මැතිවරණ සමයේ ජනමාධ්‍ය මෙහෙයවීම පිළිබඳ මාගේ අත්දැකීම්

වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම සටහන තැබීම සුදුසු බව සිතුවෙමි. විශේෂයෙන්ම මෙරට බහුතර පිරිසක් තුළ ජනමාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ ප‍්‍රාමාණික අවබෝධයක් නොමැති බව දක්නට ලැබෙන අතර ජනමාධ්‍ය විද්‍යාර්ථින් තුළ පවා ජනමාධ්‍ය ක‍්‍රියාත්මක වීමේ ව්‍යවහාරික සීමා පිළිබඳ ඇත්තේ මඳ අවබෝධයක් බව විවිධ අවස්ථාවල ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදී මා නිරීක්ෂණය කර ඇති කරුණකි. ඒ සඳහා එක් පැත්තකින් විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරුන් බහුතරයක් ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් නොලබා සිටීම හේතුවක් බවට පත්වී ඇති බැවින් ඔවුන් දේශනවලදී සංකල්පීය වශයෙන් ගෙනහැර දක්වන කරුණු ප‍්‍රායෝගික තත්ත්ව යටතේ ක‍්‍රියාවට නැංවෙන්නේ මුළුමනින්ම වෙනස් ස්වරූප යටතේ බව ජනමාධ්‍ය වෘත්තියට පැමිණ ගතවූ වසර 6 ක පමණ කාලය තුළ මම ඉතා හොඳින් අධ්‍යයනය කළෙමි. මෙම සටහන ඒ පිළිබඳවයි.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ දින සිට ප‍්‍රතිඵල ඉදිරිපත් කර අවසන් වන තෙක් ජනමාධ්‍ය වෘත්තිකයින්ට විශේෂයෙන්ම ප‍්‍රවෘත්ති අංශයේ සහ කාලීන වැඩසටහන් අංශයේ නිලධාරීන්ට පැවරෙන වගකීම අතිමහත්ය. ප‍්‍රවෘත්ති විකාශ මැතිවරණය පිළිබඳ දෛනික තොරතුරු ජනතාව අතරට ගෙන යාමේ ප‍්‍රධාන මාධ්‍යය වන අතර සම්මුඛ සාකච්ඡා හා දේශපාලන සංවාද වැනි වැඩසටහන් ඉදිරිපත් කරමින් කාලීන වැඩසටහන් අංශය ද මැතිවරණ සමයක ජනතාව වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරනු ලබයි. ඇතැම් අවස්ථාවල කාලීන වැඩසටහන්වලදී විවිධ දේශපාලඥයින් ඇතුළු මැතිවරණ ක‍්‍රියාවලියට සම්බන්ධ වන තැනැත්තන් ඉදිරිපත් කරනු ලබන අදහස් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ තුළදී ඉදිරිපත් කරන අතර ප‍්‍රවෘත්ති විකාශවල ඉදිරිපත් වූ තොරතුරු මත පදනම්ව කාලීන වැඩසටහන් අන්තර්ගතය සකස් වන අවස්ථා ද බහුල වශයෙන් දක්නට ලැබේ. ඒ අනුව ප‍්‍රධාන වශයෙන් මෙම අංශ ද්විත්වයේ අන්තර් සම්බන්ධතාව මත මැතිවරණ සමයක තොරතුරු ජනතාව හමුවට ඉදිරිපත් කිරීම සිදුවේ.

