිලධාරියා ඝාතනය කිරීම ද සිදුවිය. මෙම ඝාතන රැල්ල හේතුවෙන් කපිතාන් නිලාම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයෝ පිිරිසක් විදෙස් රටවලට පලාගියහ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ තත්ත්වය

පොලිසිය කළ වැටලීමෙන් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිනිය විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත්කළේය. කොමිසම අනාවරණය කර ගත් තොරතුරු අනුව කර්නල් ඩී.ජී. දිසානායක ඇතුළු කිහිපදෙනෙක් මිලේනියම් සිටි නිවාස සංකීරණයේ රහස් නිවස්නය පිළිබඳ තොරතුරු එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයින්ට ලබාදී ඇති බව හෙලිවුණි. එසේම මෙම අත්අඩංගුවට ගැනීමට අදාළව කරන ලද බොහෝ දේ කුලසිරි උඩුගම්පොළ විසින් කරන ලද නිර්මාණාත්මක බොරුවක් ලෙස ද කොමිසම මඟින් හෙළිදරව් කර ගැනුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒකපාර්ශවික සටන් විරාමයකට එළඹුනේ ද මෙම රහස් නිවස්නය මඟින් ගෙන ගිය මෙහෙයුම නිසා බව කියවේ. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඉතිහාසයේ බරපතළ පාවාදීමක් ලෙස හඳුන්වන කොමිසම මෙම සිදුවීමත් සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධ දකුණේ ජනමතය දැඩිවී සාම ක්‍රියාදාමයට ද බාධා ඇති වූ බව පෙන්වා දුන්නේය.

තව ද අනාගතයේ දී එවැනි තත්ත්ව ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කොමිසම නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. එනම්,

1. හමුදාව සහ පොලිසිය නිර්දේශපාලනීකරණයට ලක්කළ යුතුය.
2. හමුදා ප්රධානීන්ගේ නියෝග මත පමණක් හමුදා යුද්ධෝපක්රම සැකසිය යුතුය.
3. යුද්ධෝපායන් දැනගත යුත්තේ ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ සෙසු හමුදා ප්‍රධානීන් පමණි.
4. ආරක්ෂක තොරතුරු ඇමතිවරුන්ට හෝ ලේකම්වරුන්ට දැනගැනීමට සැලසිය යුතු නැත.
5. දේශපාලනඥයින් පොලිස් නිලධාරීන්ට නියෝගදීම නතර කළ යුතුය. එවැනි නියෝග දෙන පුද්ගලයින්ට ද`ඩුවම් කළ යුතුය.
6. හමුදාවට සහ පොලිසියට තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට විශේෂ ආරක්ෂාව සැපයිය යුතුය.

ආදිය කොමිසමේ නිර්දේශ බවට පත්විය. එසේම අදාළ රහස් නිවස්නයේ කටයුතු නීත්‍යානුකූලව හා සාර්ථකව සිදුවූ බව ද කොමිසමේ අදහස විය.

අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ග

දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයෝ තම මානව හිමිකම් කඩවූ බවට අධිකරණය හමුවට ගොස් කරුණු දැක්වූහ. 2004 ජනවාරි 30 වැනිදා ඔවුන්ට අධිකරණය විසින් තීන්දුවක් දුන්නේය. ඒ අනුව ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණය කරන අධිකරණය සෑම සාමාජිකයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස ද නියෝග කළේය. එසේම පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොලගේ මෙම ක්‍රියාව අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්කරනු ලැබීය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොළ අනිවාර්ය නිවාඩු යැවූ අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දුන් ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පැවසීය. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්, කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව දැනුවත් වී සිටි බවයි. තවද එවකට පැවති රජයේ දේශපාලනඥයින් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු විසින් කණ්ඩායම් ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇති බව ද අනාවරණය විය.

ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා 20 ක් යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළකර අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස මෙම සිදුවීම හඳුන්වා දී තිබුණි.

Comments

comments