ෆේස්බුක් පිටු පැහැරගන්නා හැකර්වරුන්ගෙන් ප්‍රවේශම් වන්නේ කෙසේද?

ෆේස්බුක් පිටු පැහැර ගැනීම සඳහා සංවිධානාත්මකව හා උපක්‍රමශීලීව සිදුවන වංචනික ක්‍රියාවලියක් පිළිබඳ මෙම සටහන තැබීමට සිතුවෙමි. මීට දින කිහිපයකට පෙර මා හට ද මෙම අත්දැකීමට මුහුණදීමට සිදුවූ බැවින් සහ තවත් එවැනි අවස්ථා ගණනාවක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිවූ බැවින් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සමාජ වගකීමක් ලෙස මම සලකමි. මක්නිසාද යත් මෙම දැනුවත් කිරීම මගින් ඉදිරියේදී විය හැකි මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.

ෆේස්බුක් පිටු ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද සිදුවන මෙවැනි පැහැරගැනීම්  සුලබ තත්ත්වයක් බවට පත්වී ඇත. වසර 5 ක් පමණ පැරණි පිටු, තහවුරු කරන ලද පිටු (Verified Pages) සහ Likes විශාල සංඛ්‍යාවක් සහිත පිටු මෙම හැකර්වරුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වී තිබේ.

මෙහිදී ප්‍රථමයෙන් සිදුවන්නේ අදාළ ෆේස්බුක් පිටුවේ වෙළෙඳදැන්වීම් පළකිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් පිටුවේ පරිපාලකවරයාගේ (Page Admin) ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩ යොමු කිරීමය. ප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් ආයතනයක නමට සමාන වන අයුරින් ව්‍යාජ ලෙස සකස් කළ ඊමේල් ලිපින මගින් මෙම පණිවිඩ යොමු කිරීම සිදුවේ. මාගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ලැබුණු මෙවැනි ඊමේල් පණිවිඩ කිහිපයක් මෙසේ නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව එක් අවස්ථාවකදී agent.evokad@gmail.com නමැති ව්‍යාජ ඊමේල් ලිපිනයෙන් මා වෙත ඊමේල් ලිපි ලැබුණු අතර අමෙරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි Evok Advertising ආයතනය ලෙස ඔවුහු ව්‍යාජව පෙනී සිටියහ. ඊට අමතරව ජෝජියාවේ පිහිටි LYFE Marketing ආයතනය ලෙස ව්‍යාජව පෙනී සීටිමින් zorilyfemarketing@gmail.com නමැති ව්‍යාජ ඊමේල් ලිපිනයෙන් ද මා හට ඊමේල් පණිවිඩ ලැබුණි.

ෆේස්බුක් පිටුවේ දැන්වීම් පළකිරීම වෙනුවෙන් දෛනිකව හෝ සතිපතා විශාල මුදලක් ගෙවන බව හැකර්වරු මෙම ඊමේල් පණිවිඩ මගින් සඳහන් කරති. ඒ සඳහා අපට කැමති ගෙවීම් මාදිලයක් ද තෝරා ගත හැකි බව ඔවුන් සඳහන් කරන අතර PayPal, Cashapp, Payoneer හෝ Western Union වැනි ක්‍රම ඒ සඳහා භාවිත කළ හැකි බව ඔවුහු ප්‍රකාශ කරති.

මෙසේ එවනු ලබන ඊමේල් පණිවිඩ මඟින් ඔවුන් කෙරෙහි විශ්වාසයක් ගොඩනැංවීමට උත්සාහ දරන අතර ෆේස්බුක් පිටුව අත්පත් කරගැනීමේ අරමුණ ක්‍රියාවට නැංවෙන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව දැන්වීම් ලබාදීම සඳහා Facebook Business Manager මඟින් ඔවුන් එවනු ලබන Invitation එක ඔස්සේ Log වී අපගේ ෆේස්බුක් පිටුව ඊට Add කරන ලෙස ඉල්ලා සිටියි. එය සිදුකරන ආකාරය ද පියවරෙන් පියවර ඔවුන් විස්තර කරනු ලබන අතර ඒ අනුව අපගේ පිටුව ඊට Add කළ සැනින් පිටුවේ හිමිකරු (Page Owner) බවට පත්වීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

මෙසේ සිය අරමුණ ඉටුකර ගත් වහාම ඔවුන් සිදුකරන්නේ පිටුවේ සැබෑ පරිපාලකවරයා එම භූමිකාවෙන් ඉවත් කර එම බලතල ඔවුන් සතු කරගැනීමයි. අනතුරුව ඔවුන්ගේ අරමුණ පරිදි පිටුව මෙහෙයවීම සිදුකරන අතර ඇතැම් අවස්ථාවල පිටුව එක් රටකට පමණක් දර්ශනය වන පරිදි  Settings (Country restrictions) සකස් කරනු ලැබේ. එවිට පිටුව දර්ශනය වන්නේ පිටුවට සම්බන්ධව යම් භූමිකාවක් ඇති පුද්ගලයින්ට පමණක් සහ අදාළ රටේ පරිශීලකයින්ට පමණි.

ඊමේල්වලට අමතරව පිටු පරිපාලකවරයාගේ ජංගම දුරකථන අංකය ඔස්සේ WhatsApp පණිවිඩ යොමුකර පිටු අත්පත් කර ගැනීම ද සිදුවේ.

මෙසේ සිදුවන පිටු පැහැරගැනීම්වලින් වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ සැකසහිත ඊමේල් ලිපිනවලින් ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වා සිටීමයි. එසේ ලැබෙන ඊමේල් ලිපියක නිරවද්‍යතාව පරික්ෂා කිරීම සඳහා අදාළ ආයතනයේ නිල ඩොමේන් නාමයකට අදාළ ඊමේල් ලිපිනයකින් (නිද. info@companyname.com) එය ලැබී ඇත්දැයි පරික්ෂා කළ හැකිය. ඊට අමතරව අදාළ ඊමේල් පණිවිඩ යොමු කරන පුද්ගලයාගේ නම සහ එම තැනැත්තා අදාළ ආයතනයේ දරන තනතුර ආදිය ද ආයතනයේ නිල වෙඩ්අඩවිය මඟින් පරික්ෂා කර තහවුරු කර ගැනීම සිදුකළ හැකිය. අසාමාන්‍ය අන්දමින් මුදල් ගෙවන බව සඳහන් කරමින් ලැබෙන ඊමේල් ලිපි ව්‍යාජ ඒවා බව මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම අපහසුතාවලට ලක්වීමෙන් වැළකී සිටීමට හැකි වඩාත් සුදුසුම පියවර වේ.

කෙසේ වෙතත් මෙසේ පැහැරගැනීමකට ලක්වූ පිටුවක් නැවත ලබාගැනීම සඳහා investigation@trc.gov.lk ඊමේල් ලිපිනයෙන් ඒ පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිසමට කරුණු ඉදිරිපත් කළ හැකිය. ඉන්පසු පිටුවක් හැක් කිරීම වාර්තා කිරීම සඳහා ඔවුන් විසින් ලබාදෙන පත්‍රිකාව පුරවා යොමුකිරීමෙන් (ජාතික හැඳුනුම්පතේ ස්කෑන් කරන ලද පිටපතක් ද සහිතව) පසු පිටුව නැවත ලබාගැනීම සඳහා ෆේස්බුක් ආයතනය සමඟ සම්බන්ධීකරණය සිදුකෙරේ.

Comments

comments