2018 වසරේ පළාත් පාලන මැතිවරණ සමයේ මා සේවය කළේ ස්වර්ණවාහිනී නාලකාවේ ප‍්‍රවෘත්ති අංශයේය. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක අන්තර්ගතය පිළිබඳ අවසන් තීන්දු තීරණ ප‍්‍රවෘත්ති කළමනාකාරවරුන් සහ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් ගනු ලබන අතර (ඇතැම් විට ආයතන හිමිකාරිත්වයේද උපදෙස් පරිදි) ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන් එක් එක් ප‍්‍රවෘත්තිය සංස්කරණය කිරීමේ වගකීම දරයි. කලක සිට ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී යම් සමබරතාවක් නිරීක්ෂණය වූ අතර එම තත්ත්වයම පළාත් පාලන මැතිවරණ සමයේදී ද ආරක්ෂා කිරීමට උත්සාහ දැරීය. විශේෂයෙන්ම එක් දේශපාලන පාර්ශ්වයකට දැඩි පක්ෂපාතී බවක් දැක්වීම හෝ එක් දේශපාලන පාර්ශ්වයක් දැඩි ලෙස හෙලාදැකීමේ තත්ත්වයක් ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති තුළින් පිළිබිඹු නොවුණි (කෙසේ වෙතත් ස්වර්ණවාහිනී නාලිකාවට දේශපාලන නැඹුරුවක් නොතිබූ බව මින් අදහස් නොවේ). මා මෙම තත්ත්වය විශේෂයෙන් ඉස්මතු කර දක්වන්නේ බොහෝ රාජ්‍ය නාලිකා සහ ඇතැම් පෞද්ගලික නාලිකා ද සිය හිමිකාරිත්වය නියෝජනය කරන දේශපාලන මතවාදය සහ එහි අවශ්‍යතා මත ප‍්‍රවෘත්ති ඇතුළු වෙනත් වැඩසටහන් අන්තර්ගතයන් ගොඩනැංවීම දක්නට ලැබුණු බැවිනි.

මේ අනුව මැතිවරණ සමයේ දෛනිකව පැවැත්වෙන විවිධ දේශපාලන පක්ෂවල රැස්වීම් ආවරණය කිරීම විධිමත්ව සිදුවූ අතර ඒ සඳහා මාණ්ඩලික වාර්තාකරුවන් මෙන්ම ප‍්‍රාදේශීය වාර්තාකරුවන් ද යෙදවිණි. රාත‍්‍රී 7.00 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය වූ බැවින් දිනය තුළ පැවති සෑම ප‍්‍රධාන රැස්වීමක් පිළිබඳවම තොරතුරු එහිදී ඉදිරිපත් කිරීම සිදුවිය. ඇතැම් දිනවල දිනයේ වඩාත් කාර්යබහුලම කාල සීමාව බවට පත්වෙන්නේ ප‍්‍රවෘත්ති විකාශය අතරතුර කාලසීමාවයි. මක්නිසාද යත් එම කාල සීමාවේ වාර්තාකරුවන් වෙතින් ලැබෙන දර්ශන සංස්කරණය කර ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට සිදුවන බැවිනි. ප‍්‍රවෘත්ති අංශය ආසන්නයේම ප‍්‍රවෘත්ති මැදිරිය පිහිටා නොතිබූ බැවින් ඇතැම් විට ප‍්‍රවෘත්ති සංස්කාරකවරයාටම නිවේදකයින්ට ලබාදීම ස‍ඳහා ප‍්‍රවෘත්ති පිටපත රැගෙන දිවයාමට සිදුවිය. මෙවැනි අවස්ථාවලට මුහුණදීමට මැතිවරණ කාල සීමාවක් නොවන සාමාන්‍ය දිනවලදී ද ඇතැම් විට සිදුවුව ද මැතිවරණ කාලසමයක වැඩි ප‍්‍රවෘත්ති සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට සහ ඒ ඔස්සේ ඇතිවන කලබලකාරී තත්ත්ව හේතුවෙන් එම සෑම අවස්ථාවක්ම මනාව කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ශක්‍යතාවයෙන් යුතුවීම වැදගත්ය.

පූර්ව මැතිවරණ කාලසීමාවක ප‍්‍රවෘත්ති අංශයේ කටයුතුවලින් අනතුරුව මැතිවරණයෙන් පසු ප‍්‍රතිඵල විකාශය ද ප‍්‍රවෘත්ති අංශය යටතේ සිදුවන බැවින් එහිදී ද ප‍්‍රවෘත්ති අංශයේ නිලධාරීන්ට වැඩි වගකීමක් හා කාර්යභාරයක් පැවරේ. ඒ සඳහා සාමාන්‍ය සේවාමුර වෙනුවට විශේෂ රාජකාරී සේවාමුර ක‍්‍රියාත්මක කෙරෙන අතර ආහාර සැපයීම සහ අතිරේක ප‍්‍රවාහන කටයුතු ද එහිදී ආයතනය වෙතින් සංවිධාන කෙරේ. ප්‍රතිඵල විකාශයේදී වෙනත් රූපවාහිනී නාලිකාවල ඉදිරිපත් වන මැතිවරණ විකාශ, තොරතුරු සම්පිණ්ඩන කෙරෙහි ද අවධානය යොමුවන අතර වඩාත් පරිපූර්ණ හා නිරවද්‍ය තොරතුරු වඩාත් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන්, නිෂ්පාදකවරුන්, පරිගණක ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පීන්, මැදිරි කළමනාකාරුවන් හා නිවේදකයින් ඇතුළු පාර්ශ්ව ගණනාවක් කටයුතු කරනු ලබයි. මැතිවරණ ප‍්‍රතිඵල විකාශයකදී සාමාන්‍යයෙන් මැදිරියක සේවය කරන පිරිසට වඩා වැඩි පිරිසක් සේවය සඳහා යොදා ගැනීම සාමාන්‍ය තත්ත්තවයකි.

2018 වසරේදී සහකාර ප‍්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට මා එක්වීමෙන් පසු මැතිවරණ සමයක ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ මෙහෙයවීම සම්බන්ධයෙන් වඩාත් පුළුල් අත්දැකීම් ලබාගැනීමට හැකිවිය. ඊට හේතුව වන්නේ එක් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් සංස්කරණය කිරීමේ පූර්ණ වගකීම සංස්කාරකවරයා වෙත පැවරීම හා ඊට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ද සංස්කාරකවරයාට හිමිවීමයි (ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සහ ආයතනික ඉහළ නිලධාරීන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින්). පසුගිය වසරේ ජනාධිපතිවරණ සමය සහ මෙවර මහ මැතිවරණ සමයේ ද මැතිවරණ සමයක ජනමාධ්‍ය මෙහෙයවීම සම්බන්ධයෙන් අත්දැකීම් ගණනාවක් මා ලැබූ අතර ස්වයං වාරණයක් තුළ ඒවා මෙම සටහනට ඇතුළත් කිරීමට මම අපේක්ෂා කරමි.

මැතිවරණ සමයක ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන්ම මැතිවරණ උපමාන සැලකිල්ලට ගැනීමට සංස්කාරකවරුන් බැඳී සිටියි. එබැවින් හැකි උපරිම අයුරින් උපමාන උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීම ප‍්‍රවෘත්ති සංස්කාරක භූමිකාවේ මා අත්විඳි යම් අසීරු අභියෝගයකි. ආයතනික හිමිකාරිත්වයේ ස්වභාවය අනුව රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් තුළ ප‍්‍රමුඛත්වයක් හිමිවන්නේ පවත්නා රජයට අදාළ (මැතිවරණ සමයක නම් පැවති රජයේ) ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටය. එහෙත් එම තත්ත්වය තුළ මැතිවරණ උපමාන පිළිබඳ දැඩි අවධානයක් යොමුකරමින් විපක්ෂයේ ප‍්‍රවෘත්තිවලට ද සාධාරණ ඉඩක් සැපයිය යුතුය. මෙම තත්ත්වය හමුවේ පැනනගින ගැටළු නිරාකරණය කරගනිමින්, ඇතැම් අවස්ථාවල ඒ පිළිබඳ ආයතනයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් ගත හැකි වඩාත් සුදුසු විසඳුම්වලට එළඹීමට සිදුවේ.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ ප‍්‍රවෘත්තියකට අදාළව හඬපටයක් යෙදීමේදී එහි අන්තර්ගතය ද මැතිවරණ උපමානවලට අනුකූල වන බවට සංස්කාරකවරයා ලෙස සෑහීමට පත්විය යුතු වීමයි. වාර්තාකරුවන් විසින් සිය අභිමතය පරිදි කවර අන්තර්ගතයක් සහිත හඬපටයක් ප‍්‍රවෘත්තිය සඳහා ඇතුළත් කර තිබුණ ද එය ප‍්‍රවෘත්ති විකාශයක ඉදිරිපත් කිරීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ සංස්කාරකවරයා විසිනි (ඇතැම් අවස්ථාවල ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ සහ ආයතනික ඉහළ නිලධාරීන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින්). එය මූලික සංස්කාරක අයිතියක් වන අතර විශේෂයෙන්ම මැතිවරණ සමයක පවත්නා නීතිමය තත්ත්වයට ද අනුකූල වීමකි. නිදසුනක් ලෙස යම් හඬපටයක තවත් පුද්ගලයෙකුට දැඩි අගතියක් සිදුවන අන්දමේ ප‍්‍රකාශ ඇතුළත් නම් මැතිවරණ උපමාන අනුව එම හඬපටය සංස්කරණය කර ඉදිරිපත් කිරීමට හෝ එම හඬපටය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක ඉදිරිපත් නොකර මුළුමනින්ම ඉවත් කිරීමේ පූර්ණ අයිතිය සංස්කාරකවරයා සතුවේ. මෙවැනි නීතිමය තත්ත්වයන් පිළිබඳ ප‍්‍රවෘත්ති අංශයේ සියලු නිලධාරීන් සතුව මනා අවබෝධයක් පැවතීම මෙම කටයුතු සාර්ථක කර ගැනීමට අතිශයින් වැදගත් බව අවධාරණය කළ යුතුය.

මැතිවරණ සමයක රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප‍්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කිරීමේදී පාර්ශ්ව ත‍්‍රිත්වයක් කළමනාකරණය කළ යුතු බව මාගේ නිරීක්ෂණයයි. මැතිවරණ කොමිෂන් සභාව, පැවති/පවත්නා දේශපාලන අධිකාරිය හා ආයතනයේ ඉහළ නිලධාරීන් එම පාර්ශ්ව ත‍්‍රිත්වය වේ. මෙම පාර්ශ්වවල අදහස් හා උපදෙස් නීතිමය රාමුව තුළ කළමනාකරණය කරමින් වඩාත් ගුණාත්මක හා සමබර ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරීම සංස්කාරකවරයාගේ භූමිකාව වේ. එම තත්ත්වය සංකල්පීයව සිදුකරන පැහැදිලි කිරීම්වලට වඩා අතිශය සංකීර්ණ හා ඇතැම් අවස්ථාවල මානසික වශයෙන් දැඩි පීඩනයට ලක්වන ක‍්‍රියාවලියක් බව ද මෙහි සටහන් කිරීමෙන් එහි පවත්නා ස්වභාවය පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් මෙම සටහන කියවන පාඨකයින්ට ලැබීමට හැකි වෙතැයි මම විශ්වාස කරමි.

මේ අනුව මැතිවරණ සමයක ජනමාධ්‍ය මෙහෙයවීම පිළිබඳ යම් මූලික අවබෝධයක් මෙම සටහන කියවීමෙන් ලැබෙන්නට ඇතැයි මම සිතමි. මෙම ඇතැම් අත්දැකීම් පිළිබඳ වඩාත් පුළුල් ලෙස විග‍්‍රහ කිරීමෙන් වැළකී යම් සීමාවන් තුළ තුළ කටයුතු කළ බව ද සඳහන් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් යම් ඉදිරි දිනයක මාගේ වෙනත් ලියවිල්ලක් තුළින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අවසන් වශයෙන් සටහන් කර තබමි.

Comments

comments